ෂෙහාරා රෝහල් ඇඳ මතට වී කල්පනා කරමින් උන්නාය.තම දෙමව්පියන් ආදිත්‍ය ගේ දෙමව්පියන් මුණ ගැසීමට යන බව කියා දැන් පැය ගණනාවක් ගත වී ගොස් ඇත. ආදිත්‍යද නිවසට යන බව පවසා රෝහලින් පිටවී දැන් බොහෝ වේලාවකි. අනිවාර්යෙන්ම දෙමව්පියන් ගේ හමුවට ආදිත්‍යයට ද කැඳවීමක් ලැබෙන්නට ඇත. එසේ නම් මේ වන විට සියලු දෙනාම සිටිනු ඇත්තේ ආදිත්‍ය ගේ නිවසේය.
තමා අතින් සිදු වූයේ බරපතල වරදකි. ඊටත් වඩා තමා හට ආදරය කළ පිරිමින් දෙදෙනෙකුට තමා කලේ වංචාවකි. විවාහක ස්වාමිපුරුෂයා වූ ආදිත්‍ය තමාව මොන තරම් ඉවසා සිටියත් මේ කාරණාවේදී ඔහු ඒ ඉවසීම පසෙකලා ඉතා තද තීරණයක් ගනු ඇත. දැනටමත් ඔහු තීරණය කර ඇත්තේ තමා ගෙන් දික්කසාද වීමටය. කුමන හේතුවක් යට වුවත් ඔහු එම තීරණය වෙනස් කරන්නටද සූදානම් නැත. තම ජීවිතයේ ඉදිරි දින කිහිපය තීරණාත්මක වන්නට යන බව ෂෙහාරා කල්පනා කළේ ශෝකයෙනි.
මිතුරු මිතුරියන් හා තමා ගත කළ විනෝදකාමී ජීවිතයට ආදිත්‍යව සම්බන්ධ කර ගැනීමට ෂෙහාරාට කිසි විටෙකත් වුවමනා වූයේ නැත. ඔහු එවන් ජීවිතයකට අකමැති වනු ඇතැයි සිතමින් තමා රයන් වෙත ආකර්ෂණය වූයේ ඒ සැහැල්ලු සහ විනෝදකාමී ජීවිතය ගෙවනු පිණිසය. එහෙත් ඒ සියල්ලක් අවසානයේදී තමා නැවත යා යුත්තේ ආදිත්‍යය ළඟට බව සිහි වුවත් ඒ ජීවිතයට සමු දීම උදෙසා තමාට හිත හදා ගත හැකි වූයේද නැත. තමා හා රයන් අතර වූයේ ආදරයක්ද නැත්නම් ආකර්ෂණයක්ද පමණක් කියා ෂෙහාරා බොහෝ වාරයක් කල්පනා කළාය.
රයන් තුළ වූයේ තමාව විවාහ කර ගැනීමේ අපේක්ෂාවකි. ඔහු තමා පිළිබඳව දෙමව්පියන්ට කීමේ බලාපොරොත්තුවෙන් සිටින බව දින කිහිපයකට පෙර කීවේය. මේ අනතුර සිදුවූයේ ඉන් පසුවය. තමා පිළිබඳව ඇත්ත තත්ත්වය දැනගත් පසු රයන් තමාට සමාව නොදෙනු ඇතැයි ෂෙහාරා සිතුවාය. රෝහල් ගතව සිටියදී කිහිප වරක් රයන් තම දුරකථනයට ඇමතුම් ගත්තද ෂෙහාරා ඒ එක ඇමතුමකට වත් පිළිතුරු දෙන්නට නොගියේ ඔහුට මුහුණ දීමට තිබුණු නොහැකියාව නිසාය.
මේ මොහොතේ තමා සිටින්නේ තීරණාත්මක අවස්ථාවකය. දික්කසාද වීම පිළිබඳව ආදිත්‍ය ගත් තීරණය වෙනස් කිරීමට ඇති ඉඩ කඩද බොහෝ අඩුය. ඉන්පසුව තමාට සිදු වන්නේ තනි වීමටය. වරද සිදු වූයේ තමා අතින් නිසා තමාට බොහෝ නින්දා විඳීමටද ඉදිරියේදී සිදු වනු ඇත.
ෂෙහාරා බොහෝ වේලාවක් කල්පනා කළාය. ආදිත්‍ය තමාට කිසිසේත්ම සමාව නොදෙන මොහොතක රයන් ගෙන් සමාව ඉල්ලා සිටීමට සිතුවිල්ලක් ෂෙහාරාට ඇති විය. යම් ආකාරයකින් ඔහු තමාට සමාව දීමට සූදානම් වනවා නම් ආදිත්‍ය හට ඉක්මනින් දික්කසාදය ලබා දී රයන් සමග ජීවිතයක් ආරම්භ කිරීමට සැලසුමක් ෂෙහාරා තුල වූවාය. තමා වතුරේ ගිලෙන්නට යන මොහොතේ පිදුරු ගහේ එල්ලි හෝ ජීවිතය බේරා ගැනීමෙහි වරදක් නැත. ෂෙහාරා දුරකථනය අතට ගෙන රයන්ගේ අංකය සොයා එයට ඇමතුමක් ගත්තේ සිතුවිල්ලේය.
