ඔලියැන්ඩර් – 81

0
54
oleander Flower

” අක්කා කෝ අම්මේ ?” 

” දරුවාව නාවනවා සුද්දියේ “

” දැන් මොකද ?” 

” ඒකි නං ඔය ගහක් ගලක් වගේ ඉන්නේ. වගේ වගක් නෑ. “

” කාලිංග අයියා ?” 

” තාම ඉස්පිරිතාලේ .”

” එතකොට අර ආව කිව්ව ගෑනු කෙනා ?” 

” තෙල්වත්තේ ගෑනු කෙනෙක් සුද්දියේ. දරුවෝ දෙන්නෙක් ඉන්න මනුස්සයා මැරිච්ච ගෑනු කෙනෙක්. ඒ ගෑනි ආවේ කාලිංග තමන්ගේ කසාද මිනිහා කියාගෙන. “

” ඉතිං ?” 

” බැලින්නං මූ ඒ ගෑනිවත් තියන් ඉඳලා. මුලින් මුලින් අර සංගීතේ වෙච්ච හුටපටේ එක්ක කාලිංගගේ ගෙදර මිනිස්සු අපේ එකීට දොස් කිව්වේ ඔව්වා විස්වාස කරන්න එපා කියලා. පස්සේ මූ ඒ කරදරේ කරාපු ගෑනු දරුවම ඇවිල්ලා පොලීසියට විස්තර කියලා. නෑ .. නෑ.. කියපු කාලිංගලෑ ගෙදර උන්ට අන්තිමට යන එන මං නැති උනා. අක්කා කොහොමත් කිය කිය හිටියේ කාලිංග එහෙව් වැඩක් කරලානං අක්කා ඒකාව අතෑරලා දානවාමයි කියලා. කාලිංගලෑ පවුලේ අය බය උනේ දොස්තර මහත්තුරු කිව්වා කාලිංගට සෑහෙන්න කලක් එකතැන ඉන්න වෙයි කියලා. බාගදා මුළු ජීවිත කාලෙම උනත්.  අන්න ඒකට. අක්කත් අතෑරලා දැම්මට පස්සේ කාලිංගව කර ගහන්න වෙන්නේ උන්ටනේ. ඒ හින්දා උන් බැලුවේ කොහොමහරි කාලිංගව සුද්ධ කරලා අක්කගේ කරේම එල්ලන්න. කරපු වැඩෙත් ඔප්පු වෙලා , තව ගෑනියෙකුත් කඩාපාත් උනාම අක්කා ආවේ මුළු පවුලම ඉස්සරහා කාලිංගගේ මූණටම කෙළ ගහලා. “

” එතකොට ඒ ආපු ගෑනු කෙනා ?” 

” කාලිංග එකතැන් වෙලා කිව්වම ඒකි ආපු අතටම ආයේ ගියා සුද්දියේ.. කොච්චර අයිතිවාසිකම් කියන් ආවත් අත පය හතර අබ්බගාත වෙලා එක්තැන් වෙච්ච මිනිහෙක් කරගහන්නේ මොන මංගල්ලෙකටද කියලා ඒ ගෑනි හිතන්න ඇති . “

” එතකොට දැන් ගේ ?” 

” දොස්තර මහත්තුරු කියන විදිහට කාලිංගව ගොඩ දාන්නම බෑලු සුද්දියේ. අක්කා එදා ඉස්පිරිතාලේ ඉඳන් ඇවිල්ලා පහුවදාම දරුවගෙයි , එයාගෙයි බඩු මුට්ටු ටික අරන් අපේ අහ ආවා. දවස් දෙක තුනක්ම කාලිංගගේ ගෙදර මිනිස්සුයි , මෝලේ මුදලාලියි ඇවිල්ලා අක්කා ඉස්සරහා පිණ්සෙණ්ඩු උනා කාලිංග එක්ක ආයේ ජීවත් වෙන්න කියලා. මේකි බෑමයි කියලා ඊගාවට ගිහිල්ලා පොලිස් පොතෙත් ලිව්වා ඌ එක්ක ඉන්න බෑ කියලා. ඊට පස්සේ නම් කවුරුවත් ආයේ ආවේ නෑ. එරන්දතීලෑ ගෙදරින් කිව්වා කාලිංගගේ අයියයි , තාත්තයි ඇවිල්ලා ගේ ඔක්කොම සුද්ධ කළාලු. ගේ විකුණනවා කියලා කිව්වලු. දැන් ඉතිං ලෙඩෙක් බලාගන්නත් තියනවනේ. වියදම් තියනවා කිව්වලු  “

” අනේ කමක් නෑ අම්මේ. ඕන දෙයක් දෙයක් කර ගත්තු දෙන්. අක්කට ආයේ ඕවට මැදිහත් වෙන්න එපා කියන්න “

” නෑ ඒකි නං ආයේ අරූ මැරුණා කිව්වත් ඒ අහ යන එකක් නෑ. කොහොමහරි අපි බඩු මුට්ටු ටික අරන් ඇවිල්ලා දවස් දෙකකට විතර පස්සේ කාලිංගගේ නෑනා කතා කරලා ගෙදර තිබ්බ ෆ්‍රිජ් එකයි , අල්මාරියයි , තව මොනාහරියි ගැන ඇහුවා අක්කගෙන්. ඒ පාර අක්කා කිව්වා ඒවා ඔක්කොම මගෙ බඩු . සීට්ටු දාලා දාලා ගත්තු ඒවා කියලා. මොනා උනත් ඒ ගෑනිට ගෙදර තිබ්බ ඉඳිකට්ට ඉඳලා මතක තිබිලා. “

” කිසිම දේකට පැටළෙන්න යන්න එපා කියන්න අම්මා. අපි හිමින්සැරේ ලෝයර් කෙනෙක් එක්ක කතා කරලා කරන්න ඕන දේවල් ටික බලමු . “

” ඒක තමා සුද්දියේ මාත් කිව්වේ. අක්කා ඔන්න තෙල්වත්තේ ගාමන්ට් එකට යන්න හදනවා ඒ පාර “

” ඒ මොන එහෙකටද ?” 

” ගෙදරට වෙලා නිකන් ඉන්න බෑය කියන්නේ. “

” අනේ අම්මේ.. දැනට කිසිම අඩුපාඩුවක් නෑනේ ? ඕන වෙලාවක බැංකුවෙන් සල්ලි ගන්න. ඕන විදිහකට වියදං කරන්න. අක්කට අඩුම තව මාසයක් දෙකක්වත් දරුවත් බලන් ගෙදර ඉන්න කියන්න. ඊට පස්සේ අපි බලමු මොනාහරි කරන්න. “

” මාත් ඕක කිව්වා සුද්දියේ. ඒත් ඒකි කියන්නේ උඹ ඔහෙට වෙලා දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි නිකරුණේ ගෙදට්ට වෙලා කාලා බීලා වියදං කරන්නේ මොන හිතකින්ද කියලා.”

” අයියෝ.. ඉන්නකෝ.. මං එයාට කොයි වෙලේ හරි කෝල් එකක් ගන්නං. විභාගේ ඉවර වෙච්ච ගමන් මං එන්නං අම්මේ.. “

” උඹ මේවා නිස්කාරණේ ඔලුවට දාගන්න එපා සුද්දියේ. උඹට කැම්පස් එකේ වැඩයි , රස්සාවේ වැඩයි කීයක් නං රාජකාරි තියනවද ? දෙයියනේ කියලා උඹේ පිහිටෙන් අපි අඩුවක් පාඩුවක් නැතුව කාලා ඇඳලා ජීවත් වෙලා ඉන්නවනේ. ඒකම ඇති සුද්දියේ උඹට ජාති ජාතිත් පින් ලැබෙන්න. “

ඇමතුම විසන්ධි කර දැමූ ඈ විසල් සුසුමක් හෙළා තමා ඉදිරියේ උන් කණ්නාඩියෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස එක දිගට බලා සිටියාය. තමන් හේතුවෙන් මවත් , සහෝදරියන් දෙදෙනාත් මහ ගෙදර සුවෙන් සිටීම සත්‍යයක් වුවද ඔවුන් සියලු දෙනා විශ්වාස කරන අන්දමට මේ මොහොතේ තමා කරන රාජකාරියක් නොමැත. ඔවුන් සිතන අන්දමට තමා දුක් මහන්සි වී සිදු කරන ක්‍රියාවක් නොමැත. හදවත බරය. බොහෝ සෙයින් හදවත බරය. ඒ අන් කිසිවක් නිසා නොව තමා මත මවත් , සහෝදරියන් දෙදෙනාත් තබා ඇති අධික විශ්වාසය නිසාය. දැන දැනම තමා ඔවුන් සියලු දෙනාවම රැවටීමකට ලක් කරන ආකාරයක් ඈට දැනුණි. පෙර දිනයේ ඈ රැය පහන් කළේ ඔහු සමඟය. එවැනි රාත්‍රීන් බොහෝමයක් ඔහු හා ගත කර ඇතත් , ඔහු කිසිවිටක තමා හැර නොයන තරමට විශ්වාසවන්තයෙකු වුවත් දියණියක විෂයෙහි තමා අතින්  දිනපතාම මව රැවටීමකට ලක් කිරීම ඇගේ සිත පශ්චත්තාපයකින් වෙළීමට සමත් වී තිබිණි. 

” මොකද බං ?” 

ගිලී උන් කල්පනාව බිඳී ගිය සැණින් ඈ දෑස් අග ඇති කඳුළු බිඳුව පිසදා අමාවී දෙස බැලුවාය. 

” මොකෝ ? කවුද කතා කළේ ?” 

” අම්මා “

” ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?” 

මිතුරියගේ දෑස් අග උනා ඇති කඳුළු බිඳුව දුටු අමාවී වහා යහන මත හිඳ ගනිමින් ඇගේ අතකින් අල්ලා ගත්තාය. 

” අම්මලා මාව සෑහෙන්න විශ්වාස කරනවා අමා..”

” ඒ කිව්වේ ?” 

” යවන සල්ලියක්වත් හරියට වියදම් කරන්නෑ. මං දුක් මහන්සියෙන් හම්බ කරන ඒවා කියලා. අක්කත් ඔන්න ගාමන්ට් එකකට යන්න හදනවලු. “

” ඉතිං ? මට උඹ කියන එක තේරෙන්නෑ සඳා..”

” කොළඹ ආපු දවස්වල මං කොහොමහරි පාට් ටයිම් කරලා කීය කීය හරි ගෙදට්ට යැව්වනේ. දැන් මං එහෙම ජොබ් කරන්නෑනේ බං. සර් අහන්නෙත් නැතුව එයාට හිතෙන හිතෙන වෙලාවට ගෙදරට සල්ලි දානවා. අම්මලා හිතන්නෙ මං මෙහෙ ඉගෙනගන්න ගමන් දුක් විඳ විඳ රස්සා කරනවා කියලා. මට සමහර වෙලාවට අම්මා ගැන දුක හිතෙනවා. එයා දන්නෑනේ මං මෙහෙ සර් එක්ක…”

සඳැස්වි මුවින් ගිලිහෙන්නට ගිය වචනය වහා ගිල ගත් අතර අමාවී සිහින් කර ගත් දෙනෙතින් කෝපයෙන් ඈ දෙස බැලුවාය. 

” ඇයි ලැජ්ජද උඹට.? උඹ හිටියේ ඒ මනුස්සයා එක්ක විතරනේ. වෙන මිනිස්සු දෙතුන් දෙනා එක්ක ඉඳලා නෑනේ. ? අනික ඒ මනුස්සයා උඹ වෙනුවෙන් දේවල් කරන්නේ උඹට තියන ආදරේට මිසක් උඹ එක්ක නිදි වදිනවට නෙමෙයිනේ ?” 

” අනේ.. අමා..!” 

” ඇයි .. ? ඇයි ? මගෙන් කුණුහරප අහගන්නැතුව හිටහන් සඳා. දාහකින් හොයාගන්න බැරි පිරිමියෙක් ඒ. සල්ලි බාගේ පැත්තකින් තිබ්බත් ඒ මිනිහගේ තියන මනුස්සකම ගැන වත් හිතපන්කෝ. “

” දෙයියනේ අමා.. ! මං සර් ගැන එහෙම වැරදියට හිතලා කිව්ව නෙමෙයි බං .”

අමාවී විසල් හුස්මක් හෙළා යළි මිතුරිය වෙතට හැරුණාය. 

” අහපන්කෝ.. උඹට කියන්න බැරි වෙච්ච දෙයක් තියනවා. එදා කැම්පස් එකේ සිද්ධිය වෙලාවේ උඹට උදව් කළා කියලා සියත්‍ර අයියා අපි පස් දෙනාටම ලක්ෂෙ ගාණේ චෙක් පහක් දුන්නා. “

” ආ..?” 

” හ්ම්ම්.. මං ඒක එහෙම්මම අපේ අප්පච්චිට යැව්වා බං. කුඹුරෙ උගස බේරන්න කියලා. අනිත් උනුත් ඒකෙන් සෑහෙන්න වැඩ ගොඩක් කරන් තිබ්බා. මඟින් මඟටම උඹට කියන්න එපා කිය කිය කිව්ව නිසයි නොකිය හිටියේ. අනික බලහන් මේ ගෙදට්ට අපෙන් එක සත පහක් ගන්නෙත් නෑ. ඒ මදිවට කන්න බොන්න , අඩුපාඩු  හැමදේමත් ගෙනත් දෙන්නේ ඒ මනුස්සයා. මූණේ හිනා පොදක් නැතුව මහසෝනා වගේ හිටියට ඒකා උඹට පැලෙන්න ආදරෙයි. තෝ හින්දා අපිත් දෙයියනේ කියලා කාලා බීලා මෙතන වැටිලා නිදහසේ ඉන්නවා.  මං දන්නේ එච්චරයි. තෝ මේ මෙතන ආත භූත මවාගෙන ටැප් එක ඇරන් ඉන්නැතුව ඕක අම්මට කියලා දාපන්. මට මෙහෙ මිනිහෙක් ඉන්නවා කියලා. “

” ආ..?” 

මිතුරියගේ විසල් කරගත් දෙනෙතින් තමන් වෙත එල්ල වූ විශ්ම සහගත බැල්ම හමුවේ අමාවී මහ හඬින් සිනාසුණාය. 

” අහ්.. නෑ නෑ.. එහෙම කියන්න එපා. මට මෙහෙ කොල්ලෙක් ඉන්නවා කියහන්. නැත්තන් ආදරේ කරනවා කියහන්. ඊට පස්සේ පොඩ්ඩක් ඕක ගැන සියත්‍ර අයියත් එක්කත් කතා කරහන්. මොකද ඒ මනුස්සයා උඹව අතාරියි කියලා හිතන්න බෑනේ ?” 

” එයා නං එහෙම එකක් ඇහුවා. “

” මොකද්ද ? අම්මත් එක්ක ගිහින් කතා කරන්නද කියලා ?” 

” අනේ යකෝ…!” 

හිඳ උන් යහනෙන් නැඟිට ගත් අමාවී නැවතත් කෝපාවිශ්ටව දෑතම ඉණ මත තබා සඳැස්වි දෙස බැලුවාය. 

” ඇයි ?” 

” නොදකින් තෝ වගේ ඇටි ගෙම්ඹියෙක්. ඈ හරකියේ.. ඒ මනුස්සයා ප්‍රශ්නයක් වෙන්නත් කලින්ම ප්‍රශ්නෙට විසඳුම දීලා තියෙද්දි තොගේ මොළේ කොහෙ හරි වැදිලද මේ මෙතන අඬා වැළපෙන්නේ ? බලහන් තෝ සනසන්න ගත්ත මගේ කාලේ. මොන අපරාදයක්ද ? හිටහන්කෝ තොට කරන්න වැඩක්. තෝව මෙහෙම හුරතල් කරලා බෑ. හදලා ගන්න ඕනේ. “

එසේ පැවසූ අමාවී යහන මත තිබු කොට්ටක් ගෙන එක දිගට සඳැස්වි හට පහර දුන්නාය. මිතුරියන් දෙදෙනාගේ සිනහවත් , සෙල්ලමත් ඇසුණු විමර්ෂාද දිව විත් තවත් කොට්ටයක් ගෙන මිතුරියන් දෙදෙනාටම පහර දීමට පටන් ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here