කදෝකිමි ඇස් -45

0
3397
කදෝකිමි ඇස්

ආරණ්‍යා කදෝකිමියන් වසා හිඳින සේපාලිකා ගස වෙත ඇස අලවාගෙන සිටියදී මේඝ ඈ ඇමතී ය.ආරණ්‍යා සිටියේ ඒ ඇමතුම පැමිණෙන තෙක් ය.ඇයට ඔහුගේ හඬ අසන්නට ඕනෑ විය.ප්‍රේමය එබඳු බව ඇය දැන සිටියා ය.හඬ ඇසෙන ඇසට ඇස ගැටෙන දුරකින් ප්‍රේමය රැඳේනම් යුවතියකට ඉන් එහා සතුටක් නොවේ.ආරණ්‍යා මේ විඳිමින් සිටියේ ඒ හැඟීම ය.

“අම්මාගෙන් පරණ දේවල් ඇහුවෙ නෑ නේද?”

ඔහු මුලින්ම ඇසුවේ ඒ ප්‍රශ්නය ය.ආරණ්‍යා කිසිවක්ම නොකියා හුන්නා ය.ඒ අතීතය හාරාවුස්සා බැලීම අම්මාට යහපතක් ගෙනෙන කාරණාවක් නොවේ.ඈ රිදවන කාරණාවක් පමණි.අම්මා ලෝකය ගැන එතරම් නොවැටහෙන කෙල්ලක වී විශාල උගුලක පැටලී තියේ.ඒ උගුලේ සමහර රැහැන් අදට ද ඈ වෙළාගෙන ඇති බව පමණක්ම ආරණ්‍යා දන්නී ය.

“මට වෙන ප්‍රශ්නයක් තියනවා අහන්න..”

මේඝ අසන්නට සැරසෙන්නේ ඔහුට දැන් සැබෑ ගැටලුවක වූ කතාවකි.මේකලා ලියූ සමහර දෑ අතරින් ද ඇය සහභාගී වැඩසටහන් අතරින් ද ඒ ප්‍රශ්නයට සැබෑ පිළිතුර සොයා ගන්නට මේඝට හැකි නොවී ය.ඒ නිසා ඒ ගැන අසන්නට ඔහුට සිතිණ.

“මේකලා ආන්ටියි ඔයාගේ අප්පච්චියි මැරි කරලා තියෙන්නෙ අෆෙයා එකකින්ද?”

ඒ ආදර විවාහයක් බව පමණක් ම ආරණ්‍යා දන්නී ය.ආදර කතා ලියන ආදරය ගැන කතා කරන අම්මා බිඳුණු ප්‍රේමය ගැන මිස පවතින ප්‍රේමය ගැන එතරමට කතා කරන්නට නොකැමති බව පමණක් ආරණ්‍යා දන්නී ය.

“අප්පච්චි අම්මට ආදරෙයි.ඒ නිසා එයාලා මැරි කරන්න ඇති.”

අම්මාත් අප්පච්චිත් අතර පවතින බැඳීම ගැන කියන්නට වෙනත් නිර්වචනයක් ආරණ්‍යාට නොවේ.ඔවුන් අතර කිසිම ගැටුමක් නොවේ.අම්මාත් තාත්තාත් අතර ඇති රණ්ඩු ගැන කියමින් හඬන පාසල් මිතුරියන් ඇයට අනන්තවත් හිඳ තිබේ.කිසිම ගැටුමක් හෝ මතවාදයකින් තොරව ජීවිතය පවත්වාගෙන යන අම්මා සහ අප්පච්චි ගැන ආරණ්‍යාට විශාල ආදරයක් සහ ගෞරවයක් දැනෙන්නේ එවැනි තැනකදී ය.නමුත් ඔවුන් ආදරයෙන් දැයි ඇයට සැක ය.අප්පච්චි අම්මාට මහත් සේ ආදරය කළ ද අම්මා එවැනි ආදරයක් ඔහුට නැති බව ද ඇයට විශ්වාස ය.

“ආදරේ නැති ජීවිත කියන්නේ කාන්තාරවලට ආරණ්‍යා.අපේ අම්මා එහෙම ජීවිතයක් ගෙව්වට එයාට ඒ ජීවිතේ බරපතලවත් තේරෙන් නෑ.එයාට ඒකයි මාවත් නේහාට පටලවන්න ඕනෑ වුණේ.”

ආරණ්‍යාට මේ නිවහන කාන්තාරයක් සේ නොදැනේ.එහෙත් අම්මාගේ ජීවිතය තුළ මොකක්දෝ අඩුවක් තිබේ.ඒ අඩුව ඇගේ ජීවිතය තුළ සුව නොවන රිදුමක් ඇති කරන්නට සමත් වූ බව දන්නා නිසාම ආරණ්‍යා ආදරයට බිය වූවා ය.

“මට ඔයාගෙන් අහන්න ලොකු ප්‍රශ්නයක් තියනවා.ඒ ලොකු කතාව කියන්න කලින් ඊට වඩා ලොකු කතාවක් කියන්න ඕන.මොකද ඔයාගෙන් උත්තරයක් ඕනෑ ප්‍රශ්නයක් අහන්න කලින් මං ඒ ලොකු කතාව ඔයාට කියන්න ඕනෑ.”

මේඝගේ හඬ තරමකට බිඳෙමින් ඇති බව ආරණ්‍යාට දැනෙයි.එයට හේතුව ඇයට සැකසහිත ය.එහෙත් ආරණ්‍යාට වැඩි වෙලාවක් දැවෙන්නට ඉඩ නොතබා මේඝ කතා කළේ ය.

“මගේ අම්මා පහුගිය දවස් ටිකේම ටිකක් අසනීපෙන් හිටියා.අපිට නොකියාත් එයා අසනීපෙන් ඉඳලා තියනවා.දුවෙක් නැති ගෙයක්නෙ නංගි අපේ ගෙදර.අම්මාට පුතෙක්ට කියන්න බෑ කියලා හිතුණු අමාරුකම් තියෙන්නත් ඇති.”

මේඝව තරයේ වැළඳ ගන්නට තරම් උවමනාවක් ආරණ්‍යාට ඇති විණ.ඔහු කියන්නට යන්නේ මොනතරම් බරපතල කතාවක්දැයි ආරණ්‍යා නොදන්නී ය.නමුත් එය පුතෙකුට කියන්නට බැරි තරමට වේදනාවක් බව ඇයට සිතේ.

“රිපෝට්ස් ඇවිල්ලා තියෙන්නෙ.එයාට කැන්සර් එකක්.”

ගර්භාෂ පිළිකාවක අසීරු අන්තයක හිඳින අම්මා ගැන කියද්දී මේඝට කඳුළු උදව් දෙන බව ආරණ්‍යාට වැටහේ.ගහට පොත්ත මෙන් සමීප වුවත් ඒ ඔහුගේ අම්මා ය.අම්මා අවදානම් රෝගයකින් පීඩා විඳින බව දැන ගැනීම ම පුතෙකුට මානසිකව ඇද වැටෙන්නට හේතුවකි.ආරණ්‍යා මේඝගේ හිත හදන්නට වචන සෙවූවා ය.

“දැන් වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුද අයියෙ.කොච්චර නම් දියුණුද? අනිත් එක වෙන රටකට වුණත් ආන්ටි එක්ක යන්න තරමට හයියක් ඔයාලට තියනවනෙ.ඉතින් මොකටද බය වෙන්නෙ.එයා ඉක්මනින්ම සනීප වෙයි.”

එය පවසනා තරම් යථාවක් කර ගන්නට අසීරු බව දැන දැනම ආරණ්‍යා එසේ පැවසුවා ය.

“මගේ ප්‍රශ්නෙ!”

මේඝට කියන්නට තවත් කාරණාවක් තිබිණ.නමුත් ආරණ්‍යාට මෙවෙලෙහි එය අසන්නට සිත නොදේ.අනාගතය ගැන දුටු සුබ සිහිනය හරස් කරන්නට ලක්ෂිගේ අසනීපය සමත්ව තිබේ.ඉතා වැදගත් ජීවන සිහිනයක් සහ අම්මාගේ ජීවිතය අතරින් යමක් තෝරා ගන්නට මේඝට සිදු වුවහොත්?

ඔහු පැකිලීමක් නැතිව අම්මාව තෝරා ගන්නට ඉඩ ඇති බව ආරණ්‍යා සිතුවා ය.උපන්ගෙයිම මිය ගිය ප්‍රථම ප්‍රේමයක සිහිනය වෙනුවෙන් හඬන්නට දුරකථනය විසන්ධි කර දමන්නට ඇයට ඕනෑ විය.අම්මා මහේන් සේනාධීරට වසර පහ හයක්ම ආදරය කර එහි වේදනාව තවමත් සිත දරා හිඳින්නී ය.නමුත් මේඝ සේනාධීර හඳුනාගෙන තවමත් වැඩි දවසක් නොවේ.එහෙත් අම්මා තරමට ම වේදනාවක් තමන්ට ද උහුලන්නට වන බව ආරණ්‍යා සිතුවා ය.

අතීතය නැවත නැවතත් වෙනස් ස්වරූප වලින් සිදු වේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here