” හෙලෝ ”
රයන් ඉතා ඉක්මනින් දුරකථන ඇමතුමට සම්බන්ධ වූයේය. එසේ නම් ඔහු තමාගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් හිටියා විය හැකිය.
” ඔයාට කොහොමද රයන් ? ”
ෂෙහාරා ඇසුවේ සිහින් හඬිනි.
” ඔයාට දැන් ද ඒක අහන්න මතක් උනේ? ”
ෂෙහාර ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට රයන් පෙරළා ප්‍රශ්නයක් ඇසුවේය. ඔහු ඉන්නේ කෝපයෙන් දැයි සිතා ගැනීමට ෂෙහාරාට නොහැකි වූයේ ඒ නිසාය.
” අනේ සොරි රයන්. දන්නවනේ මෙතනත් ප්‍රශ්න. දැන් තමයි ටිකක් නිදහස් උනේ. මට ඔයාව බලන්න එන්න විදිහකුත් නැහැනේ “
ෂෙහාරා කීවේ බොරු හුරතලයක් මවා පාමිනි.
” ඒවා ඔයා විහිං දාගත්ත ප්‍රශ්නනේ ෂෙහාරා. ඔයා කොච්චර ලොකු බොරුවක්ද මට කරේ? අඩුම ගානේ මම මගේ පේරන්ට්ස්ලට ඔයා ගැන කියන්න යනවා කියලා කියද්දිවත් ඔයාට තිබුණා මට ඇත්ත කියන්න. අනිත් එක ඔයා රැවට්ටුවේ මාව විතරක් නෙමෙයිනේ. ඔයා ඔයාගේ හස්බන්වත් රවට්ටලා. කොහොමද ඔයා මේ වගේ දෙයක් කරේ ? “
රයන් ගේ ස්වරය එන්න එන්නම වෙනස් වූ අතර ෂෙහාරාට එය දරා ගැනීමට නොහැකි විය. ඔහු මොනතරම් විනෝදකාමී පුද්ගලයෙකු වුවද කෝපයට පත් වූ විට ඔහු ආදිත්‍යයට වඩා දරුණු පුද්ගලයකු බව ෂෙහාරා දැන ගත්තේ සමාජ ශාලාවකදී සිදුවූ සිදුවීමකිනි.
” අනේ සොරි රයන්. ඔයාට ආදරේ නිසයි මං මේ හැමදේම කරේ. ආදිත්‍යටයි මටයි හොඳ ලයිෆ් එකක් තිබුනේ නැහැ.එයාට ලොකු උනේ එයාගෙ තාත්තා ගේ බිස්නස් විතරයි.එයා අඩු ගානේ මං ගැන හොයලා බැලුවෙවත් නෑ. ඒකයි මං යාළුවෝ එක්ක එළියට යන්න පුරුදු වෙලා හිටියේ .අනික මං හිතා ගෙන හිටියේ ආදිත්‍ය ගෙන් ඉක්මනට ඩිවෝස් වෙන්න “
ෂෙහාරා කටට ආ සියල්ල කියා දැම්මාය.මේ මොහොතේ කෙසේ හෝ රයන් ගේ සිත වෙනස් කරගෙන ඔහුව යාප්පුවෙන් තබා ගත යුතුය.නැතිනම් තමාට සිදුවන්නේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වීමය.
” අනේ මේ නිකං බොරු කියන්නෙ නැතුව ඉන්න ෂෙහාරා. ආදිත්‍ය කොච්චර හොඳ මනුස්සයෙක්ද ? මනුස්සයෙක් වගේ නං ඇවිල්ල මට ගහලා යනවා මිසක් කතා කරලා යන්නේ නැහැ. එහෙම මනුස්සයෙක්වද ඔයා රැවැට්ටුවේ ? “
ෂෙහාරා කී කිසිවක් පිළිගැනීමට රයන් සූදානම් වූයේ නැත.
” ඔයා දන්නේ නෑ රයන් ආදිත්‍ය ගේ හැටි.එයා ඔය හොඳ මුහුණ පෙන්න ගෙන හිටියට ඇත්තටම එහෙම නැහැ ”
ෂෙහාරා බැගෑපත් වූවාය. ආදිත්‍ය පැමිණීමට පෙර කෙසේ හෝ රයන් සමග මේ ප්‍රශ්නය විසඳා ගත යුතුය.
” දැන්වත් ආදිත්‍යය එක්ක හොඳින් ඉන්න බලන්න ෂෙහාරා. ඔයා හිතනවා වගේ ජීවිතේ සෙල්ලමක් වත් විහිළුවක් වත් නෙමෙයි.අපි ජීවිතේ එන්ජෝයි කරන්න ඕනේ තමයි. හැබැයි ඒ ඔයා හිතන විදිහට නෙමෙයි. අනිත් එක ඔයා වගේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මිනිස්සුන්ට කවදාවත් හොඳ විදියට ජීවත් වෙන්න බෑ ෂෙහාරා. කවුද දන්නේ ඔයා තව කීදෙනෙක්ව මාව රැවට්ටුවා වගේ රවට්ටල තියෙනවද කියලා ”
” අනේ රයන් මං ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමෙයි.මට ඇත්තටම ආදිත්‍යය එක්ක ජීවිතයක් තිබ්බේ නැහැ. මං ඔයාට ඇත්තටම ආදරේ කළා රයන්. ඒත් මට ඔයාට හැමදේම කියා ගන්න බැරුව හිටියේ. මං ඔයාව රවට්ටන්න හිතුවේ නැහැ ”
ෂෙහාරා හැඬුම්බර ස්වරයක් මවා ගත්තාය.ඇයට වුවමනා වූයේ කෙසේ හෝ රයන්ව නැවත තමා වෙත නම්මා ගැනීමටය.එහෙත් එය පහසු නොවන්නේ ආදිත්‍ය රයන් හමු වීමට ගොස් කීවේ මොනවා දැයි නොදන්නා නිසාය.
” රවට්ටන්න හිතුවේ නැත්නම් තමුසේ මොනාද මට මේ කලේ ? ආ ? තමුසෙ කොච්චර නම් මට බොරු කිව්වද ? මං මගේ පේ්‍රන්ට්ස්ලට තමුසේ ගැන කියනවා කිව්වම තමුසෙ කිව්වා මාත් එක්ක අපේ ගෙදර යන්නත් එනවා කියලා.එදාවත් බැරි උනාද තමුසෙට ඇත්ත කියන්න ? හිතා ගෙන හිටිය මාවයි අර මිනිහවයි දෙන්නවම රවට්ටල තියා ගෙන ඉන්නද ? තමුසේ වගේ ජරා ගෑණු මං ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මමත් එහෙම ගෑනියෙකුට රැවටෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ “
රයන් කෑ ගැසුවේ කෝපයෙන් කෑ ගැසූ අතර ෂෙහාරා උන්නේ අසරණවය.
” ඔයත් මාව දාලා යනවද රයන් ? ”
ෂෙහාරා ඇසුවාය. ඇය තව තවත් තමා ඉදිරියේ රඟපාන බව රයන් සිතුවේ පාලනය කර ගත නොහැකි කෝපයෙනි. තමා ඇත්තටම සිටියේ ෂෙහාරා පිළිබඳව බොහෝ බලාපොරොත්තු තබා ගෙනය. ඒ නිසාම ආදිත්‍ය මෙන්ම රැවටීමේ වේදනාවෙන් රායන්ද දැවෙමින් උන්නේය.
” මෙච්චර ලොකු බොරුවක් කරලා තියෙද්දි තමුසෙව ළඟ තියා ගන්න මට පිස්සු කියලා හිතුවද ? තමුසේ මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ ෂෙහාරා ? කොහොමත් මම හිටියේ කොයි වෙලේ හරි තමුසෙව හම්බවෙලා දෙකක් කතා කරලා යනවා කියලා හිතා ගෙන.තමුසෙම මට කෝල් කරපු එක හොඳයි. හොඳට මතක තියාගන්නවා ෂෙහාරා. තමුසෙට මට මේ කරපු දේට වන්දි ගෙවන්න වෙයි ”
රයන් ඇමතුම අවසන් කළේය.මෙවැනි තත්ත්වයක් යටතේ ඔහු තමාගෙන් පළිගැනීමට හෝ දෙවරක් නොසිතනු ඇත. ෂෙහාරා දුරකථනය පසෙකින් තැබුවේය. දෑසින් නොනවත්වාම කඳුළු කඩා වැටේ. සියල්ල සිදු වෙමින් පවතින්නේ තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයට සහ තමාගේ අවාසියටය.
රෝහල් කාමරයේ දොර විවෘත කරගෙන ආදිත්‍ය ඇතුළු වූයේ ෂෙහාරා හඬමින් සිටින විටය. ෂෙහාරා හඬන බව ආදිත්‍ය පැහැදිලිවම දුටුවේය.
” මේ මොකද මේ ? ”