මුතු බෙලි හදවත – 40 වන කොටස

ශිරෝෂි විවාහ වෙන්නට යන බවක් ගැන හාංකවිසියක් හෝ විකුම් දැන සිටියේ නැත. ඉදිරියට එමින් තිබි මැතිවරණයේ කටයුතුත් එක්ක කාර්ය බහුල වූයෙන් විකුම් ට දින කිහිපයක් ශිරෝෂි හමු විය නො හැකි විණි. ඒ අතරේ මේ තරම් ලොකු දෙයක් වෙන්නට පුළුවන් යයි විකුම් නම් සිහිනයෙනුදු නො සිතුවේ ය. කෙසේ වෙතත් පුවත ලද සැනෙන් විකුම් ශිරෝෂි මුණ ගැහීම සඳහා දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“අදනං මට මීට් වෙන්න බැරි වෙයි විකුම්. මේ දවස් ටිකේම බැරි වෙයි. මොකද මං වෙඩින් එකේ වැඩ වලට බිසී වෙලා ඉන්නෙ”

ඇය කිසිදු වගක් නැතිව කීවා ය.

“මොකද්ද ඕයි තමුසෙ මේ කරල තියෙන වැඩේ…නිකමටවත් මට කිව්වට තමුසෙ මැරි කරන්න හදන්නෙ කියල”

“ඒක හදිස්සි තීරණයක් විකුම්. මට ආසිරි මීට් වුණේ ෆන්ක්ශන් එකකදි. එතනදි අපි අඳඅනගෙන කතා කළා. පහුවදා එයා මට ප්‍රපෝසල් එකක් ගෙනාව. මං මැරි කරන එකේ වරදක් තියෙනවද විකුම්…”

“ඒත් ඔයාව ආශ්‍රය කළේ මම”

“ඔව්. ඔයා මාව ආශ්‍රය කළා විතරයි. ඔයාට මං ගැන ඊට වඩා වගකීමක් ගන්න ඕන වුණේ නෑ. ඔයා හැමදාම ආදිත්‍යා ව ලීගල් වයිෆ් විදිහට ලස්සනට ගෙදර තියාගෙන මාව යූස් කළා. රටට ලෝකෙට හරි උජාරුවට එයාගෙ හොඳ කිව්ව. මට එයාගෙ වැරදිම කිව්ව. ඇත්තටම ඔයා අපි දෙන්නවම දෙවිදිහකට යූස් කළා විකුම්. ආදිත්‍යා ඩිවෝස් කේස් එකක් ෆයිල් කළාට පස්සෙත් මං කිව්ව මැරි කරමු කියල. ඔයා මගඇරිය. ඔයා කවදාවත්ම මාව මැරි කරන්නෙ නෑ විකුම්. මාත් ගෑනු ළමයෙක්. මටත් ආසාවල් තියෙනව. හීන තියනව. මං බලාපොරොත්තු වෙන ජීවිතයක් තියනව. ඔයාට ඒ කිසි දෙයක් ගැන කවදාවත් කිසි ගාණක් තිබුණේ නෑ. මට මං වෙනුවෙන් මේ තීරණේ ගන්න වුණා විකුම්. සොරි”

එපමණක් කියා ශිරෝෂි දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. විකුම් අත මිට මොලවා බිත්තියට පහරක් ගැසුවේ ය.

විකුම් ගෙ සිත නො සන්සුන් ව තිබිණ. මේ කෙටි කාලය පුරා ම ඔහු ට මුහුණ දෙන්නට සිදු වූයේ බලාපොරොත්තු නොවූ ඛේදවාචකයන්ට ය. ආදිත්‍යා දික්කසාදය ලබා ගත්තා ය. ඇය සබඳකමක් ඇති කර තිබෙන දුමාල්, ඔහු ගේ පියාගේ ම දරුවෙකු බව දැනගන්නට ලැබිණි. දැන් කාලයක් තිස්සේ ඔහු ඇසුරු කළ නිරූපිකාව විවාහ වෙන්නට යයි. ඉතා ඉක්මනින් බොහෝ දේවල් ඔහු ගෙන් ඈත් වෙමින් තිබෙනා බවක් විකුම් ට දැනේ. මේ සියලු පුවත් සිය මැතිවරණ බලාපොරොත්තු සිඳ බිඳ දමනු ඇත ය යන බිය සියල්ලට වඩා ඔහු ව අසහනයට පත් කරයි.

දුමාල් ට මුදලාලි ගේ මුහුණේ වන නොසන්සුන් බව දැනිණි. අනවශ්‍ය කරදරයක් ගෙදරට කඩං පාත් වීම ගැන, වයසට යමින් හිඳිනා ඒ මිනිසා ඒ එසේ සිතීම ගැන කිසිදු නො මනාපයක් දුමාල් ට දැනෙන්නේ නැත. මිනිසුන් ගේ හිත් ක්‍රියා කරන ආකාරය ගැන ඔහු ට හොඳ අවබෝධයක් තිබේ. සර්ව සම්පූර්ණයෙන් යහපත් වූ සුදු මිනිසුන් හෝ සම්පූර්ණයෙන් නරකයි කිව හැකි කළු මිනිසුන් මෙලොව සිටී නම් ඒ අල්පයක් විය යුතු ය. බහුතරය හොඳ නරක මුහු වූ අළු පාට මිනිසුන් ය. සදාකාලික තනි ජීවිතයකට හිමි කම් කියන්නට සිටි ගීතා ට, විවාහයක වන සුරක්ෂිත බව දැනවූ මිනිසා මුදලාලි ය යන හැඟීම අමතක කර, මේ වෙලාවේ ඔහු ගේ මූණේ තිබෙන නොමනාපය ගැන රොස් පරොස් වන්නට නම් දුමාල් පටු චින්තකයෙක් වූයේ නැත.

“මං දැං ඇනෙක්ස් එකට යන්න ඕනෙ අම්මෙ”

තත්වය යහපත් කරනු වස් දුමාල් ගත් තීරණය ඒ ය. ඔහු කිසි සේත් මුදලාලි ගේ දොසක් කියා ගීතා ගේ හිත රිදවන්නට සිතුවේ නැත. මේ වගේ ගලින් බිත්ති බැඳ කපරාදු කොට, අස්බැස්ටස් තහඩු වලින් වහල සෙවිලි කොට සිවිලිම ගැසූ ගෙදරක් යනු ඒ කාලේ ඔවුන් ට මිහිපිට දෙව් ලොවකි. ඉටි කොළ අහුරා ගෙන, වහලට හිල් වූ පරණ තහඩු ටිකක් හොයා අටවා ගෙන සිටි ඇල අයිනේ ගෙදර, වැස්සට දෝරෙ ගියේ ය. දිරූ ටකරන් වල සිදුරු අතරින්, අතුරු සිදුරු නොමැති ව වැහි වතුර වැක්කෙරුණේ ය. තද වැස්සට නම් නියත වශයෙන් ම ඇල ඉතුරුවේ ය. එතකොට උඩිනුත් වතුර ය. යටිනුත් වතුර ය. පොතක් හෝ නො තෙමී තබා ගත හැකි තැනක් නොවිණි. ඇතැම් විට ඇළකණ්ඩියේ ගෙවල් හෝදා ගෙන ගිය බොර දිය, ඔවුන් ට ය කියා තිබුණ සකල මනාව ම ඇල දිගේ ගෙන ගියේ ය.

ඇලෙහි බොර දිය සමග ගෙට එන්නේ මඩ පිළී ගඳ පමණක් නොවේ. අහල ගම් හතක සියලු කැළි කසළ ද ඒ සමග වෙයි. ඇල දිය බැස ගිය ද සතියක් දෙකක් යන තුරු ඒ පිළී ගඳ තුනී වී යන්නේ නැත. අඳින්නට වස්තරයක් නැති ව, විදන්නට තෙත බිම වුව තැනක් නැතිව දුක් විඳි ඒ යුගය දුමාල් ට කිසි දා අමතක කළ නො හැකි ය. ඒ වගේ ජීවිතයකින් අම්මා ව මුදවා ගත් තැනැත්තා මුදලාලි ය. ඒ නිසා දුමාල් ට කිසි දා ඔහු ගැන අහිතක් හිතිය නො හැකි ය.

ගීතා එපා කීවා ට දුමාල් ව නතර කර ගත හැකි නොවිණි. ඔහු යළිත් සිය පුරුදු කාමරය බලා ගියේ ය. සිය ජීව විද්‍යාත්මක පියා ත් සොයුරාත් ජීවත් වෙන මැදුරට යාබද කාමරය!

“අනේ තරහ වෙන්න එපා ළමයො. ඔයා වෙන තැනක් හොයා ගන්න. අපිට මේ ගෙවල් දොරවල් දාල යන්න වෙන තැනක් නෑනෙ. ඔය ළමයට තේරෙනව ඇතිනෙ මං කියන දේ”

කාමරය අයිති ගෙදර අයිතිකාරී, දුමාල් එහි ගිය හැටියේ ඇවිත් කීවා ය. ඒ ඔහු කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. නමුත් ඇය ව වටහා ගන්නට ඔහු අපොහොසත් වූයේ නැත. අසල්වැසි ඇමතිවරයා, සිය ලේලිය සමග ඇති කර ගත් පලහිලව්ව නිසාවෙන් දුමාල් ට පහර දී ඇති බව ඔවුන් ට ආරංචි වී තිබිණි. ඉතින් දුමාල් ට නවාතැන් පහසුකම් සැපයීම ගැන දෙවරක් සිතන්නට ඔවුන් ට සිදු වූයේ ය. ඕනෑ ම මිනිසෙකු සිය ජීවිතයට ආදරේ ය. අනවශ්‍ය කරදර ඇති කර ගන්නට කැමැති අය මෙලොව හරි දුර්ලභ ය.

මේ වගේ දුෂ්කර මොහොතක ආදිත්‍යා හමු වන්නට දුමාල් ට අවැසි විය. අඩු තරමින් හදවතට වඩාත් සමීප කෙනෙකු ගේ දයාබර එක වදනයක් හෝ විඩාපත් හිතක් අස්වන්නට හේතු වන්නේ ය. ඇය පෙර පාසල නිම වූ ගමන් මින්දුල ද කැටිව දුමාල් හමු වූවා ය.

“යන්න එන්නවත් තැනක් නැති වෙලා ගිහිං ඉන්නෙ. ඇනෙක්ස් එකේ අය වෙන තැනක් හොයා ගන්නලු”

ඔහු උපේක්ෂා සහගත සිනහවකින් ඇදෙස බලා ගෙන කීවේ ය. ආදිත්‍යා ඔහු ගේ අතක් අල්ලා ගත්තා ය. ඔහු ට මෙවන් ඉරණමක් උදා වූයේ තමන් නිසා ය යන සිතිවිල්ලෙන් මිදීම ඇය ට පහසු නැත.

“ඒක හරි අසාධාරණයිනෙ. එහෙම එක පාරට ඉල්ලන්න පුළුවන් ද…තැනක් හොයා ගන්නවත් කල් දෙන්න ඕනනෙ”

ආදිත්‍යා දුකෙන් මිමිණුවා ය.

“අයිතිවාසිකම් ගැන කතා කරන්න ගියොත් එහෙම කියන්න පුළුවන්. ඒත් ඒ මිනිස්සුන්ට දැනෙන අපහසුතාව තවත් වැඩි කරන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ”

“අනේ දුමාල් ඔයා…”

ආදිත්‍යා දුමාල් ගේ හිස පිරිමැද්දා ය. ඇගේ ළය ස්නේහයෙන් පිරී ගොස් තිබිණි.

“ගෙයක් අරං යං”

ඔහු ආදරණීය ඇරයුමක් කළේ ය. ආදිත්‍යා නෙතු පිය නො සලා ඔහු දෙස ම බලා සිටියා ය. මේ වගේ සංඛ්‍යාතයකින් මීට පෙර කිසි දා හෘදය ස්ඵන්දනය වී නොමැති බව ඇය ට විශ්වාස ය. ජීවිතය බෙදා හදා ගැනීමේ අරමුණෙන් පිරිමියෙකු එවන් ඇරයුමක් කරත්දී ගැහැනු පපුවකට එය වාවා ගත නො හැකි හැඟීමක් වන්නේ ය. ආදිත්‍යා කියන්නේ ජීවිතයකට උරුම විය හැකි එහෙව් සුන්දර නිමේශයන් හි හිමිකමක් නැති ස්ත්‍රියකි. විකුම් හා විවාපත් වීමෙන් පසු, සිය ළමා හා යොවුන් වියෙහි දී අත් නොවිඳි සකලාකාර සැප සම්පත් භුක්ති විඳින්නට ඇය ට අවකාශ ලැබුණ බැව් සැබවි. නමුත් ඒ කිසිත් ඇය ප්‍රාර්ථනා කර ගෙන හෝ සිහින මවා ගෙන හෝ සිටි ඒවා නොවේ. නිකං ම අහසින් පහත් වුණ සුඛ විහරණයන් ය. නමුත් සතුට වූ කලී සැපත නොවන බව ආදිත්‍යා ඉතා කෙටි කාලයකදී වටහා ගත්තා ය.

“අනේ දුමාල්”

ඇගේ ඇස් වල කඳුළු ගුලි ගැසිණි.

“ජීවත් වෙන්න මෙහෙම මට කතා කළ එකම කෙනා ඔයා…මෙච්චර කාලයක් මං කළේ ජීවිතේ ඉල්ල ඉල්ල වැඳ වැටි වැටි විකුම් පස්සෙන් ගිය එක”

“දැන් ඒ පරණ දේවල් මතක් කර කර දුක් වෙන්න එපා. මේ මොහොතෙ ජීවත් වෙමු. අතීතය තියෙන්නෙ පාඩං ඉගෙන ගන්න විතරයි”

දුමාල් මින්දුල ව සිය උකුල මතට ගෙන වමතින් ආදිත්‍යා ව ඔහු වෙතට ලං කොට ගත්තේ ය. ඇය ඇස් දෙක තද කොට පියා ගත්තා ය.

“ඩිවෝස් එක්ක ගත්ත උණුහුමේම අපි මැරි කරනකොට…මිනිස්සු කතා කියයි නේද…”

ආදිත්‍යා ඒ විමසුවේ සැකයෙනි, බියෙනි. ඇගේ හිතේ වන සාධාරණ බිය ගැන ඔහු ට පුදුමයක් නැත.

“මිනිස්සු කියන දේවල් ගැන වද වෙන්න ගියොත් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි ආදි. එහෙම වුණාම අපිව සතුටෙන් තියන්න අපිට ඉඩක් නැති වෙන එකයි වෙන්නෙ. අපි කරන්න ඕනෙ අපේ හිතට එකඟව හරි කියල දැනෙන දේ. ඔයාට තේරුණා නේද..”

“ඒත්…අම්මයි තාත්තයි මොනා කියයිද කියල මට හිතන්න වෙනව දුමාල්. මං ටිකක්…ඒ දෙන්නට කීකරුව හැදුණ ළමයෙක්. තාත්තත් හාට් පේෂන්ට් කෙනෙක් නිසා…මට ඒගොල්ලො අමතක කරල මං ගැන තීරණ ගන්න ටිකක් අමාරුයි”

“හොඳ දුවල හොඳ වයිෆ්ල වෙනව කියල මං අහල තියෙනව”

ඔහු මන්දහාසයකින් ආදිත්‍යා ගේ හිස පිරිමැද්දේ ය.

“ඔයා කැමති දවසක පුතා එක්ක මං ළඟට එන්න. එතකල් මං හොඳ ගෙයක් එහෙම අරගෙන ලෑස්ති වෙන්නං…ඔයාව පිළිගන්න”

දුමාල් සිය අඩුම කුඩුම ටික ද ගෙන ගොස් හෝටල් කාමරයක නවාගැන් ගත්තේ ය. ඒ අතරේ ආදිත්‍යා සමග කුළී ගෙවල් බලන්නට ගියේ ය. ඔවුන් දෙදෙනා ගේ ම හිත ඇද ගන්නා තැනක් හොයා ගන්නට ටික දිනක් ගත විය. ඉන් පසු දුමාල් එහි පදිංචි වූයේ ය.

“හෙමිහිට අපේම ගෙයක් හදමු. එතකල් හිතේ සතුටෙං ජීවත් වෙන්න මෙතන හොඳයි”

ආදිත්‍යා ද සිහින ඇහිඳින්නට පටන් ගත්තා ය. ජීවිතයකට සිහින තිබිය යුතු ම ය. කළු සුදු ජීවිත වර්ණවත් කරන්නේ සිහින විසිනි. අන්තර්ජාලයේ සැරිසරමින් ඕ ලස්සන කුඩා නිවාස වල සැලසුම් හෙව්වා ය. ලස්සන ගෙමිදුල් බැලුවා ය. ගෘහ භාණ්ඩ තේරුවා ය. අලුත් ම තිර රෙදි විලාසිතා ගැන විමසා බැලුවා ය.

 ආමන්තා ට සීමාවාසික ගුරු පත්වීම ලැබුණෙන් පෙර පාසලේ කටයුතු සඳහා සහායිකාවක ගේ අවශ්‍යතාවය දැනිණ. ඇය ඒ සියල්ල වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළේ සතුටෙනි. සතුටෙන් ඉන්නා විට ජීවත් වෙන බව දැනේ.

“ඔයා ඔහොම ජීවිතේ ගැන බලාපොරොත්තු ඇති කර ගන්නකොට ආස හිතෙනව අක්කෙ”

ආමන්තා කියන්නේ ඇත්තට ම ය. තමන් මේ විඳින්නේ අත්හැරීමේ සතුට බව ආමන්තා දනී. දුමාල් ගැන ඇයට ඇති වූ හැඟීම මත්තේ ආත්මාර්ථකාමී ලෙස කටයුතු කළා නම්, දුමාල් ව නො ලැබුණේ වී ද ආදිත්‍යා ට මේ තරම් සැහැල්ලුවෙන් මුහුණ දිය නො හැකි බව ඇය දනී. ලැබෙන්නට යමක් වන්නේ නම් එය ලැබෙනු ඇත. තමන් ගේ සතුට වෙනුවෙන් හඹා ගොස් ලබා ගන්නවාට වඩා, පරිත්‍යාග කිරීම තුළ තෘප්තියක් වේ.

“ඔයා විකුම් පායෙ හිටියෙ මසට ඇති කරන සතෙක් වගේ…සුදුමැළි වෙලා ගිහිං…ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව…ජීවත් වීම ගැන කිසිම ආසාවක් නැතුව…ඔයාට ජීවත් වෙන්න තිබුණ එක ම හේතුව විදිහට මං දැක්කෙ මින්දුල විතරයි. ඒත් දැං ඔයාගෙ ඇස් වල එළියක් තියෙනව. ඒක සතුටත් එක්ක…බලාපොරොත්තුවත් එක්ක බැඳිච්ච එළියක්”

“මට පුතාව හොඳ තැනකට ගෙනියන්න ඕන..වැඩි කලක් නොයා එයා සාමාන්‍ය ළමයි ඉගෙන ගන්න පන්තියක ඉගෙන ගන්නත් ඕනෙ. මගෙ පුතා ඔටිසම් බබෙක් නිසා එයාව පැත්තකට තල්ලු කරල දාන්න බෑ නංගි. අනිත් දරුවන්ට ජීවිතේ විඳින්නයි ඉගෙන ගන්නයි තියෙන අයිතිය මගෙ පුතාටත් තියෙන්න ඕනෙ”

අක්කා ගේ ඇස් වල දැඩි අධිෂ්ඨානයක් දැල්වෙනවා ආමන්තා දුටුවා ය. වෙන මොනවා නැතත් ඇය ඒ අරමුණට නම් යනු නිසැක බව ආමන්තා ට සිතිණ.

“පුතා මේ ටික දවසටත් සෑහෙන දියුණුවක් තියෙනව කියල ඩොක්ටර් කිව්ව. දුමාල් නිසා එයා වේගෙන් සනීප වෙන්න ගත්තා කියල මට හිතෙනව”

මිදුලේ මෝටර් රථයක් නැවතෙනු ඇසුණේ අක්ක නගෝ කාමරයේ කතා කරමින් සිටියදී ය. දුමාල් ද යන ප්‍රශ්නයෙන් යුතු ව ආදිත්‍යා ඉදිරි පස ට ආවා ය. පෝටිකෝව යට නතර වූ රියෙන් බහිමින් සිටියේ දුමාල් නොව විකුම් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles