සුහදිනි -06

අතිශය අසාර්ථක වෙමින් සිටි කාලයට නැවතුම තබන්නේ කෙසේදැයි අහස් සහස් වාරයක් සිතා තිබේ.කණ්ඩායම් සගයන් පවා ඔහුට ගිලිහී යන්නට නොදී හිඳින්නට බොහෝ අවවාද උපදෙස් ලබා දී තිබේ.නමුත් ඒ හැම එකක්ම පාහේ ලැබුණේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ය.තමන්ගේ වෘත්තිය නිවැරදිව ඉටු කිරීම වෙනුවෙන් ය.ඒ වෙනුවෙන් වෙහෙසෙන අන්දම ගැන ය.එකෙකු අතැර ඉදිරියට යන්නට අකමැති ඔවුහු අහස්ව කෙසේ හෝ සාමාන්‍යකරණය කරන්නට දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.එහෙත් අහස් ට ජීවිතය ගැන නැවත සිතා බලන්නට සිතුණේ හොඳම මිතුරාගේ වචන නිසා ය.

“අපි ශිෂ්‍යත්වෙ පාස් වෙලා මේ ඉස්කෝලෙට එනකොට ඔළුවේ තිබ්බේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන එක තමයි මචං.ලෝකයේ ඊට වඩා බොහොම විසාලයි කියලා අපට හිතෙන්නේ ටික ටික වයසින් වැඩෙනකොට.ඕනෑම මනුස්සයෙක්ට තමන්ගෙම කියලා හීනයක් තියනවා.අපි ගොඩක් වෙලාවට වැඩිපුරම දක්ෂ ඒ දේට.ඒත් අනිත් අයගේ හීන වෙනුවෙන් අපි හීන යටපත් කරගන්නවා.උඹට මහන්සි වුණොත් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නෑ.ඒත් ක්‍රිකටර් කෙනෙක් වෙන එක උඹත් අතැරලා දැම්මොත් ආයේ උඹ වගේ ක්‍රිකටර් කෙනෙක් ලංකාවට ලැබෙන්නේ නෑ. අර්ජුන,අරවින්ද,වාස්,මහේල,සංගා,මාලිංග කවුරුත් වගේ තව කෙනෙක් හැදෙන්නේ නෑ.එයාලා ටීම් එකට නාවනම් ගන්න තිබුණු ගොඩක් කප් මඟ ඇරෙන්නත් තිබ්බ.මට පේන දැනෙන දේ උඹත් එහෙම යුනික් මනුස්සයෙක්.ඒ නිසා ඒ පාරේ පලයං.වරදින්නෙ නෑ.”

ඇති තරම් වේලා කියවන්නට සමත් වන සියුම් එවැනි දිගු දේශනයක් කළ දිනය අහස්ට අමතක නොවේ.දහසය හැවිරිදි වියේදී ඒ ගන්නට යන තීරණය ඇත්තටම නිවැරදිදැයි එකෙල මෙකල වෙමින් සිටි යෞවනයා ජීවිතය සම්බන්ධ තීරණයට එළඹුණේ මිතුරා නිසා ය.ඒ තීරණයේ වරදක් මෑතක් වන තුරුම නොතිබිණ.ඔහු මැණිකක් බවට අරුත් ගන්වන තරමට රසිකයින් ඔහු කෙරෙහි ආසක්ත විය.ඒත් දැන් සියල්ලම කණපිට පෙරළී ඇත.ඒ සාරන්‍යා නිසායැයි සියුම් පැහැදිලි ස්වරයකින් පැවසී ය.

“ඔලුව කන්නෙ නැති ලයිෆ් පාට්නර් කෙනෙක් ඉන්නකොට ජීවිතේ හරි ලේසියි මල්ලි.ගොඩක් දේවල් ලැබෙන්න වගේම නැති වෙන්නත් පාට්නර් කෙනෙක් හේතු වෙනවා කියන එක බොරුවක් නම් නෙමෙයි.”

කණ්ඩායමේ නායකයා දිනක් එසේ පැවසූ අන්දම අහස්ට සිහි විණ.කඩවසම් ඔහු දිනා ගත් යුවතිය ගැන සමාජ ජාලාවල විස්සෝප වන තරුණියන් බොහෝ ය.නමුත් ඒ ගැහැනු ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය නායකයා ට තරම්ම ඇයට ද ආදරය කරන බව අහස් හොඳින් දනියි.ඇය තමන්ගේ සැමියාට උමතු වූ කිසිම තරුණියක කෙරෙහි නොකිපෙන්නී ය.

“ෆෑන්ස්ලගේ ආදරේ කියන්නේ වෙනම දෙයක්.එයා අයිති මට.රටේ හැමෝම එයාට ආදරෙයි.මට ඒක හොඳටම තේරෙනවා.”

කාන්තා පුවත්පතකට නායකයාගේ බිරිඳ එසේ කියා තිබූ අන්දම අහස්ට අමතක නොවේ.එය අමතක නොවන්නේ ඔහුට රසිකාවියන්ගේ ආදරය ඉදිරියේ සාරණ්‍යා හැසිරෙන ආකාරය නිසා ය.ඇය ඔවුන්ට ඉතා පහත් සරදම් කරන්නට නොපැකිලේ.ඔහු වෙනුවෙන් ප්‍රේමණීය ප්‍රතිචාර දක්වන සමහර යුවතියන් ෆේස්බුක් පිටු හරහා නිර්දය විවේචන වලට ලක්වීම ලක් වීම පසුපස සිටින්නේ සාරණ්‍යා බව අහස් හොඳින් දැන සිටියේ ය.

“මං ආස නෑ බබා ඔයා පේජ් ඇඩ්මින්ලට සල්ලි දීලා අහිංසක කෙල්ලන්ට මඩ ගහනවට.”

ඔහු දිනක් එලෙස කියන්නට සිතුවේ සාරණ්‍යාගේ හැසිරීම දරාගැනීමේ සීමාවෙන් ඔබ්බට යද්දී ය.නමුත් සාරණ්‍යා එසේ පැවසීම ගැන ඔහුට දොස් තැබුවා ය.

“ඔය කමෙන්ට් දාන ගෑනු ළමයි මම බැට් කරන හැටි,බෝල් කරන හැටි,ෆීල්ඩිං කරන හැටි ගැන මිසක් මගේ මූණටයි ඇඟටයි පිස්සු වැටිල නෑ බබා.ඒවා මේ ඔයයි පේජ් ඇඩ්මින්ලයි හිතන විකාර.උන් ආදරේ කරන්නෙ කිසිම සතුටක් නැති මේ රටේ මිනිස්සුන්‍ට අපි ඉඳහිටවත් සතුටක් අරන් එන හේතුවට.අපි කොහොමහරි දඟලල මැච් එකක් ගැහුවම එයාලට සතුටුයි.ක්‍රෂ් ඇති.මට නෙවෙයි අපේ කොල්ලො ඔක්කොටොම කෙල්ලො ක්‍රෂ් තමයි.ඒත් ඒවා හරි පිරිසිදු ආදර.කොල්ලො එකොළොස් දෙනෙක් දොළොස් දෙනක් කසාද බැඳගන්න ‍රටේ ඉන්න කෙල්ලෝ ලක්ෂෙකට විතර බැහැ කියලා එයාලා දන්නවා.ඒ ගොල්ලන්ගෙ ආදරේ බාල්දු කරන්න එපා.”

අහස් එදින සාරණ්‍යාට පැවසුවේ දැඩි කලකිරීමකිනි.නමුත් සාරණ්‍යා ඔහුට ආදරණීය ප්‍රතිචාර තබන යුවතියන්ට මඩගැසීම පුරුද්දක් කර ගත්තා ය.ආදරය වියැකෙන්නට ගත්තේ එලෙසිනි.අහස් ඉතා සාර්ථක වූ මොහොතක පවා ඔහුව අගය කරන්නට පැකිළුණු රසිකයන් සාර්ථක වන සෑම අවස්ථාවකම ඔහුට පෙරළා පහර දෙන්නට පටන් ගත්තේ ය.

සියුම් කියන්නේ සත්‍යයකි.ගැටළුව අරඹා ඇත්තේ ඇය ය.

