ස්පෙන්සර් මෙනෙවිය වන්නට නික්මුණු ඩයනා කුමරිය – Spencer Movie

ඩයනා කුමරිය, බ්‍රිතාන්‍ය රෝස කුසුම ලෝකය අතැර ස්වර්ගීය සැනසීම සොයා ගොස් දැන් විසි හතර වසරක් වනවා.නමුත් ඇය ගැන ලෝකයා කතාබහ කිරීම නැවතී නැහැ.ඩයනා කුමරිය පිළිබඳ අලුත් චිත්‍රපටියක් 90 දශකයේ දින තුනක් අලලා පැබ්ලෝ ලාරෝන් විසින් අධ්‍යක්ෂණය කර  Spencer නමින් නිකුත් වෙන්නට නියමිතව තිබෙනවා.මෙහි ඩයනා කුමරියගේ චරිතය රඟපාන්නේ ක්‍රිස්ට්‍රින් ස්ටුවර්ට් විසින්.


Twilight Saga චිත්‍රපට මාලාව නිසා ප්‍රසිද්ධියට පත් ක්‍රිස්ටීන් මේ චිත්‍රපටිය ගැන කතාබහ කරන්නේ ද තෘප්තියෙන්.ඩයනා කුමරියගේ වචන උච්ඡාරණ පවා ඇය හොඳින් පුරුදු පුහුණු වී තිබෙනවා.මෙතෙක් අසා ඇති ඉතා කණගාටුදායක කතාවක් වන ඩයනාගේ කතාව ගැන ක්‍රිස්ටීන් හොඳින් සොයා බැලූ බවත් ඇය පවසනවා.

Twilight වැනි චිත්‍රපටියක රඟපෑ ක්‍රිස්ටීන් ඩයනා කුමරිය බවට පත් කිරිම අභියෝගයක් බව අධ්‍යක්ෂකවරයා ද පවසනවා.නමුත් මෙය සාම්ප්‍රදායික නොවන තේරීමක් බවයි ඔහුගේ අදහස.ක්‍රිස්ටීන්ට මෙමඟින් ලැබෙන දෙයක් සම්බන්ධ රහසක් ද ඇති බව පැබ්ලෝ සඟරාවකට පවසා තිබෙනවා.

Spencer චිත්‍රපටිය සැප්තැම්බර් පළමුවැනිදා 78 වන වැනීසියේ චිත්‍රපටි උළෙලේ ප්‍රදර්ශනය වීම ආරම්භ වූ අතර රසිකයන්ට එය නොවැම්බර් පස්වැනිදා සිට නරඹන්නට පුලුවන්.

ක්‍රිස්ටීන් මහත් බලාපොරොත්තු තබාගෙන නිරූපණය කරන ඩයනාගේ චරිතය රැගත් මේ චිත්‍රපටියෙන් මතු කර පෙන්වන්නේ ඔබ අප කවුරුත් දන්නා සිදුවීමක්.දින තුනක කතාවක්. ඒ දින තුන ඩයනා කුමරියගේ ජීවිතය තුළ වඩා සංවේදී දින තුනක් බවට කිසිම සැකයක් නෑ.

“වසාගන් දොර මගේ හිමියනි
ඔබට රිසිනම් යන්ට යන්නෙමි..”

ඔබ මේ ජනප්‍රිය සිංහල ගීතය අසා ඇති.ඩයනා ද ඒ තීරණය ගත් මොහොතක් තිබෙනවා.1991 නත්තල් නිවාඩුව රාජකීය පවුල සමඟ Sandringham House තුළ ගෙවා දමද්දී චාල්ස් කුමාරයා හැර යන තීරණය ඩයනා කුමරිය ගෙන තිබෙනවා

Spencer චිත්‍රපටිය ඒ තීරණය හෙළි කරන චිත්‍රපටියක්.

සැප සම්පත් උතුරා ගියත් රාජකීය නාමයෙන් ඔද වැඩී හිඳින්නට හැකි වුවත් ආදරය නැති පවුල් ජීවිතයක් අතැර දමන්නට ගැහැනියක් පසුබට වන්නේ නැහැ.ආදරය නැති කාන්තාරයක් සේ දැනෙන රජ මාළිගාව හැර දමා යන්නට ඩයනා කුමරියට සිත් වන්නට ඇත්තේ ඒ නිසා.ඇය ආලයක් නැති විජිතයක පැළඳූ ඔටුන්න කටු ඔටුන්නක් සේ බැහැර කරන්නේ ඒ නිසා.

ඩයනා කුමරිය තමන් රජ ගෙදර අතැර දමන තීරණයට පැමිණ නත්තල කෙසේ ගෙවා දමන්නට ඇතිදැයි ලෝකයේ මිනිසුන්ට යළිත් සිතා බලන්නට Spencer නිසා හැකි වේවි.මෙහි ඇගේ ඛේදනීය මරණය ගැන තොරතුරු නැහැ.නමුත් විවාහය බිඳෙමින් පැවතුණ ද ඇය ඇගේ පුතුන් වූ විලියම් සහ හැරීට දැක්වූ අත්‍යන්ත ආදරය මේ චිත්‍රපටියෙන් නිරූපණය වනවා.ඇය ගන්නේ දැඩි තීරණයක්.එය විශාල මානසික අරගලයක්.එක අතකට ඇය මනසින් සිය දහස් වතාවක් මිය යන්නට ඒ තීරණය හේතු වන්නට ඇති.

“ඩයනා කුමරිය මේ තීරණය ගත් පසු ඇයට අවශ්‍ය වූයේ චාල්ස් මුණ ගැසෙන්නට පෙර සිටි ගැහැනිය වන්නටයි.” චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ පැබ්ලෝ පවසනවා.

සැබෑවටම ගැහැනියක විවාහයෙන් පසු කලින් සිටි තරුණිය වන්නේ නැහැ.නමුත් ඒ ගැහැනිය පෙර විසූ තරුණියට වඩා ප්‍රීතිමත්ව තම අරමුණු කරා යන්නියක විය යුතුමයි.ආදරය උතුරා ගලන ලෝකයක් ඇයට ලැබිය යුතුමයි.
එය එසේ නොවන්නේ නම් ඩයනා මෙන්ම තමා සොයා යාමට ගැහැනියකට ශක්තියක් තිබිය යුතුම බව ඔබත් පිළි ගන්නවා ඇති.

ගැහැනුන්ට අමතකව ගිය ඒ ශක්තිය ගැන සිහිපත් කරන්නට ක්‍රිස්ටීන් ප්‍රමුඛ Spencer කණ්ඩායම සමත් වන්නේ නම් එය ඔවුන් ලබන විශාල ජයග්‍රහණයක් බව නොකියාම බැහැ.

“කාන්තාවක් කාගේවත් කොටසක් වන්නට අවශ්‍ය නෑ.ඇය ඇයම විය යුතුයි.කාන්තාවක ලෙස ඔබ කරන්නට ඕනෑ ව්වාහයෙන් පසු ඔබ තුළ සැඟවීම නෙවෙයි.හොඳින් සිටීම සහ ඔබ තේරුම් ගැනීමයි.”

ස්පෙන්සර් චිත්‍රපටියට ඒ නම, ඩයනාගේ පෙළපත් නාමය ලැබෙන්නට හේතුව මෙන්න මේ කාරණාවයි.

ඉතින්, ඔබට ද මහත්මිය වන්නට පෙර හුන් ප්‍රීතිමත් සිහින හඹා ගිය සිලිසිලියේ හිනැහුණු මෙනෙවිය ගැන සිහි කර බලන්නට පුලුවන්.දැන් හිඳින්නේ ඈ නොවේ නම්, හිස වේදනාවෙන් සහ අත්හැරීම් වලින් බර කරගත් මහත්මියක් නම් ඔබට ඔබ සොයා ගන්නට තවමත් ප්‍රමාද නෑ.

Related Articles

Don't Miss




Latest Articles

Easy breakfast recipes – part 2

කාර්‍යබහුල ඔබට උදෑසනට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩන්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් easy breakfast recipes ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

දෑවැද්ද

" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? "සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා...

සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි...

නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා...

අනුන්ගේ තීරණ.

"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?"භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක්...