කොල්ලුපිටිය හන්දියේ සිට හෙමි හෙමිහිට ගාලු මුවදොර පිටිය දෙසට ඇවිද ගිය චේතිය සූරියබණ්ඩාර ගේ පපුවෙහි කළු ගලක් තැබුවා වන් බරක් පැටවී තිබිණ. මේවා කල් ගතවූ ගල්ගැහීම් බව ඔහු දනී. තුවාල, රිදුම්, තැලීම් සියල්ල නො සලකා හැරීම නිසා හදවත් පේශීන් ගල්වී ගොසිනි. හුස්ම ගන්නා වාරයක් පාසා ඒ බර දැනේ. එය මියෙන තුරු උහුලා සිටිය යුතු බරකි. ගෙදර යන්නට බසයක නැගෙන්නට ඔහු ට නො සිතිණ. බැම්මක් මත වාඩි වී කාර්යාල බෑගය පසෙකින් තබාගත් හෙතෙම, රතු පාට ලොකු ගෝලයක් ලෙස සයුරට පැන මියෙන්නට යන හිරු දෙස බලාගත්තේ ය. හැන්දෑවට වැඩ නිම වී යන්නට සැනසිලිදායක ගෙදරක් නැති වීම තරම් අවාසනාවක් පිරිමියෙකුට තව තිබිය හැකි ද?
වෙරළට විත් බිඳී යන අපමණ රළ සේ, ඔහු ගේ හිත ළඟට විත් විසිරී යන සිතිවිලි පෙණ කැටිති දෙස ඔහු නො බලා ම සිටියේ ය. තැන් තැන් පැසී ඇති රැවුල් කොට සහිත නිකට පිරිමදිමින් මුහුදු සුළඟට සුසුම් එක් කළේ ය. හැකි තරම් පමා වී ගෙදර යන එක හොඳ යයි ඔහු ට සිතෙයි. එතකොට දිය නා, යමක් කුසට දමාගෙන එහෙම ම ඇඳට වැටිය හැක. සිහි නැති වනතුරු මත් වෙන්නට ඇත්නම් කියා ද ඔහු ට නො සිතෙනවා නොවේ. අස්විද ගේ නමින් දුරකතනය හැඬවුණේ ඒ වෙලාවේයි.
‘මල්ලි… කියනව’
‘කොහෙද ඉන්නෙ… අවුලක් නෑ නේද…’
‘මං දැන් ඔෆිස් එකෙන් එළියට ඇවිත් ඉන්නෙ. ගෙදර එනව කියන්නෙ දැන දැන අපායට යනව වගේ ඕයි. අන්තිම සැරේට පෙට්ටියකින් ගෙදර ආවනං ඇති කියලත් හිතෙනව’
‘පිස්සුද ඕයි…මං එන්නද පික් කරන්න…’
‘එපා එපා. ආයෙ මෙච්චර දුරක් එන්න ඕන්නෑ. මං එන්නං’
‘පිස්සු කෙළින්නැතුව ගෙදර එනව’
අස්විද ට අයියා ගැන කණගාටු ය. නිලූකා ගැන පෙර දා රාත්‍රියෙහි දැනුණු ශෝකය මරාගෙන දැන් දැන් ඉසියුම් කෝපයක් ඉපදෙමින් තිබේ. දැන් සිටින්නේ අයියා විවාහ වෙත්දී සිටි නිලූකා නොවන බව සිහි වන්නේ හෙමිහිට කල්පනා කරත්දී ය. චේතිය ව දැන් ඉන්නා තැනට තල්ලු කරගෙන යාමේ වගකීමෙන් විශාල කොටසක් ඇය මත පැටවේ. ඈ නිතර ම සැමියා ගේ හිසට වද දුන් බිරිඳක බව අතීත සිදුවීම් යළි සිහි කරත්දී වටහාගත හැක. මුලදී සිය මතය වෙනුවෙන් පෙනී සිටි චේතිය, පසුව ඒ බහින්බස්වීම් අත්හැර ඇයට ඕනෑ එකක් කරගන්නට හැර නිහඬ වූයේ ය. ඔහු ඉදිරියෙහි තෝරාගැනීම් දෙකක් තිබිණි. එකක් විවාහ දිවියයි. නැතහොත් සිය නිදහසයි. පුතුන් දෙදෙනා වෙනුවෙන් චේතිය විවාහය තෝරාගත්තේ ය. නො එසේව ඔහු නිලූකාව නීතියෙන් අත්හැර දමා බෝ කල් ගත වී වන්නට තිබිණ.
දවස බෙහෙවින් දිගයි වාගේ යසස්වි ට දැනෙමින් තිබිණ. හිත ඇතුළෙන් යමක් ඉල්ලා සිටින බවක් දැනිණ. ඇය වරින් වර පෙරමග බැලුවා ය. සනුක බංකුව මත හිඳිනු දැක ඇය ඔහු වෙත ගියේ වෙලාව ගතකරගන්නටයි.
‘හිත මාර අවුල් හලෝ මොනා වුණත්’
ඔහු විඩාබර මඳහසක් පෑවේ ය. ඔහු කෙරේ සැබෑ සංවේගයක් යසස්වි ගේ හදවතට බරට දැනිණ.
‘පිස්සු ළමයෙක්නෙ ඔයා. එහෙම තමයි. පවුල් වල ප්‍රශ්න ඇතිවෙනව. ඔයා දන්නවනං දවසකට කී දාහක් කපල්ස් ෆැමිලි කවුන්සලින් වලට යනවද කියල… හිතාගන්නත් බෑ. එහෙම තමයි සනුක. ඒක ලේසි දෙයක් නෙවෙයි. දෙන්නෙක් එක ගමනක් යනකොට… මොනා වුණත් දෙන්නෙක්නෙ… එක වගේ නෑනෙ. ඉතිං වරදක් වුණත් නැතත් මත ගැටෙන්න පුළුවන්’
‘ඇත්තටම තාත්තට වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනව ඇද්ද… එහෙම හිතනකොටත් මට නිකං පිස්සු වගේ. මන්දන්නෑ. මට මුකුත් හිතාගන්න බෑ ඒ ගැන’
‘සනුක. විකාර කියවන්නෙපා. මට තේරෙනව ඔයාට දැනෙන දේ. ඒත් එහෙම හිතන්නෙපා. ඔයා බුද්ධිමත් ළමයෙක්නෙ. අම්ම කියන දේවලින් හිතන්නෙපා. අම්මත් මේ වෙලාවෙ අවුලෙන්නෙ ඉන්නෙ. එයා කොහොමත් දුරට දිගට හිතන්නැතුව කටට එන දේ කියෝන කෙනෙක් වගේනෙ’
‘මාත් මේ හිටියට අම්ම එක්ක කේන්තියෙන් ඉන්නෙ’
‘අම්ම ගැනත් එහෙම හිතන්නෙපා. සනුක පවුල් ජීවිතයක් කියන්නෙ හරි සංකීර්ණ දෙයක්. අපිට ඒක කොටු ගහල ෆ්‍රේම් ඇතුළට දාන්න බෑ අපි හිතන හිතන විදිහට. ඒක එයාගෙ හැඩය ගන්න තමයි බලන්නෙ හැම වෙලේම. අනිත් කෙනාට ගරු කරන්න ඕනෙ ඒකයි. අනිත් කෙනාගෙ නිදහසට රෙස්පෙක්ට් කරන්න ඕනෙ ඒකයි. මේ බැලන්ස් එක කැඩුණොත් පවුලක් ඇතුළෙ ලොකු අවුලක් වෙන්න බලනව. දැන් වෙලා තියෙන්නෙ ඒක’
‘තාත්ත ඩිවෝස් වෙයිද යසස්වි…මට තේරෙනව අම්ම එක්ක වසන්න බෑ කියල. ඒත්…’
‘පිස්සුද ළමයො… තාත්තට එහෙම දෙයක් නෑ. අම්ම කටට ආවට කියන දේවල් ගැන ඔයා දන්නවනෙ. මේකත් එහෙමයි. අවුල් යන්නෙපා අනේ. එහෙම කරනවනං තාත්තට ඕගොල්ලො මෙච්චර ලොකු වෙනකල් ඉන්න ඕනෙද… කලින් කරන්න තිබුණනෙ’
සවස තේ පාණය වෙනදා වාගේ සැහැල්ලු හා ප්‍රීතිමත් වූයේ නැත. උදේ යසස්වි බොහෝ පැහැදිලි කිරීම් කළ ද හැන්දෑ වන විට නිලූකා ට ඒවා අමතක ව යමින් තිබිණ.
‘මෙච්චර පරක්කු වෙන්නෙ ගිහිං ඇති අර මුද්ද ගත්ත එකී එක්ක දඩාවතේ’
ඇය හඬනගා ඇනුම් පද කීවා ය.
‘අනේ සනුකලට ඇහෙන්න ඔය වගේ කතා කියන්නෙපා අක්ක. ඒක හරි කැතයි. ඔය දෙන්න අතරෙ මොන ප්‍රශ්නයක් තිබුණත් ළමයින්ගෙ හිත් වල තාත්තට තියන ගෞරවේ නැති කරන්න හොඳ නෑ’
යසස්වි නිලූකා ට රහසින් වාගේ කීවා ය.
‘අනේ එයාගෙ ගෞරවේ. තාත්ත කෙනෙක් කරන දේවල්ද ඔය කරන්නෙ…’
‘උසාවියකින් වුණත් දෙයක් තීන්දු කරන්නෙ සාක්ෂි තියනවනං. එහෙම නැතුව බොරුවට චෝදනා කරන්න එපා. මෙහෙම ඔළුව කන්න හදනකොට ඒ මිනිහට කොහොමත් ගෙදර එපාවෙනව’
තවත් නිහඬව ඉන්නට බැරි තැන, අස්විද නැගිට තරමක් උස් හඬින් එසේ කියනා ගමන් හිස් තේ කෝප්පය හඬ නගා කනප්පුව මත තැබුවේ ය. තුසිතය එක මොහොතකට අල්පෙනෙති තුඩක් බිම පතිත වූවත් ඇසෙනා තරමට නිහඬ විය. කවුරුන්වත් ඒ මොහොත තුළ හුස්මක් හෝ ගත්තේ නැතිදැයි සිතෙනා තරමි.
‘යමු’
කියා එවර ඔහු ගුගුලේ යසස්වි වෙතට යි. ඒ සපත්තු අඩි පපුව මතින් තැබෙනවා බඳුව ඇයට දැනිණ. ඔහු පසුපසින් ඇය ඉක්මන් අඩි තබා ගියේ ගෙදරට ඇඳ උන් ඇඳුම පිටින් ය.
රිය දොර වෙනදාට වැඩි හයියෙන් වැසිණි. අස්විද අතැඟිලි වලින් දෑස් පොඩි කරගන්නා ගමන් මුහුණ තදින් පිරිමැද ගත්තේ ය. යසස්වී අයා ගත් මුවින් බලා සිටියා ය.
‘ගන්න ඉස්සරහට’
එය එසේ සිදු වූයේ හදවතේ වූ ගැස්ම නිසා ම විය යුතු ය. නැතහොත් ඇය නිරවුල් සිහියකින් කිසිත් කළේ නැත. රිය නිසොල්මනේ ඉදිරියට ඇදෙමින් තිබිණ. අස්විද වරින් වර සුක්කානම අල්වා එහි ගමන විධිමත් කළේ ය.
‘ඔය ඉස්සරහින් නවත්තන්න’
අතු පතර විදාගත් දැවැන්ත මැයි ගස් සෙවනේ ඇය රිය නතර කළා ය. අස්විද අසුනේ පිටුපස ඇන්ද ට හිස බර කොට මොහොතකට නෙතු පියවාගත්තේ ය.
‘එහෙම කෑගහන්න එපා ඉතිං’
ඇය මද මුදු මධුර සරකින් මිමිණුවා ය. අස්විද ඇස් පියාගෙන ම හිටියේ ය. ඇය ගේ හඬ හැසිරවීම තුළ හිස පිරිමදිනා සුවයක් දැනිණ. තව තවත් ඒ සුවය විඳගන්නට අවැසිවා වාගේ දැනුණෙන් ඔහු නෙතු පියවාගෙන ම සිටියේ ය.
‘එතකොට නිලූකා අක්ක හිතන්නෙ ඕගොල්ලො ඔක්කොම එක පැත්තක් අරං එයාව කොන් කරල වගේනෙ’
‘නිලූකා මේ විදිහට බෙලිකටු මල්ල හොලවන්න ගත්තොත් අයිය ජීවිතේ නැතිකරගන්නව කොයි වෙලේ හරි’
යසස්වි තිගැස්සී ගියා ය. මහා නුග රුක් වාගේ සිටි පිරිමින් හා ගැහැනුන් උන් හිටි ගමන් සිය දිවි නසාගන්නා සිදුවීම් ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. ඔවුන් ඒ තරම් බරපතල තීරණයක් ගනුයේ පහසුවෙන් නොවේ. වෙන කරන්නට යමක් නොවෙතැයි තීරණය කරනා අවසාන මොහොතේ ය. රිදුම් හා පීඩනය ඔවුන් වටකොට, ගැලවිය නො හැකි ලෙස ප්‍රහාර එල්ල කරන්නට ගත්දී ය. එතකොට ජීවත් වෙනවාට වැඩිය මරණය පහසු යයි සිතේ. කෙනෙකු ඒ තත්වයට පත් නොකිරීම වගකිව යුතු මනුෂ්‍ය ස්වභාවයකි.
‘ඔයා අක්කට කතා කළා ද…’
අස්විද විමසූයේ දෑස් පියාගෙන ම ය. යසස්වි යන්තම් හිස හරවාගෙන මේ පිරිමි පෞරුෂය දෙස බලා සිටියා ය.
‘හ්ම්’
එසැනෙන් ඔහු ගේ දෑස් විවර විය. ඒ මුව මත ප්‍රශ්නාර්ථයක් වූයේ ය.
‘හැබැයි ඉතිං එයාට ලේසියෙන් දෙයක් තේරුං කරල දෙන්න බෑ වගේ. තේරුණත් ඒක පිළිගන්න එයා කැමති නෑ’
‘ගෑනියෙක් වුණාම පොඩ්ඩක් ගෑනියෙක් වගේ ඉන්න ඕනෙ. එහෙම නොවුණහම පිරිමි වෙන ගෑනු හොයං යන එක පුදුමයක් නෙවෙයිනෙ’
යසස්වි ගේ දෑස් මහත් වී ය.
‘නෑ මං කියන්නෙ ඒක හරි කියල නෙවෙයි. මානසික සැනසිල්ල නැති වුණාම තමයි පිරිමින්ට ගෙවල් එපාවෙන්නෙ. කොටින්ම පිරිමි ගෙදර කියල කියන්නෙ ගෑනිට. පවුල කියල කියන්නෙ ගෑනිට. ගෑනි දැනගන්න ඕනෙ ඒ වටිනාකම් පරිස්සං කරගන්න. ගෑනියෙක්ට බැරිනං තමුංගෙ මිනිහගෙ හිතේ පිරෙන්න… වෙන තැන් වලින් පිරෙන එක වලක්වන්න බෑ. සමහර විට ඒ පිරෙන්නෙ යක්කු පෙරේතයො වෙන්නත් පුළුවන්. අන්තිමට ඒ මිනිහගෙ අවසාන ක්‍රියාවට දොස් කියලවත් වැරදිකාරය කරලවත් වැඩක් නෑ කියලයි මං කියන්නෙ’
ඒ මොහොත හා නොපෑහෙන සිනහවක් දෙතොල් මත තද කරගෙන යසස්වි ඔහු දෙසට දඟකාර බැල්මක් හෙළුවා ය.
‘මනමාලි බලන්න යන්න ඔක්කොම කොලිෆිකේශන්ස් තියනව කියල මං ආන්ටිට කියන්නං’
අස්විද ගේ දෙතොල් පෙති ලිහී හසරැල් විලක් මැවිණි. යසස්වී එක මොහොතකට අතරමං රැල්ලක පැටලී සිටියා ය.
‘මේව දැක්කහම ගෑනුනං ඕනම නෑ’
‘හරිනැත්තං පස්සෙ වෙන කෙනෙක්ට මුද්දක් මාලයක් දෙන්නත් බැරියෑ’
එවර ඇගේ ස්වරයෙහි වූයේ අවඥාවකි. ඔහු අඩැස් බැල්මකින් ඈ විනිවිද බැලුවා ය.
‘ගෙදර යශෝදරාට රාහුල හම්බවෙලා ඉද්දි… මග එනකොට බැල්කනි එකක ඉඳල නිබ්බුත පද කියපු කිසා ගෝතමීට සිදුහත් කරේ තිබ්බ මාලෙ ගලෝල දුන්නලු යසස්වි’
ඇගේ වත මත වූ මඳහස තුනී වී යමින් තිබිණ. ඕ ඇයත් සමග ම කල්පනාවක යම් දුරකට ඇවිද ගියා ය.
‘දවසක මං බැන්ද කාලෙක… එයා වෙන කෙනෙක්ටයි ආදරේ කරන්නෙ කියල දැනගත්තොත් ඒ මං එයා එක්ක ඉන්න අන්තිම දවස වෙයි’
ඒ මිමිණුම නැගුණේත් කල්පනාව අතරින් ම ය. අස්විද දෑස් නො පියවා ඒ දේවතා ඇස් දෙක දෙස බලාසිටියේ ය.
‘ඒ කියන්නෙ එතන අනියම් මංනෙ… නියම කෙනාට ඉඩ දීල මං යයි. හොඳටෝම මං අඬයි තමයි… මං එයාට ආදරේ නිසා. හැබැයි රණ්ඩුකරන බණින එකක් නෑ. ඒත් මං එයාට ආදරේ නිසා…’
ඇය සිටියේ ඒ නො පැහැදිලි ඡායාවන් සහිත අනාගත මොහොතට මත්තෙන් පා වෙමිනි.
‘ඔයාට එහෙම වෙන එකක් නෑ’
අල්වාගෙන සිටි හුස්මක කෙළවර, එය අතැර දමමින් අස්විද කෙඳිරුවේ ය. යසස්වි අහසෙන් පොළොවට පතිතවූවා ය.
‘ඇයි…’
‘ඔයා එයාට එහෙම ආදරේ නිසා. එතකොට එයාට ඕනවෙයිද වෙනකෙනෙක්ට ආදරේ කරන්න…’
යසස්වි පිළිතුරක් නොමැතිව සිටියා ය.
‘යං’
හදිසි සිහි එළඹුමකින් ආසන පටිය තද කරමින් අස්විද හරිබරි ගැසුණේ ය. සියල්ල අමතක කොට දඟකාර සිනහවකින් යළි උපන් ඇය රිය පණගැන්වූවා ය.