සන්තාන සුසුම් සර – 13

0
1104

රිය පැදවීම හුරු පුරුදු වන්නට යසස්වි තුළ වන්නේ දැඩි ආශාවකි. වරක් ඒ හීනය බිඳී ගියේ රිය පුහුණු පාසලෙහි පුහුණුකරු ගේ අසීමිත අහේතුක කෝපය නිසාවෙනි. ඒ ආශාව අස්විද වෙතින් සපුරාගන්නට ගියේ බලාපොරොත්තු ගොඩක් කරපින්නාගෙන ය. නමුත් ඔහු වෙතින් ද ඒ හීනය හැබෑ කරගත නො හැකි බැව් දැන් පසක් වී තිබේ. 
යසස්වි ඒ බලාපොරොත්තුව හිතෙන්  අත්හැරගෙන සිටියා ය. අස්විද හැන්දෑවේ ගෙදර එනු ඇය සඳැල්ලේ හිඳ බලාගෙන ය. ඔහු ඇය දුටුවා වුණත් නො දුටුවා සේ ෆයිල් මිටියත් ගෙන ගෙට ගියේ ය. යසස්වි ගේ හිත මලානික වී ගිහින් තිබේ. විශ්ව විද්‍යාලයේ සිට ගෙදර පැමිණි පසු ඇය කාමරයට වැදී යහන බදාගත්තා ය. විටින් විට නින්ද යමින් ද යළි අවදි වෙමින් ද සිටි හෝරා දෙක තුනකට පස්සේ ඕ සඳැල්ලට වී අලස සුව විඳිමින් සිටියා ය. මල් කැටයම් වඩිම්බුවෙහි එල්ලෙන තඹ පාට සුළං සීනුව ඇගේ පාළුව ගැන ඉවක් වැටී වාගේ නො නවත්වා ම ගී ගැයුවේ ය. හදවත පිරී තිබෙනා හැඟීම කුමක්දැයි නිශ්චිතව විශ්ලේෂණය කරන්නට ඇයට හැකි වූයේ නැත. එවැන්නකට උනන්දුවක් ඈ වෙත වූයේත් නැත. තුනී සාංකාවක් ද ශෝකී පාළුවක් ද මීදුමක් වගේ හිතේ පා වේ!
අස්විද ගෙදර ආවේ යසස්විට රිය පුහුණු කරන්නට යන බලාපොරොත්තුවෙනි. රිය ගෙවත්තට හරවත්දී ම, සඳැල්ලෙහි සිටිනා ඇයව ඔහු දුටුවේ ය. නො දුටුවා සේ පැමිණෙන එක ඔහු ගේ විදිහ ය. ඒ ආඩම්බරකම නැති වූ විට පවතින්නේ සැබෑ අස්විද සූරියබණ්ඩාර නොවේ. ව්‍යාජයක් වන්නට ඔහු ට ඕනෑ නැත!
‘අර ළමය ඩ්‍රයිවින් ප්‍රැක්ටිස් නරන්න යන්න ලෑස්තිද…’ 
කියා අස්විද ඇසුවේ ඇඳුම් මාරු කරන්නේවත් නැතිව තේ බොන ගමන් ය. ඔහු ඇඳුම් මාරු නො කර සිටියේත් ඒ ගමන යන්නටයි. නමුත් යසස්වි තේ බොන්නටවත් පහළට පැමිණ සිටියේ නැත.
‘යන්නෑ කියල ඊයෙ කිව්වනෙ’ 
වජිරා ගණනකට නැතිව වාගේ එසේ කීවේ, ඒ පුහුණුවීම ඔතනින් ම නතර වන එක කෝකටත් හොඳ යයි සිතුන බැවිනි. නැත්නම් දෙන්නාගෙන් කවුරු හෝ අනිත් කෙනාව රිය දොර හැර පිටතට විසි කොට දමනු ඇත. දෙන්නා ම කුකුළු කේන්තිකාරයන් වන බැවිනි. දෙන්නාට ම ඉවසීම නැති බැවිනි.
නිලූකා යසස්වි ගේ තේ  එක ගෙන මතු මහළට ආවා ය.
‘තේ බොන්න ආවෙ නැති නිසා ඔන්න මං අරං ආව…’ 
‘හොඳටම නින්ද ගියා අප්ප. තාමත් නින්දෙන් ඉන්නව වගෙයි. අපරාදෙනෙ ගෙනාවෙ. මං එනවනෙ පහළට’ 
යසස්වි නිදිබර අලසකමින් ම කීවා ය.
‘අන්න අස්විද අහනව ඩ්‍රයිවින් ඉගෙනගන්න යන්නැද්ද කියල’ 
නිලූකා එය කීවේ හඬ වඩාත් පහත් කොට ය.
‘අපෝ නෑ ‘
යසස්වි ඉක්මන් ස්වරයෙන් කීවා ය. නිලූකා ගේ මුණට එළියක් වැටිණ.
‘අස්විද ඔහොම තමයි. පුදුම මූලග්ගින්නක් තියෙන්නෙ. ඔයා නිකං බැනුං අහගන්න යන්න ඕන නෑ. මං දිල්නුකට කියන්නං කාර් එක ඉල්ලගෙන ඔයාට පුරුදු කරන්න කියල’ 
‘ඕන්නෑ’ 
යසස්වි වගකට ගත්තේ නැත.
‘මං ආයෙ ලර්නර්ස් එකකට යනව’ 
කොහොම වුණත් ඇය අස්විද ට ඕනවට වැඩිය ලං නොවී ඉන්නා එක නිලූකා ට අස්වැසිල්ලක් විය.
‘මල්ලි වොශ් දාගන්න..යසස්වි යන්නෑලු’ 
නිලූකා අන්තිම පඩි කිහිපය බැස්සේ එසේ කියමිනි. මග් එකේ අඩියේ ඉතිරි ව තිබූ අන්තිම තේ උගුර ද බී කෝප්පය කනප්පුව මත තැබූ අස්විද වහා අසුනෙන් නැගිට පියගැට පෙළ වේගයෙන් තරණය කරන්නට පටන්ගත්තේ ය. ගෙදර කාගේත් ඇස් මත සනිටුහන් වූයේ කැළඹුමක සෙවණැලි ය. 
අස්විද ගේ සපත්තු අඩි පොළොවේ ගැටෙන හඬින්, යසස්වි තේ උගුරක් බොමින් ම මග් එකට මත්තෙන් දෑස් යොමු කොට ඔහු දෙස බැලුවා ය. අස්විද ළැව් ගින්නක් වගේ වේගයෙන් ඇය වෙතට පැමිණියේ ය.
‘යන්නැද්ද…’
‘නෑ’ 
ඇය සන්සුන් ව කීවා ය.
‘ඇයි…’ 
අස්විද ගේ හඬ උස් නොවූව ද දැඩි විය.
‘ඕන්නෑ’ 
‘ඊයෙ කිව්වනෙ හවසට මං ආවහම හැමදාම ටික වෙලාවක් ප්‍රැක්ටිස් වෙමු කියල’ 
‘ඒ වුණාට මට ආයෙ ඩ්‍රයිවිං ඉගෙනගන්න ඕන්නෑ’ 
යසස්වි ගේ හඬට ද නො රිස්සුමක් එක් වෙමින් තිබිණ.
‘හේතුව…’ 
‘හැම එකට ම හේතු කියන්න ඕන නෑනෙ. අනික මේක උසාවියත් නෙවෙයිනෙ. මට ඕන්නෑ. මං යන්නෑ. එච්චරයි ඉතිං’ 
‘නෑ යන්න ඕනෙ’ 
‘මේක මාර වැඩක්නෙ. මට ඕන්නැත්තං නෑ තමයි. කවුරුවත් බල කළාට මං මොකටද යන්නෙ… අනික ඔච්චර බැණ බැණ උගන්නන්න ඕන්නෑ. මං මොකටද එහෙම බැණුං අහගන්නෙ කාගෙන්වත්… මොකද මං කාගෙවත් අතපල්ලෙන් වැටිල නෑනෙ’ 
යසස්වී පරල වෙමින් සිටියා ය. අස්විද කෙළින් ම ඇගේ මුහුණට එබී ස්ථාවර දැඩි බැල්මක් හෙළුවේ ය.
‘සද්ද ඇතී… සද්ද ඇතී…’ 
ඔහු ඒ කී විලාශයට යසස්වි උන්හිටි ගමන් ගල් වී ගියා සේ ය. ගොළු වී ගියා සේ ය. අස්විද ට එරෙහිව තවත් එක වචනයක්වත් කියාගන්නට වචන අමතක වී උගුර මුල හිර වී තිබිණ. ඇය දෑස් විසල් කරගෙන ඔහු ගේ දැඩි බැල්ම රැඳි මුහුණ දෙස ම බලා සිටින්නට වූවා ය. ඇගේ සිත්හි ඉසිහින් බියක් හටගනිමින් තිබිණ. අනියත ගැස්මක් ඇතුළාන්තය දෙදරවන්නට විය. 
‘ලෑස්ති වෙලා එන්න’ 
ඒ වචන තුන ඈ තුළ එතරම් බලපෑමක් ඇති කළේ කෙසේ ද? කලින් වාගේ ම බෑ යි කියාගන්නට ඇය අපොහොසත් වූයේ ඇයි? අස්විද ඒ තරම් ඈ මත ආධිපත්‍යයක් පැතිරූයේ කෙසේ ද? ඇතුළාන්තය නමැති ග්ලැසියර අයිස් කඳ, චණ්ඩ සූර්ය තාපයට හසු වූවා සෙ දිය වෙන්නට ගති. ඇයට තව දුරටත් සිය දැඩි ස්ථාවරයෙහි රඳත හැකි වූයේ නැත.
ඒ වචන තුනට අවනත වී යසස්වී පූස් පැටවක සේ කාමරයට ගියා ය. අස්විද ගේ තොල් කොනක සිනහක රැළි නැඟිණ. ඔහු සංසුන් ව පහළට බැස්සේ ය.
‘ඒ ළමයට බෑ කියනවනං ඕන්නෑ’ 
වජිරා හෙමිහිට මිමිණුවා ය. එතකොට ම යසස්වි බිම බලාගෙන පියගැට පෙළ බහිමින් සිටියා ය.
‘කෑගහන්න කරන්න යන්නෙපා’ 
වජිරා නැවත ද මිමිණුවා ය.
යසස්වි පැමිණියේ පොඩි වුණ සැහැල්ලු ලිනන් කලිසමක් හා ලා රෝස පාට ටී බැනියමක් හැඳගෙනයි. කලබලයට කොණ්ඩය නො පීරූ ඕ, ඒ තරම් දිග නැති වරල බූල් බෑන්ඩ් එකත් එක්ක ම ගෙල මුලට ගෙඩියක් සේ දමාගත්තා ය. මෘදු සුවඳැති ඕඩිකොලෝන් බිඳක් ගෙලෙහි තවරා ගන්නට නම් ඇයට අමතක නොවිණ. හිත කඩා වැටෙන්නට- ගරා වැටෙන්නට නොදී කෙළින් තබාගන්නට, ආත්ම විශ්වාසය දනවන ඒ සුවඳ ඉවහල් වේ.
විජිත සූරියබණ්ඩාර ගේට්ටුව අස වූයේ ය.
‘ළමයෙක්ට ආසාවෙන් ඉගෙනගන්න හිතෙන්න කාරණා දෙකක් සම්පූර්ණ වෙන එක වැදගත්’ 
යසස්වී එතැන නතර වූවා ය. අස්විද පවා ගමන් වේගය බාල කළේ ය.
‘ඒ ළමය ගුරුවරයට කැමති වෙන්න ඕනෙ. ඒක එක. ළමයට දැනෙන්න ඕනෙ ගුරුවරය තමුන්ට කැමතියි කියල. ඒක දෙක. ඔය දෙක සම්පූර්ණ වුණහම ළමයි හරි අපූරුවට ඉගෙනගන්නව’ 
අස්විද රියදුරු අසුනට ගොඩවෙන රිය දොර හැරගෙන ඇය නැගෙනතුරු බලා සිටියේ ය. යසස්වි මේ මොහොතේ සියලු දඩබ්බරකම් අත්හිටුවා සිටියා ය. නමුත් ඇගේ දෑස් වල කතන්දරයක් දොඩමළු වූයේ ය.
අස්විද අනෙත් පසින් විත් රියට ගොඩ වූයේ අවුරුදු විසි ගණන් වල කොලුවෙකු ගේ ජවයෙනි.
‘දැං මතකද ඊයෙ කියල දීපු ඒව… ම්… ස්ටාට් කරන්නකො බලන්න’ 
ඇය සන්සුන් ව සිහිය එළඹවාගෙන ඔහු ට කීකර වූවා ය. 
‘හරි. අත් දෙක ටිකක් බුරුල් කරන්නයි ඕනෙ. රිලැක්ස් එකේ අල්ලන්න. මේ… එතකොට ස්ටියරින් වීල් එක හොඳට කැරකෙනව. කන්ට්‍රෝල් කරගන්න ලේසියි’ 
එතකොට ඉතා සුමට ලෙස රිය ඉදිරියට ඇදෙනා හැටි යසස්වි අත්වින්දා ය. වංගුවක දී අවැසි පරිදි රිය හැරවීම කරන්නට ඔහු ස්ටියරින් වීල් එක ඇල්ලුවේ ඇගේ අතත් එක්කම වාගේ ය.
 ඒ අතැඟිලි සීතල ය. ඒ ස්පර්ශය උණුහුම් ය! 
ඈ වෙත නැඹුරු වෙත්දී අස්විද ළඟින් පිරිමි සුවඳක් වෑහිණි. දවසක් පුරා වැඩ කිරීම නිසා ඉනූ දහදියක ෆෙරමෝන පුසුඹ ද උදෑසන ගැල්වූ විලවුණක කල් පැවතියා වූ අවසාන සුවඳ පොද ද එකට මුහු වී ඒ පිරිමි සුවඳ නිමැවී තිබේ. වැලමිට ළඟට ඇද ඉහළට ඔසවා තිබූ සුදු කමිස අත් නිසා නිරාවරණය වූ ඒ අත් බාහු වල ඝණ රෝම යසස්වී වඩාත් ලඟට දුටුවා ය.  උඩ බොත්තම් කිහිපයක් උනා දමා තිබූ කමිස කරින් නිරාවරණය වූ පිරිමි පපුව දෙස නො බලන්නට ඇය වගබලා ගත්තා ය. හදවතට කුමක්දෝ රස්නයක් දැනිණ. නමුත් රිය නිසොල්මනේ ඉදිරියට ඇදෙමින් තිබිණ. යසස්වි ට දැනුණේ ඇය සුළං කපාගෙන ඉදිරියට පා වී යන්නා මෙනි. 
‘ස්පීඩ් එක අඩු කරන්න. හයියෙන් ඇක්සල් කරන්නෙපා’ 
අස්විද ගේ හඬ ඇසුණේ මේ ළඟ පාතින් නොව ක්ෂීරපථයට ඈත එපිටින් පිහිටි වෙනත් මන්දාකිනියකින් සේ ය.
‘ඔය දැං හොඳට යන්නෙ. බොරුවටනෙ මුරණ්ඩු වෙන්න හැදුවෙ’ 
අස්විද එහෙම කියනවා ද නැතිද කියා හෝ බලන්නට යසස්වි උත්සුක නො වුණා ය. ඇය හීනයක පා වෙමින් සිටියා ය. ඇස් ඇරගෙන හීනයක් දකිමින් සිටියා ය. 
‘වාහන නැති වෙලාවක හොඳ කාපට් පාරක ඔහේ ඇක්සලරේටර් එකට කකුල තියාගෙන යනව වගේ නෙවෙයි. අමාරු තැන් වල ඩ්‍රයිව් කරන්නයි ඉගෙනගන්න ඕනෙ. කිසි දෙයක් ලේසි නෑ. හැබැයි කිසි දෙයක් කරන්න බැරිත් නෑ. ඩ්‍රයිවින් කියන්නෙ ගෙයි ඉඳල ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට වාහනේ අතට ගන්නම ඕනෙ. ටික දවසක් යනකොට ඔය බය නැතිවෙලා යයි. ඒකට හැමදාම ටික වෙලාවක්හරි ඩ්‍රයිව් කරන්න ඕනෙ’ 
යසස්වි එක වචනයක් හෝ නො දොඩා සිටියා ය. දිව්‍යමය සැහැල්ලුවකට අවතීර්ණ වෙමින් සිටියා ය. 
‘තව ටිකක් අතට හුරු වුණාම උදේට ට්‍රැෆික් වෙලාවට යමු’ 
‘අම්මොහ්’ 
ඒ වෙලාවේ නම් ඇයට එහෙම කියවිණ.
‘මං ඉන්නවනෙ’ 
ඔවුන් උනුන් දෙස බැලුවේ නැත. මුහුණු වල ඉරියව් හෝ හැඟීම් දුටුවේ ද නැත. නමුත් සිතිවිලි වල සංඛ්‍යාතයන් එක ම පරාසයකට පැමිණ තිබුණා විය යුතු ය. හදවත් වල ස්ඵන්දන රිද්මයන් එක ම සංඛ්‍යාතයක වූවා විය යුතු ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here