යසස්වී වෙහෙරගොඩ ආරක්ෂිත ව අස්විද සූරියබණ්ඩාරගේ අත් බාහුවෙන් අල්වාගෙන විත් රියෙහි ඉදිරි අසුනට ගොඩවූවා ය. ඒ යුවළ වෙතට උදාර ගේ දෑස් යොමු වීගෙන ම තිබිණ. අස්විද ඉක්මනින් අනිත් පසට ගොස් රියට ගොඩ වී රිය පණ ගන්වාගත්තේ ය. ඇගේ මුව මාස්ක් එකකින් ද දෑස් කළු කණ්ණාඩි වලින් ද හිස සළුවකින් ද වැසී තිබුණාට ඇය නෙතට හුරු පුරුදුයි වාගේ කියා දැනෙමින් තිබි උදාර ගේ හිතට, ඇය යසස්වී වාගේයි හිතුණේ අස්විද ගේ රිය පාරට වැටුණාටත් පසු ය.
යසස්වි ගේ දත් දෙපෙළ වූයේ එකිනෙක තද වී ය. හදවත ගැස්මෙහි උච්ච බව ගිණුම් කරන්නට ඇය දැන සිටියේ නැත. මුළු සිරුරෙහි ම සීතලක් ඇය ඒ මොහොතෙහි අත්විඳිමින් සිටියා ය. දෑතෙහි අතැඟිලි උකුල මත දී එකිනෙක පැටළී, ඇගේ දෑස් පහළට හැරවී තිබිණ. කුමක් සිදු වන්නට යන්නේ ද කුමක් සිදු වන්නට නියමිත ද කියා අල්ප මාත්‍රික අදහසක් ඇය වෙත නො විණ.
අස්විද ඇස් කොන් බැල්මක් හෙලුවේ ය. ඈ ග්‍රීක දෙවඟනක සේ නො සැළෙන ඉරියව්වකින් සිටියා ය. ඔහු ගේ දෙතොල් අතරේ මඳහසක සේයා ඇඳී ගියේ ය. නමුත් සිනහ විය හැකි ද සිනහ විය යුතු ද යන ප්‍රශ්න හිත ඇතුළෙන් හිස ඔසවන්නට බැලුවේ ය. අස්විද ලොකු හුස්මක් ගත්තේ මේ ප්‍රශනයේ කොයි තරම් දුරකට ඔහු ට ඇවිද යා හැකි ද යන අවිනිශ්චිත බව දැනුණු බැවිනි.
‘අයිය උදාරගෙ වාහනේ එනව’
කියා යසස්වි හදිසියේ ම කීවේ ඒ වෙලාවේ දැනුණු ගැහැනු ඉවක් මත පිටුපස හැරී බලමිනි. අස්විද පැති කණ්ණාඩියෙන් පිටුපස බැලුවේ ය.
‘ඔය රෙඩ් කලර් ජිප් එක’
යසස්වී කලබල වී සිටියා ය. අස්විද රියෙහි වේගය වැඩි කළේ ය.
ඇය යසස්වී වාගේයි සිතුණ ගමන් උදාර ගේ හිතේ අකුණක් පිපිරුවේ ය. හෙතෙම වහා රියට නැගී ගත්තේ ය. ඉවසිය නො හැකි කෝපයකින් ඔහු වෙව්ලන්නට වූයේ ය.
‘ඕකිව අද මම…’
උදාර හැකි උපරිම වේගයෙන් රිය පැදවූයේ ය. අස්විද ඊට නො දෙවෙනි වූයේ ය. ඒ අතරේ උදාර යසස්වි ගේ දුරකතනය සම්බන්ධ කරගන්නට තැත් කළ ද ඒ වන විටත් ඇය ඒ ක්‍රියා විරහිත කොට තිබිණි.
සමහර දේවල් සිදු වන්නේ අපේ සැලසුම් මත නොවේ ය කියා දැනෙන අවස්ථා ජීවිත මත්තෙහි ඇතැම් විට උදා වේ. මේ මොහොතත් එවැන්නකි. බත්තරමුල්ලේ පාර්ලිමේන්තු මංසන්ධියේ දී කහ එළි නිවී රතු එළි දැල්වෙන්නට ඔන්න මෙන්න තිබියදී අස්විද ඉදිරියට ගමන් කළේ ය. ඊට වාහන කිහිපයක් පසුපසින් නතර වූ උදාර ස්ටියරින් වීලයට තදින් පහරක් ගැසූයේ නො ඉවසිල්ලෙනි. අස්විද ගේ රිය ප්‍රධාන පාරෙන් රජමල්වත්ත පාරට හැරී නො පෙනී ගියේ ය. වර්ණ සංඥා කොළ පාට වීමෙන් පසු ඉදිරියට ගිය උදාර ට අස්විද ගේ මෝටර් රථය ආ ගිය අතක් නිශ්චිත කරගත නො හැකි විණි. අනිත් අතට ඔහු කොළඹ පාරවල් ගැන වඩා හොඳින් දැන සිටියේ ද නැත.
‘අංකල් ඔයාගෙ දුව මාව දැක දැක වෙන කොල්ලෙක්ගෙ වාහනේ නැගල ගියා හොඳේ’
අවන්හලක් ඉදිරියෙහි රිය නතර කොට උදාර වෙහෙරගොඩ මුදලාලිට ඇමතුමක් ගත්තේ ය.
‘මොකද්ද…’
‘ඔයාට ඇහුණ දේ තමයි මං කිව්වෙ. අපිට කොළේ වහල මෙයා ජාතියත් මාරු කරල කියලයි මං හිතන්නෙ. මුස්ලිම් ගෑනියෙක් වගේ ඔළුව වහගෙනයි හිටියෙ’
‘මොනාද මේ කියන්නෙ… පොඩ්ඩක් ඉන්නව මං කතා කරල බලන්න’
කියා වෙහෙරගොඩ මුදලාලි එවෙලේ ම සිය දියණිය ට ඇමතුමක් ගත්ත ද දුරකතනය ක්‍රියා කළේ නැත.
යසස්වි සිටියේ ගැහෙනා ළය මත අතක් තබාගෙනයි. ඇය හුස්ම ගත්තේත් වේගයෙනි.
‘අද මෙහෙම නූලෙං පැනගත්තට… මේක ඉතිං විසඳුමක් නෙවෙයි නේද…’
අස්විද රියෙහි ගමන් වේගය බාල කළේ ය. යසස්වි ඔහු දෙස බැලුවේ තැතිගත් දෑසකිනි. නමත් ඔහු වෙත වූයේ මුණිවර ශාන්තිදායක බවකි. සිය හදවත සැනසුම් කලාපයක් බව තහවුරු වූවා වන් නිශ්චිත සන්සුන්කමකි.
‘මං දන්නව. අනේ තෑන්ක්ස් අයිය මේ වෙලාවෙ මාව බේරල දුන්නට. අද මං ඔය මිනිහ ඉස්සරහට ගියානං අනිවාර්යෙන් ගෙදරට එනව. ඊට පස්සෙ හිතුණ ගමන් එන්න ගනී. එකමයි මං කතාකරන්න ගියෙ නැත්තෙ’
‘මේක ඉතිං විසඳගන්න ඕනෙ. මොකද ඔයා කැම්පස් නොයා ඉන්නද… හැමදාම හැංගිමුත්තං කරන්නද…’
‘මං තාත්තට කතාකරනව අද’
‘ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ… වැඩිහිටියෙක්නෙ. තමංගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතිය තියෙනව. එහෙම වෙන්නෑ කියල හිතෙනවනං ඔයා කිව්ව වගේ නීතියෙන් රැකවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තමයි. ඒත් යසස්වි මේක ලංකාවනෙ. අපේ කල්චර් එක හරිම ලිමිටේශන්ස් ඇතුළෙනෙ ඩිවෙලොප් වෙලා තියෙන්නෙ. ස්පෙශලි… ෆැමිලි එක කියල කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ට තියන වැදගත්ම වටිනම දේ. අපේ රටේ දෙමව්පියො වගේ ලෝකෙ කිසිම රටක දෙමව්පියො ළමයින්ට ආදරේ නැතුව ඇති. මන්දන්නෑ ඒ ආදරේ කියන වචනෙ කොයිතරං සුදුසුද කියල. අයි මීන්… ළමයි ගැන ලෝකෙ වෙන කොතනකවත් පේරන්ට්ස්ල අපේ වගේ වද වෙන්නැතුව ඇති. දැං ඔයා ගත්තත් බලන්න. නැශනල් යුනි එකක ෆ්‍රී එඩියුකේශන් කියන කන්සෙප්ට් එකෙන් ඉගෙනගන්න නැති වුණත් ඔයාගෙ තාත්ත සල්ලි වියදං කරල හරි යුනිවසිටි එකකට දාල උගන්නනව. අපේ රටේ දුප්පත් අම්මල තාත්තලගෙ ඉඳං… ළමයි රජයේ විශ්ව විද්‍යාලෙකට ගියත් ඒකෙන් අවුට් වෙලා ජොබ් එකක් කරනකල්ම කොහොමහරි ඕනකරන සල්ලි ටික හොයල දෙන්න බලනව. අපේ රටේ දෙමව්පියො වයසට වඩා වයසට යන්නෙ දරුවො වෙනුවෙන් අනවශ්‍ය තරං මහන්සි වෙන දුක් විඳින නිසා වෙන්නැති. වෙන රටවල ළමයි ටිකක් ලොකු වෙනකොට පාට් ටයිම් ජොබ් එකක්හරි කරනව. යුනිවසිටි යද්දිනං කොහොමත් ජොබ් එකක් කරල තමන්ගෙ වියදං හොයාගන්නව. ඉතිං ඒ ළමයි හරි ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ ළමයි එයාලගෙ ජීවිතේ ගැන තියන අයිතිය ගැන සහතික වෙනව. එයාලට පේරන්ට්ස්ලගෙන් යුතු නැති දෙයක් වෙනව කියල හිතනවනං නීතිය ඉස්සරහට යනව. අවුරුදු දහයෙ දොළහෙ ළමයි පවා ගැහුවොත් පොලීසි යන සයිස් එකක් කියෙන්නෙ. ඒත් දරුවො මත්තෙ දුක්ම විඳවන අපේ අම්මල තාත්තල අපේ කසාදෙ තීරණේ කරන්න යන තැනදි අපි එයාලව පොලීසියට උසාවියට අරං යනව කියන එක කොච්චර සදාචාරසම්පන්නද කියල හිතන්න වෙනව. එතික්ස් කියන්න කියන්නෙ නීති පොත්වල ලියවිල නැති නීති වලට. ඔයාට තේරෙනවද මං කියන දේ..’
ඒ දේශනය මුණිවර සරකින් කළ හිත පිරිමැදීමකි. තව හෝරා ගණනක් වුව නිසංසලේ ඒ හඬට සවන් දීගෙන සිටිය හැකි යයි සිතෙමින් වුව යසස්වී හිස ඉහළ පහළ සැළුවා ය.
‘තාත්තට තේරුං කරල දෙන්න බලමු ඔයා උදාරට කැමති නෑ කියල. එක හීනෙන් එළි වෙන්නෑනෙ. මොකක්හරි පාරක් තියෙයි. හැබැයි උදාර අද මේ ගමනෙන් නතරවෙන එකක්නං නෑ. අනිත් එක… ඒ හාදයට අකමැති වෙන්න තරං හේතුවක්නං මටත් පේන්නෙ නෑ’
අස්විද ඒ අන්තිම පෙළ කීවේ පොපියන මඳහසකිනි. යසස්වි දෑස් හකුළාගෙන නො මනාපය හඟවන බැල්මක් හෙළුවා ය. නමුත් අස්විද ගේ මඳහස අස ඒ බැල්ම ක්ෂය වෙන්නට ලොකු වෙලාවක් ගියේ නැත.
‘හේතුවක් තියනවනං ඒ වෙන කවුරුහරි කොල්ලෙක් කොහෙහරි ඉන්නව කියන එක තමයි’
මොනවා කියන්න ද? දඟකාර බැල්මෙන් බලා සිටියා මිස යසස්වි නිදහසට කාරණා කියන්නට ගියේ නැත. ‘ඉන්නව හිතේ’ කියා කියන්නට තිබුණා යි ඇයට සිහි වූයේ තවත් ටික වෙලාවක් ඒ අවසාන වාක්‍යය හිත තුළ පිළිරැව් දෙන අතරවාරයේ ය.
තුසිතයට ලං වෙත්දී රියෙන් බැසගන්නා එක හොඳ යයි ඇයට සිහි විය.
‘දිල්නුක බනියි කියල බයේද මාත් එක්ක කා එකේ ආවට…’
අස්විද ගේ ප්‍රතිචාරය නිසා හද තුළ ක්ෂණික අකුණක් පුපුරා ගිය බැව් සැබවි. නමුත් යසස්වී ඒ කම්පනය සිනහවකින් වසාගත්තා ය.
‘දිල්නුක නෙවේ… නිලූපා අක්ක එහෙම ගෙදර ඉඳීද කියලයි බය’
ඒ එකට එක කීම අස්විද විසින් පිළිගනු ලැබූයේ නුහුරු මිහිරියාවකිනි.
දුරකතනය ක්‍රියාත්මක කළ ගමන් යසස්වි ට පියාගෙන් බලාපොරොත්තු වූ ඇමතුම ලැබිණ.
‘කොහෙද ඉන්නෙ…’
ඒ හඬෙහි වූයේ දැඩි බවකි.
‘දැං මේ ගෙදර ආව විතරයි තාත්ත’
‘උදාර කැම්පස් එක ළඟ බලං හිටියලුනෙ’
‘ආ අද ප්‍රොජෙක්ට් එකකට එළියට ගිහිං හිටියෙ තාත්ත. උදාර මොකටද තාත්ත කැම්පස් එක ළඟට එන්නෙ… මං එයාට කැමති නෑ කියල කිව්වනෙ. ආයෙ ආයෙත් කියන්න තියෙන්නෙ ඒකමයි. ඒක එයාලට තේරුං කරල දෙන්න තාත්ත. මං උදාරව බඳින්නෙනං නෑ. තාත්ත මට බල කරනවනං මට කොහෙහරි රටකට යන්න වෙයි. මාව තේරුං ගන්න තාත්ත’
වෙහෙරගොඩ මුදලාලි දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ කේන්තියෙනි. යසස්වි ගේ හිතේ බරක් ද නමක් නො දන්නා සැහැල්ලුවක් ද විය. ඇයට කිසි සේත් උදාර සමගින් එක ජීවිතයක් ගෙවන්නට අවැසි නැති බැව් සක් සුදක් සේ විශ්වාස ය. ගෙදරින් එත්දී ඇය තුළ වූයේ ඒ විවාහ යෝජනාවෙන් ගැලවීමේ අදහසකි. නමුත් දැන්, ඇය කිසි දා ඒ විවාහය නො කරගන්නා බැව් සහතික ය!
ඒ සන්ධ්‍යාව නිසංසල විය. ඒ තරම් බරපතල සිදුවීමකට පසුත් එහෙම වෙන්නට පිළිවන් ද කියා යසස්වි සිතුවා ය. ඒ සාමය සමරනු වස් ඕ සනුක සමගින් මිදුලේ බැඩ්මින්ටන් ගැසුවා ය. හිත් පත්ලේ ගිනිමැලයක් වන බව දැනී නො දැනී යමින් තිබිණ. ගැඹුරු කුණාටු වලට මතුපිටින් ජල තලයක් වුව සාමකාමී විය හැක. යසස්වි ට ඕන වී තිබුණේ කුණාටුව මතුපිටට නො ගෙනවිත් ගැඹුරෙහි ම තිබෙන්නට හරින්නයි!
‘ඔය බෝඩිමෙන් වහාම ගෙදර වරෙං. කැම්පස් ඕන්නෑ. කැම්පස් ගිහිං ජොබ් කරන්න නෙවෙයිනෙ’
රෑ වන විට උදාර ඇල්කොහොල් මතින් ඇමතුමක් ගෙන ගුගුළේ ය.
‘නෑ මං එහෙම කරන්නෑ. මං තමුන්ව බඳින්නෙත් නෑ’
යසස්වී හිතට දිරිය ගත්තා ය.
‘මං දන්නව උඹට ඔහෙ මිනිහෙක් ඉන්නව කියල. තෝ දවල් ගියේ ඌගෙ අතේ එල්ලිල කියලත් මට හිතෙනව’
එතෙක් හිත යට අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටි කුණාටුව පිටතට පැමිණියේ ඒ වෙලාවේයි.
‘ඔව් ඉන්නව. ඒක දන්න නිසාවත් මට පාඩුවෙ ඉන්න දෙන්න්…අනේ ප්ලීස් උදාර’
කියමින් යසස්වි දුරකතනය ක්‍රියා විරහිත කළේ හඬාගෙනයි. දන්නා නො දන්නා බියක් දුමාරයක් සේ ආත්මය වසාගති. ඇගේ දෑස් දියවී යන්නට විය.
‘හෙට උදේට පොලීසියට යං’
පිටුපසින් ඒ සන්සුන් හඬ ඇසෙනා තුරු සඳැල්ලට අස්විද පැමිණි බවක් යසස්වි ට නො දැනිණ.
‘උදාර කැම්පස් එක ළඟට එන එක ඔයාගෙ ආරක්ෂාවට ප්‍රශ්නයක් කියල කම්ප්ලේන් එකක් දාමු. එතකොට එයාට පොලීසිය කතාකරයි’
‘අනේ මට හරි බය හිතෙනව අයිය’
කඳුළු පෙරී යන ලෙස දෑස් තද කරමින් බිම බලත්දී ඇගේ හිස් මුදුන අස්විද ගේ පපුවෙහි යන්තමින් ස්පර්ශ විය. මහා උණුහුම් වැළඳගැනීමක් මුළු ආත්මය ම අපේක්ෂාවෙන් පසු වන බව ඇයට දැනුණේ ඒ එක ම එක ස්පර්ශයේදීයි. ඈ තවත් තත්පර සීයෙන් එකක් හිස ඔහු ගේ පපුතුර රැඳෙන්නට හැර සිටියා ය. ‘අනේ මට හරි බය හිතෙනව අයිය’ යන වචන ටික අස්විද ගේ ඇතුළාන්තයෙහි නින්නාද වන්නට විණි. ඒ බොරු බයක් නොවේ. එදා කැරපොත්තාට බය වූ වෙලාවේ යසස්වි වෙතින් දැකිය හැකි වූ අවංක භීතිය මේ මොහොතේ ඒ වචන වල තැවරී තියේ. මේ කඳුළු වල දැවටී තියේ. ඔහු ගේ පපුවට යන්තමින් දැනෙනා ස්පර්ශයෙහි ඕනවටත් වැඩියෙන් ලියවී තියේ. අස්විද යාන්තම් සෙන්ටි මීටර කිහිපයක් ඉදිරියට වත්දී ඒ මුව මඬල සඳ මඬලක් සේ මුළුමනින් පපුවෙහි තැවරිණ. කඳුළක සීතල, බොත්තම් පියවුණේ නැති පිරිමි පපුවට දැනිණි. අස්විද ගේ දෑත්, යසස්වි වැළඳගෙන තිබිණ. ඇය මොහොතකට දෑස් පියවාගෙන හා පැටියෙකු සේ ඒ උණුහුමට ගුලි වූවා ය. තරුවක් ඇසක් වසා ඉඟි මැරුවේ ය. තවමත් නො පිරුණු සඳ කිනිත්ත මඳහසක් පා කැමැත්තෙන් සාක්ෂි දැරුවා ය.
ඒ දැහැන බිඳුණේ සුළං සීනුව දුන් ඉඟියකිනි. යසස්වි වහා අස්විද වෙතින් ඈත් වූවා ය. ඇස් හතරෙහි ම වූයේ එක ම කැල්මකි. කිසිවක් හිතට නෑවිත් හිත අවහිර වී තිබියදී යසස්වි යනවායි නො කියා ම ඉක්මන් අඩි තබා සඳැල්ලෙන් ගෙතුළට ගියා ය. එක් අතකින් නිකටෙහි හා කොපුලෙහි රැවුල් කොට පිරිමදිමින් අස්විද ගරාදි වැටට ලං වූයේ සැහැල්ලුවකින් ද වෙනස් ම හිත් බරකින් ද කියා ඔහු ම දන්නේ නැත.