මන්දාරම් හැන්දෑවක -17

මේඝා අප්‍රමාණ සතුටක් හිත දරා හුන්නේ අහම්බයකින් පෙර පාසල් ගුරුතුමියක වීමට ලැබීම නිසා ය. අගනුවරට තදාසන්නයේ පිහිටි නම් දැරූ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් ජාලයේ ගුරුවරියක වීම සහ මේ ගම්මානයේ ළදරු පාසල් පාලිකාව වීම එකිනෙකට වෙනස් බව ඇය දැන හුන්නා ය.එහෙත් ඈ සිටියේ ඒ දරුවන් දෝතින් වැළඳ ගන්නට මඟ බලමිනි.සුදු තීන්ත පිරියම් කළ බිත්ති අතර දරුවන්ට ගැළපෙන ලෝකයක් මවා දුරුතු මාසයේ ඒ බිමේ පිපෙන්නට නියමිත කුඩා මල් කැකුළු වලට ජීවය උතුරා යන පෙර පාසලක් තනන්නට මේඝාට ඕනෑ විය.වගකියයුතු රාජ්‍ය නිලධාරිනියක වූ මාධවී මේඝාට සහයෝගය ලබා දෙන්නට කැප වූයේ ඈ තමන්ගේ නැගණිය නිසා ම නොවේ. මේ ගැමි දරුවන්ට හොඳම දේ දෙන්නට මේඝා කැපවන බවට තිබූ විශ්වාසය නිසා ය.

බිනර සරසවියේ කටයුතු සමඟ කාර්යබහුල වූව ද මේඝා අසල රැඳෙන්නට අමතක කළේ නැත. හොඳ යාළුවෙකුට හදවත නිවා සනහන ඖෂධයක් විය හැකි බව මේඝාට ඉගැන්වූයේ බිනර ය.

“මං හිතුවා අක්කා මගේ නෑනා වෙයි කියල.. අපේ අයියා හැමතිස්සෙම ලොක්කම්මලගෙ ගෙදර එද්දී…”

වරුණගෙන් පාඩමක් අසා ගන්නට පැමිණ යන්නට පෙර නිකිණි පෙරදා සවස් වරුවක කී අන්දම සිහි වී මේඝාගේ මුව මත සිහින් සිනාවක් ඇදී මැකී ගියේ ය.

“මං හිටියේ හුඟක් දේවල් එපා වෙලානෙ නංගියා.බිනර මට ආදරේ කරන්න පටන් ගත්තනම් මාව තවත් අවුල් වෙන්න තිබ්බා. හොඳ යාළුකමක් කියන්නේ ආදරේකටත් වඩා ශක්තිමත් බැඳීමකට.මං සතුටින් ඉන්න ඇත්තම හේතුව ඔයාගෙ අයියා. එයා වගේ හොඳ යාළුවෙක් ඇත්තටම හැම කෙනෙක්ටම ලැබෙන්න ඕන..”

නිකිණි අසා හිඳිද්දී මේඝා පැවසුවා ය.

“කිසිම රහසක් හංගන්නේ නැතුව කියන්න පුළුවං තමන්ව පොඩ්ඩක්වත් ජජ් කරන්නේ නෑ කියලා බය හිතෙන් නැති යාලුවෙක් ලැබෙන එක ඇත්තටම වාසනාවක්..”

මේඝා නිකිණිට එසේ පැවසුවේ බිනර ගැන උපන් සැබෑ සෙනෙහසිනි.දවසක්වත් ඔහු නොදැක ගෙවීම අසීරු තරමට මේඝා බිනරට බැඳී සිටියා ය. ඇය තමන්ට සියල්ල නොසඟවා කියන බවත් ඇය යළි හිනැහෙන්නට තමන් සැබෑවටම හේතුවක් බවත් බිනර ද දැන සිටියේ ය.

“ඒ වෙච්ච දේ හින්දා මේඝා ඩිප්‍රෙස් නොවී බේරුණ එක මට අදටත් මිරකල් එකක්.. සමහරවිට එයා ටක් ගාලා ඒ සිද්දියෙන් අයින් වුණු නිසා වෙන්නත් ඇති. හැබැයි ඒ ළමයට ඩිප්‍රෙස් වෙන්න නොදී ගලවා ගත්තු ක්‍රෙඩිට් එක නම් සම්පූර්ණයෙන් අයිති මල්ලි උඹට..”

දිනිඳු දිනක් එසේ පවසද්දී බිනර මහත් සැනසීමකට පැමිණියේ ය.ඔහුගේ ලෝකයේ නිකිණිටත් මේඝාටත් සඳලිටත් වෙන් වෙන් ව තැන් තිබිණ.මේ ගැහැනු දරුවන් තිදෙනාට ම හැඬීමට හෝ කම්පිත වීමට කිසිම හේතුවකට ඉඩ නොදිය යුතු බව බිනර තරයේ විශ්වාස කළේ ය.ඒ නිසා ම ඔහු සෑම විටෙකම කෙල්ලන් තිදෙනා ට සොයා දුන්නේ සිනාවය;සැනසීම ය.ප්‍රේමවන්තයෙකු ද සහෝදරයෙකු ද මිතුරෙකු ද ලෙස තමන් ඉතා සාර්ථක බව දැනෙද්දී බිනර සෑම මොහොතක් ම ගෙවූයේ සතුටිනි.

අක්කා සහ අයියාගේ ද බිනරගේ ද අගය කිරීම් නිසා ප්‍රසිද්ධියේ සතුටට පත් වූ නමුදු මේඝා රහසින් තවත් අගය කිරීමක් අපේක්ෂා කළා ය. හදවත කුමක්දෝ නොපැහැදිලි බලාපොරොත්තුවක දැවටී ගන්නවා ඇයට නොදැනුණා නොවේ. නමුත් ඇය ඒ රහස බිනර ට ද නොකියා ආරක්ෂා කරන්නට වෙර ගත්තේ ය. ඒකපාර්ශ්වික ප්‍රේමයක රහස් සතුටකින් මේඝා පිරී යමින් තිබිණ.සෑම උදෑසනකම ඇගේ ඇස් පාර බලන්නේ ඉනුලි දකින්නට යැයි ද හවස් යාමයේ හදවතට දැනෙන පාළුව ඉනුලිගේ නික්ම යාම නිසා දැනෙන පාළුව යැයි ද පිළි ගන්නට ඇය හදවතට නිරන්තරයෙන් තරවටු කළා ය. එහෙත් හදවත ඇය කියන දෑ අසන්නට සූදානම් වූයේ නැත.

නිහඬ නමුත් දීප්තිමත් සිනාවක් ඇති අතීත වේදනා නිසා නළල රැළි ගන්වා කල්පනාකාරීව හිඳින තරුණ වෛද්‍යවරයාට තමන් මේ තරමට ආසක්ත වීමට හේතුව සිතා ගත නොහැකිව මේඝා දසඅතේ කල්පනා කළා ය. ඔහු සෑහෙන දුරකට ජනිඳුගේ හැඩරුව දැරීම මේ ප්‍රේමයට හේතුවදැයි සිතද්දී ඇයට ඒ හැඟීම එතැනම නවතා ගන්නට සිතිණ.

කෙනෙකුට ආදරය කරද්දී ඒ බව අනෙකා දැන සිටිය ද නැති වුව ද ලෝකයම සුන්දරව පෙනෙන බව මේඝාට වැටහී යමින් තිබිණ. වැව් දියේ හැපී විත් කම්මුලක වැදෙන සුළඟ පවා සිනාසෙන්නට හේතු මැවීම ගැන මේඝාට දැනුණේ පුදුමයකි.ජනිඳුට ප්‍රේම කරන කාලයේ අහස ද පොළොව ද ගහකොළ ද හැමදෙයක් ම මෙතරම් හැඩ වී නොපෙනුණු බව ඇය සිහි කළා ය. එහෙත් දියණිය හදාවඩාගෙන තනිව ජීවිතය ගෙවන්නට සිතන වෛද්‍යවරයාට තමාව ජීවිතයට අලවා ගැනීම නුවුමනා වග ඇය විශ්වාස කළා ය.ඔහු අමාරුම කාලය ගෙවා අවසන් ය.දැන් ඔහුට බිරිඳක්වත් පෙම්වතියක්වත් අවශ්‍ය නොවනු ඇත.අනෙක් කාරණාව එවැන්නක් අවශ්‍ය වුවත් තමන් වැනි කළු පැල්ලම් තවරා ගත් කෙල්ලක්ගෙන් ඔහුට ඇති ඵලයක් තිබේදැයි මේඝා සිතුවා ය.

එහෙත් ඒ සිතුවිලි ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමයට හානි කරන්නට සමත් වූයේ නැත. ඇය නොනවත්වාම ඔහුට පෙම් කරමින් සිටියා ය.

බිනර සිටියේ ගැටලුවක ය.හවස් යාමයේ තාරුකා දුන් ඇමතුම ඔහුව සසල කර තිබිණ.කළ යුතු දේ ගැන සිතමින් සිටි බිනර දිනිඳුව හමු වන්නට ගියේ රාත්‍රියේ ය.කුඩා ඉනුලිගේ සෙල්ලම් වලට මැදි නොවී දිනිඳු සමඟ කතාවක යෙදෙන්නට ඔහුට ඕනෑ වී තිබිණ.මෙය වඩා හොඳින් විසඳීමට දිනිඳුට හැකි වෙතැයි බිනරට විශ්වාසයක් තිබිණ.

“දිනිඳු අයියේ, ඔයා අහල තියනවද ලෝයර් නිමාෂා සල්වතුර ගැන.. විමෙන් රයිට්ස් ගැන කතා කරන කෙනා..”

එදිනෙදා කතාබහක යෙදී සිට එක්වරම බිනර එසේ අසද්දී ඔහුට කිසිවක් නොසඟවන්නට දිනිඳු ඉටා ගත්තේ ය.බිනරට නිමාෂා සිහි වීමට හේතුවක් පවා ඔහුට අනුමාන කළ හැකි විය.

“මං එයාව ඉපදුණු දවසෙ ඉඳන් දන්නව බිනර.. ඒ අපේ අම්මගෙ මල්ලිගෙ දුව.නිමාෂා ළමයි වෙනුවෙන් කරන දේවල්වලදි එයාට උදව් කරන වසන්ති සල්වතුර කියන්නේ මගෙ අම්මට..”

බිනර නිහඬව මඳ වෙලාවක් සිටියේ ය. ගැහැනුන් සහ දියණියන් වෙනුවෙන් පෙනී සිටින මවකගේ බාල පුතු වැනසූ ජීවිතයක් ගැන හොඳින් දැන සිටීම ඔහුට පීඩාකාරි හැඟීමක් විය.මේ ගම්මානයේ මිනිසුන් වෙනුවෙන් කැප ව සිටින වෛද්‍යවරයා නම් රූපවාහිනියේ සහ පුවත්පත් වල නිතරම දකින සමාජ සේවිකාවගේ පුතු බවට සැකයක් නැත.එහෙත් ජනිඳු වැන්නෙකු යහමඟට ගන්නට ඇයට නොහැකි වූ කාරණාව බිනර සිතන්නට ගත්තේ ය.

“ජනිඳුට නඩුවක් දාන්න නිමාෂාව කන්ටැක් කරමු කියනවද මේඝා? “

දිනිඳු ඇසුවේ ය.මේඝා ජනිඳුගෙන් සඟවන්නට හදවතට දැනෙන ඕනෑකම නොවන්නට කළ යුතු වන්නේ ද එය බව ඔහු ද දැන සිටියේ ය.

“නෑ අයියේ,මේඝාගෙ යාළුවා මට කතා කරනවනෙ.. අද දවල් ඒ ළමයා මීට් වෙන්න සල්වතුර මැඩම් ඇවිල්ලා.. තාරුගෙන් ඉල්ලලා මේඝා හොයල දෙන්න කියල..”

බිනර ඉතිරිය නොකියා මඳක් තාවර වූයේ ය.නිමාෂා මහත්මිය මේඝාව සෙවීම දිනිඳුට කම්පනයක් නොවන බව බිනර විශ්වාස කළේ ය.නමුත් අනෙක් ආරංචිය ඔහු වේදනාවට පත් කරන්නක් බව බිනර සිතුවේ ය.

“එයා එක්ක අයියගෙ ලොකු මල්ලිත් හිටියාලු..එයාත් මේඝා හොයනවා..ජනිඳුට ඇක්ෂන් එකක් ගන්න. ඒක එච්චර නෝමල් නැති කතාවක් නිසා තාරුකා බය වෙලා.. මගෙන් කරන දේ ඇහුවා..”

දිනිඳු කල්පනාවට වැටුණේ ය. ජනිඳුට එරෙහිව සටන් කරන්නට ආ තරිඳු තමන්ව නොසොයා හිඳින්නට ඉඩක් නැත.එහෙත් කුඩා ඉනුලි ද රැගෙන වීරසේකර මැදුර පළාතක යන්නට දිනිඳුට අවැසි නොවී ය.යථාවක් වීමට ඉඩක් නැති අනාගතය සිහිනයක් ගැන රහසින් සිතමින් සිටි ඔහුට ගෙදර දුර වන තරමට යහපත් බව සිතිණි.

“මොකද අයියෙ කරන්නෙ? නොකියා ඉමු නේද? සල්වතුර මැඩම්ලා හොඳ උනාට මේඝාගෙ තුවාල ආයෙ පෑරෙනවට මං ආස නෑ..”

බිනරගේ හඬ දිනිඳු ව පියවි ලෝකයට රැගෙන ආවේ ය

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles