අවුරුදු කෑම මේසේට ගැලපෙන රසම රස, ගුණදායක, බිම්මල් මෝජු..

බිම්මල්, එහෙම නැත්නම් මශ්රූම් කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන බිම්මල් වලින් ශරීරයට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා.  අඩු වියදමකින් පවුලේ සියලු දෙනාටම පරිබෝජනය කරන්නත් පුළුවන් නිසා ඔබත් බිම්මල් ආහාරය ගැන අවධානය යොමු කරන එක නම් හරිම වැදගත්. 

බිම්මල් ග්‍රැම් සීයක ග්‍රෑම් 89ක්ම තියෙන්නේ ජලය. වියළි බර ග්‍රෑම් සීයක් ගත්තාම  ප්‍රෝටීන ප්‍රමාණය 25% ත් ඉක්මවනවා. ඒ වගේම  මෙහි ඇති මේද ප්‍රමාණය සඳහා ශක්තිය ඉතා අඩු වීම නිසාත් ,  තන්තු ප්‍රමාණය වැඩි නිසා බර වැඩි පුද්ගලයන්ගේ ආහාර වට්ටෝරු සඳහා    ඉතා යෝග්‍ය වේ. ඒ වගේම  බිම්මල් කියන්නේ  අඩු ග්ලයිසිමිත් දර්ශකයක් ඇති ආහාරයක් වන අතර දියවැඩියාව ඇති පුද්ගලයන් සඳහා ද මෙය ඉතා සුදුසු ආහාරයකි. ඊට අමතරව බිම්මල් වලට ශරීරයට අත්‍යාවශ්‍ය ඛනිජ සහ විටමින් විටමින් වර්ගත් රාශියක්ම හඳුනගන්න පුළුවන්. 

බිම්මල් වල තියෙන ඖෂධීය වටිනාකම ගැන ලෝකය පුරාම වෛද්‍ය ආයතන වල පරීක්ෂණ සිදු කරනවා ඒ අනුව බිම්මල් වල තියෙන පිළිකා අවදානම අඩු කිරීමේ හැකියාව පිළිබඳව සමීක්ෂණ වාර්තා තහවුරු කරලාත් තියෙනවා. 

ඒ වගේම බිම්මල්වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් සහ  ප්‍රතිප්‍රදාහක  ගුණයත් තියෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම සඳහා ද, තරබාරුකම, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග සදහා ඇති අවදානම අඩුකිරීමේ හැකියාව ද බිම්මල් සතුව තියෙනවා. 

ඔන්න ඔය කාරණ  දැනගෙන මෙදා අවුරුදු මේසෙට රසම රස බිම්මල් මෝජුවක් හදාගන්න විදිය තමයි අද අපි ඔබට කියන්නේ. මීට අමතරව බිම්මල් වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම වර්ග අපි අවුරුදු කාලේ පුරාම ඔබත් එක්ක බෙදාගන්නත් බලාපොරොත්තු වෙනවා.

 මෙන්න මේ දේවල් තමයි ඔයා හොයාගන්න ඕනි. 

වියළි බිම්මල් 250 g ( බිම්මල් අවුවේ වියළාගෙන සකසා ගත හැක ) 

උම්බලකඩ / හාල්මැස්සෝ 100g 

රට ඉඳි 100

රතු ලූණු 250

අමු මිරිස් 100

අබ තේ හැඳි 1

කරදමුංගු කරල් 3

කුරුඳු පොතු 3

විනාකිරි බෝතල් 1/8

තක්කාලි සෝස් මේස හැඳි 2/3

රස අනුව – කහ, ලුණු, සීනි, ඉඟුරු, සුදුලූණු, මිරිස් 

වියළි බිම්මල් උතුරවා ගත් ජලයේ දමා විනාඩි තිහක් පමණ පෙඟෙන්න හරින්න. 

රට ඉඳි ඇට ඉවත් කර, රට ඉඳි මදය පමණක් වෙන් කරගන්න.

විනාකිරි, රට ඉඳි ,  සීනි අවශ්‍ය තරමට,  මිරිස් කුඩු  එකට  එක් කරගන්න. මැටි හට්ටියක් ලිප තබා  අබ ,  සුදු ලූණු, ඉඟුරු, (තලා ගත් )  .  කුරුඳු පොතු, කරදමුංගු, කහ , එයට එක් කරගෙන යන්තම් තෙම්පරාදු කරගන්න. එයට විනාකිරි මිශ්‍රණය එකතු කරන්න. ලිපෙන් බා නිවෙන්න හරින්න. 

අමු මිරිස් , හාල්මැස්සන් සහ රතු ලූණු ගැබුරු තෙලේ ඉතා ඉක්මනින් බැද ගන්න. 

බැදගත් අමු මිරිස් , රතු ලූණු සහ හාල්මැස්සන් විනාකිරි  මිශ්‍රණයට  එක්කරන්න.

පොඟවා ගත් බිම්මල්  ඉතා හොඳින් මිරිකාගෙන  ලුණු,කහ සහ විනාකිරි දමා අත  ගා ගෙන විනාඩි කිහිපයක් තබන්න.

ඉන් පසුව එම මිශ්‍රණය ගැඹුරු තෙලේ  ඉක්මනින් බැදගන්න. 

බැදගත් බිම්මල් තෙල් බේරුණු පසු  විනාකිරි , රට ඉඳි  සහ හාල්මැස්සන් මිශ්‍රණයට එක් කරන්න . 

මැටි මුට්ටි වල හෝ ජීවාණුහරණය කරගත් වීදුරු බෝතල් වල අසුරා ගන්න.

ඉතින් මෙන්න මේ විදියට හදාගන්න බිම්මල් මෝජුවක් අවුරුදු කෑම මේසෙට එකතු කරගන්න වගේම, නෑදෑ ගෙවල් වලට යනකොට අරගෙන යන්නත් අමතක කරන්න එපා.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles