සන්තාන සුසුම් සර – 15

0
4766

රයන් ගේ සිනහව නො කඩවා පිළිරැව් නැගුණි. අස්විද ඔහු දෙස බලා සිටියේ නො සන්සුන් බැල්මකිනි.

‘ඒ කියන්නෙ උඹ ඒකිට පීට්සා ගෙන්නුව’

ඔහු නැවත ද කොක් හඬලා හිනැහෙන්නට පටන් ගත්තේ ය. නවත්වමින් නැවත නැවත ද සිනහ වූයේ ය.

‘කබල් ස්කූටරයක් වගේ හිනාවෙන එක නතර කරපං බූරුවො. මං යසස්විට විතරක් ගෙන්නුව නෙවෙයි. ගෙදර හැමෝටම කන්නයි ගෙන්නුවෙ’

‘හරි හරි. හැබැයි පීට්සා හට් යන්න ඕන කියල කිව්වෙ ඒකිනෙ. නැත්තං උඹට තිබ්බනෙ අර නිලූ කෙල්ල කැමති විදිහට ඩිනර් අවුට් එකකට යන්න… එහෙම නොකර උඹ පීට්සාම ගෙන්නුවෙ යසස්වි කැමතියි කියල කියපු නිසානෙ’

‘මගුලක් කතාකරනව. පීසා ඉතිං අම්මලට වුණත් නිතර කැවෙන්නෙ නෑනෙ. බත්නං හැමදාම කන එකනෙ. මං එහෙමයි හිතුවෙ’

‘මගේ පුංචි රෝස මලේ… මමයි නුඹේ වියපත් බඹරා’

‘අඩෝ අඩෝ රයන් මේ…’

චමත්කාරයක් අස්විද සූරියබණ්ඩාර ගේ හදවතෙහි දේදුනු වර්ණ සිත්තම් මැව්වේ ය. නමුත් එය ඒ ලෙස පිළිගන්නට ඔහු ට ඕනෑ වූයේ නැත. ඇතැම් විට ඇත්තට ඇති සැටියෙන් මුහුණ දෙනවාට වැඩිය, ඒ දැක දැක නො දුටුවා සේ සිටීමෙන් ආශ්වාදයක් ලැබිය හැකි ය. ඇතැම් විට යථාර්ථයට මුහුණ දීමෙන් පසු උදා වන්නේ කටුක නීරස අත්දැකීම් සමුදායක් විය හැක. ඊට මුහුණ දෙනවාට වැඩියෙන් මගහැර යාම පහසු ය. වේදනා කලාප වලට නිරාවරණය වීමට අස්විද ගේ සිත්හි වන්නේ සුව කළ නො හැකි බියකි. තුවාල ඇති කරගන්නවාට වැඩිය, තුවාල සිදු කරගැනීමෙන් වැළකී ඉන්නා එක ආරක්ෂිත බව ඔහු දනී.

‘මචං මං මේ ජෝක් එකට කියනව නෙවෙයි. මං කියන්නෙ උඹ මේ ඇත්ත තේරුං ගන්න ඕනෙ. පිළිගන්න ඕනෙ. ඔය සූටි නංගි නිසා උඹේ හිතේ සූට්ටං වෙනසක් වෙලා තියනව නේද… ඔන්න ඕකට ෆේස් කරපං. ඔව්ද නැද්ද කියල උඹ උඹෙංම අහපං. යකෝ කෙල්ලෙක්ට ලව් කරනව කියන එක ආනන්තරීය පාපකර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි ඕක ඇති වෙන්නෙ අහවල් වෙලාවෙයි කියල හැම එකාටම එකම වෙලාවක් දීල නෑ. දැං ඔය නිලූපා අව්රුදු දෙක තුනක් තිස්සෙ ඔය ගෙදර හිටියනෙ. හැබැයි ඒකි අර සරමෙ පැටලෙන වල් ඇපල ඇට වගේ කොච්චර ඇඟේ එල්ලෙන්න බැලුවත් උඹට ෆීල් වුණෙ නෑනෙ. ඒ වුණාට මේ සූටි නංගි ගැන උඹේ හිතේ සොෆ්ට් කෝනර් එකක් හැදිල බං තියෙන්නෙ. ඒකයි ඒකි ආස දෙයක් කරන්න උඹට හිතෙන්නෙ. ඕක පුදුම වෙන්න තරං අමුතු දෙයක් නෙවෙයි’

රයන් ට ඕනෑ වූයේ මිතුරා විසින් සිය ආත්මය වසා පළඳාගෙන සිටින්නා වූ ආරක්ෂක කවචය ගලවා ඉවත් කරන්නටයි. නමුත් අස්විද ඒ ගැන ඒ තරම් කලබලයක් නො පෙන්වන්නට වගබලා ගත්තේ ය.

‘යකෝ ඒ කෙල්ල පොඩි ළමයෙක්’

‘පොඩි… අවුරුදු විස්සක් විතර කියන්නෙ පොඩිද…’

‘මට තිස් හතක් වුණා ඕයි’

‘ඉතිං බං තිස් හතක් කියන්නෙත් වයසක්ද… උඹේ ඔළුවෙ තියන ඔන්න ඔය බහුබූත ටික අයින් කරගෙන ඒකි දිහා බලපං. උඹට හිතෙයි උඹ දැං තනියම හිටිය ඇති කියල’

‘උඹ දන්නවද රයන්… අවුරුදු ගාණක් ලව් කරල… හැම අතින්ම ගැලපෙනව කියල තීරණය කරල බඳින කොල්ලො කෙල්ලොන්ගෙන් දවසකට තුන්සීයක් හාරසීයක් අතර වගේ  ගාණක් ඩිවෝස් වෙනව. දවසකට යකෝ… දවසකට. ඩිවෝස් වෙන ජෝඩු කීයක් මං මගෙ ඇස් දෙකෙන් දවසකට දකිනවද… ඒ ගෑනු ළමයගෙයි මගෙයි වයස් පරතරේ අවුරුදු දාහතක් විතර. එතනම කොච්චර නොගැලපීමක් තියනවද…’

අස්විද ගේ දෙතොල් අතරේ මඳ සිනහවක් වූයේ ය. නමුත් ඔහු ට සිනහ වීමේ අවශ්‍යතාවයක් දැනුණා නොවේ!

‘හරි බං… අපි එළියෙන් බලල ගැලපෙනව කියල හිතන දේවල් ඇත්තට නොගැලපෙන්න පුළුවන්‍. ගැලපෙන්නෑ කියල අපි හිතන තැන් වල අපි නොහිතන ගැලපීම් තියෙන්න පුළුවන්. හැම දෙයක්ම උසාවියෙ ඉඳලම බලන්නෙපා. ප්‍රශ්න විසඳගන්න  උසාවියට එනවට වැඩිය දහස් ගුණයක් මිනිස්සු එළියෙ හොඳට ඉන්නව’

‘ඒක හරි. මොනා වුණත් ඉතිං එහෙම දෙයක් නෑ බං’

අස්විද ගෙදර යාමට නැගී සිටියේ යසස්වි ට රිය පුහුණු කිරීමට ඇති බැවිනි.

‘එහෙම දෙයක් නැති හින්දනෙ දැන් හවසට වෙඩි කාපු ඌරා වගේ ගෙදර දුවන්න දඟලන්නෙ’ යි රයන් ගේ හිත කීවේ ය. නමුත් ඔහු ඒ බව නො කියා සිටියේ ය.

අස්විද තේ එක බී නිමා වන තුරුත් යසස්වි රිය පුහුණුවට යාම සඳහා පහළට පැමිණ සිටිනු දැකිය නො හැකි විය.

‘කෝ යසස්විට එන්න කියන්න අම්මෙ යනවනං’ කියා ඔහු වජිරා ට කීවේ එබැවිනි.

‘ආ… යසස්වි අද නෑනෙ. මට චූටි පුතාට කියන්න අමතක වුණා කලින්ම. එයා ගෙදර ගිහින් එන්න ගියානෙ’

ඔහු ට දැනුණේ කුමක් දැයි අස්විද හරියට ම දන්නේ නැත. ඉටිපන්දමක් දිය වී යන්නා බඳු වේගවත් දිය වීමකට ඔහු ලක් වූවා සේ ය. සිය ආත්මය හදිසියේ ම අව පීඩන කලාපයක් වී කිසිත් නොමැති ව හිස් ව ගියා සේ ය. සුනාමියකට පෙර උන් හිටි ගමන් සමුදුර සිඳී ගියා සේ ය. අවට කිසිදු හඬක් නෑසී කන් රිදවන නිශ්ශබ්ධතාවයක් පැතිර ගියේ ය. අත වූ තුන් කාලක් හිස් කළ තේ මග් එක වැටී කැබලි වී යනු ඇතැයි සිතී ඔහු එය කනප්පුව මතින් තැබුවේ ය.

‘හෙට උදේට ඕකට ඔහොමම තේ දාන්න ආන්ටි’

කියා බැණ වදින යසස්වී ගේ හඬ පමණක් ඒ අසාමාන්‍ය නිහැඬියාව අතරින් ඇසිණ. අස්විද මඳ වෙලාවක් එහෙම ම සිටියේ ය. මඳ වෙලාවක් කීවාට කොයි තරම් වෙලාවක් ගෙවී ගියා දැයි ඔහු දන්නේ නැත. ඒ දැහැන බිඳී ගියේ ගෘහස්ථ දුරකතනය හැඬවෙන හඬට යි. ඔහු ගෙදර සිටිනවා නම් කිසිවෙකු දුරකතනයට පිළිතුරු දෙන්නට එන්නේ නැත. එන ඇමතුම් සියල්ල ම වාගේ ඔහු ට වන බැවිනි.

දෙපා අද්ද අද්දා අස්විද දුරකතනය වෙත ගියේ ය. කකුල් ඒ තරම් බර වූයේ කොහොමද කියා ඒ යන ගමන් ඔහු ට සිතිණ. දුරකතනයට පිළිතුරු දෙන්නට කෙනෙකු ළඟ පාතක නො වීම ගැන ඉසියුම් කේන්තියක් ද දැනී නො දැනී යමින් තිබිණ.

‘හෙලොව්’

ඔහු ගේ හඬ ඔහු ට ම හැඳිනගත නො හැකි තරම් වූයේ ය.

‘හෙලෝ කවුද මේ විජිත අංකල් ද සනුක ද දිල්නුක ද…’

හදවත මැද ම බෝම්බය පුපුරා ගියේ ය. ඔහු කුඩා කැබලි වලට බිඳී ඈතට – තැන් තැන් වලට විසි වී ගියා සේ අස්විද ට දැනිණ. නමුත් ඒ හැම කැබැල්ලක ම එක හදවතක කොටසක් බැගින් වූයේ ය. ඒ හැම කැබැල්ලක් ම රිදෙනවා වාගේ ඔහු ට දැනුණේ එබැවිනි.

‘අද ඩ්‍රයිවින් ලෙසන්ස් තියනව කියල දන්නැද්ද ආ…’

එතෙක් ආත්මය තුළ හිර වී පැවතියා වූ සියල්ල එක නිමේෂයක සොරොව් බිඳුණා සේ පිටාර ගැලුවේ ය. ඒ අස්විද බව යසස්වි හැඳින්නේ එවිටයි. ඇය මෘදු සිනහවකින් ඇස් දෙක පියාගත්තා ය.

‘අනේ අස්විද අයියද… වොයිස් එක වෙනස්නෙ ෆෝන් එකට…මං ගෙදර ආව කියල ආන්ටිට කියන්න අයිය’  

‘කරනවනං දෙයක් හරියට කරන්නෝනෙ. හිතුණාම කරන්නයි හිතුණාම නොකර ඉන්නයි බෑ. අනිත් දේවල් වගේම තමයි ඩ්‍රයිවින් ඉගෙනගන්න එකත්. ආවට ගියාට කරල හරියන්නෑ’

අස්විද කේන්ති ගෙන සිටිනුයේ ඇය ගෙදර පැමිණි බව නොදැන යයි යසස්වි ට සිතිණ.

‘අයිය මං අනුරාධපුරේ ආව. ගෙදර. දවස් දෙක තුනක් ඉඳල තමයි කොළඹ එන්න ඉන්නෙ’

‘එහෙනං ඒක මට කියන්න තිබුණ. එහෙනං මං වේලාසන ගෙදර එන්නෑනෙ මගෙ වැඩත් පාඩු කරගෙන’

‘ස්… සො… රි…’

ඇය පශ්චත්තාප වත්දී ම අස්විද රිසීවරය දුරකතනය මත අත්හැරියේ ය. යසස්වි වමතින් පපුව අල්වාගත්තා ය. එක දිග හුස්මකින් ඉතා හෙමිහිට පෙනහලු පිරී ගියේ ය. ක්ෂණයකින් ඕ ඒ හුස්ම අත්හැරියා ය.

‘අර උදාර කියන මිනිහගෙන් මට පුදුම කරදරයක් තියෙන්නෙ. ඒ මනුස්සයට කැමති ගෑනියෙක්ව බැඳගන්න කියන්න… මට වදයක් නොවී’ 

ඇය වෙහෙරගොඩ මුදලාලි ඉන්නා තැන ම අඩි පොළොවේ හැප්පුවේ සියල් නො සන්සුන්තාවයන් පිට කිරීමේ මගක් වශයෙනි. වෙහෙරගොඩ මුදලාලි රවා බැලුවේ ය.

‘තාත්තලගෙ බිස්නස් වෙනයි මගෙ ජීවිතේ වෙනයි. මේ කරදරේ ඉවර නොකළොත් අම්මලට මාව ආයෙ හොයාගන්නවත් බැරිවෙන්න මං කොහේ හරි රටකට ගිහින් තියෙයි හොඳේ’

ගෙදර සිටියදී යසස්වි ඔය වාගේ තර්ජන කළේ නැත. උදාර ට අකමැති බැව් දැන සිටිය ද ඇය ඉපදී තිබෙනුයේ ඔහු වෙනුවෙන් නොවන බව වඩාත් තදින් ඇයට දැනෙන්නේ දැන් ය. උදාර නමැති ඉරණම වෙනස් කරගනු වස් ඉර හඳ තාරකා සමග වුව හැප්පීමේ අමුතු හයියක් දැන් ඇයට ආරෝපණය වී තිබේ.

‘කට කට. උදාරට ඔයතරං අකමැති වෙන්න හේතුවක් නෑ. මොකද ඌ අඳ ගොළු බීරි එකෙක්ද… ඌගෙ පෙනුමෙ වැරැද්දක් තියනවද… සල්ලිය බාගෙ නැද්ද… ගෑනියෙක්ට මිනිහෙක්ගෙං වෙන මොනාද ඕන කියල කියමු බලන්න’

වෙහෙරගොඩ මුදලාලි රවුම් කළු රාමුව සහිත ඇස් කණ්ණාඩි මතින් බලා දියණිය ප්‍රශ්න කළේ දැඩිව ය. යසස්වි ගේ යක්ෂාරූඩය ගැන අම්මා තැතිගෙන සිටියා ය. මේ වතාවේ දියණිය සුළි කුණාටුවක් සේ අරගලයක්  කිරීමට සැරසෙන බව ඇයට ඉවෙන් වාගේ දැනෙමින් තිබේ.

යසස්වි ට පපුවේ රිදුමක් දැනුණි. වෙනත් ගැහැනියකට කෙසේ වී ද ඇයට පිරිමියෙකු නිසා දැනිය යුතු කිසිත් උදාර නිසා නො දැනෙන බැව් ඕ පියා ට වටහා දෙන්නේ කෙසේ ද?

තුසිතය පාළුවට ගොස් තිබිණ. සිලිබිල්ලා කැදැල්ල හැරගොස් ය. සිලිබිලි කිචි බිචිය නො නැගේ. අස්විද හෙමි හෙමිහිට මතු මහළට ගියේ ය. සන්තානය මූසල වී ගොසිනි. සන්තාපය උගුරේ ගිනියම් ගුලියක් හිර කොට තිබේ. කොතැනකවත් ඇය නැත. ලිහිල් කලිසමේ සාක්කු වල අත් දෙක ඔබාගෙන ඔහු සඳැල්ලට වී සිටියේ ය. සුළං සීනුවක් ඈ ගැන දුක් ගීතයක් කියාගෙන ගියේ ය. අහේතුක සංවේගයක් ඔහු වටා උදම් රළක් ව නැගේ.

ඇය එනවා කීවේ දවස් දෙක තුනකිනි. ඈ තුසිතයෙහි නොවන බැව් දැනගෙන තවමත් හෝරා දෙක තුනකි. ඒ දෙතුන් හෝරාව ගෙවී ගියේ කෙතරම් හෙමිහිට ද? එලෙස වූයේ ඇයි? ඇය නැති කොයි තරම් වසර ගණනක් තුසිතයෙහි ගෙවී තිබිණි ද? මෙවන් විසල් හිස් කමක් දනවන්නට තරම් සලකුණක් ඇයට තබනු හැකි වූයේ කෙසේ ද?

‘කෙල්ල නැතුව ගේම පාළු වෙලා ගිහින්’

විජිත සූරියබණ්ඩාර ගේ හඬ අස්විදට පිටුපසින් ඇසිණ. ඔහු හා හ්ම් කියන්නට ගියේ නැත. කොහොම පෙනෙනවා ද කියා දන්නේ නැති සිය මුහුණ පියාට පෙනේවී කියා අස්විද තව තවත්   පිටත බලාගත්තේ ය.

‘කෙල්ලෙක් නැතුව අපිට කොච්චර අඩුවක් දැනිල තියෙනවද කියල දැන් තමයි තේරෙන්නෙ’

‘ඔය තව ගෑනු ළමයි ඉන්නෙ පල්ලෙහා’ කියා කියන්නට අස්විද ට සිතිණ. නමුත් උගුර සොලවාගන්නටවත් නො හැකි බැව් ඔහු දැන සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here