නීති දමා සැමියාව වෙනස් කරන්නට හැදූ බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“අනේ ප්ලීස් ඔය වගේ ගොඩයෙක් වගේ ඇඳගෙන නම් පාටි එකට යන්න එන්න එපා මාත් එක්ක”

වියානා එකෙන් ගත්ත රතු පාට තොල් ආලේපනය දෙතොලෙ ගාන ගමන් කණ්ණාඩියට නැමිල උන්න පබා එහෙම කිව්වෙ කණ්ණාඩියෙන් පේන තමන්ට පිටිපස්සෙ හිටගෙන ඉන්න චාමිකර දිහා ඇස් කොණෙන් බලන ගමන්.

හීන් හිනාවක් දැම්ම ඇරෙන්න චාමිකර ඒකට මුකුත් කිව්වෙ නෑ. පබා ඉතින් ඔය වගෙ කතා ඕන පදං කියන හන්දා චාමිකරට ඕව දැන් බීරි අලියට වීණා වයන්න වගේ තමයි.

අද පබාගේ අක්කලගෙ දහවෙනි විවාහ සංවත්සරේ. පාටි එක තියෙන්නෙ හිල්ටන් එකේ. සති අන්තෙ දවසක රෑට මේ වගේ පාටි එකකට යන්න වෙච්ච එක ගැන සතියෙ දවස් පහම මහන්සි වෙලා වැඩ කරන චාමිකරගෙ හිතේ පොඩ්ඩක් කම්මැලි කමක් තිබුණට ඉතින් “පබාගේ ආසාවනේ” කියල යන්න ලෑස්ති උනේ.

පබා නම් උදේ ඉඳලම ලෑස්තිය හවස පාටි එකට යන්න. අක්කටත් වඩා ලස්සනට සැරසිල හිඳපු පබාගේ හිතේ තිබිල වචන වෙලා එළියට පැන්නෙ කාලයක් තිස්සෙම චාමිකරට කියන්න හිතන් උන්න දෙයක්.

“ඔයාට මම කිව්ව දේ ඇහුනෙ නැද්ද?”

තමන් කිව්ව දේ ඇහුනෙ නෑ වගේ සද්ද නැතුව ඇඳ උඩ වාඩිවෙලා සපත්තු දාගන්න චාමිකරගෙන් පබා ආයෙම ඇහුවා.

චාමිකර ගැන හිතේ තිබිච්ච තරහ මුණ පුරාම ඇඳිච්ච එකෙන් උනේ එච්චර පැය ගාණක් මහන්සි වෙලා ලස්සන කරගත්ත මූණ කැත වෙච්ච එක.

“මොකද්ද බබා?”

“ප්ලීස් චාමිකර ඕක ඇඳගෙන නම් මාත් එක්ක යන්න එන්න එපා”

“ඇයි මේ ඇඳුමෙ මොකද්ද තියෙන වරද?”

“වරද? වරද මොකද්ද කියල ඇස් පේන ඕන කෙනෙක්ට පේනවා. ගොඩයෙක් වගේ ඇඳගෙන අනේ ප්ලීස් අපේ නෑයො ඉස්සරහට නම් යන්න එන්න එපා. ඔයාට ලැජ්ජ නැද්ද චාමිකර ඔහොම අඳින්න?”

පබාගේ වචන එක්ක හිත මොනතරම් රිදුණත් මේ ගමනක් යන්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවේ තමන්ගෙ හිතේ තියෙන වේදනාව එලියට දාන්න ඕන නෑ කියලයි චාමිකර හිතුවේ.

ඒත් පබා නම් හිටියෙ මේ කතාව ඉවර කරන අදහසකින් නම් නෙවෙයි.

“ඔයාගේ නෑයො එන්නෙ පාටි එකටනෙ පබා. මගේ ඇඳුම බලන්න නෙවෙයිනෙ”

“ඒ උනාට ප්ලීස් මට බෑ ගොඩයෙක් එක්ක යන්න පාටි එකට”

“ගොඩයෙක් එක්ක යන්න බැරි නම් මොකටද ඔයා ගොඩයෙන් එක්ක යාලු උනේ? මේ ගොඩයා එදා ඇන්දෙත් මේ වගේමනේ. යාලුවෙද්දි පෙනිච්ච නැති ගොඩේ ගති දැන් පේන්නෙ පටන් ගත්තෙ ඔයාගේ බොරු පොෂ් හන්දනම් මේ පබා මට මේ එක එක්කෙනාගෙ හිත සනසන්න අඳින්න පලඳින්න ඕන නැ. මම අඳින්නෙ මට කම්ෆටබල් විදියට දැනෙන ඒව. අනික මේ ඇඳුම ඇඳගෙන මම ඕන තරම් තව පාටිවලට ගිහින් තියෙනවනෙ. එහෙම එකේ ඔයාට තාමත් හොඳ මදිනම් ඔයා මාරු කරන්න ඕන මාව මිසක් මගෙ ඇඳුම නෙවෙයි.

ඔයාට ඕන ඕන දේ කරන්න නෙවෙයි මම ඔයාව කසාද බැන්දෙ, ඔයා යාලුවෙද්දි තිබිච්ච මගෙ ගතිගුණ හොඳ මදිනම් කරුණාකරල මාව ඩිවෝස් කරල වෙන කෙනෙක්ව බඳින්න.

මට එපා වෙලා තියෙන්නෙ ඔයාගේ මේ මල විකාර”

මෙච්චර දවස් හිත අස්සෙ හංගගෙන උන්න වේදනාව ඒ විදියට එලියට දාපු චාමිකර කාමරෙන් එලියට ගියේ මහ හයියෙන් දොරත් ඇරගෙන.

ඇඳ උඩ වාඩි වෙච්ච පබා පැය ගාණක් මහන්සි වෙලා මූණට ගාපු සායම් හේදිල යනකම්ම කඳුලු වක්කරා.

දෙන්න මාව හම්බෙන්න ආවෙ ඒ සිද්දියෙන් පස්සේ.

“මෙයා මාව හරියට කන්ට්‍රෝල් කරන්න හදනව. මට එපා වෙලා තියෙන්නෙ ඒක. මම අඳින විදිය, ඇව්දින විදිය, කන බොන විදිය ඔක්කොම දැන් මම එයාට ඕන විදියට වෙනස් කරගෙන දැන් මම කියල කෙනෙක් නැතිම තරම්”

චාමිකරට තිබුණ ප්‍රශ්නෙ පබා ඕනවට වඩා තමන්ව පාලනය කරන්න හදන එක. චාමිකර ඇත්තටම ඉතාම ඉවසිලිවන්ත සැමියෙක්. ඒත් කෙනෙක් තමන්ගෙ ජීවන රටාවට ඕනවට වඩා බලපෑම් එල්ල කරද්දි මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.

අපි ගොඩක් වෙලාවට සබඳතා ඇතුලෙ දකින දෙයක් තමයි සහකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අනික් කෙනාව පාලනය කරන්න උත්සහ කිරීම. සමහර පාලනය කිරීම් ප්‍රේම සබඳතාවය තියෙද්දිම දකින්න ලැබෙනව. එතකොට ඒ ප්‍රේමය ඇතුලෙ තමන් බලාපොරොත්තු වන නිදහස, මානසික සහනය නොලැබෙනව කියල දැනගත්තම ඉවත් වෙන එක පහසුයි.

ඒත් ප්‍රේම සබඳතාවය තියෙන කාලයේ ඒ වගේ පාලනය කිරීම් වලට වඩා විවාහ උනාම වන පාලනය කිරීම් වල බරපතල කම වැඩියි.

චාමිකර සහ පබා මුහුණ දීප ඉඳපු ප්‍රශ්නයත් ඒක.

ප්‍රේමයක් පවත්වන මුල් කාලයේ අපි ආදරයෙන් වැළඳගන්න, වරදක් නැහැ කියල පේන දේවල් උනත් අපිට විවාහ වෙලා එක නිවසක, එකට ජීවත් වෙන්න යද්දි පේන්න පුලුවන්. මොකද ප්‍රේම සබඳතාවයක් තියෙන කාලයකදි අපි එකට ගෙවන කාලය අඩුයි. ඉඳහිටක හමුවීම් වලදි ඒ හමුවීමේ සතුට ඇරෙන්න එකිනෙකාගෙ අඩුපාඩු පේන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.

ඒත් විවාහයක් ඇතුලෙදි ඒ හැමදේම හොඳින්ම දැකගන්න, මෙච්චර දවසක් නොදැකපු දේවල් දැකගන්න ඉඩ ලැබෙනව. උදාහරණයක් විදියට කිව්වොත් යාලු වෙලා ඉන්න කාලේ ලස්සනට ඇඳ පැළඳගෙන එන එකා සති අන්තයේ දවසක ගෙදර ඉන්න සුවපහසු විදිය අපිට එකපාර ආදරයෙන් පිළිගන්න බැරි වෙන්න පුලුවන්.

විවාහය කියන්නෙ ආදරය එක්ක බැඳුණ දෙයක්. ආදරයේ තියෙන උත්කෘෂ්ටම මොහොතක් විදියට අපිට විවාහය හඳුන්වන්න පුලුවන්. ආදරය විතරක් මුල් වුණ ප්‍රේම සබඳතාවයක ඉඳල ඉවසීම, කැපවීම, තේරුම් ගැනීම කියන සාධක මුල් කරගෙන ගොඩ නැගුණ විවාහය කියන බන්ධනය ඇතුලෙ අපිට මූණ දෙන්න වෙන ගැටලු ඕන තරම් තියෙනව.

සමහර ගැටලුවලට මුහුණ දෙන්න අපි වචනවලට කලින් අපේ සිතීම සහ ඉවසීම මුල් කරගන්න වෙනව.

විවාහයක මුල් අවධිය කියන්නෙ ඔය වගේ ගැටුම් ඇතිවෙන්න ඉඩ ඕන තරම් තියෙන කාලයක්. වෙනස් දෙදෙනෙක් ආදරයෙන් එකතු වුණා වුණත් එකිනෙකාගෙ අදහස්, සිතුම් පැතුම්, හැසිරීම් වල තියෙන වෙනස් කම් එක්ක අපිට සමහර දේවල් දරාගන්න අපහසු වෙන්න පුලුවන්.

ඒත් අමතක කරන්න එපා, විවාහය ලස්සන වෙන්නෙ ඒ බාධක ඉදිරියේදිත් එකිනෙකාගෙ අත් අල්ලගෙන එකට ගමන යැමෙන්.

ඔයාට එයාගේ අදහස් සිතුම් පැතුම්වල නොරුස්සන තැන් තියෙනව වගේම එයාටත් ඔයාගෙ ඇතැම් සිතුම් පැතුම් නොරුස්සන්න පුලුවන්.

නීතියෙන් දෙදෙනෙක් බැඳුන කියන එකේ අදහස එයාව සහමුලින්ම වෙනස් කෙනෙක් කරන්න ඔයාට අවසරය ලැබීම නෙවෙයි. විවාහයක් ඇතුලෙ වුණත් ඕනම කෙනෙක් තනිව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ ඉඩක් බලාපොරොත්තු වෙනව. ඒ තේරුම් ගැනීම තිබෙන තුරා විවාහය සුන්දරව ගෙනියන්න පුලුවන්.

තරහෙන් පිට කරන වචන දාහකට කරන්න බැරි දෙයක් ආදරයෙන් පිට කරන එකම එක වචනයකට කරන්න පුලුවන්.

ඉතින් ආදරයට මුසු වුණ ඉවසීම එක්ක විවාහ ජීවිතේ ලස්සනට ගෙනියන්න කටයුතු කරන්න!

Related Articles

Don't Miss


Latest Articles