අභිමන් නීතිඥවරයා හමුවීමට ගොස් නැවත නිවසට ගියේ නැත. නීතිඥවරයා හමුවේ සිදුවූ සියල්ලක්ම පැවසීමට සිදුවූ නිසාත් , හිතේ තිබුණු තුවාල සියල්ලක්ම නැවත නැවතත් පෑරී තිබුණු නිසාත් නිවසට යාමට ආදිත්‍ය හට හිත දුන්නේ නැත. අරමුණකින් තොරව ඔහේ වාහනය පැදවූ ආදිත්‍ය වාහනය නතර කළේ ඇවිදින මං තීරුව අසලය. රියදුරු අසුන දිග ඇරගත් ආදිත්‍ය දෑස් පියා ගත්තේය. දින ගණනාවක් තිස්සේ තිබූ වෙහෙසකාරී බව නිසාම කොහේදෝ තිබු නින්දක් ආදිත්‍ය කරා ආවේ ඉන් පසුවය.
ආදිත්‍ය අවදි වූයේ දුරකථනය නාද වන හඬිනි. ඒ වන විට වෙලාව සවස හයයි තිහද පසුවී තිබුණි. තමා මෙතනට පැමිණියේ සවස හතරයි හතළිස් පහටය. බොහෝ වේලාවක් තමා මෙතන නිදා සිට ඇතැයි සිතමින් ආදිත්‍ය දුරකථන ඇමතුම ක්‍රියාත්මක කළේ ඇමතුම පැමිණෙමින් තිබුණේ අශිකා ගෙන් නිසාය.
” කොහෙද ආදිත්‍යය ඉන්නේ ? ”
” මං පාරේ ඉන්නෙ අම්මා ”
අශිකා සිතෙන් සුසුමක් හෙළුවාය. ආදිත්‍ය යනු මෙවන් ඉරණමක් අත්විය යුතු කෙනෙකු නොවේ.එහෙත් අවාසනාවකට ඔහුට එසේ සිදුවී ඇත.
” ලෝයර් හම්බ වෙන්න ගියාද? ”
” ඔව් අම්මා. එයාට හැමදේම කියලා ඕන කරන දේවල් දීලා තියෙන්නේ. ඉක්මනට මොකක් හරි වෙයි ”
” ෂෙහාරා ගෙදරද ?”
” ලැජ්ජාවක් තියෙන ගෑනියෙක් නම් එයා ආපහු සති ගානකට එළියට බහින එකක් නෑ අම්මා. අනිත් එක වාහනෙත් නෑනේ “
ආදිත්‍ය කතා කළේ ෂෙහාරා කෙරෙහි කෝපයෙන් නොවේ.ඔහු උන්නේ දැඩි ලෙස කලකිරීමට පත් වීය. සියල්ල ඉක්මනින් විසඳෙන්නේ නම් ආදිත්‍ය හට නිවී සැනසිල්ලේ ජීවිතයේ ඉදිරි කාලය පිළිබඳව තීරණ ගත හැකිය.
ඇමතුම අවසන් කළ ආදිත්‍ය රථයෙන් බැස්සේය. මේ මෞර්යා ඇවිදීම සඳහා ඇවිදින මං තීරුව වෙත පැමිණෙන වෙලාවය. ආදිත්‍ය වාහනයට හේත්තු වී පාර දෙස බලා උන්නේය.
බලාපොරොත්තු වූ පරිදිම තවත් පැය භාගයක් පමණ ගතවන විට මෞර්යාගේ වාහනය පැමිණ ආදිත්‍යගේ රථයට ඉදිරියෙන් නතර විය. මෞර්යා ඉන් බැස ආවේ සිනාමුසු මුහුණිනි.
” අද නං ඔෆිස් ගිහින් නෑ වගේ නේද ? ”
ආදිත්‍ය ඇඳ උන්නේ නිල් පැහැ ඩෙනිම් කලිසමක් සහ කළු පැහැ ටී ෂර්ට් එකකි.තමා කාර්යාලයට නොගිය බවට මෞර්යා අනුමාන කරන්නට ඇත්තේ ඒ නිසා බව ආදිත්‍ය සිතුවේය.
” ඔයා හරියටම කිව්වා ”
ආදිත්‍ය සිනාසුනේ ආයාසයෙනි. මෞර්යා ඒ බව හඳුනා ගත්තාය.
” ඔයා එදා නතර කරපු තැනින් කතාව කියන්නකෝ. ඊට පස්සේ ඔයාව දකින්නවත් හම්බ වුණේ නෑනේ ”
ආදිත්‍ය නිහඬව බලා උන්නේය. මෞර්යා අපූරුවට තමාව කියවා ඇත්තේය. ජීවිතයේ සිටිය යුත්තේ තම නිහඬතාවය පවා කියවා ගත හැකි ආකාරයේ සහකාරියකි. එහෙත් අවාසනාවකට තමාට හමු වූයේ තම නිහඬතාවය පවා අවියක් කර ගෙන තමාට වංචා කරන්නට පෙළඹුණු සහකාරියකි.
” කියනවනං ගොඩක් දේවල් තියෙනවා මෞර්යා ”
” ඉතින් මං ඔයාට කිව්වනේ මට අහගෙන ඉන්න ඕන තරම් වෙලාව තියෙනවා කියලා ”
මෞර්යා දඟකාර ලෙස සිනාසුනාය. ඇයව හමු වූ මුල් දිනයේ සිටම ඇය පෙන්වන්නේ පරාර්ථකාමී ගති ගුණය.ෂෙහාරාගේ හදවත කිසි දිනක මේ ආකාරයෙන් අන් අය කෙරෙහි උණු වූයේ නැත. ආදිත්‍ය වටපිට බැලුවේය. ඇත්තටම මෞර්යාට තම සිතේ කැකෑරෙන වේදනාව කිව යුතුය යන හැඟීමක් ආදිත්‍ය තුළ විය.
” අපි කොහෙට හරි ගිහිල්ලා මොනවා හරි බොන ගමන් කතා කරමුද? ඇත්තටම කිව්වොත් මං ලන්ච් අරගෙනවත් නැහැ ”
” අයියෝ මොකක්ද ආදිත්‍ය ? ඔයා ඉතින් අසනීප වෙන එක අහන්න දෙයක්ද ? වෙලාවට කන්නේ බොන්නෙම නැහැනේ. ඊට පස්සේ ඉතින් මෙතන ජොගින් ට්‍රැක් වල වැටිලා ඉන්නවා ගෑණු ළමයින්ට ඇවිල්ලා හොස්පිට්ල් අරන් යන්න ”
මෞර්යා එසේ කියා සිනාසුනාය. එදින තමා අසනීප නොවූවා නම් මෞර්යාව මුණ ගැසෙන්නේ නැත. ජීවිතයේ ඕනෑම දෙයක් සිදු වන්නේ යම් හොඳ දෙයක් සිදුවීමටය. එදින තමා හදිසියේ අසනීප වීමද , මෞර්යා මුණගැසීමද එවැනි සිදුවීම්ය.
” මගේ වාහනේ යමු මෞර්යා. ආයේ වාහන දෙකකින් යන්න ඕනෙ නෑ නේ . මං ඔයාව මෙතනටම ගෙනල්ලා ඇරලවන්නං “
මෞර්යා ඒ අදහස අනුමත කර ආදිත්‍ය ගේ වාහනයට නැඟුනාය. ආදිත්‍ය වාහනය පැදවූයේ ඉතා සෙමිනි. ” Bakery at the lake ” වෙත පැමිණෙන තුරුම ආදිත්‍ය වචනයක් වත් කතා කළේ නැත. වැව මැදින් වූ කුඩා පාලමට ගොඩ වූ ආදිත්‍ය ඉදිරියට පියවර තබන විට මෞර්යා ද ඔහු පසුපසින් පියවර තබා ඒ තරම් සෙනඟක් නොවූ වැව පෙනෙන මානයේ තිබුණු මේසයක අසුන් ගත්තාය.
” ඔයා මොනාද බොන්න කැමති?”
ආදිත්‍ය ඇසුවේ මෙනුපත දෙස බලමිනි.
” ඔයා අරන් දෙන ඕන දෙයක් බොනවා ”
මෞර්යා සිනාසුනේ කුඩා ළදරියක සේය. ආදිත්‍ය ගේ හිත සෙලවෙන්නේ මෞර්යා ගේ මේ සියුම් හැසිරීම් වලටය.
උදෑසන සිටම ආහාරයක් නොවූ නිසා ආදිත්‍ය කෙටි කෑම වර්ග කිහිපයක් සහ පැශන් ෆෘට් වීදුරු දෙකක් ඇනවුම් කළේය. මෞර්යා උන්නේ වැව දෙස බලා ගෙනය. සේවකයාට ආහාර ඇනවුම ලබා දී අවසානයේ ආදිත්‍ය මෞර්යා දෙස බැලුවේය.තැනින් තැන ඇති විදුලි පහන් වල ආලෝකයෙන් ඇගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නේය. ඇය පියකරුය. ගැහැණු ළමයෙකු තුළ තිබිය යුතු ආකර්ෂණීය බව ද ඇය තුළ නොඅඩුවම තිබෙන්නේය.
” මෞර්යා “
ආදිත්‍ය මිමිනුවේය. මෞර්යා හැරී බැලුවාය. ආදිත්‍ය පිළිබඳව කුමක්දෝ අනුකම්පාවක් මෞර්යාගේ සිත තුළ උපන්නේය.
” ඉතිං ආදිත්‍ය ? “
” මං මොනාද කියන්න ඕනේ මෞර්යා ? ”
” ඕන දෙයක් ”
මෞර්යා කම්මුලට අතක් තබා ගෙන බලා උන්නේ ආදිත්‍ය මොනවා හෝ කියන තුරුය. එහෙත් මේ මොහොතේ තමා මුහුණ දෙමින් සිටින කටුක සහ අමිහිරි අත්දැකීම් මෞර්යා කුමන ආකාරයකින් බාරගනු ඇත්දැයි ආදිත්‍ය කල්පනා කළේය. ඊටත් වඩා මේවා ඇයට බර වැඩිය. ඇය මේ තරම් ගුණගරුකව හැදී වැඩි ඇත්තේ හොඳ පවුල් පරිසරයක විය යුතු අතර තම පවුලේ ඇතිවී තිබෙන තත්ත්වය සමහර විට ඇයට තේරුම් ගැනීමට නොහැකි වීමට ද ඉඩ ඇත.
” කියන්නකො අනේ ”
” මං කල්පනා කරේ කොතනින්ද පටන් ගන්නේ කියලා මෞර්යා ”
” ඔයා කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරත් මං අද ඒ කතාව අහලා මිසක් මෙතනින් යන්නේ නැහැ “
මෞර්යා කීවාය. ආදිත්‍ය මේ දෙගිඩියාවෙන් සිටින්නේ දින දෙක තුනක් හමුවූ තමා ඉදිරියේ ඔහුගේ ප්රශ්නය කියා සිටීමේ නොහැකියාවෙන් විය හැකිය. එහෙත් එය එසේ විය යුතු නැත.
” ඔයා මොනවා කිව්වත් මං ඔයාව ජජ් කරන්නේ නැහැ. තේරුනාද ? “
ආදිත්‍යයට ඒ වචන කිහිපය පමණක් ප්‍රමාණවත් විය. එසේ නම් තමාට ඕනෑම දෙයක් මෞර්යා ඉදිරියේ දැන් කිව හැකිය.
” මට මතක ඇති කාලෙක ඉඳලා මගේ අම්මටයි තාත්තටයි හොඳ පවුල් ජීවිතයක් තිබුනෙ නෑ මෞර්යා. මමයි මල්ලියි වැඩි හරියක්ම දැක්කේ තාත්තා කරන මොකක් හරි දෙයක් නිසා අම්මා පැත්තකට වෙලා දුකෙන් ඉන්න හැටි. නැත්තං අඬන හැටි.ගෙදරට වෙන්න ඕන සේරම යුතුකම් හරියටම කරත් තාත්තට හස්බන්ඩ් කෙනෙකුගේයි තාත්තා කෙනෙකුගෙයි වගකීම් මග ඇරුණා. අම්මටයි මටයි මල්ලිටයි එයාගේ ආදරේ ලැබුනෙම නැති තරම්. මටයි මල්ලිටයි කොහොම වෙතත් මං දන්නවා අම්මට ඒක ලොකු වේදනාවක් උනා කියලා”
මෞර්යා අසා උන්නාය. සේවකයෙකු පැමිණ ආදිත්‍ය විසින් ඇනවුම් කළ කෙටි කෑම කිහිපය සහ පැශන් ෆෘට් වීදුරු දෙක මේසය මත තැබුවේය. ආදිත්‍යය එක හුස්මට පැශන් ෆෘට් උගුරු කිහිපයක් බීවේය. ඔහු ඉන්නට ඇත්තේ කුසගින්නේ සහ පිපාසයෙන් බව මෞර්යා සිතුවේ ඔහු කෙරෙහි උපන් වේදනාවෙනි.
” ඔහොම ඉඳලා එක කාලෙකදී තාත්තා ගෙදරින් එළියට බැස්සා. සමහරවිට අම්මගෙයි එයාගේයි ප්‍රශ්න වලින් ගැලවිලා යන්න ඕන කමට එයා එහෙම කරන්න ඇති. ඒත් ඒකෙන් මගේ අම්මා හුඟාක් විඳෙව්වා මෞර්යා. එයා ජීවත් වෙලා ඉන්නම ඇත්තේ මායි මල්ලියි නිසා. තාත්තා එයාගේ ලොකුම බිස්නස් එක මටයි මල්ලිටයි බාර දීලා අනිත් බිස්නස් එයා කරගෙන ගියා. ඊට පස්සේ තමයි එයා එයාගේ යාළුවෙක්ගේ දුවෙක්ව මට ප්‍රපෝස් කරේ”
ආදිත්‍ය නැවතුනේය. විවාහය පිළිබඳව ගත් තීරණය ගැන තමාට තවත් වරක් කල්පනා කරන්නට තිබුනි.එසේ වූවා නම් තමාට අද මෙවන් ඉරණමක් අත් වන්නේ නැත.
” එතකොට ඔයා මැරීඩ් ද ආදිත්‍යය ? ”