අහස් කාමරයේ බිත්තියේ එල්ලූ සූරියකාන්ත මල් යායේ සිතුවම දෙස බලා සිටියේ ය.ඔහුගේ රුව සහිත සිතුවම සමරු සටහන් ඇති තැන තැබුව ද ඔහුට මේ සිතුවම නිදන කාමරයේ බිත්තිය මත එල්ලා ගන්නට උවමනා විය.ඒ සම්බන්ධයෙන් නැවතත් ස්තූති කර සකීට පණිවිඩයක් තබන්නට තරම් සිතක් අහස්ට පැමිණියේ ඒ මොහොතේ ය.නමුත් වෙලාව මැදියම ද ගෙවෙමින් ඇති මොහොතකි.තාරකාවක ලෙස මේ සාමාන්‍ය තරුණියකට කෙටි පණිවිඩයක් යැවිය යුතු මොහොතක් නොවේ.ඇතැම්විට එය පසුදා සමාජ ජාල කළඹවන තරමේ සිදුවීමක් වීමේ ඉඩ වැඩි ය.එනිසා අහස් ළතැවිණ.

“මේ ගෑනු ළමයෙකුට නොදන්න පිරිමියෙක් මැසේජ් කරන වෙලාවක් නෙවෙයි.ඒත් හරිම මහන්සි දවසකට පස්සෙ මම කාමරේට ආවේ මේ වෙලාවෙ.මට ඔයාගේ සූරියකාන්ත මල් පේනකොට මේක නොලියා බෑ.”

බොහෝ අයගේ දැඩි ප්‍රසාදයට බඳුන් වූ “අහස්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි බස හැසිරවීම” මෙතැනදී ප්‍රයෝජනයට ගන්නට අහස් සිතී ය.ඔහු සියල්ලම ලියා යැවූයේ ඉංග්‍රීසි බසිනි.

“මම හිතන්නේ ඔයා මේක අඳින්න ඇත්තේ මම ඉන්නේ ටිකක් අපහසු කාලයක නිසා.සාමාන්‍යයෙන් සූරියකාන්ත මලට කියන්නේ සතුට ගේන මල කියලා බව මම දන්නවා.ඔයත් ඒක දන්නවා ඇති.සතුටයි ශක්තියයි මිසක් වෙන දෙයක් ගැන මගේ ඔලුවට වැටෙන්න හොඳ නෑ කියලා හොඳ ෆෑන් කෙනෙක් විදියට හිතුවට ස්තුතියි.ඒත් මම ඔයාට රහසක් කියන්නම්.”

ඒ රාත්‍රියේ සකී සිටියේ අවදියෙනි.අහස්ගේ වට්ස් ඇප් පණිවිඩය පැමිණි වහා ඇය එය විවෘත කළා ය.කියන්නට යන රහස කුමක් දැයි දැන ගැනීමට ඇයට වූයේ නොතිත් ආශාවකි.

“මේක හරි අමුතු දෙයක්.මම මේක ඔයාට කියන්නේ ඇයි කියලවත් මට හිතන්න බෑ.සමහරවිට මට ඔයා දීපු ලස්සන තෑග්ග නිසා වෙන්න ඇති.මට පොඩි කාලේ ඉඳලම සූරියකාන්ත මල් ගැන හීනයක් පේනවා.මම සූරියකාන්ත මල් පිරුණු තැනක ඇවිදින ඒ හීනේ දැකල පහුවදාට මම ගොඩක් වටින ලස්සන දේවල් ලබා ගෙන තියනවා.”

සකීට තමන් වෙවුලා යන බවක් දැනිණි.මේ ඇය කිසි ලෙසක අපේක්ෂා කළ දෙයක් නොවේ.මුවට දැනෙන ලුණු රසය හන්දා තමන් හඬමින් සිටින බව ඇයට වැටහිණ.අහස්ගෙන් අහන්නට ප්‍රශ්නයක් ඉතිරිව තිබියදී ඇය මේසය මත කඩා වැටුණේ හඬමිනි.මේ කඳුළු ගලා යන්නේ දුකක් නිසාද සතුටක් නිසාද යන්නවත් තෝරා ගැනීමට ඇයට නොහැකි විය.

(ඔබ බොහෝ දෙනෙක් කතාව කියවන බව දනිමි.නමුත් සතුට ඇත්තේ ඔබ ප්‍රතිචාර තබන තරමට ය.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles