ආදර සැලසුම් – 36

0
1776

” Advertz ” හී නුවරඑළිය විනෝද චාරිකාව නිම වූයේ සියලු දෙනාගේම සිත් වල බොහෝ මිහිරි මතක ඉතිරි කරමිනි. අභිමන් , තම සිත තුළ මෞර්යා කෙරෙහි වූ හැඟීම සාමාන්‍ය ළබැඳියාවකට එහා ගිය ආදරණීය හැඟීමක් බව තේරුම් ගෙන හුන් අතර එය පැවසීමට හෝ ඇඟවීමට ඉක්මන් නොවීමට ඔහු සිතා ගත්තේය.

ආදිත්‍යය උන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්වයකය. මෞර්යා තම සුවපත් කිරීමට සමත් තාරකාවක් වුවත් තමා විවාහකයකු නිසා හැඟුමකින් හෝ ඇයට ලං නොවී හිඳින්නට ඔහු සිතමින් උන්නේය. ඇයව හමු වූ මුල්ම දිනයේ පටන් ඇය තමාව හොඳින් කියවා ගෙන තමා ගේ සිතට සැනසුමක් ගෙන දුන්නද තමාට වඩා වයසින් ඉතා ලාබාල ඇයට හොඳ ජීවිතයක් සහ රැකවරණයක් උරුම විය යුතු බව ප්‍රාර්ථනා කලේය.

බසය කොළඹට ලඟා වන විට රාත්‍රී නමය පමණ වූයේ අතරමඟ නවත්වමින් , ආහාර ගනිමින් පිරිස කාලය ගත කළ නිසාය. මෞර්යා ව කැටුව යාම සඳහා චන්දික පැමිණි අතර ඔහු වාහන අංගනයේ වාහනය නවතා ගෙන බලා උන්නේය. බසය වාහන අංගනය අසල නවතද්දී චන්දික වාහනයෙන් නොබැස සිටියේ සිතා මතාමය. එකා දෙන්නා බසයෙන් බසිද්දි චන්දික බලා උන්නේ අශිකා බසයෙන් බසින තුරුය. තවත් මොහොතක් දෙකක් ගත වෙද්දී අශිකා බසයෙන් බැස ඒ අසලම නැවති හුන් අතර චන්දික ගැහෙන හදවතින් යුතුව ඇසි පිය නොහෙලා ඒ දෙස බලා සිටියේ සංවේගයෙනි. 

තිස් පස් වසරකටත් එහා ගිය ප්‍රේම කතාවේ නටඹුන් චන්දික ගේ දෑස් අද්දර මැවෙන්නට විය. අශිකාට සහ තමාට වෙන් වීමට සිදු වූයේ දෛවයේ සරදමකට මෙන් ය. එහෙත් ප්‍රථම ප්‍රේමය යනු කිසිදා ජීවිතයෙන් මැකී යන්නක් නොවේ. එය අහිමි වුවද එය තැන්පත් වන්නේ හදවතේ ගැඹුරුම තැනකය. අශිකා යනු මෘදු හදවතක් ඇති සංවේදී ගැහැණියකි. ඇය හමු වන විට තමාට මේ ව්‍යාපාර සහ වත් පොහොසත්කම් කිසිවක් තිබුනේ නැත. තම ආදරයට බාධා ගෙන දුන්නේද එයම වූ අතර අශිකා හට තමාට සමු දීමට සිදු වූයේ වෙන කරන්නට දෙයක් නොමැති අසරණ කමටය. අශිකා මෙන් මෘදු නොවූවද නිල්මිණී යනු අඩියෙන් අඩිය තමාට ජීවිතයේ ඉදිරිය ගොඩනගා ගැනීම සඳහා ධෛර්යය දුන් ගැහැණියය. ජීවිතයේ අඩියටම වැටී සිටි මොහොතක දෙපයින් නැගිට සිට ගන්නට වාරුවක් වූයේ නිල්මිණීය. අද තමා දෝතේ හිඳින ආදරණීය දියණිය මෞර්යාට ජීවිතය දුන්නේ ද ඇයය. 

බැලූ බැල්මට අශිකා හිඳින්නේ ජීවිතයේ හොඳම සන්ධිස්ථානයකය.වත් පොහොසත්කම් ඇති ධනවතෙකු හට ඇයව විවාහ කර දීමට විශාලම උවමනාව තිබූයේ අශිකාගේ දෙමව්පියන් හටය. ඒ නිසාම එකහෙලාම ඔවුන් විරුද්ධ වුයේ තමාගේ ආදරය ද අවතක්සේරු කරමිනි.සියල්ල සිදුවී අවසන් වීමට ගත වූයේ කෙටි කාලයක් වුවද එයින් හදවතේ ඇති වූ ගැඹුරු තුවාල තවමත් රිදුම් දෙන බව චන්දිකට හැඟුණේය.

චන්දික කල්පනා ලොවෙන් මිදුනේ මෞර්යා පැමිණ වාහනයේ දොරට තට්ටු කළ නිසාය. චන්දික සැණෙකින් වීදුරුව විවෘත කළේ වරදකාරී හැඟීමෙනි.

” නඟින්න පුතේ “

” තාත්තා වෙන කල්පනාවක නේද හිටියේ ? ” 

මෞර්යා ඇසුවේ චන්දික දෙස අවධානයෙන් බලන අතරේය. ඔහුගේ යම් වෙනසක් චාරිකාව ගිය දිනයේ දී පවා මෞර්යා නිරීක්ෂණය කළ අතර තමා නිවසෙන් එක රැයක් හෝ පිටව හිඳීම පිළිබඳව ඔහු කම්පා වන්නේ යැයි ඇය සිතුවාය.

මෞර්යා වාහනයේ පිටුපස දොර විවෘත කර ගමන් බෑගය දමා රියදුරු අසුනට එහා වූ අසුනට ගොඩ වූවාය. චන්දික විමසිල්ලෙන් මෙන් අශිකා සිටි දෙස බැලූ අතර ඇය ඒ මොහොතේ පෙනෙන්නට සිටියේ නැත.සමහර විට ඇය නිවසට යාමට පිටත් වන්නට ඇතැයි චන්දික සිතුවේය. කල්පනාවේ නිමග්න වෙමින් චන්දික වාහන අංගනයෙන් වාහනය පිටතට ගත්තේ ඉතා සෙමිනි 

” තාත්තා ” 

චන්දික ගේ නිහඬ බව ඉවසීමට නොහැකිව මෞර්යා හඬ අවදි කළාය. කාර්යාලයට ගොස් පැමිණි විට පවා සියලු තොරතුරු විමසන තම පියා අද හිඳින්නේ කල්පනාවකය. ඔහු මේ ආකාරයෙන් නිහඬව හිඳින්නට කුමක් හෝ හේතුවක් තිබෙනු ඇත.

” ඇයි පුතේ ” 

” තාත්තා කිසිම සද්දයක් නැත්තේ ඇයි ? මට තාත්තාගේ මොකක්දෝ වෙනසක් පේනවා? කියන්නකෝ තාත්තා මාව මේ ට්‍රිප් එක යැව්ව කැමැත්තෙන් නෙමෙයිද ? ” 

” අනේ එහෙම දෙයක් නෑ මෞර්යා ” 

” එහෙනම් මගෙන් කිසිම විස්තරයක් වත් අහන්නේ නැත්තේ ඇයි ? “

” ඔයා තාම ආව විතරනේ පුතේ. මහන්සි ඇතිනේ ඔයාට ” 

හිතේ ඇති කිසිවක් තම දියණියට කිව නොහැක.එහෙත් ඇය කෙදිනක හෝ මේ සියල්ලම දැන ගනු ඇත.නමුත් මෞර්යා යනු නිකරුනේ කෙනෙකුව විනිශ්චය කරන ආකාරයේ තැනැත්තියක නොවේ. ඒ නිසා ඇය කුමන හේතුවක් මත වුවත් තමා පිළිබඳව වැරදියට නොසිතන බව චන්දික විශ්වාස කළේය.

මෞර්යා වීදුරුවෙන් පිටත බලා ගෙන කල්පනා කළේ ගෙවී ගිය දින දෙක පිළිබඳවය. ඒ දින දෙක නැවත මුල සිට ගත කරන්නට තිබේ නම් හොඳ යැයි මෞර්යා සිතුවේ මහත් වූ ලෝභ කමකිනි.

” ඉතින් කියන්නකො පුතේ ට්‍රිප් එකේ විස්තර ? “

චන්දික සිත සන්සුන් කර ගන්නට උත්සාහ කරමින් ඇසුවේය. තම ලබැඳියන් තුළ යම්කිසි කුඩා වෙනසක් හෝ තිබෙනවා නම් මෞර්යා ඒවා පහසුවෙන් හඳුනා ගන්නීය. එම නිසා තමා පත්ව සිටින තත්ත්වය ඇයට පෙන් විය යුතු නැත.

” ශෝක් ” 

මෞර්යා කීවේ සිනා අතරින්ය.

” එච්චරයිද ? ” 

” කෙටියෙන් කියනවා නම් එච්චරයි. වැඩියෙන් කියනවා නම් තාත්තා මම නම් ගොඩක් එන්ජෝයි කලා. මිස්ටර් අභිමන් ට්‍රිප් එකේ හැමදේම හොඳට ප්ලෑන් කරලා තිබුණා. ” 

” අභිමන් කිව්වේ ? ” 

” එයා තමයි මගේ පොඩි බොස්. ලොකු බොස් තමයි මිස්ටර් ආදිත්‍යය ” 

මෞර්යා පිළිතුරු දුන් අතර ඇයට හදිසියේ යමක් සිහි විය.

” ආ. ඒ දෙන්නගෙ අම්මාත් ඒ දෙන්න වගේම මාර හොඳයි තාත්තා. කිසිම ලොකු කමක් නෑ. එයත් හරියට කම්පනි එකේ වැඩ කරන කෙනෙක් වගේ අපිත් එක්කම ට්‍රිප් එක එන්ජෝයි කලා ” 

එහි අරුමයක් නැත. අශිකා යනු ස්වභාවයෙන්ම අව්‍යාජ කාන්තාවකි. ඇයට මිනිසුන් ඇසුරු කරන්නට උස්මිටි කම් අදාළ නැත. තමා සමග ආදරය කරන කාලයේ පවා මග තොටදී යාචකයකු දුටුවද කුමක් හෝ උදව්වක් කරන්නට ඇය උත්සාහ කරන්නීය. ඇයගේ ආදරය පවා එසේය. ඉතා කරුණාවන්ත හදවතක් ඈ සතු වූ අතර නිරන්තරයෙන් තමා පිළිබඳව සොයා බලමින් මවක මෙන් තමාට ආදරය පෑවාය. මේ මොහොතේ පවා ඒ ආදරය සිහි වද්දී චන්දික ගේ හදවත රිදුම් දෙන්නට වූයේය. එහෙත් තමාට නැවතත් ඒ සුන්දර අතීතයට පා තැබිය නොහැක. අශිකා මෙන්ම තමාද දැන් ගමන් කරන්නේ වෙනම මාර්ග වලය. දෙදෙනාම පවුල් දෙකකට උරුමකම් කියන අතර ඔවුනොවුන්ට කිසිදු වරදක් කළ නොහැක.

” මිස්ටර් ආදිත්‍ය පව් තාත්තා ” 

මෞර්යා එකවරම කීවාය. චන්දික වාහනය පදවන අතරේ ඇය දෙස බැලුවේ පුදුමයෙනි.

” ඇයි ?” 

” එයාගේ වයිෆ් එයාට චීට් කරලා. එයා දැන් ඩිවෝස් වෙන්න හදන්නේ ” 

චන්දික ගේ හදවත ශෝකයට පත් වූයේය. අශිකා තරම්ම ඇයගේ දරුවන්ද යහපත් බවට සැකයක් නැත. එහෙව් දරුවෙකුට මෞර්යා කියන ආකාරයේ ඉරණමක් අත් වී ඇත්නම් එය අවාසනාවකි.

” පහුගිය ටිකේම මිස්ටර් ආදිත්‍ය ඔෆිස් ආවෙත් නැහැ වැඩිය. මිස්ටර් අභිමන් තමයි වැඩ ඔක්කොම බලා ගත්තේ. ට්‍රිප් එක ගියාට මිස්ටර් ආදිත්‍ය හිටියේ එච්චර සතුටින් නෙමෙයි තාත්තා ” 

චන්දික අසා උන්නේය. තමාට ආදිත්‍යව හමු වූ ආකාරය තම පියාට කියන්නට සිතුවිල්ලක් එක වරම මෞර්යාට පහළ විය. මන්ද චන්දික කිසි දිනක පටු ආකාරයෙන් සිතන පියෙකු නොවේ.

” ඇහුනද තාත්තා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here