පෙමාතුර – 27 කොටස

හුඟක් වෙලාවට ගැහැනුන් එපා කියන්නේ වඩාත් ම ඕනෑ දේ ය. ලං ව හිඳිනා පිරිමි ඒ එපා කියනා දේවල් ලබා නොදුණ හොත් එපා කී ගැහැනු ම වියරු වැටෙති. පිරිමින් ට කිසි දා ගැහැනුන් තේරුම් ගත නොහැකි බව ඔවුන් ප්‍රත්‍යක්ෂ කර ගන්නේ එවන් අවස්ථා වල ය.

මා විසල් ව ගෙදර යැවිය යුතු යයි කියත්දී ඔහු අඩ සිනහවකින් මදෙස බැලුවේ ය. නමුත් මා කළ යෝජනාව ගැන අංශුවකිනුදු නො සැළුණේ ය. එය පිච්චියකට හෝ ගණන් නො ගන්නා බවක් ද හඟවමින් රිය පදවා ගෙන දළදා මාළිගාව දෙසට ගියේ ය.

“අනේ බොහොම පින් සිද්ද වෙනව පුතා මේ කරදර වෙලාවෙ අපිව දළදා වන්දන්නත් එක්ක ආවට”

අම්මා රියෙන් බැස්සේ එසේ කියමිනි.

“අනේ ඔව්. එහෙනං විසල් දැන් යන්න. අපිට ටැක්සි එකක් අරං හොටේල් එකට යන්න පුළුවන්”

සනෝජා පුංචී ද එසේ කීවා ය. නමුත් විසල් ඊට එකඟ වූයේ නැත.

“පිස්සුද අනේ. මට මොන හදිස්සියක්ද ගෙදර යන්න…අපි මාළිගාවට ගිහින් එමු”

රථ ගාලෙහි රිය දමා ඔහු එහි අගුළු ලූවේ ය. වීදි පහන් කණු වල දැල්වෙනා පහන් එළි වැව් දිය මත පතිත වී ආලෝක පැල්ලම් සරැලි නගමින් තිබිණ. දහවල රෝස පාට මලින් උඩු වියන් බඳනා රොබරෝසි ගස්, කළු පාට සෙවනැලි මවා තිබුණේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ගේ ශිල්පීය දක්ෂතාවය විදා ලන පරිද්දෙනි.

“ඔයාල වැඳල එනකල් මං වැව රවුමෙ ඇවිදින්නං”

සියල්ලන්ට පිටුපසින් පිය නගිමින් සිටි මා එසේ කියත්දී හැම දෙපයක් ම නැවතිණ. ඔවුන් පිටුපස හැරී බැලූවේ  කලින් කතිකා කර ගත්තා මෙනි.

“වැඳල එමු. මෙතනටම ඇවිත් මාළිගාවට ගොඩ නොවී ඉන්න එක හොඳ නෑනෙ කිසා”

අම්මා සන්සුන් ස්වරයෙන් කීවා ය. ඒ අනුව මම නැවත ඔවුන් පසු පස පිය තබන්නට වීමි. ඒ පරිසරය හදවත සසල කරනා එකකි. ගල් කරනා එකකි. අයිස් කරනා එකකි.

“හැම දේම හරි ගිහිං දවසක අපි දෙන්න මෙතනට එනව කියල හිතා ගන්න”

මා නෙළුම් මල් පුදා, දහස් ගණනක ගේ වන්දනාවට ලක් වන එහි වන වචන වලින් විග්‍රහ කළ නො හැකි හැඟීම හිිතින් විඳිමින් සිටිය දී සවන ළඟින් විසල් ගේ හඬ ඇසිණ. මම සිනහවක් නැති නෙතින් හිස හරවා බැලුවෙමි. මහිතෙහි කිසි සේත් නොවුණ විශ්වාසවන්ත බවක් ඔහු ගේ ඇස් වලින් මට හමු විය.

වැඳ පුදා යළි අප පහළට ආවේ සැහැල්ලු හිත් වලිනි. මම කාටත් කලින් දිව ගොස් වළාකුළු බැම්මට ඉස්මත්තෙන් වැව් දියට එබුණෙමි. අඩ සඳක් වතුරේ කිමිදෙමින් සිටියේ ය.

“කිසා ඇති තරං ඇවිදල එන්න. මන්නං මෙතනිං ඉඳ ගන්නව”

කියමින් අම්මා බංකුවකට බර වූවා ය. නදීරා හා පුංචී ද ඒ බංකුවේ ම හිඳ ගනු මට පෙනිණ. මම වළාකුළු බැම්ම ට සමාන්තර ව ටික දුරක් හෙමිහිට ඇවිද ගියෙමි. මහ නුවරට ම ආවේණික මඳ පවන මා සිහිලැල් කරමින් හමා ගියේ ය. මම ඇස් පියා ගෙව මහනුවර සුවඳ හුස්ම ගතිමි.

“මං නැතුව තනියම ඇවිදල වැඩක් තියෙයිද…”

නැවතත් ඔහු ගේ හිතුවක්කාර කට හඬ! මම නෙතු විවර කොට බැලුවෙමි.

“ඇයි ඔයා ගියෙ නැද්ද…මං හිතුව යන්න ඇති කියල”

“දාල යන්න හිතෙන්නෑ මට”

“එච්චර දුර ගෙනියන්න හදන්න එපා. ආපහු හැරිල එන්න පුළුවන් දුරක් නේද මං යන්න ඕන…”

ඒ වචන ටිකත් එක්ක එළියට පැන ගත් සුසුම සැබවින් ම මා දැවූ එකකි.

“මගෙ හිත හයියයි තමයි. ඒත් කොච්චර හයියද කියල මං දන්නෑ”

මගේ ඇස් වල දුක්බර බවක් වන්නට ඇත. නමුත් ඔහු මදෙස බලා උන්නේ සිහින් මන්දස්මිතයකිනි.

“ආයෙ තනියම එවන්න නෙවෙයි අතින් අල්ල ගත්තෙ”

එසැනෙන් මට සිහි වූයේ ඉෂිනි ය. ඇයත් දැන් ඉන්නේ ආපසු හැරිය හැකි දුරක නොවනු ඇත. අනුන් ගේ සීමාවන් අතික්‍රමණය කොට අයිතිවාසිකම් ඉල්ලා සිටිය නො හැකි බව මම නො කියා සිටියෙමි. නමුත් සුසුමක් ගිළිහී මටත් හොරෙනි.

“ලස්සනයි නේ…”

ඒ සුසුමින් සියල්ල මුදා හැරියා සේ මම අලුත් සිනහවක් නගා ගතිමි. සැබවින් නැවුම් බවක් හදවත වාං දමන්නට ඒ හැටි වෙලා ගියේ නැත.

“සීතලයි හැබැයි. පින්නත් වැඩියි”

ඔහු දෑත් පපුවේ බැඳ ගත්තේ ය. මම ඒ මන බඳනා පිරිමි රුව දෙස නෙත් පිය නො සලා බලා ගෙන ම පිය තැබුවෙමි.

“මට ඔයාගෙ අතකින් අල්ල ගන්න ආසයි”

ඒ හදිසියේ මගේ හිතේ පහල වූ නිර්ව්‍යාජ අදහස මම හෙළි කළෙමි. නමුත් එසේ කළ නො හැකි බව මා නොදන්නවා නොවේ. මෙලොව කිසිවෙකු මගේ මේ ආදරය අනුමත කරන්නේ නැත. අපේ ගැහැනු ගෙදර උදවිය නම් අඩු තරමින් එදෙස වපරැසින් නොබලනු ඇත. ප්‍රේමය ගැන ඔවුන් ට යම් අදහසක් වන බැවිනි. නමුත් ලෝකයා මා ගැන දැන ගත හොත් අනුන්ට අයිති පිරිමියෙකුට අසම්මතයේ පෙම් කරනා ගැහැනියක සේ මා හංවඩු ගසනා බව ඉඳුරා දන්නෙමි.

“ඔයා දුක් වෙන්නවත් මුකුත් හිතන්නවත් එපා”

විසල් ගේ මුහුණ මත පැතිර යන්නට වූ අඳුරු වලාව දුටුවෙන් මම මුදු පසුතැවිලි ස්වරයකින් මිමිණීමි.

“මමයි වතුරට පැන්නෙ…දැන් මම ම පීනල ගොඩ යන්න ඕනෙ. ගිලෙනවට වැඩිය පීනන එක ලේසියි කියල මන් දන්නව. ඕන කෙල්ලෙක් ආසයි ආදරේ කරන්න. මේ මගෙ ආදරේ කියල මුළු ලෝකෙටම පෙන්නන්න. මන් දන්නව මට එහෙම කරන්න බෑ. ඒක ඔයාට හොඳත් නෑ. හැබැයි ඒ වගේ චූටි චූටි පොදු ආසාවල් වලට වැඩිය මගෙ ආදරේ ලොකුයි. ඒ නිසා ඒව ගැන හිතන්නෙ නැතුව ඉන්න මට පුළුවන්”

මම හුඟක් කතා කළෙමි. නමුත් අත් දෙක කලිසම් සාක්කු දෙකෙහි බහා ගෙන, බිම බලා ගෙන, විසල් වැඩි දුරක් ගමන කළේ කල්පනා කරමිනි. ඔහු වැඩිපුර කතා කළේ නැත. ඉඳ හිට මදෙස බලා ගෙන සිටියේ ය. නමුත් ඔහු ගේ හිතේ බොහෝ දේ වූ බව මම දනිමි.

වැව රවුමේ ඇවිද අප යළි බංකුව වෙත එන තෙක් අම්මලා එතැන ම සිටියහ.

“මේ කොල්ලව ගෙදර යවන්න ඕන බං…”

පුංචා කීවේ පසුතැවිලි හඬකිනි.

“ඉතිං…මං කිව්වයැ මට තනි රකින්න එන්න කියල”

“කිසි කෙලෙහි ගුණයක් නෑ. නේද විසල්…”

ඔහු හිස සැළුවේ ගිල ගත් සිනහවකිනි. මුවින් මොනවා කීව ද තව බෝ වෙලාවක් ඔහු අප සමගින් ම ඉන්නවා නම් යෙහෙකැයි මගේ හිත කොඳුරමින් තිබිණ. විසල් අපත් සමග රෑ කෑම ගැනීම සඳහා රැජිණ හෝටලයට ද පැමිණියේ ය. මීට පෙර ද ඔහු අප සමග එකට කෑම ගෙන තිබුණ ද මේ රාත්‍රිය මට සුවිශේෂ ලෙස දැනුණේ ය. රෑ බෝ වී ඔහු අපෙන් සමු ගෙන ගියේ ද උණුහුම් හැඟීමක් මහදෙහි ඉතිරි කරමිනි.

“කොල්ලගෙ හිතේ ඉෂිනි ගැන කිසිම අදහසක් නෑ කියල හොඳටම තේරෙනව. අපි යන්න කියද්දිත් නොයා හිටියෙ ඒකනෙ”

සම්මුඛ බිත්ති දෙකට කිට්ටුවෙන් තබා තිබි යහන් දෙකට ගොඩ වූ ගමන් පුංචී කීවා ය. නදීරා මා විනිවිද බැලුවා කියා සිතමි. නමුත් මම එවැන්නක් නිරීක්ෂණය නොවූ ලෙසින් බිත්තිය මුල්ලට ගුලි ව ඇස් පියා ගතිමි. අනිත් තිදෙනා තවත් රෑ වන තුරු කතා කරමින් සිටියහ. මා සිතිවිලි ලෝකයක උන් නිසා මට ඒ කතා පැහැදිලි ව ඇසුණේ නැත.

අප ව සිය නිවසට කැටිව යන්නට විසල් උදයෙන් ම ආවේ ය. මගේ දෑස් වලට ඒ රුව රසඳුනක් විය. අප එහි යන විට ඉෂිනි ද වූවා ය. අපට සංග්‍රහ කරනු වස් ඇය කල් ඇතිව ම සූදානම් ව ද සිටියා ය. මම හැකි තාක් ප්‍රවේසම් සහිත ව හැසිරුණෙමි. නදීරා වාගේවත් කෙනෙකු මදෙස සැකයෙන් බලන්නට පටන් ගත යුතු නැත.

දිවා ආහාර ගැනීමෙන් පසු අප යළි එන්නට සූදානම් වෙත්දී ඉෂිනි ද හදිසියේ ම විත් රියෙහි පසු අසුනෙහි වාඩි වූවා ය. විසල් හැරී ඇදෙස බැලුවේ විමතියෙනි.

“මේ මොකද මේ..”

“මාත් එනව ආයෙ කොළඹ යන්න”

ඇය ස්ථිර ලෙස ම කියා සිටියා ය.

“යන්න ඕන කියනවනෙ. බෝඩිමට ඇරලන්න ඉතිං”

ඇගේ මව ඉෂිනි ව අනුමත කළේ කිසිදු ගණනකට නැතිව ය. මම විසල් දෙස බලන්නේ හෝ නැතිව රිය කවුළුවෙන් පිටතට නෙත් යොමා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...