නම නොදන්නා කඳු පන්ති 10

මාරයි බානු.. මාරයි … ඔච්චර ආශ්‍රය කරලත් මම දැනගෙන හිටියේ නෑ ඔයාට ඔහොම හැකියාවක් තියෙනවා කියලා.ඔයා මාර විදිහටනේ මේ ඉන්ටර්වීව්ස් හැන්ඩ්ල් කරලා තියෙන්නේ .

කේසර පුරුදු කතාව දිග අරිනකොට වානි සුපුරුදු ඈනුම් දෙක තුනක් අරින ගමං කාන්තා රූ නාරි සගරා වගයක් බලන ගමන් උන්නා.

මේ කේ…. මේ වගේ සඟරාවකුත් අපි පත්තරේ මැද්දට ඇඩ් කළොත් මොකද..තාරුට මෙන්න මේකට හොඳට ලියන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි ටැබ්ලොයිඩ් වලින් පත්තරේ සෑහෙන්න ජනප්‍රිය කරන්න පුළුවන්.

අපි දෙන්නාගේ කතාව මැද්දට වානි පැනලා කතා කරන එක මට ඉවසගන්න බැරුව ගියා.ඒ උනාට නීතියෙන් හෝ කොයි විදිහකින් හෝ දැන් වානි කේසර ගේ. ඒ හින්දා මට වඩා අයිතියක් තියෙන්නේ එයාට.එච්චර වැදගත් කතාවක් කරනකොටත්  මේ විදිහ දෙයක් අරගෙන මැද්දට පනින්නේ මේ ගෑණු මනුස්සයාගේ තියෙන නූගත්කම හින්දමයි කියලා මට හිතුණා.

නූගත් කම නෙමෙයි බං..තියන ඉරිසියාවනෙ..කියලා  එදා කැන්ටින් එකේ දී හිනාවෙවී තාරු මාත් එක්ක කිව්වා.උබයි  මමයි මේ විදිහට යාළුයි කියලා වානි හොඳටම දන්නවා.එයාට ඕනේ කොහොම හරි අපි දෙන්නගේ යාළුකමත් කඩලා බිඳලා දාන්න.ඒකනේ කොහේවත් නැති මාවත් මේ පත්තරේට කොහොම හරි ඇදලා ගත්තේ.උඹ දන්නවද බානු  ලංකා විත්ති එකට වඩා දෙගුණයක් මට මේගොල්ලෝ ගෙවනවා.

මම හිනා වුණා. තාරු ඇත්තටම අහිංසකයි කියලා මට හිතුනා.කිසිම දෙයක් හංගන්න හීනෙකින්වත් හිතන්නේ නැතුව හැමදේම මාත් එක්ක කියන්නේ ඒකයි කියලා මට හිතුනා.

මම තාරුගේ අත් දෙක අල්ල ගත්තා.

තාරු ..එකම එක දෙයක් මම උබෙන් ඉල්ලනවා. මගේ ජීවිතයේ වැටිච්ච හැම වෙලාවකම උඹ මගේ සහෝදරියක් වගේ ළඟින්ම හිටියා.තාරු ..මොන බලවේගය ආවත් අපි දෙන්නගේ යාළුකම කඩන්න දෙන්න එපා.මං ගැන මොනවා හරි කේලමක් ඔයාට දැනගන්න හම්බවුණොත් ඒක විශ්වාස කරන්න එපා.දෙයියන්ගේ නාමෙන් එක පාරක් මගෙන් ඒ ගැන අහල ඉන්න.මට වානි ගැන  මහා නරක ඉවත් දැනෙනවා..

තාරු හිනා උනා..

නෑ බානු .. මට තේරෙනවා.මමත් බොහොම පරිස්සමින් තමයි ඒගොල්ලෝ එක්ක වැඩ කරන්නේ…

වැලිවතුරේ විජිත හිමිගෙ ලියපු ලිපියත් එක්ක රට ඇතුලේ මහා ලොකු කතා බහක් ඇතිවෙන්න පටන් ගත්තා. භාණු කියලා කියන්නේ රජයෙන් පත් කරපු සමාජය කණපිට පෙරලන්න එළියට ආපු පත්තර වාර්තාකාරියෙක් කියන ලේබල් එක මට වැදෙමින් තිබුණා.සමහරු ඒ ලිපිය ගැන සමාජ මාධ්‍ය ජාල හරහා බොහොම ලොකුවට කතා කරන්න පටන් අරගෙන තිබුණා.හුඟක් අය ඊට පක්ෂපාතික කතා කරනකොට සමහරක් ඒකට බොහොම නිර්දය විවේචන පවා එල්ල කරලා තිබුණා.තවත් ෆේස්බුක්  සංගම්වල බානු කියලා කියන්නේ බුදු දහමට නිග්‍රහ කරන්න ආපු රැඩිකල් පත්තර වාර්තාකාරියක් නිසා අත්අඩංගුවට ගන්න කියලත් ඉල්ලීම් කරලා තිබුණා.

නිල නොවන සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වලින් ජනසුවඳ පුවත්පතට වාරණ නියෝග ඉදිරිපත් කරන්න කියලා පෙත්සම් ගොනු කරලා තිබුණා.

එදා උදේ වාණිගෙ මූණ රත් කරපු යකඩයක් වගේ වෙලා තිබුණා.

කේසර ..අයිම් රියලි සොරි  මේ විදිහට කියනවට.මම ඔයාට කිව්වා මුලින්ම  මේ පත්තරය මිනිස්සුන්ට රසවින්දනය විතරක් ගේන පත්තරයක් විදියට කරමු කියලා.ඔයාටයි ඔයාගෙ එක්ස්ටයි තමයි ඕන වුනේ රට අනිත් පැත්ත හරවන්න.

එහෙම කියනකොට කැබින් එක ඇතුළේ හිටපු කේසරගේ මූණ ජම්බු ගෙඩියක් වගේ වුණා.

වානි .. කීප් යුවර් මවුත්. ලොක් යුවර් ටන්… කේසර  කෑගැහුවා.

මගේ දිවයි කටයි වහලා මදි..බානුගෙ විතරක් දිවයි කටයි ඇරලා තියන්න.අන්තිමේ දි අපි හැමෝටම වෙන්නේ පාරේ හිඟා කන්න.. දැන් උසාවියේ නියෝගය හම්බවුණොත් පත්තරේ නවත්වන්න කියලා ඔයා මොකද කරන්නේ..

මට කතා කර ගන්න වචන නැති වුණා වගේ දැනුනා.ජීවිතය පරදුවට තියලා මම වැඩ කළේ පත්තරේ වෙනුවෙන්.මගේ ජීවිතයට තර්ජනයක් වුණොත් හරි නම් පත්තරේ තමයි මට වගකියන්න ඕනේ.මගේ ලිපි ජනප්‍රිය වෙච්ච නිසා  පත්තරය අච්චු ගහන පිටපත් සංඛ්‍යාවත් මදි වන තත්ත්වයකට පත්වෙලා තිබුණා. මෙච්චරආර්ථික අපහසුතා තියෙන කාලයක උනත් මිනිස්සු ජන සුවඳ පත්තරය ගන්න අමතක කළේ නෑ.. ඩී ගෝල්ඩ් සමාගමෙන් කරපු සමීක්ෂණයකදී ජන සුවඳ පත්තරය මිනිසුන් අතර වඩාත්ම ජනප්‍රිය පුවත්පත  කියලා වාර්තා ලැබිලා තිබුණ නිසා කේසරට  ඩී ගෝල්ඩ් සම්මානයත් හම්බවුණා..ඒ උත්සවයේ දී කේසරගෙන් අදහස් අහනකොට ඇත්තටම මේ සම්මානය අපේ පත්තරේට ගන්න ශ්‍රීනිශ්‍රී අපේ පත්තර වාර්තාකාරිය ගොඩක් මැදිහත් වුණා කියලා කිව්වා.

ඕනෙම සාර්ථක ව්‍යවසායකයෙකු පිටිපස්සේ තමන්ගේ ශක්තියට ගැහැණියක් ඉන්න බව හැමෝම  කියන කතාවක්..ඇත්තටම ඔබගේ පත්තරේ දැන් ලංකාව පුරා බොහොම  ජනප්‍රියයි..කේසර මහත්මයාණනි ඔබගේ සාර්ථකත්වයේ වනිතාව කවුද කියලා එදා  වැඩසටහන මෙහෙයවන්න හිටපු ගැහැණු ළමයා අහනකොට වානි  මුතුඇටයක් වගේ හිනාවෙලා ලෑස්ති වුණේ ඊලගට  තමන්ගේ නම කියන හින්දා ඉක්මනින්ම කැමරාව තමන්ගේ මුහුණට  අල්ලනවා කියලා දන්න හින්දා..

මගේ ජීවිතය සාර්ථක වුණේ මගේ උත්සාහය හින්දා..මගේ පත්තරේ සාර්ථක වුණේ මගේ කතෘ මණ්ඩලයේ තියෙන කැපවීම හින්දා..ඒ ගෞරවය එක්කෙනෙකුට විතරක් දෙන්න මම සූදානම් නැහැ..

ඔබේ පුවත්පත මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව ආන්දෝලනාත්මක ලිපි පළ කිරීම හේතුවෙන්.. ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද..

ඒක ඇත්තටම අපේ කතෘ මණ්ඩලයේ ප්‍රවීණ කතෘවරියක් වන ශ්‍රීනිශ්‍රී ගේ අදහසක්.. කතිරේ කවුළුවෙන් එහා ලිපි පෙළ හින්දා තමයි මේ තරම් පත්තරේ ජනප්‍රිය වුණේ.. ඇත්තටම මේ සම්බන්ධයෙන් නම් ඇයට තමයි ස්තූතිවන්ත වෙන්නේ..ඇත්තටම ඇය කොහොම නිර්භීත විදිහට මේ සම්මුඛ සාකච්ඡා පවත්වලා තියෙනවා..

මේ සම්පූර්ණ විස්තරය අසාද්  යූටියුබ් ඔස්සේ බලලා තිබුණා.එයාට හොඳට සිංහල කියවන්නත් පුළුවන් හින්දා මේ ලිපි පෙළේ පළවෙනි ලිපියේ ඉඳලා  ලිපි ටික කියවලා තිබුණා.

භානු ..මට ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි.පළවෙනිම දවස්වල මට ඔයාව හම්බවෙනකොට ඔයා හිටියේ බලාපොරොත්තු කඩවෙලා මැලවෙච්ච මලක් වගේ. රේඩියෝ රස්සාවට වැඩිය ඇත්තටම ඔයාට ගැලපෙන්නෙ පත්තර රස්සාව තමයි..කේසර මුලින්ම පත්තරේට අඬ ගහපු වෙලේ මම ඒකයි ඔයාට කිව්වේ අතීතයෙන් වැඩක් නැහැ ඔයාට මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා.හැබැයි ඉතින් ලංකාව වගේ රටක වැඩ කරනකොට ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න.මාධ්‍ය සදාචාරය ගැන කතා කරන මිනිස්සුම තමයි අනිත් පැත්තට මාධ්‍යකාරයාට ගහන්නේ කියන එකත් ඔයා මතක තියාගන්න.

ඔයා කවද්ද ආපහු එන්නෙ..

ටික වෙලාවක් ඉඳලා මම එහෙම අහනකොට අසාද්  වතුර බිංදුවක් වැටුනත් ඇහෙන තරමට නිහඬ උනා..

ඇයි …

නිකං…

ඇත්තටම ද…

ම්ම්..වැඩ කරලා මහන්සි.එක එක මැරීයො පස්සේ ගිහිල්ලා විස්තර  හොයලා ඇතිවෙලා තියෙන්නේ..
හිත නිදහසේ ටිකක් ඉන්න හිතුනා..

ඔයාගේ හිත නිදහස් වෙන්නේ මම ළඟ ඉන්නකොටද..

මං හිනාඋනා ..

පිරුණු කුමුදු මල් සුවඳක්
වැසුනු සෙනෙහසක උල්පතක්
ගමනේ කොතනද කෙළවරක්
නොදැන යන තැන හිස්තැනක්

පණ ගැහෙනා හදවතක්
නුඹ වෙනුවෙන් ඉවසන තරමක්
සෙනෙහසට වේද තව නමක්
ඉවසීමයි එය මහ අරුතක්

අසාද්  එහෙම ලියපු කවි පෙළක් මහ රෑ මගේ වට්සැප් එකට එවලා තිබුණා.රෑ එකටත් කන් දෙක හිරිවැටෙන ඇඟ සීතල වෙන කවි පෙළක් කියවන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා මට ඒ වෙලාවේ හිතුණා.

පාරජම්බුල ආදරේ
රික්තයකි හිත සෑදුවේ
මට මාව නැති උනු වෙලේ
සොයාදුන් හදවත නුබේ…

මම එහෙම ඇරියා..

මොකක්ද බං ඔය කවි ලියලිය නටන නාඩගමේ තේරුම..එක්කෝ ඌ කියන්න ඕනෙ උඹට ආදරෙයි කියලා නැත්නම් උඹ කියන්න ඕනේ ආදරේ කියලා.මොකක්ද ඔය උගුරට හොරා බෙහෙත් බීමේ වැඩේ කියලා  පහුවෙනිදා උදේ කැන්ටින් එකේදී තාරු මාත් එක්ක මගේ කවි බල බල හිනාඋනා .

කණාමැදිරි එළියටත් මං දැන් බය වෙලා ඉන්න තරු..මට තේරෙන්නේ නැහැ.ඇත්තටම අසාද්  හොඳ කෙනෙක්. ඒත් එයා මට ආදරෙයි කියලා තාම කෙලින් කියලා නැහැ.ඒ හින්දා මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියන්න බයයි.අනික තමයි මං හින්දා දැන් පත්තරේට ඇති වෙලා තියෙන තත්වය.ඇත්තටම ඔය එක එක සංවිධාන වලින් පත්තරේට නඩු දැම්මොත් මොකද වෙන්නේ.මොනවා හරි වාරන නියෝග ආවොත් මොකද වෙන්නේ.

බයවෙන්න එපා බං..උඹට කේසර මුකුත් කිව්වේ නෑනෙ.ඔය වාණි උඩ පැන්නට කේසර එයාව තාම බැඳලා නැහැ.එතකොට ඉතින් මහ ලොකුවට නීත්‍යානුකූල අයිතියක් නෑනෙ.අනික මට හිතෙන විදියට දැන් කේසරට තේරිලා තියෙන්නේ..වානි එයාට ගැලපෙන්නෙ නැහැයි කියලා. දැන් කරගන්න දෙයක් නැතුව මට පේන්නේ ඉන්නේ..

මං හිනාඋනා ..

ඒක නෙමෙයි මට ඇත්ත කියපන්..මට හිතෙනවා ආපහු සැරයක් කේසර උඹට ළං වෙන්නයි එන්නේ කියලා..මොකද කියන්නේ.පයිලට් මහත්තයාද .. කේසර ද….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles