සන්තාන සුසුම් සර – 17

0
5542

අගෝස්තු අහසේ සරුංගල් ගණනාවක් පාවෙනු පෙනේ. සෙවනැති සිමෙන්ති බංකුව මත වාඩි වී යසස්වි නිසොල්මන් බැල්මක සිටියා ය. තවමත් ඇගේ හිත තිගැස්සීගෙන ය. මිහිරි චමත්කාර රසයක් සිරුරේ හැම සෛලයක ම දිය වී ඇතිවා මෙනි. පෙර දා සැඳෑවේ රිය පුහුණුවට පෙර අවසාන වශයෙන් අස්විද පැවසූ වදන්     තවමත් දෙසවන් හි පිළිරැව් දෙමින් පවතී.

‘ඇයි කොල්ල කිව්වද එහෙම කරන්න කියල…’

ඊළඟ සතියේ ගෙදර ගිහින් දින තුන හතරක් නැවතී එනවායි ඈ කී විට අස්විද එහෙම ඇසුවේ ය. ඒ වෙලාවේ දෙපතුල් වලින් දැනුණ හිරිවැටීමේ රිදුම මේ දැනුත් ඒ අයුරින් ම දැනේ. නිරවුල් පිළිතුරක් දෙන්නට යසස්වි ට අවැසි විණි. නමුත් එය එක වචනයකින් දෙකකින් දිය හැකි පිළිතුරක් නොවේ. ටිකක් දිගට විස්තර කළ යුතු කාරණයකි. ඊටත් වැඩිය තවමත්   ඇයට හරි හැටි මුහුණ නො දෙන ආඩම්බරකාරයෙකු වන අස්විද ට, උදාර වැනි පෞද්ගලික මාතෘකාවක් ගැන පැවසිය යුතු ද යන පැනය ඈ තුළින් පැන නැඟිණ. ඔහු වන් ආගන්තුක පිරිමියෙකු එය කෙලෙසින් පිළිගනු ඇත්ද? ඈ ගැන වැරදි අවබෝධයක් ඇති කරගන්නට වුව පෙළඹෙනු නැතැයි කිව හැකි ද?

‘හරි ගන්න දැං වාහනේ ඉස්සරහට’

ඔහු කලබල පිරිමි හඬකින් කීවේ ය. උදාර ගැන පළහිලව්ව අස්විද ට කියනවා ද නැති ද යන දෙගිඩියාව පවා උපන් ගෙයි ම මිහිදන් කරන්නට යසස්වි ට සිදු වූයේ ඒ මොහොතේ යි.

අස්විද කාමරයේ ජනේලයෙන් යසස්වි දුටුවේ ය. ඇය ම ගෙනැවිත් ජනේලය ඉදිරියේ එල්ලන ලද සුළං සීනුව අතරින්, මිදුලේ බංකුවෙහි හිඳ ඉන්නා ඇය ඔහු ට පෙනේ. දුරට වුව ඇගේ මුහුණේ ඉරියව් ශාන්තිදායක ලෙස පෙනේ.

පෙර දා සැඳෑවේ ඇය යමක් පැවසීමේ උත්සාහයක් දැරුවා දැයි ඔහු ට සිහි වන්නේ දැන් ය.

‘ඇයි කොල්ල කිව්වද එහෙම කරන්න…’ කියා ඔහු ඇසූ වෙලාවේ ඈ දෑස් බිමට යොමු කරගත්දී මුව මත ලොකු කතාවක් ලියැවී තිබිණි. මඳහසකින් දෙතොල් හැඩ කරගෙන සිටියාට, ඒ මඳහස හෙමි හෙමිහිට වියැකී යමින් තිබිණ. හරියට පොඩි විහිළුවකට  මූණ රතු කරගෙන, අඬන්නට ඔන්න මෙන්න ව වාගේ බිම බලාගත් ගෑනු ළමයෙකු සේ ය ඔහු ට ඇය පෙනුණේ. ඇසුවේ නෑසිය යුතු යමක් දැයි ක්ෂණික පසුතැවීමක් අස්විද තුළ ඇති විය. ඔහු වහා ම මාතෘකාව වෙනස් කළේ එබැවිනි.

නමුත් ඇගේ හිතේ තිබුණ කතාව අසාගන්නට තිබුණා යි දැන් සිතේ. අනිත් අතට ඒ කතාව අහන්නට බියක් වන් හැඟීමක් ද පිරිමි හිතේ කෙළවරකට දැනෙමින් තිබේ. ‘ඔව්’ කියා ඇය පිළිතුරු දෙනවා අසන්නට ඔහු සූදානම් ද?

පෝය නිවාඩුව හින්දා අද අස්විද ගෙදර ය. යසස්විට ද විශ්ව විද්‍යාලයේ දේශන නො පැවැත්වේ. උදෙන් ම නිලූකා ඇයව පසෙකට කරගෙන දේශනයක් දුන්නා ය.

‘මොනා වුණත් ඔයා තාම පොඩි ගෑනු ළමයෙක්නෙ. අස්විද මල්ලි ටිකක් වැඩිහිටි පිරිමියෙක්නෙ. ඔය විදිහට ඔයා එයාගෙ කාර් එකේ නිතර නිතර යන එක හරි නෑ නේද… මිනිස්සු අනං මනං කියන්න පුළුවන්. මං මෙහෙම ඔයාට කියන්නෙ ඔයා මගෙ දුවෙක් වගේ නිසා. වෙන දේකට නෙවෙයි’

ඇය මෝඩ පන්නයේ  සිනහවක් පෑවා ය. ඒ සිනහව මේ කතාවට කොහෙත්ම ගැලපෙන්නේ නැතැයි යසස්වි ට වහා සිතිණ.

‘ඉතිං ඩ්‍රයිවිං ඉගෙන ගන්නනෙ’

‘ඒක හරි ළමයො. ඒක අපිනෙ දන්නෙ. රටේ මිනිස්සු ඕව දන්නෑනෙ’

‘අනේ රටේ මිනිස්සුන්ට කුදගහගන්න කියන්න’

යසස්වී සිය නො රිස්සුම පිට කළේ හැකි තාක් ඉවසිලිවන්ත ලෙසයි.

‘මටනං වැදගත් වෙන්නෙ මගෙ ළඟින්ම ඉන්න කීප දෙනා මං ගැන හිතන විදිහ විතරයි අක්ක. රටේ මිනිස්සුන්ට බයේ ජීවත් වෙන්න ගියොත් අපිට මේ ජීවිතෙන් බාගයයි ජීවත් වෙන්න වෙන්නෙ. අනිත් බාගෙ අපරාදෙ අපතෙ යනව. මට කෙලින් කියන්නකො. මං අස්විද අයියගෙන් ඩ්‍රයිවින් ඉගෙනගන්න එක ඔයාට හරි නිලූපා අක්කට හරි ප්‍රශ්නයක්ද…’

නිලූකා ට දැනුණේ කෙළින් ඇගේ මූණ බැලූ යසස්වි ගේ ඇස් දෙස බලන්නට බැරි අපහසුවකි.

‘අයියෝ… අනේ එහෙම දෙයක් නෙවෙයි… මේ… මේ… අපි…’

‘ඔයාල දන්නවනෙ ඉතිං අස්විද අයියගෙ හැටි මට වැඩිය. නිලූපා අක්ක අවුරුදු ගාණක් තිස්සෙ අස්විද අයියගෙ කැමැත්ත ගන්න ට්‍රයි කරනවලුනෙ. අනේ මන්ද ඔය ඩ්‍රයිවින් කියල දුන්නට අනිත් වෙලාවට එයා මාවනං ගණං ගන්නෙවත් නෑ. මං තමයි බලෙං එල්ලීගෙන කතාකරන්න යන්නෙත්. ප්‍රශ්නයක්නං ඉතිං… මං අස්විදයියටයි ආන්ටිලටයි කියල නතර කරන්නං ඩ්‍රයිවින් ලෙසන්ස් ගන්න එක’

‘නෑ නෑ යසස්වි… පිස්සුද ළමයො… එහෙම කලබල වෙන්න ඕන නෑ. අනික මේව ඒගොල්ලොන්ට කියන්න යන්න ඕන නෑ. ඔයා මට මගෙ දුවෙක් වගේ නිසයි කිව්වෙ’

යසස්වි ගේ දෙතොල් මත්තෙහි අවඥාසහගත සිනහවක් ඇඳී තිබේ. නිලූකා හා නිලූපා කොයියම් මොහොතක හෝ අවි අමෝරාගෙන ඇය වෙත කඩාපනිණු ඇති බව නො රහසකි. නමුත් ඇය ඔවුන් ගේ බලාපොරොත්තු වලට එරෙහිව නො සිටගත් බව විශ්වාස ය. අස්විද නිලූකා පිළිබඳ හිතක් ඇති නො කරගත් එක ඇගේ වරදක් වන්නේ කෙසේ ද?

‘ඒයි… සරුංගල් යවමුද…’

සනුක සරුංගලයක් ගෙන පැමිණියේ ය. සරුංගලයක් සේ එහෙ මෙහේ පා වෙමින් තිබි හිත එකලස් කරගෙන යසස්වී පොඩි දැරියක සේ සිනහ වූවා ය.

‘නියමයිනෙ. යවමු’

‘ඔයා අල්ලන්න. අර පාර හරියට ගිහිං අල්ලන්න. හුළං ආපු ගමං මං කියනකොට අතාරින්න හරිද…’

‘ඔන්න උඩ ගියාම මටත්   අල්ලං ඉන්න ඕනේ’

‘හරි හරි. අල්ලනවකො’

ඔවුන් ගේ සරුංගල් යැවීම දිවා ආහාරය වනතුරු ම පැවතිණ. ඒ අතරේ අස්විද ද ඔවුන් වෙත පැමිණියේ ය. නමුත් වෙනදා වාගේ යසස්වි එල්ලි එල්ලී ඔහු සමග කතාවට නො යන්නට වග බලාගත්තා ය. ඇගේ යම් වෙනසක් දැනුණ ද ඒ කුමක් ද කියා නිශ්චිත කරගන්නට ඔහු ට හැකි වූයේ නැත. කොහොමටත් ඔහු නීතීඥවරයෙකු වශයෙන් කියන දේවල් මිස නො කියන දේවල් වටහා ගන්නට හෝ ඒවාට වටිනාකමක් දෙන්නට පුරුදු වූ  පුද්ගලයෙකු නොවේ.

‘අද ටිකක් වේලාසන වටයක් ගිහිං එමු. මට හවසට වෙන වැඩක් තියනව’

කියා ඔහු කීවේත් වෙන වැඩක් ඇති නිසා ම නොවේ. යසස්වි ගේ වෙනස කුමක්දැයි හාරා අවුස්සනු වස් ය.

‘කමක් නෑ. ඒ වැඩේට යන්න’

ඇයට උවමනා වූයේ කුමක් දැයි ඇය ම දන්නේ නැත. නිලූපා හා අස්විද අතරේ විවාහයක් සිදු කරන්නට නිලූකා උත්සාහ කරනවා ය යන්න ඇය නො දැන සිටි දෙයක් නොවේ. අස්විද ඉතා තදින් නිලූපා ප්‍රතික්ෂේප කරනා බව ද ඕ ඉඳුරා දැන සිටියා ය. එනමුත් ඔහු ගේ හිතේ ඉසියුම් තැනකට අල්පෙනෙති තුඩකින් ඇන රිදවීමේ ගැහැනු ආශාවක් ඈ තුළින් නැගී සිටී. ඔහු ව පරීක්ෂා කිරීමේ ඊර්ෂ්‍යාකාර අවශ්‍යතාවයක් ඇයට දැනෙමින් තිබේ. ඒ මන්දැයි සිය හදවත විමසන්නට නම් යසස්වී පසුබෑවා ය.

හැන්දෑවේ ඔහු මතු මහළට ගොස් රිය පුහුණුව සඳහා යන්නට යසස්වි ට කතා කළේ ය. වජිරා හා විජිත ද ඒ වෙලාවේ එතැන සිටියා වුණත් යසස්වි සිය නෝක්කාඩුව ඉදිරිපත් කළා ය.

‘මං නිසා ඕන්නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නිසා… ඒ වැඩේ කරන්න ඕන්නෑ කියල මට හිතුණ’

ඇය කීවේ අස්විද පමණකුදු නොව විජිත හා වජිරා ද කුතුහලයට පත් කරමිනි.

‘ඒ කිව්වෙ…’

අස්විද ගේ ස්වරයෙහි දැඩි බවක් විය.

‘මං හිතන්නෙ නිලූකා අක්කල කැමති නෑ මං අයියගෙං ඩ්‍රයිවින් ඉගෙනගන්නවට. මාත් පස්සෙ තමයි හිතුවෙ ඉතිං. ඒක වැරදියිනෙ. නිලූපා අක්ක අවුල් යන්න වුණත් පුළුවන්නෙ’

යසස්වී වචන තෝරා බේරාගත්තේ පරිස්මෙනි. අස්විද නොව විජිත හා වජිරා වුව ඇගේ          ඊර්ෂ්‍යාව නො දැකිය යුතු ය. නමුත් අස්විද ගේ කේන්තිය අහස උසට නැගී තිබිණ.

‘මොන බහුබූතයක්ද මේ කියවන්නෙ… බලන්නකො අම්මෙ’

‘ඇයි නිලූකා හරි නිලූපා හරි දුවට මුකුත් කිව්වද…’

‘ඇත්තටම මං ඉතිං ඔය ගැන ලොකුවට හිතුවෙ නෑ මුලින්. ඒකට කමන්නෑ ආන්ටි. ප්ලීස් නිලූකා අක්කගෙන් මුකුත් අහන්නෙපා ආන්ටි. ඒක හරි නෑනෙ. නෑ කමක් නෑ ඉතිං… මට ලර්නර්ස් එකකට හරි යන්න පුළුවන්නෙ’  

‘ලෑස්ති වෙලා එනවද… මං තව විනාඩි පහක් දෙන්නං. අනිත් එක මං කාටවත් ඕන විදිහට වැඩ කරන්නෑ. මං කැමති විදිහටයි වැඩ කරන්නෙ කියල දැනගත්තොත් හොඳයි’

අස්විද එසේ කීවේ යසස්වි දෙස කෙළින් බලා ය. ඒ ස්වරයෙහි තර්ජනාත්මක බවක් වූවා ද කියා ඇය දන්නේ නැත. ඇස් වල බියක් වාගේ දෙයක් තැවරී තිබුණාට, අස්විද මේ විදිහට හැසිරීම ගැන ඇගේ හිතේ වූයේ සතුටකි. නිලුකාට වැඩියෙන් ඔහුගේ හිතේ ඇය වෙනුවෙන් ඉඩක් තිබේ. එවන් සිතිවිල්ලක් කෙතරම් බොළඳ ද හා ග්‍රාම්‍ය ද කියා දැන සිටියා වුණත්, ඒ සාමාන්‍ය ගැහැනු හැඟීම හිත පුරා විඳින්නට ඇයට වූයේ ලෝභකමකි.

‘දුව දැං යන්නකො. ඕව ගැන වැඩිය හිතන්නෙපා. දුවගෙ වැඩේ පාඩුවෙ කරගන්නකො’

විජිත ඇගේ හිස මතින් අතක් තබා කීවේ ය. ඔහුගෙන් නියත විවරණයක් ලැබුණා සේ යසස්වි ට දැනිණි.

