මිස්සක ගේ සින්දුව හිතපු නැතිව පැය කිහිපයකදී යූ ටියුබ් නැරඹුම් වාර මිලියනය පහු කරා. සතියක් ඇතුලත නැරඹුම් වාර මිලියන පහක් වෙනකොට රූපවාහිනී නාලිකා වලින්, ගුවන් විදුලි නාලිකා වලින් මිසාකට එක දිගටම වැඩසටහන් වෙනුවෙන් ආරධනා එන්න ගත්තා. එච්චර කාලයක් ගායකයෙක් වෙන උණ එක්ක කට්ට කාගෙන වැඩ කරපු මිස්සක රුවන් පතිරණ ගායක තරුවක් වෙලා ලංකාව පුරාම දිලිසෙන්න ගත්තා.
මිස්සකගේ තරු හීනෙට පාර කපන්න වැඩියෙන්ම වෙහෙසුණ කෙනා ඉමායා. ඉමායා ත් මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි දියණිය. මිස්සකට ඉමායාව මුණ ගැහුනේ උසස් පෙළ පන්ති යන කාලේ. ඒ කාලේ යන්තම් ප්‍රේමයක් විදියට එහෙන් මෙහෙන් එළි බැස්ස හැඟීම් හරියටම කියවගන්න දෙන්නා අවුරුදු දෙකක් විතරම බලාගෙන හිටියා. මිස්සක කැළණිය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා ඉමායා කොළඹ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවට පස්සේ ඒ හැඟීම් වලට සමනල් තටු ආවා. නිදහසේ ගලාගෙන ගියා.
අම්මයි, තාත්තයි දෙන්නම යම් අසනීප තත්ව වල හිටපු නිසාම මිස්සකට ගෙදර වගකීම් වල බරත් මහ ලොකුවට දැණුණා. ඉගෙනීමේ වැඩ වලට පස්සේ, අර්ධ කාලීන රැකියාවකට සහභාගී වෙන්න තීරණය කලේ වගකීම් වල බර මඟාරින්න පුලුවන් කමක් තිබුනේ නැති හින්දා. ඒ හින්දාම සරසවි කාලෙ පුරාම මිස්සක ගෙවමින් හිටියේ අතිශය වෙහෙස දවස්.
පාසැල් කාලේ ගිටාර් එක එක්ක සින්දුවක් කියන්න, සින්දුවක් හදන්න තිබුන වෙලාව පවා ක්ශය වෙලා යන බව මිස්සකට තේරුණා.
“ඉරිදාට වැඩ කරන්න යන්න එපා.. ඉරිදා දවස ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න… මම ඉරිදාට වැඩ කරන්නම්…”
මිස්සකගේ විරෝධය තඹ සතේකට මායිම් නොකර, ඉමායා යාලුවෝ කිහිප දෙනෙක් කරමින් උන්න ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වෙන්න ගත්තා. මිස්සක මුලදී හිතුවක්කාර වෙලා ඉමායා පේන මානෙට ඇවිල්ලා ඉන්න පුරුදු වුනත්, ඉමායාගේ පැහැදිළි කිරීම් එක්ක මිස්සක ඉරිදා දවසට වෙනමම පාට දෙන්න ඉඩ තියාගත්තා.
මිස්සක ජනප්‍රිය ගීත වෙනුවෙන් කරපු කවර් වර්ශන් නිසා ඔහුව දැන කියාගන්න පිරිස වැඩි වුණා. මුහුණු පොත් ගිණුමේ තරුණීයන්ගේ පැනි බේරෙන වදන් වැඩි වෙන්න ගත්තා.
“ඔන්න ඉමා.. දැන් නම් ලේසි වෙන්නේ නෑ.. ඉක්මනට ඔය කොල්ලා එක්ක රිලේශන්ශිප්වත් දාලා ඉන්න.. එහෙම නැත්නම් අල්ලන්න වෙන්නේ නෑ..”
යාලුවෝ එහෙම කියනකොට ඉමායාගේ මූණේ තිබූනේ හිනාවක් විතරමයි. ආදරේ නාම පද කතාව ක්‍රියා පද වලින් ඉස්මතු වෙන සැනසීම ඒ හිනාවේ තියෙන බව ඉමායාගේ යාලුවෝත් දැනගත්තේ පස්සේ.
මිස්සක ටිකෙන් ටික ගෙදර ප්‍රශ්න වලට මූල්‍යමය හය් ය ත් එක්ක ඔහුගේ හීන වෙනුවෙන් වෙලාවත් හොයාගන්න පටන් ගත්තා. ඒ හැම වරුවකම ඉමායාගේ හිනාවේ ක්ශය නොවී මිස්සකගේ ඇස් ඉස්සරහ මහ හය්යක් වෙලා තිබුනා.
” ඔයා කවදාහරි දවසක මේ හැම හීනයක්ම සැබෑ කරගන්නවාමයි. ඔයාට එහෙම පුලුවන්.. ඒ නිසා බලාපොරොත්තු, උත්සාහය අත අරින්න එපා.. මොන දේ වුණත් මම ඔයා එක්ක ඉන්නවා..”
