ජීවිතේ සම්පූර්ණ කරන ආදරයක් සොයා ගිය තරුණිය June

ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් දෑතම ඔසවලා ඔබ දෙන පිලිතුර මම දන්නවා!!

පාසල් කාලය..

ජීවිතේ සුන්දරම ප්‍රේමයේ මතකයත් ඔබට අයිති ඒ කාලේ නේද? අද ඒ ආදරය ඔබ ළඟ රැඳුණත් නැතත් හදවතේ සියුම් තැනක තවමත් ජීවත් වෙන ඒ ආදරය ගැන ඔබට නැවත සිහි කරන මලයාලම් චිත්‍රපටිය තමයි , ජූන්.

11- E කොමස් ක්ලාස් එක කියන්නේ ජූන්ගේ පන්තිය. ලිප්ස්ටික් ගෑම අම්මා තහනම් කරන නිසා බීට්රූට් වලින් තොල් පාට කරන දඟකාර කෙල්ලක් තමයි ජූන්.ඒ පන්තියේ ඉන්න හැන්ඩ්සම්ම කොලුවා වුණේ නොයෙල්. හැඩකාර ෆිදා, හැරී පෝටර්ගෙ කොණ්ඩ මෝස්තර අනුගමනය කරන ශංකර්,අභිරාමි,කුන්ජි,අර්ජුන්,රාහුල්,සුරජ් වගේ කෙල්ලො කොල්ලො පිරුණු තැනක් වුන එකොළහ ඊ පන්තියේ තමයි ජූන් ඉගෙන ගන්නේ.

මායා මිස්ගේ තේරිමෙන් පන්ති නායක නායිකා පට්ටම් ජූන් හා නොයෙල් දෙන්නට ලැබෙන්නේ හිත පුරා විදුලි කොටන හැඟීම් උපදවමින්.අයිස් පැකට් එකකට පවා රණ්ඩු කරන හිරිමල් යෞවනයන් පිරිස එකතු වෙලා Youth Festival එකේ ජය සයන්ස් සෙක්ෂන් එකට නොදී කොමස් පන්තියට අරන් එනවා. ඒ සිදුවීමක් අතරෙ ගෙවෙන ජූන් නොයෙල් ප්‍රේමය බොහෝ පාසල් ප්‍රේමයන් වගේ නිමා වෙන්නෙ කාලය එක්ක.

ඉන් පසුව ජූන්ගෙ ජීවිතේ ට එන ආනන්ද් ජූන්ට ආදරේ කරන්නේ ඇයට ඒ බවක් නොකියා.ඔහු අත ඇයට නොදුන් ලියුම්,ඇගේ හිනාව දිහා හොරෙන් බලාගෙන හිටිය දවස්,ඇයව ඇයට හොරා රැක ගත් දවස් ,ඒ ආදරය නොලැබෙන බව දැන දැනත් ඇය වෙනුවෙන් කැප වූ දවස් තිබුණා.ආනන්ද් කියන්නේ ජූන්ට ලැබිය යුතුම කෙනා කියලා ප්‍රේක්ෂකයන්ට හිතෙනවා තමයි.නමුත් ඒ ආදරය තුලත් ඈ සම්පූර්ණ වෙන්නෙ නෑ.

ආදරය කියන්නේ අවබෝධ කරගැනීම, තේරුම් ගැනීම බව ඇයට පසක් කරන්නෙ ඇලෙක්ස්. අතීතයේ දවසක පොරොන්දු වුණා වගේම ඒ ආදරේ ඇයට හොයලා දෙන්නේ තාත්තා.

“මං කතා කරනවා වැඩි ද..ඇලෙක්ස් ඔයා නියමයි.ඔයා එක්ක කතා කරන්න හරිම ලේසියි.”

පොඩි කාලේ නිදහස ටිකක් විතර අහුරන අම්මා කෙනෙක් ළඟ හැදුණු,ඒත් අම්මා තාත්තාගේ ආදරේ උපරිමෙන් වින්ද ජූන් වගේ ගැහැනු ළමයෙක් යෝජිත විවාහයෙන් හමුවෙන තමන්ගේ සැමියාට එහෙම කියන්නේ ඉතාම නිදහස් ව.

ඔබ දන්නවද?

ඒ තමයි නවතින්න ඕන තැන.ක්‍රෂ් එකකට සහ පෙම්වතෙක්ට වඩා සැමියා වෙනස්. ඔහු විශේෂයි.අතීත වේදනා ගැන ඔහු හමු වූ මුල් දවසේම කියන්න හිතෙනවා නම් ඔබ අහන දේට ඔබ බලාපොරොත්තු වෙන උත්තරේම ඔහුගෙන් ලැබෙනවා නම් ඒ තමයි ඔබේ ඇලෙක්ස්

ඔහුව මඟ හැර ගන්න එපා.

June,අධ්‍යක්ෂණය කරන්නේ Ahammed Khabeer. Rajisha Vijayan ජූන් ලෙසත් Sarjano Khalid නොයෙල් විදියටත් Arjun Ashokan ආනන්ද් ලෙසත් Sunny Wayne ඇලෙක්ස් හැටියටත් චරිත මවනවා.ප්‍රේමය උතුරා යන සිනමා නිර්මාණ බිහිවෙන මලයාලම් නිර්මාණයක් වුණු ජූන් ඔබ තවම මුණ නොගැහුණා නම් අනිවාර්යයෙන් හමු වෙන්න.

ඔබ නැවතිලා ඉන්නේ නොයෙල් ළඟ වුණත්, ආනන්ද් ළඟ වුණත් ඇලෙක්ස් ළඟ වුණත් ආදරේ මේ තරම් ම ඉමිහිරි බව ඔබට ආයෙත් දැනේවි.

Related Articles

Don't Miss


Latest Articles