තුසිතය පිහිටි ඉඩම පර්චස් පණහක පමණ වපසරියකින් යුතු වූවකි. මහ ගෙදර ඉඩමෙහි වූ පර්චස් තිහට යාබදව වූ ඉඩම් කැබැල්ලක් විකුණන්නට යත්දී විජිත එය මිල දී ගත්තේ සිය තරුණ වියෙහි දී ය. මුළු තුසිතය ඉඩම දෙකට බෙදා, පිටුපස කොටස චේතිය නමින් ලියවුණේ ඔහු විවාහ වෙත්දී ය. ගෙය සහිත කොටස තවමත් වන්නේ විජිත නමින් වී ද දැන් එය ඔහු නමින් ලියාගන්නට කටයුතු කරන්නැයි ඔහු කිහිප වරක් අස්විද ට පවසා තිබේ. තවමත් ඔහු සිටිනුයේ එය නෑසුණා සේ ය.
විශාල වපසරියක බහුල ව ගහ කොළ වැඩී ඇති නිසා නියං සමයෙහි වුව තුසිතය සිහිලැල් ය. රාත්‍රියට ඒ සිසිල තීව්‍ර වේ. අස්විද මිදුලට බැස්සේ තුනී සීතල නිසා අත් දෙක පපුවේ බැඳගෙනයි. නමුත් හිතේ වූ ගින්දර නිසාදෝ චේතිය ට වෙසෙස් සිසිලක් නො දැනිණි.
‘නෑ කියන්නෙ… එහෙනං කාටද තමුසෙ ඒ මුද්ද ගත්තෙ…’
අස්විද ගේ හද ගැස්ම තීව්‍ර වී තිබිණ. මේ මොහොතේ එතැන සිටියේ දක්ෂ හා ප්‍රකට නීතීඥවරයා නොව නිකං ම නිකං අස්විද සූරියබණ්ඩාරයි. යටි පතුල් වල සිට ඔහු දියවෙමින් පවතින බවක් අස්විද අත්විඳින්නට වූයේ ය.
චේතිය ගේ බැල්ම අවංක විණි. අස්විද ගේ හදවත ගැස්ම තීව්‍ර වූයේ ඒ අවංක බව නිසා ම ය.
‘මල්ලි. තමුසෙලගෙ උසාවියෙදි මං කොයිතරං වැරදිකාරයෙක්ද කියන්න මං දන්නෑ. ඒත් මගෙ හෘද සාක්ෂිය ඉස්සරහ මං වැරදි නෑ. මං වෙන මොනා කරන්නද ඕයි…’
‘අයියෙ මේ… මාව පිස්සු වට්ටන්නැතුව… වට වන්දනාවෙ නොයා කෙළින් කියනව මොකද්ද මේ කුණුහරුපෙ කියල…’
‘මල්ලි මාත් පිරිමියෙක් ඕයි. නිලූකා මට කිසි වරදක් කරල නෑ තමයි. ඒත් අපි හරි ඈතයි මල්ලි. තමුසෙ තාම බැඳලත් නැති මනුස්සයෙක් නිසා මේක තේරුං ගන්න බැරි වෙයිද මන්ද. පාළුවෙ තනියම අතරමං වෙලා වගේ ඉන්න මිනිහෙක්ට… ඒ මිනිහ කෑවද කියල හරි අහන ගෑනු කටහඬක් කියන්නෙ ජීවත් වෙන්න හේතුවක්’
‘අ… අ… අයි…යෙ… තමුසෙ…’
‘පිරිමි කසාද බැඳල ඉද්දිත් ගණිකාවො හොයං යන්නෙ ඇයි කියල සමහර වෙලාවට අපි හිතනව මල්ලි. හැබැයි ඊට වැඩිය වෙනස්ම මානසික සුවයක් වුණත් සමහර මිනිහෙක් හොයන්න පුළුවන්. ඒ ගෑනු ළමය අස් වෙලා ගියෙ නෑ. එයා තාම අපේ ඔෆිස් එකේ ඉන්නව. මගෙ ඇසිස්ටන් විදිහට ඉන්න චූටි කෙල්ල. මං යනකොට මේසෙ පිහිදාල ෆයිල්ස් පිළිවෙලට තියල ලස්සනට අස් කරල තියනව. හැමදාම එන්නෙ පාරක වැටකින් හරි මල් ඉත්තක් කඩං. ඒක මගෙ මේසෙ උඩ පොඩි වාස් එකට දාල ලස්සනයි නේද සර් කියල අහල හිනාවෙනව. මං වැඩ අස්සෙම හිර වෙලා ඉන්නකොට කන්නකො සර් කියල දහ ගමනක් විතර කියනව. වතුර බොන්න අමතක වෙනකොට සර් වතුර බිව්වෙම නෑ කියල මතක් කරන්නෙ ඒ කෙල්ල. වතුර පෙවෙන්නෑ සඳුනි කියල කිව්වහම වහිනව වගේ අව්ව වැටෙනව වගේ ඉබේට වතුර පෙවෙන්නෑ සර්. බොන්න ඕනෙ කිය කිය අලුත් වතුර බෝතලයක් පුරෝල තියනව. දවසක් මතක් වෙලා මං කියන්න ඇති රෑ බෙහෙත් බොන්න අමතක වුණානෙ ඩයබිටික් වලට කියල. ඉතිං එදා මේ කෙල්ල මගෙ ෆෝන් එක අරං හැමදාම රෑ නවයට එලාම් එක සෙට් කළා. මේක වැදෙනකොට සර්ට මතක් වෙයි බෙහෙත් බොන්න කියල කිව්ව. ඇත්තටම දැං මං බෙහෙත් බොන්නෙ ඒ එලාම් එක මට මතක් කරන නිසා. ඔෆිස් එකේ කාගෙහරි බර්ත් ඩේ එකක් තිබිල අයිසින් කේක් ගෙනාවොත් එයා මට කන්න දෙන්නෑ සීනි වැඩිවෙයි කියල. සමහර වෙලාවට බටර් කෙක් කෑල්ලක් මට ගෙන්නල තියනව. තමුසෙ දන්නවනෙ මං වැඩිය කතා කරන මිනිහෙක් නෙවෙයි කියල. ගෙදර ආවට පස්සෙ කොහොමත් මං ඉන්නෙ ගොළුවෙක් වගේ. ඉස්සර කොහොම වුණත් දැන්නං නිලුකාටයි මටයි කතා කරන්නත් දෙයක් නැති තරං. එයාට ඕනෙ සල්ලි විතරයි. මං මුළු පඩියම දීල වියදමට පොඩි ගාණයි තියාගන්නෙ. ගෙදර දේවල් එයාට හොඳට කරගන්න පුළුවං. ඒත් තන්හාව. ගෑස් එකේ උයන්නෑ දර ළිපේ නහිනව. හැම වෙලේම කාටහරි කෑගහන දොස් කියන එකමයි කරන්නෙ. ඇත්තටම ගෙදර ඉන්නව කියන්නෙ ඒ කන්දොස්කිරියාවත් එක්ක අමාරුවෙන් ඉන්නවට. ඔෆිස් එක මාර සැනසිල්ලක් වෙන්නෙ ඒකයි’
එක දිගට කියවාගෙන ගිය චේතිය මඳක් නැවතී අහසේ කොනක මෝදු වෙමින් පැවති සඳ කිනිත්ත දෙස බලාගත්තේ ය. ඔහු ගේ මුව මත ඉසිහින් සිනහවක් වන බව අස්විද දුටුවේ ය. අයියා වැරදිකරුවෙකු කළ යුතු ද නිදොස් කොට නිදහස් කළ යුතු ද කියා ඔහු ට තේරෙන්නේ නැත.
‘එ… ඒ කියන්නෙ… තමුසෙයි ඒ ළමයයි…’
‘නෑහ්’
චේතිය සුසුමකින් අස්විද ගේ මුහුණ දෙස ඍජුව බැලුවේ ය.
‘අපි අතරෙ එහෙම සම්බන්ධයක් නෑ. අපි කවදාවත් එහෙම දෙයක් කතාකරලත් නෑ. හැබැයි මට ඒ ගෑනු ළමය ගැන වචන වලින් කියන්න බැරි හැඟීමක් තියනව මල්ලි. එයාගෙ සමහර හැසිරීම්… ඒ කියන්නෙ මං ගැන හොයන බලන මාව බලාගන්න විදිහ දැනෙන සමහර වෙලාවට දරාගන්න බැරි ආදරයක් ඇති වෙනව. මං දන්නව එහෙම වෙන්න බෑ. ඒ වගේ වෙලාවක වුණත් මං ඕන්නං ඒ ළමයගෙ ඔළුව උඩින් මගෙ අත තියල ඇති. මං එහෙම කරන්නෙ තාත්ත කෙනෙක්ගෙ හැඟීමෙන් කියල එයා හිතනව ඇති. සමහර විට මේ සමාජෙන් කවදාවත් ඉඩක් අවසරයක් සමාවක් ලැබෙන්නෑ කියල දන්න හැඟීමක් එයාගෙ හිතෙත් ඇති. අපි කවදාවත් එහෙම දෙයක් ගැන කතාකරල නෑ. හැබැයි ඔෆිස් යන ගමන් කේක් ශොප් එකකින් ලස්සන පොඩි කෑක් කෑල්ලක් එයාට අරං යන්න මට හිතුණ දවස් තියනව. එයා ආසවෙයි කියල හිතෙන පොඩි පොඩි සුකුරුත්තං බඩුවක් වුණත් කාටත් හොරෙං අරං ගිහිං මං එයාට දීල තියනව. ඒ වෙලාවට එයාගෙ සතුට… හරියට මං රටක් රාජ්ජයක් දුන්න වගේ. එයා මගෙ බර්ත් ඩේ එකට දීපු ශර්ට් එකට තරං මගෙ වෙන කිසි ශර්ට් එකකට මං ආස නෑ ඕයි. ඒක මහ පුදුම හැඟීමක්. මං දන්නෑ තමුසෙට ඒක තේරුං ගන්න පුළුවන්ද කියල’
චේතියටත් වැඩියෙන් බර වී තිබුණේ අස්විද ගේ හිතයි. පපුව පලාගෙන ගිනියම් ඊයම් බරුවක් කිඳාබසින්නාක් මෙනි. අයියා වැරදිකරුවෙකු කරන්නට මෙලොව වන කවර නම් අධිකරණයකට හැකිවනු ඇත්ද? කවර විනිසුරෙකුට හැකි වනු ඇත්ද? අස්විද සිය දෑස් හි තෙතමනයක් අත්වින්දේ ය.
‘මං ඔය මුද්ද ගත්තෙ ඒ ළමයගෙ බර්ත් ඩේ එකට දෙන්න. ඒක චූටි සුදු ගලක් අල්ලපු ලස්සන පොඩි මුද්දක්. එයා ඒකට හරි ආසයි. එයාගෙ මැද ඇඟිල්ලෙ ඒ මුද්ද දිළිසෙනව දකිනකොට මං විඳපු සතුට…’
‘අ… ඇයි ඉතිං… බිල් එක තියාගත්තෙ… ඒක විසිකරල දාන්නෙපැයි…’
‘මට ඒක විසිකරන්න හිතුන්නෑ මල්ලි. එයා ගැන මතක විසි කරල දාන්න මට හිතෙන්නෑ. සඳුනි බාගෙට ලියපු පෑනක් පවා මං එයාට හොරෙං හංගගෙන ඉන්නව’
අස්විද අයියා ගේ උරහිස වටා අතක් දමාගත්තේ පපුව පැලෙන්නට එනවා වාගේ දැනෙත්දී ය.
‘මගේ පුංචි රෝස මලේ… මමයි නුඹේ වියපත් බමරා…’
රයන් ගේ කටහඬ ඔහු ට හිත තුළින් ඇසිණ. තෙත කඳුළු ඇස් මත මඳහසක සේයා ඇඳී ගියේ ය.
ඒ තුසිතයෙහි පියස්ස මත නුහුරු බරක් පටවා තිබූ රැයෙකි. වේලාසන ම කවුරුත් කාමර වලට ගිය ද නින්ද තුසිතයෙන් දුර ඈතක තිබිණ. යසස්වී පරිගණකය දිගහැරගෙන, මතු මහළේ කුඩා ආලින්දයෙහි පැරණි සෝෆාව මතට වී විශ්ව විද්‍යාලයේ පැවරුමකට කරුණු ගොනුකරමින් සිටියා ය. පියගැට පෙළෙහි බරට අඩි තබා අස්විද ඉතා හෙමිහිට මතු මහළට පිවිසියේ ඒ වෙලාවේයි. සඳැල්ලට විවර වන දෙපියන් ලෑලි දොර තවමත් තිබුණේ විවෘතව ය. විජිත එය වහන්නට හදත්දී යසස්වි වැලකූයේ මල් සුවඳකට එනු පිණිස යි. නිදන්නට යත්දී එය වසන්නට ඇය පොරොන්දු වූවා ය.
යසස්වි ගේ ඇස් වල වූයේ ප්‍රශ්නාර්ථයකි. නමුත් ඇය සිනහ වීමේ උත්සාහයක් ගත්තා ය. ඉකිළුමක් හදවතේ ගුලි කරගෙන සිටි අස්විද සිනහ වෙන හැටි දැනසිටියේ නැත.
අස්විද මතු මහළට පැමිණියේ තනිවෙන්නට දැනුණු අසීමිත බියක් නිසාවෙනි. ඒ හැඟීම කුමක්දැයි ඔහු දන්නේ නැත. එවැන්නක් මීට පෙර කිසි දා ඔහු අත්විඳ ඇත්තේ ද නැත. අයියා චේතිය හදවතේ සංවේදී ම තැනක් පුපුරවා හැර තිබේ. මේ රිදුම අයියා ගැනත් තමන් ගැනත් පොදුවේ ඔහු ට දැනෙන්නකි. ප්‍රේමය කියන්නේ හැමදාමත් පමා වී දැනෙන්නට පමා වී හමුවන්නක් ද?
අස්විද මතු මහලට පැමිණියේ අම්මලා තවමත් එහි පුටු කට්ටලයෙහි වට වී හිඳ රහස් හඬින් කතාබහ කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔහුටත් ඔවුන් අතරට වන්නට ඕනෑ විය. එතකොට මේ වියරු තනිකම අහෝසි වී යනු ඇත. ආදරය පෙන්වන හිතක්, රැක බලාගන්නවායි දනවන කෙනෙකු නැති ආත්මයක් ග්ලැසියරයක් සේ සීතල ය යන සත්‍යය ඔහු ඉදිරියෙහි නග්න වී තිබේ. අයියා ට එරෙහිව වචනයකුදු කියාගන්නට දිරියක් නොවුණේ එබැවිනි. පොඩි කාලේ වගේ ම අම්මා ගේ තුරුළට වී ඔවුන් දෙදෙනාට එක පොදියට එකට ගුලි වී ඉන්නට තිබුණා නම්! ඔවුන් ලොකු මිනිසුන් සේ උස් මහත් වූයේ ආදරය නමැති උණහුම් කබායෙන් තොරව ජීවිතේ ශීත වූ මහගිරි දඹ නගින්නට ද?
ආලින්දයෙහි යසස්වි පමණක් සිටිනු දුටු අස්විද තුළ ඇති වූයේ අපහසුවකි. මීට පෙර ද නින්ද නොඑනා අනන්ත රාත්‍රීන් වල ඔහු මතු මහළට විත් දෙපියන් ලෑලි දොර විවර කරගෙන සඳැල්ලට වී හෝරා ගණන් ගත කොට තිබේ. සව්මිය වූ සීතලටත්, රිදුණු හිත මත ඔසු ගල්වන ඉසිහිං සුළං සීනු නදටත් අනුගතව, අප්‍රමාණ අහස් අගාධය දෙස බලාගෙන බෝ වෙලා ගතකොට තිබේ. නමුත් එතකොට යසස්වී පිටත රැඳී හිඳ නැත. මේ රාත්‍රියේ, ගෑනු ළමයෙකු තනිව අවදියෙන් හිඳින හුදෙකලාවක මතු මහළට පිවිසීම වරදක් සේ, නඩු නො කියා ම හිත පිළිගත්තේ ය. ඇදෙස බැලූ මතින් වදනකුදු නො දොඩා ඔහු සඳැල්ලට රිංගා ගත්තේ එබැවිනි.
යසස්වි ට ඒ ඇස් දෙක මතක ය. ඒ ඇස් මත සංවේගයක, සන්තාපයක අධි සාන්ද්‍රීය මාත්‍රාවක් තැවරී තිබිණ. උකුල මත වූ පරිගණකය පුටුවක් මතින් තබා ඇය නැගිටගත්තේ එබැවිනි.
මල් සුවඳ වඩාගත් තෙත්බර සුළඟක් සඳැල්ලට ගොඩ වී දඟයක් කළේ ය. නම නො දන්නා තාරකාවක් ඇසක් අඩවන් කරමින් නිදිමතයි කීවේ ය. අස්විද සූරියබණ්ඩාර නාඳුනන බියක් තුළ මංමුලා වී පාර හොයමින් සිටියේ ය. කතා කිරීමේ බියක් යසස්වි ට දැනිණ. ඇගේ වදනකින් මේ බරැති දැහැන බිඳින්නට ඕ බිය වූවා ය. නමුත් යමක් සිදු වී ඇති බැව් දැනේ. ඇය ගරාදි වැටට බර වී මඳක් ඉදිරියට නැඹුරු ව අස්විද ගේ මුහුණ දෙස බැලුවා ය.
‘ඔයා චුට්ටක් අක්කගෙ හිත හදන්න’
ඔහු උගුර යටින් කියාගත්තේ ය.
‘ඔයා කියපු එක ඇත්ත. ගෑනු පව්’
නපුරක් සිදු වී හෝ සිදු වෙමින් පවතින බව දැන් යසස්වී ට සක්සුදක් සේ විශ්වාස ය.
‘ගෑනු විතරක් නෙවෙයි යසස්වි. පිරිමිත් පව්. සමහර විට අපි කවුරුත් වැරදි නෑ. වැරදි කරන්න ඕනත් නෑ. සිද්ද වෙන්න පුළුවන් දේවල් හරියි වැරදියි කියන ගොඩවල් දෙකට විතරද දාන්න පුළුවන් කියල මං මගෙන්ම අහනව. මේ කිසි දේකට උත්තර නෑ යසස්වි. ඒත් ලෝකෙ කැරකෙනව. මිනිස්සු ජීවත් වෙනව. ඇතුළෙං මැරි මැරිත් ජීවත් වෙනව’
යසස්වි, වෙනදාට තොරතෝංචියක් නැතිව කියවන සිලිබිල්ල පවා ගොළු වී සිටියා ය. හේතුවක් දැනී හෝ නො දැනී ඇයත් රිදුමක කෙළවර එල්ලී සිටියා ය. ජීවිතය වූ කලී ප්‍රේමයෙන් ද වේදනාවෙන් ද විනිර්මුක්ත විය නො හැකි කාල අවකාශයකට බව වටහාගනිමින් සිටියා ය.