සයුරංගනා ගේ මුළුතැන්ගෙයි ඉහුම් පිහුම් සහිත වීඩියෝ කිහිපයක් යොදා සයූ’ස් කිචන් නමින් යූ ටියුබ් නාලිකාවක් ඇරඹිණ. එහි තම්බ්නේල් සැකසීම, වීඩියෝ සංස්කරණය වැනි පරිගණක කටයුතු වෙහෙසී සිදු කළේ තේමියයි. පාරමී ඔහු ළඟින් හිඳගෙන වඩා සාර්ථක අත්දැකීමක් වෙනුවෙන් ඇගේ උපදෙස් හා අදහස් දුන්නා ය. විටෙක සිය දකුණු පසින් හිඳ ගෙන කියවන පාරමී, තේමියගේ කන රිදවන කංකරච්චලයක් වූයේ ය.
“යනවකො මෙතනිං. කන අස්සෙ කුරුමිණියෙක් වගේ කුරු කුරු ගාන්නෙ නැතුව. මං වැඩේ ඉවර කරල කතා කරන්නං”
විටෙක තේමිය අක්කාව එලවා ගන්නට පවා තැත් කළේ ය.
“කන පලාගන්නැතුව ඕක හරියට කරනව”
එතකොට පාරමී බාල සොයුරා ගේ කන මිරිකා කියයි. සැබවින් ඔවුන් දෙදෙනා ම මේ කාරිය වෙනුවෙන් වෙහෙසුණේ තමන් ගේ දෙයක් වාගේ සලකා ය. යශෝදර ට අත පොවන්නට දෙයක් තිබුණේ ම නැත. නංගීත් මල්ලීත් ඔහු ගෙන් ඉල්ලූයේ එක උදව්වකි. එනම් සයුරංගනා ගේ යූ ටියුබ් නාලිකාවට හොඳ නමක් යෝජනා කරනා ලෙසයි. ඒ අනුව සයූ’ස් කිචන් යන නම යශෝදර ගෙනි.
තමන් වෙනුවෙන් ඒ වගේ කටයුත්තක් සිදු වෙමින් පවතිත්දී සයුරංගනා ගේ ගැහැනු පපුවේ සාඩම්බරයක් නොවුණා යි කීවොත් මුසාවකි. ඇය ඒ වීඩියෝ කිහිපය කිහිප වරක් ම බැලුවා ය. යළි යළිත් බැලුවා ය. ඒ තමන් ම දැයි විටෙක ඇයට විශ්වාස කර ගන්නට පවා අපහසු වූයේ ය. ගමේ ඉස්කෝලේ උගත්, විශ්ව විද්‍යාලය වෙනුවට විවාහය තෝරා ගත්, සබකෝලයෙන් යුතු ගෑනු ළමයා තමන් වෙනුවෙන් තව දුරටත් සටන් කරමින් සිටියා ය. ඇගේ හැම සිනහ පොදක ම ලියැවී තිබුණේ ඒ සටන ගැන කතාව ය. ඇය තවත්, තව තවත් හොඳින් ඒ කාරියෙහි නියැලීමේ උත්සාහයක් දැරුවා ය. පාසල් වේදිකාවේ ඇය ප්‍රධාන නිවේදිකාවක බව සිහි වූයේ ද පසුව ය. පාසලෙන් සමු ගෙන කාලයකට පස්සේ නැවත ද වතාවක් ඇය වෙනුවෙන් ජීවිතය උර ගා බැලීමේ අවස්ථාව උදා වී තිබේ. සයුරංගනා ගේ හිතට අමුතූ ශක්තියක් ඇවිත් තිබිණ. අලුත් සතුටක් හා ප්‍රබෝධයක් කාන්දු වෙමින් තිබිණ.
