” මම හැම වෙලේම මගේ ගෙදරදි අසම්පූර්ණයි “

සමාජය ඉදිරියේ බොහොම සුහදශීලීව සහ විනයගරුකව හැසිරෙන පුද්ගලයන් තමන්ගෙ නිවස තුළදී තමන්ගේ සැබෑ ස්වරූපයෙන් ජීවත් වෙන්නේ නිවසේදී තමන්ගෙන් අඩුපාඩුකම් සිද්ධ වුණත් පවුලේ අය වෙනස් නොවෙන බව දන්න නිසා. හැබැයි සමාජය ඉදිරියේ මේ තත්ත්වය වෙනස්. කුඩා වරදකදී පවා අපහස කිරිම් වලට චෝදනා වලට ලක් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා.

මේ ගැන හොඳින්ම පිළිබිඹු කරන, පවුලෙ සැමට එක්ව නැරඹිය හැකි ඉතා අපූරු සිනමා නිර්මාණයක් තමයි Home කියන්නේ. මෙය නරඹන ඔබට චිත්‍රපටය ආරම්භයේ දී ප්‍රධාන චරිතය ලෙස මෙහි එන පවුලේ වැඩිමහල් පුතු ව දකින්නට පුළුවන් .නමුත් ඇත්ත වශයෙන්ම මෙහි ප්‍රධාන චරිතය මේ පවුලේ තාත්තායි.වැඩිමල් පුතා නිවසින් ඈතක ජීවත් වෙනකොට බාල පුතා ගෙදර හිටියත් වෙනමම ලෝකයක ජීවත් වෙනවා. අලුත් චිත්‍රපටයක තිර පිටපත ලියන්න උත්සාහ කරන ඇන්තනීගේ උත්සාහය සාර්ථක නොවෙනකොට තමන් කලින් ලියපු අතිසාර්ථක වූ චිත්‍රපටයේ පිටපත තමන් ලිව්වෙ තමන්ගේම ගෙදරදී කියලා ඇන්තනීට මතක් වෙනවා.ඒ නිසා ඔහු නවාතැන අත ඇරලා ඉක්මනින් ගෙදර එනවා

” ඔලිවර් ට්ව්ස්ට් ” කවදාවත් තමන්ගේ වැඩිමහල් පුතුගේ අගය කිරීමට ලක් නොවූ පියෙක්.

” ඇන්තනී ඔලිවර් ට්විස්ට් ” නව පරපුරේ දක්ෂ තිර රචකයෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක්

ඔලිවර් ට්විස්ට් අයිතිවන්නේ මිනිස්සු තමන්ගේ හැඟීම් එක්ක සුහදව ගනුදෙනු කරපු යුගයකට. වට්සැප්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් , ස්ටෝරීස් කියන්නේ ඔහුට අමුතු දේවල්.
නමුත් ඇන්තනී අයිති වෙන්නේ නවීන තාක්ෂණයත් එක්ක ගණුදෙනු කරන යුගයට. ඔහුට හැමදේම සාමාන්‍යයි .

පපා ඔයා ගැන පොත් ලියන්න ඔයා මොනවද ජීවිතේ ලබාගෙන තියෙන්නේ?

පපා ඔයා දන්නේ නැති දේවල් කරන්න යන්න එපා

ඔයා කවද්ද මට ලැජ්ජ කරන එක නවත්තන්නේ ?

ඇන්තනීගේ මේ වචන ඔලිවර්ගේ හිත රිදෙව්වත් ඒක දැනෙන්නේ කුට්ටි අම්මාට ,ඒ කියන්නේ ඔලිවර් ගේ බිරිඳට විතරයි. ඇයත් ඒ හැමදේම දකින නොදකින ගානට ඉන්නවා.

ඇන්තනීගේ අවධානය ගන්න ඔලිවර් නොයෙක් දේ කරනවා. එහෙත් ඒ හුඟක් තැන්වල දී ඔහු අසාර්ථක වෙනවා. ඇන්තනී ඔහුගෙ පෙම්වතියගේ පියා වන ජෝසප්ට දක්වන ආදරය දැක්කම ඇතැම් රාත්‍රීන් ඔලිවර් ගෙවන්නේ නිදි වර්ජිතව.

නවීන තාක්ෂණයට , ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වුන තරුණ පරපුර දකිනකොට ඔලිවර්ට හිතෙන්නේ ඇත්තටම ඒක හරිම සුන්දරයි කියලා. ඒ නිසා ස්මාට් ෆෝන් එකක් මිලදී ගන්න ඔලිවර්ට උවමනා වෙනවා.

අන්තිමට සාමාන්‍ය පහසුකම් සහිත අඩු මුදලකින් යුතු ස්මාට් ෆෝන් එකක් ඔලිවර් මිලදී ගන්නවා. හැබැයි එදාම ඔලිවර්ට ස්මාට් ෆෝන් එකක් තෑගි ලැබෙනවා.ඒ ඔහුගෙ වැඩිමල් පුතා වෙන ඇන්තනී ගෙන්. තමන් ගත්ත ස්මාට් ෆෝන් එක පැත්තකට දාලා ඔලිවර් පුතාගෙන් තෑගි ලැබුණු ස්මාට් ෆෝන් එක භාවිතා කරන්න පටන් ගන්නවා. හැබයි ඔලිවර් හිතන තරම් ඒක ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. හොඳ youtuber කෙනෙක් වෙන්න උත්සහ කරන ඔලිවර් ගේ බාල පුතා ඔලිවර්ට දුරකථනය භාවිතා කරන විදිය ගැන කියලා දෙනවා.ඒ හැමදේම පොතක ලියා ගත්තත් ඔලිවර්ට ඒ හැමදේම මතක තියෙන්නේ නැහැ.ඒ නිසා ඇතැම් තැන්වලදී ඔලිවර් නොහිතන විදිහේ අපහසුතා වලට මුහුණ දෙනවා.

ඒකෙන් අනපේක්ෂිත හානියක් සිදු වෙන්නේ ඇන්තනීට. චිත්‍රපටය නොහිතන අවසානයක් කරා යන්න පටන් ගන්නේ ඊට පස්සේ .

මෙම චිත්‍රපටය ආරම්භ වන විට ඔබට සුවිශේෂී දෙයක් දකින්න පුළුවන්

” just try not to check your phone while watching the movie “

( උත්සාහ කරන්න චිත්‍රපටය නරඹන අතරතුර ඔබේ දුරකථනය පරීක්ෂා නොකර සිටීමට )

චිත්‍රපටයේ විවේක කාලයේ දී ඔබට මෙන්න මෙහෙම දකින්න පුළුවන්

” time to check your phone “

( ඔබගේ දුරකථනය පරීක්ෂා කිරීමට කාලය එළඹ ඇත )

චිත්‍රපටයක් නරඹන අතරතුර වුවත් වරින් වර දුරකථනය පරීක්ෂා කරන නව පරපුරට ඇත්තෙන්ම මෙය හොඳ පණිවිඩයක් .

2021 වසරේ Amazon prime හරහා තිරගත වුන මෙම චිත්‍රපටය Rojin Thomas ගේ තිර රචනයක්. නව පරපුර වටහා ගන්නට අවශ්‍ය බොහෝ කරුණු බොහෝම අපූරුවට මෙම චිත්‍රපටය තුළ ගොනු කරලා තියෙනවා කියලා මෙය නරඹන ඔබට දැකගන්න පුළුවන් වේවි .

චිත්‍රපටය නරඹා අවසන් වූවත් ඔබට ඔලිවර් ගේ මද සිනහව අමතක නොවේවි. තමන් මුහුණ දෙන හැම සිදුවීමකදීම එයට ආවේණික විදිහට හැඟීම් ප්‍රකාශ කරන ඔලිවර්ගේ ඉරියව් , නවීන තාක්ෂණයත් එක්ක ගැටෙන දරුවන් ඉන්න නිවෙස් වල තනිවුනු පියවරුන්ව සිහි කරනවා.

චිත්‍රපටයකට එහා ගිය මෙම අපූරු සිනමා නිර්මාණය මේ වන විට බොහො දෙනා ආදරයෙන් වැළඳගෙන ඇත්තේ මෙහි එන චරිත තුළ සැබැවින්ම අප හැමදෙනාම ජීවත් වන නිසායි. IMDB අගය 9.1 ලෙස පෙන්වන මෙහි සාර්ථකත්වය ඔබට සැබෑවටම දැකගැනීමට අවැසි නම් ඔබ මෙය නැරඹිය යුතුම වෙනවා !

Related Articles

Don't Miss


Latest Articles