සන්තාන සුසුම් සර – 27

0
5002

අස්විද හෙමි හෙමිහිට රිය වෙතට යන විට යසස්වි අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට යාබද අසුනේ ය. රියදුරු අසුනේ දොර විවර කළ මුත්, අස්විද ඊට ගොඩ නොවී ම පහත් වී යසස්වි ට කතා කළේ ය.

‘ඇයි අද ඔතනද ඉන්නෙ…’

‘දැං මට කේන්ති ගිහින් තියෙන්නෙ. ඩ්‍රයිව් කරන්න ගියොත් මං කා එක කොහෙහරි හප්පයි’

ඇය මූණ පුම්බාගෙන කීවා ය. අස්විද රියට නැගුණේ අඩ සිනහවකිනි. යසස්වි ඔහු දෙස බලන්නේවත් නැතිව දෑත් පපුවෙහි බැඳගෙන සිටියා ය. ඇය තුළ සිතිවිලි තරංග කෝටි ගණනක් එකිනෙක පැටලී තෙරපෙමින් සංචරණය වන්නට විය. නමුත් මේ හදිසි කේන්තියට, අනපේක්ෂිත ශෝකයට හේතුභූත වූ බිජුවටය හොයා ගන්නට පහසු වූයේ නැත. ඊට එක් හේතුවක් නම් ඒ හේතු බීජය දකින්නට ඈ තුළින් ම පැන නැගුණා වූ බියයි. ඇතැම් විට ඇය ඒ හේතු බීජය දකිමින් නො දුටුවා සේ මගහැර ගියා වන්නට ඇත. රෝපණය වන්නට සුදුසු ලෙස තවමත් භූමිය ද වායු ගෝලය ද ජල පරිමාව ද අනුපාතයට පදම් නොවූවා වන්නට ද ඇත. එහෙයින් ඒ හේතුව අවකාශයෙහි පාවෙමින්, රෝපණය වීමට සුදුසු තත්වයන් සපිරෙන තෙක් ගන්ධබ්බ සමයක් ගත කළා විය හැකි ය.

රිය පෙරට ඇදී ගියේ හෙමිහිට ය. අස්විද වෙත කිසිදු හදිසියක් නො විණි. කේන්තියක් ද නො තිබිණි. ඔහු හිටියේ සැහැල්ලුවෙනි. ඉතාමත් හෙමිහිට රිය තුළ ක්‍රියාත්මක වුණ ඉංග්‍රීසි එෆ් එම් සේවයක ගීයකට අනුව ඔහු උරුහම්බෑමක ද නිරත වූයේ ය. ඒ අතරේ වරින් වර යසස්වි වෙතට ඇසග බැලුමන් හෙළුවේ ය. ඇය සන්සුන් වනතුරු ඉවසන්නට තරම් ඔහු ගේ පිරිමි පපුවේ ඉඩකඩ තිබිණි.

‘මං කිව්වෙ ඉතිං කේන්ති ගන්න දෙයක් නෙවේනෙ. තාත්ත නැතුවට කොල්ල කා එකක් අරං දෙයි කියලනෙ කිව්වෙ. මොකද්ද ඉතිං වැරැද්ද… ඔයාමනෙ කිව්වෙ කොල්ලෙක් ඉන්නව කියල’

අස්විද වචන තෝරා බේරා ගත්තේ පරිස්සමට ය. නිවීසැනසිල්ලේ ය. නමුත් සිය පන්දුව නිදැල්ලේ අපතේ යනු වෙනුවට ඊට අදාල ඉලක්කය ලබා දෙන්නට මේ වෙලාවේත් ඔහු තැත් දරමින් සිටියේ ය. යසස්වී නෙත් කොනෙන් රැවුමක් හෙළුවා ය. ඒ බැල්ම ඔහු පුච්චන්නට හැකි තරම් එකකි. අස්විද වහා සිනහවක් නගාගත්තේ ය. සූර්යෝදයක් තරම් චමත්කාර වූ ඒ සිනහව ළඟ බොරු කේන්තියක් වුණත් පවත්වාගන්නට යසස්වි ට හැකි වූයේ නැත.