යූ ටියුබ් නාලිකාව ඇරඹුණ දිනයේ ඇගේ ඇස් වලට කඳුළු උනා ආවේ ය. ළාබාල වයසින් කණවැන්දුම් වූ තරුණිය සැමියා වෙනුවෙන් සති පූජා කරනු වෙනුවට දියණිය හා තමන් වෙනුවෙන් ජීවිතයත් එක්ක සටන් කිරීම තෝරා ගෙන තිබුණා ය. ඇය වෙනුවෙන් අන්තර්ජාලයේ ඈත කොනක හෝ ඉඩක් වෙන් වී තිබේ. ඇය වෙනුවෙන් විශ්වයේ කොතැනක හෝ අවකාශයක් ඇති වී තිබේ. ඈත අහසේ දිලිසෙන කුඩා තාරකාවක් බඳු ආලෝක පුංජයක් සයුරංගනා ගේ ආත්මයේ යම් තැනක දැල්වෙන්නට විය. ඒ ආලෝකය සොයා ගන්නට, ඒ ආලෝකය හඹා යන්නට ආශාවක් ද උනන්දුවක් ද උවමනාවක් ද ඇය තුළ ඇති වී තිබේ!
ඇයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි වූයේ ද ඒ ආසන්න දිනෙක ය. එදා නම් ඕ පාරමී ව බදා ගෙන ඉකි ගසමින් හැඬුවා ය.
“ඒයි..ඉතිං ඇයි මේ අඬන්නෙ…හරිනං මේ කෑගහල හිනා වෙන්න ඕන දවස්නෙ…”
පාරමී මුදු ලෙස අසල්වැසි මිතුරිය ගේ හිස පිරිමැද්දා ය.
“මටම මාව දරාගන්න බෑ වගේ පාරි…මට හිතා ගන්න බෑ..මට..ම්…මට…මෙහෙම දේවල් කරන්න හයියක් ආවෙ කොහෙන්ද…”
“ඔයා හයිය කෙල්ලෙක් තමයි. මටනං ඔයා ආඩම්බරයක්. අද හොඳ රවුමක් ගහල සෙලිබ්‍රේට් කරමු. දැං ඉතිං කා එකට පෙට්‍රල් ටිකක් ගහ ගත්තහම අපි දෙන්නට පේදුරු තුඩුවට ගිහින් දෙවුන්දර තුඩුවෙන් මතු වෙලා හයිවේ එකේ කොළඹ එන්න පුළුවන්”
සයුරංගනා කඳුළු අතරින් සිනහ වූවා ය.
“ඒ වුණාට මට තාම තනියම යන්න බයයි. මොනා වුණත් අර අක්ක පැත්තකින් ඉන්න නිසා බයක් දැනුන්නෑ ඩ්‍රයිව් කරන්න”
“හරි හරි. අයියත් ආවහම වටයක් ගහල එමු. අද මගෙ ගානෙ ඔයාට ට්‍රීට් එකක් දෙනව. මගෙ යාළුව වුණාට…”
එවර හඬ බිඳී ගියේ පාරමී ගේ ය. ඇස් පවා බොඳ වී ගෙන ආවේ ය. ඒ බොඳ කඳුළු නෙතින් ඇය ලස්සනට සිනහ වූවා ය.
මෝටර් රථයෙහි බෙල්ලන්විල පන්සල් ගොස් බාරයක් වෙන්නට ඔවුහු කතිකා කර ගත්හ. සයුරංගනා හිතුවේ මෝටර් රථය පැදවීම වෙනුවෙන් බාරයක් වෙන්නට ය. නමුත් පාරමී ට ඕනෑ වූයේ යෙහෙළිය ගේ ඉදිරි ගමන වෙනුවෙන් බාරයක් වෙන්නට ය. ආගම ජීවිතයේ අංක එක ලෙස තබා ගන්නා එක කෙනෙකු ගේ යහපත් ගමන වෙනුවෙන් හේතුවක් නම්, අන්ධ භක්තියෙන් යුත් අදූරදර්ශී පිළිවෙතක් නොවේ නම්, ඉන් සිදු වන්නේ යහපතක් ම ය. අන් කවරක් නැත ද වඩා පැහැදුල් හා සන්සුන් වූ සිතකින් ඉදිරියට පිය තැබීමට අවශ්‍ය ශාන්තිදායක හැඟීම ඉන් ජනනය වේ.
