ආදර සැලසුම් – 30

0
1318

ආදිත්‍ය ඉක්මනින් පිටවී යාම පිළිබඳව මෞර්යා සිටියේ නොපහන් හැඟීමෙනි. තමා ඔහුව අනුත්තරා ඉදිරියේ අපහසුතාවයට පත් කළා වැනි හැඟීමක් මෞර්යාව පෙළමින් තිබුණි. හදිසි කටයුත්තක් සඳහා ඉක්මනින් පිටව යා යුතු බව පවසා ආදිත්‍ය පිටව ගියත් නිවසට ආ පසුවත් මෞර්යා උන්නේ ඒ පිළිබඳව සිතමිණි. 

තමා ඉක්මන් වූවා වැඩි දැයි ආදිත්‍යය ද සිතමින් උන්නේය. යම් වේලාවක් මෞර්යා හා ගත කිරීමට සිතා සිටියත් තමාව ඉක්මන් කරවූ ඒ සිතිවිල්ල පිළිබඳව ආදිත්‍ය පසුතැවුණේය. ඒ නිසාම නිවසට පැමිණ පැය දෙක තුනක් ගත කෙරූ ආදිත්‍ය මිදුලට බැස්සේ මෞර්යා ගේ අංකය අමතමිනි.

රාත්‍රී ආහාරයෙන් පසුව කාමරයේ බැල්කනියට වී මෞර්යා අහස දෙස බලාගෙන උන්නාය. දුරකථනය නාද වූයේ ඒ මොහොතේය.ඇමතුම පැමිණෙමින් තිබුණේ ආදිත්‍ය ගෙනි. 

” කියන්න ආදිත්‍යය ” 

මෞර්යා ඇමතුම ක්‍රියාත්මක කරමින් පිළිතුරු දුන්නේ ආදිත්‍ය ගෙන් ඇමතුමක් පැමිණෙනතුරු බලාපොරොත්තුවෙන් සිටියා සේය. ආදිත්‍යයට උවමනා වූයේ තමා කලබලයෙන් පැමිණීම පිළිබඳව මෞර්යා ගෙන් සමාව අයද සිටීමටය.එහෙත් එසේ කරන්නට තරම් බැඳීමක් තමා හා මෞර්යා අතර නැත. තමා සිටින්නේද එවන් වූ බැඳීමක් ඇතිකර ගත හැකි තත්ත්වයක නොවේ. අනෙක් අතට මෞර්යා වැනි බොහෝ ලාබාල තරුණියකට බලාපොරොත්තු ඇති වන සේ හැසිරීම තමා කළ යුතු නොවේ යැයි ආදිත්‍ය සිතුවේය.

” මාත් එක්ක තරහද මෞර්යා ? ” 

ආදිත්‍ය ඇසුවේය. 

” මොකටද ? “

” මම හදිසියේම ගිය එකට ? “

මෞර්යා නිහඬව උන්නාය.ඔහු පිළිබඳව සිතේ ඇත්තේ කුමන හැඟීමක් වුවත් තමා සමග රැඳෙන්නට ආදිත්‍යයට බල කළ නොහැක. ඔහු විවාහක පුද්ගලයෙකි. අනෙක් අතට තමාගේ ආයතනයේ ප්‍රධානියාය. 

” එහෙම දෙයක් නෑ ආදිත්‍යය ” 

” ඔයාගේ යාළුවත් හිටියනේ. මං එතන ඉන්න එක ඔයාට එච්චර හරි නෑ කියල මට හිතුනා ” 

ආදිත්‍යය සමාව අයදින ස්වරයෙන් කීවේය. 

” ඔයා මොකක් හරි දේකට එකපාරටම අවුල් ගියා කියලා මට හිතුනේ ” 

මෞර්යා ඇත්තම කීවාය.ඒ ආදිත්‍යය ගේ ඉරියව්වල කිසියම් වෙනසක් තමා ඒ මොහොතේ නිරීක්ෂණය කළ නිසාය.

” එහෙම විශේෂයක් නෑ මෞර්යා. කොහොමත් මේ දවස් ටිකේ මං ඉන්නෙ ප්‍රශ්න ගොඩක කියලා ඔයා දන්නවනේ ” 

ෂෙහාරා උන්නේ බැල්කනියේ සිට ආදිත්‍ය දෙස බලාගෙනය.ආදිත්‍ය මිදුලේ එහා මෙහා ඇවිදිමින් දුරකථන සංවාදයකය.ආදිත්‍ය කාර්යාලයට ගොස් නැවත නිවසට පැමිණි පසුව තමා සමග වචන කිහිපයකට වඩා කතා කළේ නැත. රාත්‍රී ආහාරය උවමනා නැති බවද කීවේය. ෂෙහාරාට දැනුනේ තමා ආදිත්‍ය ඉදිරියේ ප්‍රතික්ෂේප වෙමින් පවතින හැඟීමකි. එය දරා ගත නොහැක.සමහරවිට මීට මාස ගණනාවක් තිස්සේ ආදිත්‍ය ද ජීවත් වන්නට ඇත්තේ එවැනි හැඟීමකය.එය කොතරම් වේදනාකාරී දැයි වැටහෙන්නේ දැන් ය.

ෂෙහාරා ඉතා සීරුවෙන් තරප්පු පේළිය බැස සාලයට ආවාය. ඉන් පසුව ඇය් ප්‍රධාන දොරටුව වෙත පැමිණ දුරකථන ඇමතුම අවසන් කර එය දෙස බලාගෙන මිදුලේ ඇවිදින ආදිත්‍ය දෙස බලා උන්නාය. තමා ආදිත්‍ය හට කුමන වරදක් කළත් වැරදීමකින් හෝ ආදිත්‍ය ගේ සිත මේ වන විට වෙනත් තරුණියක හා බැඳී ඇත්නම් එය තමා හට කෙතරම් වේදනාකාරී වනු ඇතිදැයි ෂෙහාරා කල්පනාා කළාය. තමාට මේ මොහොතේ දැනෙන මේ සියුම් වේදනාව ආදිත්‍ය දස දහස් ගුණයකින් පසුගිය කාලය පුරාවටම විඳින්නට ඇත. 

” ආදිත්‍යය ” 

ආදිත්‍ය හැරී බැලුවේ ෂෙහාරා ගේ හඬටය. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත. 

” කවුද ආදිත්‍ය කෝල් කරේ ? ” 

ආදිත්‍ය පුදුම වූයේය. ෂෙහාරා කෙදිනක වත් තමා ගෙන් මෙවැනි පැනයක් අසා නැත. ඊටත් වඩා තමා කරන්නේ කුමක්දැයි කියා පවා ෂෙහාරාට වගක් තිබුණේ නැත. 

” ඇයි ? ” 

ආදිත්‍ය පිළිතුරු නොදී එසේ ඇසුවේය. ෂෙහාරා කළේ වංචාවක් වුවද එයට පළිගත යුතු නැත. කළ යුත්තේ නීත්‍යානුකූලව ඇගෙන් වෙන් වී ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමය. දික්කසාදය අවසන් වන තුරු එක වහලක් යට ජීවත් වුවද ඇය හා දුරස්ථභාවය තබා ගත යුතු යැයි සහ ඇය විසින් කළ වංචාව පිළිබඳව ඇයට දැනෙන්නට ඉඩ තැබිය යුතු යැයි ආදිත්‍යය සිතුවේය.

” නෑ මං නිකං ඇහුවේ ” 

ෂෙහාරා කීවේ වෙන කියන්නට දෙයක් නැතිකමටය. පෙර දී ආදිත්‍ය තමාව අසීමිත ලෙස ඉවසුවත් දැන් ඔහු ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇත. ඔහුට ළං විය හැකි සෑම අවස්ථාවකටම ඔහු ඉඩ අහුරා ඇත. ෂෙහාරාට දැනුනේ පරාජිත හැඟීමකි. 

” ඔයා අම්මව හම්බවෙන්න ගියාලු නේද ? “

ආදිත්‍ය ඇසුවේ කෝපයෙන් නොවේ. ෂෙහාරා පැමිණි බව අශිකා කීවේ සවස් යාමයේ දුරකථනයෙන් ඇමතූ වේලාවේය. ෂෙහාරා දැන් සිටින්නේ පසුතැවීමෙන් සහ ඇය අතින් සිදු වූ වරද වටහා ගෙන වුවත් ඒ සියල්ලටම දැන් ඇය ප්‍රමාදය.

” ඔව් ආදිත්‍යය මං නිකමට ඒ පැත්තෙ ගියා “

ෂෙහාරා මිමිනුවාය. 

” ඔයා කාව හම්බ උනත් දැන් වැඩක් නැහැ ෂෙහාරා.වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි නේ. මට ඔයා ගැන තරහක් නැහැ. මට තියෙන්නේ ලොකු කලකිරීමක්. ඊටත් වඩා මං ඔයත් එක්ක ගෙවන්න බලාපොරොත්තු වෙච්ච ජීවිතේ නැති වෙච්ච එක ගැන ලොකු දුකක් මට තියෙන්නේ ” 

ආදිත්‍ය සුසුමක් පිට කළේය. ෂෙහාරාව දැකීම පවා වේදනාවක් වුවත් ඇයව මෙම නිවසෙන් පිට මං කළ නොහැක්කේ ඇය තවමත් තම නීත්‍යානුකූල බිරිඳ නිසාය. මේ අවස්ථාවේ දී තමාට ඇය කෙරෙහි වෛරයෙන් කටයුතු කළ නොහැක. ඇය තමා කෙරෙහි අමානුෂික වූවා සේ තමාට ඇය කෙරෙහි අමානුෂික වීමද කළ නොහැක. ඇය සමඟ එක වහලක් යට ගත කරන අවසාන කාලය පෙරටත් වඩා ඉවසීමෙන් ගත කළ යුතුය. 

” මං තාමත් කියන්නේ අපි දෙන්නට කතා කරල විසඳගන්න බැරි දෙයක් නැහැ කියලා ආදිත්‍යය”

ආදිත්‍ය පියවරක් දෙකක් පමණ ෂෙහාරා අසලට පැමිණියාය. 

” මේ ප්‍රශ්න සේරම පටන් ගන්න කලින් ඔයාට හිතුන නම් අපි දෙන්නට කතා කරල විසඳ ගන්න බැරි දෙයක් නෑ කියලා මේ හැමදේම මීට වඩා වෙනස් වෙන්න තිබුණා ෂෙහාරා. අඩුම ගානේ ඔයාට තිබුණා මාත් එක කතා කරන්න.මගේ මොකක් හරි වැරැද්දක් වෙනව නං ,අඩුපාඩුවක් වෙනවා නම් ඔයාට තිබුණා මට ඒ ගැන කියන්න. පවුලක් ඇතුලේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ එහෙමයි ෂෙහාරා. මම දන්නවා මම පර්ෆෙක්ට් හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයාට තිබුණා ඕනම දෙයක් මට කියලා විසඳ ගන්න. ඒත් ඒ වෙනුවට ඔයා කලේ මාව රවට්ටන එක. ඔයා මාව රවට්ටපු හැටි මතක් වෙනකොට මාව පිච්චෙන හැටි ඔයා දන්නේ නෑ ෂෙහාරා. ඔයාට ඒක තේරුම් ගන්නත් බැහැ ” 

ආදිත්‍යය කීවේ ශෝකයෙනි. ඔහුගේ දෑස් දිලිසෙන්නේ කඳුළින් බරව ඇති නිසා බව තේරුම් ගැනීමට ශෙහාරාට අපහසු වූයේ නැත. ගෙමිදුලෙහි තැන තැන සවිකර ඇති ලා ආලෝකයක් විහිදෙන කුඩා විදුලි බල්බ වල එළියෙන් පැහැදිලිවම පෙනෙන ආදිත්‍ය ගේ ශෝකී මුහුණ දෙස ෂෙහාරා තප්පර කිහිපයක් බලා උන්නාය. 

” මට තිබුණා ඩිවෝස් එක ලැබෙනකම් ඔයාට අම්මල ගේ ගෙදර යන්න කියන්න.ඒත් මට එහෙම කරන්න ඕනේ නෑ ෂෙහාරා. කොටින්ම ඔයා මට කරපු දේ ගැන හිතලා ඔයාට රිද්දන්න වත් මට කිසිම උවමනාවක් නැහැ. ඔයාව දකින දකින වාරයක් ගානේ ඔයා මට කරපු දේ මට මතක් වෙනවා. ඒත් එහෙමයි කියලා ඔයාව මේ ගෙදරින් එළියට ඇදලා දාන්න තරම් මම පහත් මනුස්සයෙක් නෙමෙයි ” 

ආදිත්‍යය යනු ගැහැණියකට ලැබිය යුතු ආකාරයේ සැමියෙකි. එවන් සැමියකුව තමා අහිමි කර ගත්තේ තමාගේම වරදින් සහ දුර දිග නොබලා ගත් තීරණ නිසාවෙනි. ෂෙහාරා දෑස් වලට නැගෙන කඳුළු ආයාසයෙන් නවත්වා ගනිමින් හදවතින් හඬා වැටුනාය. එහෙත් දැන් සියල්ලටම තමා ප්‍රමාද වැඩිය. තමාට ආදිත්‍යයව අහිමි වී හමාරය.

” හැබැයි ඔයාට ඔයා කැමති තීරණයක් ගන්න නිදහස තියෙනවා ෂෙහාරා. ඔයා මෙහේ ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඔයා කැමතිනම් අම්මලාගේ ගෙදර යන්න ” 

එසේ කියූ ආදිත්‍යය ෂෙහාරා සිටි තැන පසු කර ගෙන නිවසට ඇතුළු වූයේය. ඔහුව වැළඳ ගැනීමට සිතුණු සිතිවිල්ල ක්‍රියාවට නොනැංවීමට ෂෙහාරා වග බලා ගත්තාය.

” මට මේ ටික දවස ඔයත් එක්ක ඉන්න දෙනවද ආදිත්‍යය ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here