එදා රිය පුහුණු කිරීම අතිශය සාමකාමී විය. අස්විද ඉවසිලිවන්ත පුහුණුකරු වූයේ ය. යසස්වී කීකරු ශිෂ්‍යාව වූවා ය. නමුත් ඔවුන් දෙදෙනා ගේ ම සිත් තුල පෙනෙන නො පෙනෙන තරම් කුඩා ගිනි පුපුරු දෙකක් දැල්වෙමින් තිබිණ.

‘මහ ලොකු කට තියනව මටනං… නිලූකා බණිනකොට ඉන්නැති ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ’

අස්විද මෝටර් රථය ගෙමිදුලට හැරවූයේ අඩ සිනහවකින් එහෙම කියමිනි. යසස්වි නෙත් කොනෙන් බැලුවා ය. මේ වෙලාවේ ඇය හැසිරුණේ හොර පූසියක සේ ය. මේ    හැඟීම් පොදිය සමග පූසියක සේ ගුලි වී සිටීමේ සුවය ඇය විඳිමින් සිටියා ය.

‘මීට පස්සෙ කවුරු ඔය ගැන මොනා කියං ආවත් කියන්න මාත් එක්ක කතා කරන්න කියල. එච්චරයි. ඔයා උත්තර දෙන්න යන්න ඕන්නෑ’

යසස්වී යන්තමින් හිස සැළුවා ය. ඇගේ ඇස් වල ඇයට ම දැනෙනා මඳහසක් විය. කෑගසා සිනහ වෙන්න ද ඉකි ගසා හඬන්න ද ඕනේ වගේ ඇයට දැනිණ. නමුත් ඒ කිසිත් කළ හැකි වූයේ නැත.

ඒ වචන ටික අයිති නීතීඥ වෘත්තියට බැව් අස්විද ට වහා සිහි විය. සිය සේවා දායකයෙකුට සාමාන්‍යයෙන් ඔවුන් උපදෙස් දෙන්නේ එසේ ය. නමුත් යසස්වි ව දැනෙනුයේ සේවා දායකයෙකු වශයෙන් ද? එක ම වචන ටිකක් වුව වෙනස් හැඟීම් වලින් වෙනස් අදහසක් දැනෙනා ආකාරයකට පැවසිය නො හැකි ද? සේවා දායකයෙකුට කිසි දා මේ තරම් ළෙංගතු ස්වරයකින් ආමන්ත්‍රණය කොට නොමැති බැව් අස්විද ට විශ්වාස ය.

රියෙන් බසිත්දී ම ගෙතුළ වූ කලබලකාරී හඬවල් ඇසිණ. හඬවල් කීවාට ඒ හඬ අයිති නිලූකා ට ය. ඔබ මොබ සක්මන් කරනා රූප සමූහය, සිනමා පටයක බිහිසුණු ම මොහොතක් යසස්වී තුළ අනුස්මරණය කරවී ය. අහේතුක භීතියකින් එ හිත සැලෙන්නට ගති.

‘ඇයි…’

අස්විද පෝටිකෝවෙන් ගෙතුළට පිය තැබුවේ එසේ විමසමිනි. ඇයිදෝ මන්දා ආරක්ෂාව සොයන්නට සේ යසස්වී ඔහු පිටුපස මුවහ වී සිටියා ය.

‘මෙන්න අයියගෙ කෙරුවාව. රත්තරං ගෑනු මුද්දක් අරගත්ත බිල් එකක්. මෙච්චර කාලෙකට මෙයා කරල නැති දෙයක් මේ… මං අහන්නෙ මොකීට දෙන්නද මෙයා මේ මුද්දක් අරං තියෙන්නෙ කියලයි’

අස්විද ට පිළිතුරු දුන්නාට නිලූකා ගේ ගිනිගත් වියරු දෑස් යොමු වූයේ යසස්වි වෙතටයි. අස්විද ට මුවහ වී සිටි ඕ ගෙතුළට පියවරක් තබා නිලූකා දෙස කෙළින් බැලුවා ය. ඇගේ දෑස් මගහරිනු වෙනුවට ඍජු ව බැලුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here