පන්සල් යන්නට සයුරංගනා ජයරත්නට ද ආරාධනා කළා ය. නමුත් ඔහු සිනහවකින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
“ඔය ළමයි ගිහින් එන්න. තරුණ ළමයි ටිකක් යන ගමනකට මේ මං වගේ වයස මිනිහෙක් එන එක අනවශ්‍ය කරදරයක්”
“අනේ අප්පච්චි. අප්පච්චි කවදද අපිට කරදරයක් වුණේ…අනික…ගිම්හාන් ළඟ නැති එකේ…එයා වෙනුවෙන් මේ වෙලාවෙ අප්පච්චි ඉන්න ඕනෙ මං ළඟ”
බොහෝ ඇවිටිලි කිරීමෙන් පසු ජයරත්න පන්සල් ගමන සඳහා එකතු වූයේ ය. පෙත් මග පහලට ගොස් ඔහු වට්ටියකට මල් කඩා ගෙන ද ආවේ ය.
මේ ගිම්හාන් නැතිව සයුරංගනා මෙවන් ගමනක් යන ප්‍රථම වතාව ය. හිතේ බරක් තිබිණි. නමුත් ඕ ඒ ඔස්සේ දුරට දිගට හිතන්නට නොයා සිටියා ය. ජීවිතය වූ කලී අතීතය හෝ අනාගතය නොව මේ මොහොත යයි මේ කෙටි ජීවිත කාලය තුළ ඇයට වටහා ගන්නට හැකි වී තිබේ.
තිලකා ආවොත් දෙන්න යයි කියා සයුරංගනා ගෙදර යතුර මල්කාන්ති අත තැබුවා ය.
“බනීද දන්නෙත් නෑ”
මල්කාන්ති එසේ මිමිණුවේ ඇස් වල කෝටි ගණනක් කතන්දර තබා ගෙන ය. සයුරංගනා මඳහසක් පමණක් පෑවා ය. සමහර කතා කිසි දාක වචන වලින් නො කියා ඉන්න එක හොඳ ය. ඒවා හිත් වල ම තියෙන්නට හරිනා එක හොඳ ය.
සයුරංගනා මෝටර් රථයෙහි යතුර ගෙනැවිත් යශෝදර වෙත පෑවා ය.
“මොකටද මට දෙන්නෙ…දැන් ඔයාට ඩ්‍රයිවිං ලයිසන්ස් තියනවනෙ”
ඔහු සිනහ වෙවී කීවේ ය. ඇස් පුංචි කොට නැගූ ඒ සිනහව මොකක්දෝ හේතුවකට හදවතට රිංගා ගොස් හද බිත්ති මත හැපෙනවා සයුරංගනා ට දැනිණ.
“ඔයා ගන්න වාහනේ…මං ඉතිං ළඟින් ඉන්නං හදිස්සියක් වුණොත් කියල”
ඒ වචන නතර වූයේ ආත්මයේ කොතැනක දැයි ඇය ම නො දත්තා ය. සයුරංගනා නො දැනුවත්ව ම ලොකු හුස්මකින් පෙනහලු පිරිණි. ඇය යටි තොල සපා ගෙන රියදුරු අසුනෙහි හිඳ ගත්තා ය. “මං ඉතිං ළඟින් ඉන්නං හදිස්සියක් වුණොත් කියල” යශෝදර ගේ ඒ වචන ඇගේ සවන් තුළ නින්නාද වෙමින් යළි යළිත් ඇසිණ.
යශෝදර ගේ උකුළට එන්නට ම එසඳි ට ඕන වුණේ ය. නමුත් වැඩි ආරක්ෂාව තකා ඇය පිටුපස අසුනේ තබන්නට යශෝදර ට ඕන විය.
“අපි බලමුකො පැටියො. අම්මිගෙ ඩ්‍රයිවින් හොඳනං මං ඔයාව ඉස්සරහට ගන්නං එනකොට…හොඳේ…”
අකමැත්තෙන් නමුත් එසඳි හිස වැනුවේ යශෝදර අංකල් ව විශ්වාස කරන්නට ඇගේ වූ වැඩි කැමැත්ත නිසා ය. ඇය පිටුපස අසුනේ උන් පාරමී ගේත් තෙමිය ගේත් සීයාපාචි ගේත් උකුල් වලට මාරුවෙන් මාරුවෙන් පැන්නා ය.
සයුරංගනා ගේ අවධානය තිබුණේ රිය පැදවීම ගැන විතර ය. සිය ජීවිත වල වගකීම තමන් අතට දී මේ රියට නැග ගත් සියලු දෙනා ගේ ජීවිත ගැන මහා වගකීමක් ඇගේ හිතට දැනිණ. සුළු වැරදීමකට හෝ ඉඩක් නො තබන්නට ඇය උත්සාහ කළා ය. ඉස්සරහා ආසනයේ හිඳ සිටියාට අමුතුවෙන් දෙන්නට උපදෙසක් යශෝදර ට වූයේ නැත. පිටුපස අයගේ කතා බහ හා විහිළු තහළු වලට සම්බන්ධ වෙමින් ඔහු සයුරංගනා ගැන අවධානයෙන් ද සිටියේ ය. ඇය ගැන අමුතු සතුටක් ඔහු ට දැනෙයි. සුවිශේෂ ආඩම්බරයක් දැනෙයි. පුංචි අහිමිවීම් හා කඩා වැටීම් වලදීත් හොටු පෙරාගෙන හඬනා ගැහැනුන් ව ඔහු ඕනෑ තරම් දැක තිබේ. පිරිමින්ගේ අවධානය ඉල්ලනා, අනුකම්පාව යදිනා, සරණ පතනා ගැහැනුන් ව ඔහු දැක තිබේ. ඇය එහෙම නැත. කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී ඇය තමන්ගේ මාවතක් පාදා ගනිමින් සිටින්නී ය. එහි තමන්ගේ ගමනක් යමින් සිටින්නී ය. සැමියා අකාලයේ මිය ගිය ද ළදැරියක සමග ජීවිතයේ අතරමගක තනි වූව ද ඇය වැටි වැටී නැගිටීමේ උත්සාහයක් දරමින් හිඳින්නී ය. අන්න ඒ ස්ත්‍රී ධෛර්යය යශෝදර වසඟයට ගනිමින් තිබේ. ඔහු තුළ පහන් හැඟීමක් ඇති කරවමින් තිබේ. කොහොමත් පිරිමින් ගේ අවධානය යොමු වන්නේත් ඔවුන් ආකර්ෂණය වන්නේත් දක්ෂ ගැහැනුන් වෙතට ය. අත් නො හරිනා ධෛර්යය කියන්නේ ද දක්ෂතාවයේ ම කොටසකි. නමුත් බොහෝ පිරිමින් විවාහ කර ගන්නේ තටු කැපිය හැකි ගැහැනුන්ව බව, සිය විවාහක මිත්‍ර සමූහය ගැන විපරම් කිරීමේ දී යශෝදර ට පෙනී යයි. තමන්ගේ ගැහැනිය ගෙදර බිත්ති අතරට සීමා කොට, සරුංගල සේ ඉහළ අහසේ ඉගිලෙනා ගැහැනුන් දෙස බලා ගෙන බොහෝ පිරිමි උරුහම් බාති!
සැඳෑ ඇඳිරිය හා මුහු වූ කල පන්සල පින්බර ය. බෝපත් සිලි සිලියත්, මුදු සීත පවනත්, මල් සුවඳත්, පහන් වල තෙල් කර වෙනා පුසුඹත්, සුවඳ දුමකින් ශේෂ වූ නානා විධ සුවඳත් එකතු වූ විට පන්සලක් කියන්නේ සුවඳ ගුලාවකි. සයුරංගනා ඒ සුවඳට පන්සල් සුවඳ කියන්නී ය. දිවා කාලයේ හිරු එළිය නිසා රත් වූ සුදු වැලි තලාව සිහිලැල් වෙමින් ගිමන් නිවන්නේ මේ වෙලාවට ය. වැල්ල ආදරයෙන් දෙපා සිපගන්නේ මේ වෙලාවට ය. වැඩිපුර සෙනගක් පන්සල් බිමෙහි නොවූයෙන් ඔවුහු නිදහසේ වැඳ පුදා ගත්හ. එසඳි ට බෝධිය නහවන්නට ඕනෑමයි කීවෙන් යශෝදර ඇය වඩා ගෙන බෝධිය නැහැවූයේ ය. බෝල මූණක්, මල් වට්ටියක් වන් රැලි කොණ්ඩයක්, ලා නිලට හුරු තෙත පාට රවුම් ඇස් දෙකක් ඇති හුරුබුහුටි දැරිය දෙස ඒ වෙලාවේ පන්සල් බිම රැඳී උන් වැඩි දෙනෙකු ගේ නෙතු යොමු වී තිබිණ.
“බබා තාත්ති එක්ක සාදු කියනවද…”
කියා උපාසක මාතාවක් එසඳි ගේ අතක් අල්වා ආදරය පෑවා ය. දැරිය අනිත් අතින් යශෝදර ගේ බෙල්ල බදා ගෙන “අපාචි” යයි කීවා ය.
“ආ…අප්පච්චිද…”
ඒ වෙලාවේ එසඳි ගේ මූණේ තිබුණේ ආඩම්බරකාර සිනහවකි. යශෝදර කිසිදු වෙනසක් නො හඟවා සිටියේ ය. නමුත් සයුරංගනා ගේ හෘත් පේශි වල සංකෝචනයක් සිදු විය. පාරමී හෝ තේමිය හෝ ජයරත්න හෝ එවැන්නක් ඇසුණ බව හෝ නො හඟවා සිටියහ. කොහොමටත් එය පොඩි ළමයෙකු ගේ කතාවකි. බෝ ආදරයෙන් සිටි පියා අහිමි වූ දැරියක ගේ කතාවකි. යශෝදර වෙතින් ඒ පිය සෙනෙහස සොයනා නො දරුවෙකු ගේ අහිංසක කතාවකි!
සුලං වැදෙමින් වැව් තාවුල්ලේ ඇවිදීමෙන් පසු බොජුන් හලකට ගොඩ වී කෑම ඇනවුම් කළේ පාරමී ය. නමුත් ඇයට පෙර යශෝදර මුදල් ගෙව්වේ ය.
“අපි දන්නව කාට පේන්නද ඔය කියල”
පාරමී සොයුරා ගේ කනට කොට රහසින් කීවා ය.
“පිස්සු මේකිට”
ඔහු ගේ දෙතොල් මත්තේ එළියට පනින්නට අවසර නැති සිනහවක් දඟ කළේ ය.
“මං හිතං හිටියෙ මේ ලෝකෙ ඉන්න හොඳම තාත්ත අපේ තාත්ත කියල”
කෑම කන ගමන් තේමිය කතාවක් පටන් ගත්තේ ය. පාරමී ඇස් ලොකු කොට බැලුවේ ඔහු මේ කුමක් කියන්නට යනවා ද කියා ය.
“ඒත් දැං මට හිතෙනව ලෝකෙ ඉන්න හොඳම තාත්ත ගිම්හාන් අයියගෙ අප්පච්චි කියල. රංගනා අක්කටත් අප්පච්චි කෙනෙක් වෙලා මෙහෙම එයා එක්ක ඉන්නවට ඔයාට කොහොම තෑන්ක් කරන්නද කියල හිතා ගන්න බෑ අංකල්”
“අඩෝ පොඩි එකා…මෙන්න මූ…”
පාරමී තේමිය ගේ උරහිස වටා අත දමා ඔහු ව බදා ගත්තා ය.
“එහෙට වෙනවකො. මෙයා එක්ක එළියට ගියොත් කෙල්ලෙක්වත් මගෙ දිහා බලන්නෑ . ඇයි අප්ප…මගෙ කෙල්ල වගේ කොයි වෙලෙත් ඇඟේ එල්ලෙනවනෙ”
තේමිය ඇයව තල්ලු කළේ ය. සයුරංගනා සිනහ වූයේ බොඳ කඳුළු දෑසකිනි. කොයි වෙලේ ඒ කඳුළ ඉනුවාද කියා හෝ ඇය දැන සිටියේ නැත. දිළිසෙන ඇගේ ඇස් දෙස වෙන කාගේවත් ඇස් වලට රහසින් කෙනෙකු බලා ගෙන සිටියේ ය. ඒ එසඳි උකුල මත තබා ගෙන උන් යශෝදර ය.
💜️ඔබේ ආදරය වචනයක් ලෙස හෝ හදවත් සලකුණක් ලෙස හෝ ඇඟිලි සලකුණක් ලෙස හෝ තබා ගොස් මගේ හැන්දෑ වරුව සතුටෙන් පුරවනා ඔබට ආදරණීය ස්තූතිය!