‘අනේ ඔයා හරි නරකයි අයියෙ’

‘ඉතිං ළමයො… මං මුකුත් නරක දෙයක් කිව්වෙ නෑනෙ. දැං කොහෙද ඔය කොල්ල ඉන්නෙ…’

ඇය යටි තොල්පට සපාගෙන නෙතු හොඳින් විවර කොට ඔහු දෙස බැලුවා ය. තෙරපුණ මුව තුළ ප්‍රීතිමත් සිනහවක් නළියෑවේ ය. ඇගේ ඇස් දිළිසෙමින් තිබිණ. නමුත් අස්විද ගේ දෑස් තිබුණේ ඇය වෙත හැරවී නොවේ. ඉදිරි මග දෙසට ය. එබැවින් ඔහු ගේ බාධාවකින් තොර ව ම ඇය ඒ පැත්තට පෙනෙනා කඩවසම් පිරිමි මුහුණ දෙස බලාගෙන සිටියා ය.

‘හිතේ’

යසස්වි ගේ උගුරෙන් ඒ වචනය පැන්නේ තෙරපීගෙන වගේ හෙමිහිටයි. රහසිගතවයි. ඔහු ට තබා ඒ හඬ ඇයටවත් ඇසුණ එක පුදුම ය. නමුත් ඈත තාරකා මණ්ඩලයක කෙළවර ම පුංචි තරුවක සිට, ආලෝක වර්ෂ ගණනාවකට පෙර නැගුණ හඬක් සේ අස්විද ගේ සවන් පත් මත ඒ මෘදු හඬ පතිත විය. රියෙහි වේගය වඩාත් අඩු වෙන්නට ඇත. ඒ ගමන් ඔහු මඳක් ඉදිරියට නැඹුරු වෙමින්, ඇගේ මුහුණ දෙස ට එබුණේ ය. ඒ වෙලාවේ යසස්වි ව අස්විද ට පෙනුණේ කියවා ගන්නැයි ඉල්ලා සිටිනා පොතක් සේ ය.

‘දැං ඉතිං කියන්නෙපා හිතේ ඉන්න එක්කෙනාව පෙන්නන්න කියල’

එය ආදරය ඉතිරෙනා නෝක්කාඩුවක් ද නැත්නම් මිහිරි තර්ජනයක් ද කියා වෙන් කොට හැඳිනිය නො හැකි තරම් විණි. යසස්වි ගේ දුරකතනය හැඬවුණේ ඒ මොහොතේ ය. තිරය මත සනිටුහන් ව තිබුණේ උදාර ගේ නමයි. ඇය තැතිගෙන වාගේ දුරකතනය දෙස ද අස්විද දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය. අස්විද මග අයිනට කොට රිය නතර කළේ ය.

‘ආන්සර් කරන්නකො මොනාද කියන්නෙ බලන්න’

යසස්වි තවත් වතාවක් පසුබාමින් වුව දුරකතනය සවනට ගත්තා ය.

‘හෙලොහ්’

‘තමුසෙ හිතං ඉන්නෙ හරි ලොකු වැඩක් කළා කියල වෙන්නැති නේද… අද මාව මෙහෙ පොලිස්සියට ගෙන්නුව. හැබැයි මේ කරපු දේට උඹට වන්දි ගෙවන්න වෙයි. අන්න ඒක දැනගනිං’

‘මං ඔයාට හැමදාම කිව්වනෙ… මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා මං කැමති නෑ කියල. දෙයියංගෙ නාමෙට මට පාඩුවෙ ඉන්න දෙන්නකො. මං නැති වුණාට ඔයාට ගෑනු ළමයින්ගෙ අඩුවක් නෑනෙ’

උදාර නො සරුප් වදනින් බැණ වැදුණේ ය. යසස්වි දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.

‘කෝ මට දෙන්න ඔය නම්බර් එක’

අස්විද ඒ නියෝගය දුන්නේ දැඩි හඬකිනි. ඔහු කුමක් කරන්නට යන්නේ දැයි ඇයට අවබෝධයක් නොවිණි.

‘අනේ එපා අයිය. ඒ මනුස්සය සතෙක් වගෙයි හැසිරෙන්නෙ. ඔයා මේවට පැටලෙන්න එපා’

‘කිව්වහම අහල මට ඔය නම්බර් එක දෙන්න’

එවර අස්විද ගේ විධානය වඩාත් දැඩි වූ අතර යසස්වි ට දැනුණේ එය ඉක්මවා යා නො හැකි බවකි. දෙගිඩියාවෙන් මුත් අස්විද ට උදාර ගේ දුරකතන අංකය ලබා දෙන්නට සිදු වූයේ එබැවිනි.

මඳ වෙලාවක් කල්පනා කළ අස්විද උදාර ගේ දුරකතනය අංකනය කළේ ය.

‘මං යසස්වි වෙහෙරගොඩගෙ ලෝයර්’

‘මොකද්ද…’

උදාර සමච්චල් සිනහවක් පෑවේ ය.

‘යසස්වි මගෙ ක්ලයන්ට්. මීට පස්සෙ එයාට මොනාහරි කියන්න තියනවනං මං හරහා කියන්න. යසස්විට කෝල් කරල කරදර කරල තිබුණොත් උදාරට නීතියෙන් කරදර වෙන්න පුළුවන්. පොලීසිය දැනුම් දීල ඇතිනෙ දැනටමත්. ප්‍රශ්නෙ තවත් ඇදගෙන යනවනං අපිට ලීගල් ඇක්ශන් ගන්න වෙනව. මං උදාරට කතාකළේ ඒක මතක් කරන්න. හරිනෙ නේද… තව මොනාත් දැනගන්න ඕනනං මේ නම්බර් එකට කතාකරන්න. ඕකේ…’

අස්විද දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. යසස්වි බලා සිටියේ මුව අයාගෙනයි. ඒ වෙලාවේ අස්විද වෙතින් විද්‍යමාන වූ අසාමාන්‍ය පෞරුෂයට ඇය වසඟ වූවා සේ ය. මීට පෙර කිසිවෙකු ඇය වෙනුවෙන් ඒ විදිහට පෙනී සිටින්නට සමත් වී නැත. උදාර ට සිය ජීවිතය පාවා දෙන්නට ඇගේ වන අකමැත්ත කියා හඬත්දී දොඩත්දී ඇගේ මවට කරන්නට තිබුණේත් හඬනා එක පමණකි. වෙහෙරගොඩ මුදලාලි සමග අභීතව දියණිය වෙනුවෙන් කතා කිරීමේ හැකියාවක් ඇයට වූයේත් නැත. ඒ ගැන වචනයක් කියන්නට ඇය උත්සාහ කළ අවස්ථා ගණනාවක දී ම සිදු වූයේ සැමියා ගේ ගර්ජන හමුවේ නිහඬ වෙන්නටයි. තමන් කොයි තරම් අසරණ ද කියා එවන් අවස්ථා වල යසස්වී ට සිතී තිබේ. ගෙදරින් පිටමං වන්නට ඇයට අවැසි වූයේත් ඒ අසරණ බව නිසා ම ය. ගෙදර සිටියොත් කොයි මොහොතක හෝ උදාරගේ ගොදුරක් වන්නට සිදු වනු ඇත යන ආත්ම අසරණකමෙහි ඇය කරවටක් ගිලී සිටියා ය. තමන් වෙනුවෙන් තනිව ම හෝ සටන් වදින්නට සිතාගෙන ගෙදරින් පිටතට අඩිය තැබූ ඇයට මේ සා හව්හරණයක් අදහාගත නො හැකි තරමි. ඒ, කවුරුන් නොමැති වුණත් ඇයට ඔහු ඉන්නවා වාගේ හැඟීමකි. මෙලොව කිසිවෙකුට ඔහු ගේ       අවසරයකින් තොර ව ඇයට අත තැබිය නො හැකි ය වාගේ හැඟීමකි. ඇගේ සර්ව බලධාරී අයිතිකරුවා ඔහු ය වාගේ හැඟීමකි.

යසස්වි ඒ හැඟීමෙන් පිපිරී දෝරෙ ගලා යන්නට වූවා ය. දෑස් දෑලේ කඳුළු ඇලි මැවෙනා එක නතර කරගන්නට ඇය සමත් වූයේ ම නැත.

‘ඒ…යි… ඇයි මේ අඬන්නෙ… උදාරයට අරම කිව්වහම දුක හිතුණද…’

අස්විද ඒ විමසූ තාලයට කඳුළු අතරින් ම යසස්වි ට සිනහ ද නැඟිණි. ඔහු බලා සිටියේ මන්දාරම් අහසක දේදුනු සලකුණු දුටු කොලු ගැටයෙකු මෙන් චමත්කාරයෙනි.

‘අනේ ඔයාට පින් සිද්ද වෙනව අයිය. මගෙ පැත්තෙන් හිටගන්න කවුරුම හරි ඉන්නවනෙ කියල හැඟීමක් මට දැනෙන්න මොහොතකට හරි ඉඩක් දුන්නට’

‘මොහොතකට…’

එසේ මුමුණත්දී අස්විද ගේ දෙතොල් අතරෙහි සාවඥ සිනහවක් නැටුවේ ය. ඔහු ගේ අභ්‍යන්තරයෙහි වූයේ සදාකාලිකත්වය ගැන හැඟීමකි.

නො වැටී අල්වාගෙන නිදහසේ වැඩෙන්නට බෝංචි වැලකට ආධාරකයක් ලැබුණා වන් හයියක්, ඉනික්බිති යසස්වී ට දැනිණ. තුසිතය ඇයට වැඩි වැඩියෙන් තමන්ගේ කමක් දනවන ලදී. අස්විද කෙරේ අප්‍රමාණිත ගෞරවයක් වැඩෙමින් තිබුණේ ය. අනුරාධපුරයේ, උපන් දා පටන් දිවි ගෙවූ ගෙදරින් කැමැත්තෙන් ම පුලිනුපුටා දැමුණු ඇය, තුසිතයේ මේ උරුමයක් නැති මන්දිරේ හෙමිහිට මුල් අදිමින් සිටියා ය. ගෙදර ඇත්තන්ට ඇය බැඳෙමින් ද නිවැසියන් ඇයට ඇබ්බැහි වෙමින් ද ඇති වන්නට වූ ඒ අලුත් බද්ධ වීම, පැරණි සම්බන්ධයක් තරමට ශක්තිමත් ද වූයේ ය.

‘මං වගේ නොවී ඔයා ඔය විදිහට ඔයා වෙනුවෙන් නැගිටපු එක ගැන මට ආඩම්බරයි දුව’

වෙහෙරගොඩ මැතිණිය වෙන කවදාටත් වැඩියෙන් සිය දියණිය ගැන ගෞරවයෙන් කතා කළා ය.

‘ඔයා කැමති හොඳ කෙනෙක්ව තෝරගන්න. බයේ යටත්වෙලා වහළියක් වගේ ඉන්න සිද්ද වෙන කසාදයක් නෙවෙයි… නිදහසේ ආදරෙන් සතුටෙන් ඉන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න. තාත්ත හම්බ කරපු මේ සල්ලි කන්දෙන් ඒ සතුට ගන්න බෑ දුව. ඒ සල්ලි වලින් බින්දුවක් ඔයාගෙ ඉගෙනීමට ගන්න පුළුවන් වෙච්ච එක විතරයි මට සතුටකට තියෙන්නෙ. ඉගෙනගෙන හොඳ රස්සාවක් කරල ඔයත් සල්ලි හම්බ කරන්න. මහත්තයගෙන් යැපෙන්න ඉන්නැතුව ඔළුව කෙළින් කියාගෙන ජීවත් වෙන්න පුළුවන් හයිය ගෑනු ළමයෙක් වෙන්න’

අම්මා කී ලෙස වැඩීමේ නිදහස තුසිතයෙහි වන බැව් යසස්වි දැන සිටියා ය. මානසික සැනසිල්ල වන තැන ආත්ම තෘප්තියෙන් ජීවිතය දෙස බලන්නට පිළිවන.

‘දුව කිසි දේකට බයවෙන්න එපා. මේක මගෙ ගෙදර. උදාර තියා මොකෙක්ටවත් මේ ගෙදරට ඇවිත් දුවට වචනයක් කියන්න මං ඉඩ තියන්නෑ. කොහොමත් පොලීසිය මිනිහට අවවාද කරල ඇති. ඒක නිසා ආයි එයි කියලත් මං හිතන්නෑ’

විජිත ඔහු ගේ ම දියණිය සෙයින් යසස්වි ගේ හිතේ සැක බිය දුරු කළේ ය. ඇගේ මව් විසින් සිය දියණිය ගේ භාරකාරත්වය මුළුමනින් පවරා දෙනු ලැබීම නිසා වජිරා සිටියේ ද අලුත් සතුටකිනි. ඔවුන් දෙදෙනා ට දියණියක ලැබී තිබේ!

යසස්වි වෙහෙරගොඩ හදවතෙහි පදිංචි වී ඇති බැව් අස්විද ට දැනේ. හැම මොහොතක ම ඇය ඔහු තුළ වූවා ය. නමුත් ඇය ඉන්නේ හදවතේ කොතැනක දැයි තවදුරටත් ඔහු නො සොයා ම සිටියේ ය. විසිරී ගිය බීජ සමූහයක් ප්‍රරෝහණය වී හට ගැනුණු මල් යායක, එක දෙක මල් පිපෙන්නට අරාඳිමින් තිබිණ. එක දෙක පෙති දෙපෙති ඇහැ අරිමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here