ඉමායා වචන වලින් එහෙම කියනවා වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කරලාම පෙන්නුවා.
“දැන් ඉතින් හෙන ජනප්‍රියයිනේ.. අපිව මතක නෑ..”
සමහර වෙලාවට, නෝක්කාඩු වළාකුළු වලටත් ඉඩ හැදුණා. එහෙම දවස් වල සම්පූර්ණ වගකීම දරාගත්තේ මිස්සක. ඇතැම් මිතුරන්ගේ පෙම්වතියන් ඔවුන්ට දෙන හිත් අමනාපකම් සහ මානසික වද කාරක ඉමායාගෙන් ලැබුණා නම් තමන් මේ තරම් දුරකට නොඑන බව මිස්සක දන්නවා. ඇය හදේම වටහාගෙන තමාගේ පසෙකින් රැඳී සිටින්නේ ඇගේ ඇතැම් හීන වල බර පසෙකට දාලා බවත් සමහර දවස් වල මිස්සකට හිතෙනවා.
“අපි මේ ගමන යමු නෝනා..”
එහෙම දවස් වල මිස්සක ඉමායාගේ නළල ඉබලා එහෙම කියනවා.
ඉමායාගේ දෙමාපියන් මිස්සක ගැන දැක්වූයේ මැදුම් පිළිවෙතක් වීම නිසා ඉමායා මිස්සකට ගොඩ නැගෙන්න ඇති තරම් ඉඩ හැදුවේම, අම්මලාගේ ඉදිරියේ වුනත් මිස්සක යම් තරමකවත් හිත් රිදීමක් ලබන්න අවශ්‍ය නැති බව හිතලා.
” ජොබ් එකක් කරලා, ඔයාගේ හීන වලට ගිහින් ඉවර වෙනකල් මඟුල් කතා ඕනි නෑ…”
මිස්සක ඉමායාගේ ගෙදර ඇවිල්ලා අම්මලා එක්ක කතා කරන්න සූදානම් වෙන හැම දවසකම ඉමායා එහෙමයි කිව්වෙ.
මිස්සක ගේ පලවෙනි ගීතය ගී පද සහිත වීඩියෝවක් විදියට නිකුත් කෙරුණා. හිතපු නැරඹුම් වාර ප්රමනයවත් ලැබෙන්නේ නැතුව වැඩේ මන්දෝත්සාහී වෙනකොට මිස්සකව ධෛර්යමත් කරන එක ඉමායා රාජකාරියක් ගානට කලා. වටපිටාවේ අයට උවමනා විදියට අපේ හීන වල පාට වැටෙන්නේ නැති බවත්, අපි වෙහෙසිලා මහන්සි වෙන තරමට ඒ හීන වලට වටිනාකම් ලැබෙන බවත් කිව්වා.
ඒ හින්දාම සිව් වෙනි වසර අවසාන වෙනකල් කුඩා අථදාබැලීම් විදියට ගී පද වීඩියෝ නිකුත් කරන එක නැවතුනේ නැහැ.
ඒ අතරේ ඉමායට පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් ලැබුණා. රැකියාවට ගිහින් මාස කිහිපයකින් ආයතනයේ අයට ලැබෙන ණය පහසුකම යටතේ ඉමායට ණය පහසුකමක් ඉල්ලුම් කරන්න අවස්ඨ්හාව ලැබුණේ ඒ අතරේ. ඒ වෙනකොට මිස්සකට ගීතයක් පටිගත කිරීම සහ ඒ සඳහා වෙනස්ම විදියක වීඩීයෝවක් කිරීම වෙනුවෙන් සැලැස්මක් තියෙන බව ඉමායා දැනගෙනයි හිටියේ.
ඉමායා ණය මුදල අයදුම් කලා. සතියෙන් ණය මුදල ලැබුණා.
“මේක හරියන්නේ නෑ ඉමායා..මේ ඔයාගේ සල්ලි…”
මිස්සක කෑ ගැහුවා.
“මේ අපේ සල්ලි.. ඔයා වැඩ කරන්න ඕනි අපේ හීන වෙනුවෙන් දැන්..”
හිමායා සන්සුන්ව කිව්වා.
මිස්සක එක දිගට වැඩ කලා. සාර්තක නිර්මාණයක් එළි දැක්කා. නොහිතපු නැරඹුම් වාර වලට ගීතය ඉස්සුනා.
අද මිස්සක තරුවක්.
“මගේ තරු හීන, අපේ තරු හීන කියලා සලකකගෙන ඒ හීන තවාන් දැම්මේ මේ අත් දෙකෙන්…”
මිස්සකගේ මුහුණු පොත් ගිණුමේ පල කරලා තිබූණ පඔහු තමන්ගේ අත් දෙක අල්ලගෙන ඉන්න පින්තූරේ දිහා බලාගෙන අඬන ඉමායා දිහා යාලුවෝ බලාගෙන හිටියේ සතුටින්.
ඇත්තටම ආදරේ කියන්නේ ලියලා පැහැදිළි කරන්න බැරි තරමේ වග වීම් දරන යම් දෙයක් බව එදා ඉමායාගේ යාලුවෝ නම් හොඳටම තේරුම් ගත්තා.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |