ඔබෙ ආදරෙන් මා දැවේ – 2

0
1903

“ඔය කසාදෙ කරගන්නම ඕන කියලා පොළොවෙ හැපෙද්දිම මායි තාත්තයි කොච්චර නම් කිව්වද? ඇහුවද ඇහුවද අපි කියන දෙයක්? අපි කිව්වා ඔයා වැඩිමල් සහෝදරී විදියට කරන දේවල් දිහා බලලා තමයි නංගිත් හැදෙන්නෙ ඒ හන්දම අපි කියන දේ අහන්නෙ කියලා. මොනවද ඔයා ඒ වෙලාවෙ කිව්වේ, ආදරේ තෝරගන්න එක වැරදිද? සල්ලි, තත්ත්වෙ, හරිහමං රස්සාවක් කියන්නෙ ඕන වෙලාවක හොයාගන්න පුලුවන් දෙයක්, ආදරේ එහෙමද කියල කොච්චර අපිට නං දේවල් කියලා දෙන්න ආවද? 

මේ අවුරුදු තිස් ගානක් පවුල් කාපු මටයි තාත්තටයි කසාද ජීවිතෙයි ආදරෙයි ගැන කියලා දෙන්න මොකෝ ඔය ළමයි ඒවයින් උපාධි අරගෙනද? අපි ඔයාලා තරම් ඉගෙන ගෙන නැති විත්තිය ඇත්ත ජාන්වියො. හැබැයි මතක තියාගනිං ඔය ගත්ත හැම සහතිකෙටම වඩා වටිනවා අපි මේ මෙච්චර කාලයක් ජීවත්වෙලා ඉගෙන ගත්තුවා. උඹලා ඒවට ඇහුන්කන් දෙන්න ලෑස්ති නොවුනට” කියා  අම්මා කියාගෙන කියාගෙන යද්දිත් ජාන්වි උන්නේ සෙටියේ ඇන්දට හිස තබාගෙන කල්පනා කරමිනි. ඒ වෙද්දී කඳුලු වේලී තිබ්බ නමුත් කම්මුල් වල ඇලෙන සුළු බවත්, දෙතොලේ තැවරී තිබුණ ලුණු රසත් ජාන්විව ආයෙ ආයෙමත් මලිත් සහ වර්තමාන මොහොත වෙත දෝලනය කරන්නට හේතු විය.

“ඇයි ළමයො දැන් මේ කසාද බැඳපු මාස ගාණට කී වතාවක් නම් ඔය ළමයා මෙහෙම අඬා දොඩාගෙන ගෙදර ආවද? මිනිස්සු උනත් දකිද්දි මොනවද කියන්නකො හිතන්නෙ? අනික මේ වැස්සෙ තෙමීගෙන… චිත්‍රපටියක් කියලා හිතාගෙනනෙ ඉන්නෙ මේ ගොල්ලො මේ ජීවිතේ. කැම්පස් එකේ මොකද්ද සංගීත තරගෙකට ආව වෙලේ ඔය කොල්ලව පටලව ගෙන කියලා දැනගත්ත ගමන්මයි මං කිව්වේ ඕක නම් හරියන එකක් නෙවෙයි කියලා. ඇහුවද ඇහුවද? අපි දෙන අවවාදයක් උපදේසයක් අහන තැනක නෙවි ඉඳියෙ. මහ අම්මණ්ඩිලා කියලනෙ හිතන් උන්නෙ ඒ කාලේ. මං ඒ කාලෙත් කිව්වා ඔය කොණ්ඩෙ පාට කරන්, කණේ කරාබු දාන් සිංදු කියන්න යන මනුස්සයෙක් හරියනවද කියලා මේ හෙටානිද්ද උපාධියක් ගන්න ඉන්න ළමේක්ට? ඇහුවෙ නෑ ඒ කාලෙ. දැන් එනවා මෙතන අඬා වැළපීගෙන” කියන ගමන් ජාන්වීගේ අම්මා වුණ මනෝරමා සෙටියේ වාඩි වී පැයක් තිස්සේ අණමින් උන් බත් කට තවදුරටත් ඇණුවාය. “ඒ බත් කට නම් දැන් බල්ලෙක්ටවත් කන්න හැටියක් නෑ” කියා හිතුවේ ඒ සෙටියේම එහා කෙළවරේ වාඩි වී අම්මාත් දුවත් දිහාව මාරුවෙන් මාරුවට බලාගෙන උන්නු ජාන්වීගේ තාත්තා වෙච්ච අනිල් ය. අනිල් ධර්මවර්ධන රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ඇස් දෙක වගේ ඉන්න කෙල්ලො දෙන්නාට උගන්නා උන් දෙන්නාව කසාද බන්දලා දුන්නයින් පස්සේය. ලොකු කෙල්ල වුණු ජාන්වී විශ්ව විද්‍යාලේ ගොස් උපාධියක් ගෙන අනතුරුව ලංකාවේ ඉහළම පෙළේ රැකියාවකට ගියයින් පස්සෙවත් කැම්පස් යන කාලෙ පටලවගත්ත සම්බන්ධෙන් ගැලවේවි යැයි  නිහඬ සිතුවිල්ලක් හිත කෙළවර තිබිච්ච බව ධර්මවර්ධන මහත්තයා අදටත් මතක් කරන්නේ එක්තරා දුකකිනි.

“අපි අකමැති උනා කියලා අවුරුදු හතර පහක සම්බන්ධයක් තිබ්බ ළමයි දෙන්නට අපි හන්දා ඒ සම්බන්ධෙ කඩාකප්පල් කරගන්න කියලා අපිට කියන්න බෑනෙ මනෝ. කියන්න පුලුවන් උනත් එහෙම කියන එක වැරදියි. අනික සමහරවිට ඒ මලිත්ගෙ අපිට නොපෙනෙන මොකක් හරි දෙයක් ලොක්කිට පේන හන්දා වෙන්නැති නෙව ඔච්චරටම ඒකම කරගන්න ඕන කියලා නහින්නෙ. අපි හිතුවට ඔය කසාදයක් බඳිද්දි ඒ කොල්ලට හරිහමං ඔෆිස් එකක කරන රස්සාවක් තියෙන්න ඕන කියලා දැන් කාලෙ ළමයි හිතන්නෙ අපි හිතන විදියට නෙවෙයිනෙ. අනික දැන් කාලෙ ඔය දොස්තරලට වඩා හම්බ කරනවා ඔය සින්දු කියන, රඟපාන හාදයො හම්බ කරනවා” කියා එදා තමා වේදනාව, සැකය, බය හිත කෙළවරක සඟවාගෙන කිව්වද අද ඒ සියලු බිය සැකයන් ජීවමාන වී තමන් ඉදිරියෙ පේන්න තියෙන බව වටහාගත්තාය.

“දැන් ඔය අතීතෙ වෙච්ච දේවල් කතාකරලා වැඩක් නෑ නේද මනෝ? ලොක්කිට අද මෙහෙ නිදියන්න කාමරේ සූදනම් කරලා දෙන්න” කියා අම්මාගේ ඇණුම් බැණුම් වලින් තමාව බේරගනු පිණිස සුපුරුදු පරිදි තාත්තා අඩියක් ඉස්සරහට තිබ්බද ජාන්වී උන්නේ අතීත මතක අස්සේ ගිලී ය. ඒ අතීත මතක අස්සෙත් මලිත් එක්ක තමන් සන්තෝසයෙන් උන් අවස්තා ගණන අතේ ඇඟිලිවලින් ගණන් කරන්නට පුලුවන් නේද කියන එක ජාන්වි කල්පනා කරාය.

මලිත් එක රැයක් ගෙදර උන් අවස්තාවක් තමන්ට මතක නැති බවත් ජාන්විට ඒ අස්සේම කල්පනා උනාය. මලිත්ගේ ජීවිතේ කොහොමත් තිබුණේ ගෙදරින් පිට බව තමන් ඔහු සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගත් කාලයේ දැන උන්නද “කසාද බැන්දට පස්සෙ මලිත් වෙනස් වෙයි” කියා හිතපු එකම තමන් කරගත් වරදක් බව ජාන්විට තේරෙන්නෙ දැන් ය.

විශ්ව විද්‍යාලයේ කලා පීඨය විසින් සංවිධානය කරන ලද සංගීත වැඩසටහනක විනිසුරුවරයා ලෙස ඒ දිනවත් නැගී එන කඩවසම් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ මලිත් මංචනායක එන බව දැනගත්තයින් පසු විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල කෙල්ලන්ට හැදුනේ එකම එක උන්මාදයකි.

“අම්මටසිරි මචංලා, මලිත් මංචනායකව ඇස් දෙකට දකින්න එහෙනම් අපිට චාන්ස් එකක් ආව නේද?” කියා යාලුවො කියවද්දී ජාන්විත් ඒ කතාබහට එක්වුනේ අවුරුදු ගානක් තිස්සේ මලිත්ව දැන උන්නාක් මෙනි.

“මලිත්ගෙ සින්දු වලටත් වඩා මම නම් ආසම අනේ එයා ෆේස්බුක් එකේ ලියන වදන් වලට. ඒවයි පුදුම ලස්සනක් තිබ්බේ”

“ඔව් අනේ, මතකද අර එයා රැඩිකල් ප්‍රේමය කියලා ලියලා තිබ්බා. මං ආසම ඒකට අනේ” කියා කෙල්ලන් කියවද්දිත් ඒ රැඩිකල් ප්‍රේමය ගැන මලිත් මංචනායක ලිව්ව වචන වලට වහ වැටි තමන් ඔහුට ලියා යැව්ව පිළිතුරු වදන් පෙළ ජාන්විට තවමත් අමතක නැත.

“ආදරය කියන්නේ සිරගෙදරක් නොවෙයි, සීමා බන්ධන නැති අහසක්. සාම්ප්‍රදායික දම්වැල්වලින් මිදිලා, හදවතේ රිද්මයට අනුව පිබිදෙන, නිදහස් ආත්ම දෙකක සොඳුරු නර්තනයක්.” යැයි එදා මලිත් ලිව් වදන් වලට වහ වැටුණද, ඔහු සතුව ඇති ඒ රැඩිකල් ප්‍රේමයට වහ වැටුණද හිමිකරගත්තයින් පසුව ඒ ආදරය තමන් හිතූ විදියේ ආදරයක් නොවන බවත් ඒ රැඩිකල් බව ෆේස්බුක් එකේ දකින වචන අස්සේ සුන්දරව පෙනුනද තමන්ට විඳ දරාගන්නට අපහසු පරාසයක රැඩිකල් ප්‍රේමයක් බවද ජාන්විට වැටහුනේ මලිත් ගේ ආදරය හිමිකරගත් පසුවය. නැතිනම් හිමිකරගත්තා යැයි තමා සිතුවායින් පසුවය.

“ඔයාලා හිතන විදියට ඔය මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ ළමයො ගෑනු කියන කියන හැටියට. මෝඩ නොවී ඔය සම්බන්ධෙන් ගැලවෙන්න. පස්සෙන් පහු තව ඔයාට ඕකෙන් ගැලවෙන්න කොහොමවත් ඉඩක් හම්බුවෙන්නෙ නෑ. අනික හරියාකාරව ගෑනුන්ට ආදරේ කරන මනුස්සයෙක් කවදාවත් කෙල්ලෙක්ට කතා කරනවද කසාද බඳින්නෙ නැතුව එකට ජීවත් වෙන්න” කියා අම්මා පිණ්සේන්ඩු වෙද්දිත් තමන් හිතුවේ එකම එක දේකි.

“මං එයාව කොහොමහරි බඳින්න කැමති කරවගන්නවා, බැන්දට පස්සෙ එයා වෙනස් වෙයි” කියා තමන් එදා මලිත් ගැන හිතුව දේ කිසිදාක සැබෑ නොවන දෙයක් බව මතක් වෙද්දී ජාන්වී කරේ ආයෙමත් හුස්මක් හෙලන එකය.

රැඩිකල් ආදරය කිසිදු වරදක් නොවුණත්, එය අප සෑම දෙනාටම පහසුවෙන් ජීවිතයට අනුගත කරගත හැකි දෙයක් නොවන බව ජාන්වි අවසානයේ තේරුම් ගත්තාය.

ඒත් ඒ වෙද්දීත් ජාන්වි උන්නේ රැඩිකල් ප්‍රේමවන්තයකුට වහවැටී, ඔහු ඔහුගේ ඒ රැඩිකල් ආදරය අස්සේ තමන්ට විතරක් ඔහුව අයිතිකරගන්නට බැරි බව බිඳෙන් බිඳ වටහා ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here