වෙස් පෙරලීම

දැහැමිගේ ඉස්කෝලේ කණිෂ්ඨ විද්‍යාලයක්. ළමයි ගුරුවරු එකතුව එකසිය අසූවකට කිට්ටුයි.  ඒත් පාසල තුල තිබුනේ ඒකාකාරී ඇල් මැරුණු ස්වභාවයක්. දැහැමි ට ඒ ඒකාකාරි බව ගැන යම් හැඟීමක් තියෙනවා වුනත්, දැහැමිටත් කරන්න පුලුවන් දෙයක් තිබුනේ නැහැ. හැබැයි දවසින් දවස ඒ දරුවෝ එක්ක කාලේ ගෙවනකොට දැහැමිට යම් යම් අලුත් දේවල් ගැන අදහස් පහල වුනා. ඒ අනුව තමයි දැහැමිට කල්පනා වුනේ පාසැල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානය කරන්න. ඒ ගැන ගුරු විවේකාගාරයේදී කතා කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම දැහැමිට ලැබුනේ නම් ධනාත්මක පිළිතුරු නෙවෙයි.

”  ඔව්වා කරන්න සල්ලි කොහෙන්ද ?.. මේ අම්මලා තාත්තලා යන්තම් එදා වේල ගැටගහගන්න මිනිස්සු … එහෙව් මිනිස්සුන්ට ඔය බර එකතු කරන්නේ කොහොමද දැහැමි ටීචර් ?..”

” අපෝ අපෝ මේ.. නිකන් ගිණි අවුවේ කර වෙන්නද කියන්නේ ?…”

” අනේ මම මේ බලාගෙන ඉන්නේ වීකෙන්ඩ් එනකල්ගෙදර දුවන්න … ඔය වැඩි වැඩ කරේ දාගත්තාම වීකෙන්ඩ් එකත් බිසි වෙනවානේ …”

” මේ ළමයින්ට මොන ස්පෝර්ට්ස් මීට්ද අනේ .. මුන් බලාගෙන ඉන්නේ ඉස්කෝලේ ඇරුන ගමන් කොහේ හරි ඇලක පනින්න .. එක්කෝ කැලෑවක රිංගන්න ….”

“අනේ දැහැමි මේ …. මේ කතා ඔයා මෙහෙම කිව්වාට කමක් නෑ ..ප්‍රින්සිපල් මැඩම්ටයි , පොඩි සර්ටයි ඇහෙන්න නම්  නිකමටවත් කියන්න හිතන්නවත් එපා… ඒකෙන් වෙන්නේ අපිට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ …”

දැහැමි හැමෝගෙම කතා අහගෙන හිටිය එකයි කලේ.. ඒවාට උත්තර දෙන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ හිත් රිදෙන එක බව ඇය තේරුම් ගත්තා. ඒ හින්දාම ඇය  සාමාන්‍ය පාසැල් වැඩ කටයුතු වල විතරක් නියැලෙන්න තීරණය කලා.

” ඉතින් ඔයාට තියෙන්නේ නිකමට ගිහින් ප්‍රින්සිපල් මැඩම් එක්ක ඔය කතාව කතා කරන එක … එතකොට ප්‍රින්සිපල් මැඩම් මොකක් හරි කියාවිනේ… එක්කෝ ඔය විදියට විෂය බාහිර වැඩ ඔය කියන ඉස්කෝලේට නොගැලපෙනවා කියන එකට හේතුවක් හරි කියාවිනේ … “

එදා රෑ දැහැමි තමන්ගේ පෙම්වතා එක්ක මේ සිදුවීම කිව්වාම ඇයට ලැබුනේ ඒ වගේ පිළිතුරක්. දැහැමි ඒ ගැන කල්පනා කලා.

” ඒ වුනාට ප්‍රින්සිපල් මැඩම් බැරි වෙලා හරි ඔය යෝජනාවට කැමති වෙලා ස්පෝර්ට්ස් මීට් එකක් කරමු කිව්වොත් අපේ කට්ටිය දැනගන්නවානේ ඒක මගේ සජෙශන් එකක් කියලා..එතකොට ඔය සෙට් එක මගේ ඔලුව කාවිනේ …. අනිවාර්‍යෙන්ම මට කැපිල්ල එනවා….”

දැහැමි පෙම්වතාට එහෙමත් කිව්වා.

” ඔව් ඉතින් .., අනිවාර්‍යෙන්ම එහෙම දෙයක් වෙන්න පුලුවන් .. දැන් ඔය ස්ටාෆ් සෙට් එකේ ඔහොම දේකට පොඩි සපෝර්ට් එකක්වත් දෙන කෙනෙක් නැද්ද ?…”

” අනේ මන්දා, එහෙම සපෝර්ටිව් බවක් නම් පෙනුනේ නැ.. ඒ හැමෝම මේ පත්වීමේ ඉන්නේ අකමැත්තෙන් නේ… කොයි වෙලෙත් ට්‍රාන්සර් එකක් බැරි නම් අනියුක්තයක් හරි හදාගන්නවා කියන අදහසෙන් ඉන්නේ …”

” අනේ මන්දා දැහැමි .. ඔය අනුන්ගේ ප්‍රශ්න ඕනෑවට වඩා ඔලුවට අරගෙන ඔයාගේ ඔලුවත් කුරුවල් වෙනවා මම දන්නවා….. ඔයා බලලා සුදුසු දෙයක් කරන්න …. පාඩුවේ වැඩ ටික කරගෙන ඔතන සේවා කාලය ඉවර වුනාම මෙන්න මෙහෙට ට්‍රාන්සර් එක හදාගන්න එක්කෝ …”

දැහැමිට පෙම්වතාගේ ඒ වචන වල තිබුන බර වැටහුනා. දෙන්නාගේ ඇමතුම් වල වැඩි හරියක් ගෙවෙන්නේ දැහැමි පාසැල් ජීවිතය තුළ මුහුන දෙන අත්දැකීම් වෙනුවෙන් බව මතක් වුනා.

” ඇත්තටම මේ කතා නිසා සංකල්පට අපි දෙන්නගේ සම්බන්ධේ බෝරින් වෙන්න වුනත් පුලුවන් …”

දැහැමි පහුවෙනිදා පාසැලට ගියේ තමන්ගේ විෂය කාලච්චේද ටික නිවැරදිව ඉගැන්වීම් කරලා පාඩුවේ ඉන්නවා කියන ඒකායන අධිෂ්ඨානය එක්කල.

එදා හවස පාසැල් නිමවුනාම පැය බාගෙක රැස්වීමක් තියෙන බව කියලා විදුහල්පතිතුමියගෙන් පණිවිඩයක් ආවා.

” අපේ සඳමාලි මිස්ගෙන්  ඊයේ මට හොඳ යෝජනාවක් ආවා… සරත් මහත්තයයි මායි ඒ ගැන ගොඩක් කතා බහ කලා.. ඇත්තටම මේක අපේ හිතෙත් තිබුණ දෙයක් .. ඒත් අපි විවිධ හේතු නිසා මේක පස්සට දදා හිටියේ.. ඒත් සඳමාලි මිස් මේ ගැන කිව්වාම අපේ උනන්දුව ඉබේම වැඩි වුනා .. ඒ වගේම කට්ටියම මේ වැඩේට සපෝර්ට් එක දෙන්න ආසාවෙන් ඉන්න බව මට දැනගන්න  ලැබුණා….”

දැහැමි උනන්දුවෙන් අහගෙන උන්නා. ඇයට හිතාගන්න පුලුවන් වුනේ නැහැ හැමදේම ආපස්සට අදින සඳමාලි ටීචර් විදුහල්පතිතුමියට කරලා තිබුන යෝජනාව මොකකද කියලා.

” අපි මේ අවුරුද්දේ පාසැල් නිවාසාන්තර  තරඟාවලියක් තියමු ද කියන යෝජනාව සඳමාලි මිස්ගෙන් ආවාට පස්සේ තමා මම මේ කට්ටියම එකතු කරලා මේ ගැන කතා කරන්න හිතුවේ.. මේක ලේසි වෙන්නේ නෑ.. ඒත් මට විශ්වාසයි මේක හොඳ ආරම්භයක් වෙනවා….”

විදුහල්පතිතුමිය එහෙම කියනකොට දැහැමි පුදුමෙන් වගේ සඳමාලි මිස් දිහාව බැලුවා. ඊයේ දවසේ ඇය තමාගේ යෝජනාවට විරෝධය පාපු විදිය සිහි වුනා.

”  ඔව්වා කරන්න සල්ලි කොහෙන්ද ?.. මේ අම්මලා තාත්තලා යන්තම් එදා වේල ගැටගහගන්න මිනිස්සු … එහෙව් මිනිස්සුන්ට ඔය බර එකතු කරන්නේ කොහොමද දැහැමි ටීචර් ?..”

ඒ වචන ආයේ ආයෙම ඔලුවේ නින්නාද වෙන්න ගත්තා. ඇය සඳමාලි මිස් දිහා බැලුවත් සඳමාලි උන්නේ මොණරියක් වගේ හිස උදුම්මගෙන.

” අනේ ඒක නම් හොඳයි මැඩම් …”

” ප්‍රශ්න නම් තියේවි මැඩම්.. ඒත් අපි ගේමක් ගහමු …”

” සල්ලි හොයාගන්න එකට අපි අපේ යාලුවන්ටත් කතා කරමු මැඩම් …”

” මේක මේ ලමයින්ගේ ජීවිත වලට මාරම එලියක් වේවි මැඩම් …”

” මේ පාර අපි මේක පටන් ගත්තොත් ඊලඟ පාර වෙද්දී මේ වෙනුවෙන් පාරවල් පෙනේවි මැඩම් අපිට …”

හැමෝම අතිශය ධනාත්මක විදියට උත්තර දෙන්න පටන් ගත්තා. දැහැමි හැමෝම දිහා බැලුවේ පුදුමෙන්. ඇයට මේ වෙස් පෙරලීම හිතාගන්න බැරිව ගියා.

” ඇයි .. අපේ අලුත් ටීචර් වැඩේට කැමති නැද්ද ?…. මේ වගේ යෝජනා එන්න ඕනි ඔයාලාගෙන් ..තවම කැම්පස් අවුට් වුන ගමන් නේ.. අපි නම් මේ නාකි අය … ඔයාලා මහන්සි වෙලා මෙහෙම දේවල් පටන් ගත්තොත් තමයි මේ ළමයින්ගේ  ජීවිත වලට පාට වැටෙන්නේ …”

විදුහල්පතිතුමිය එහෙම කියනකොට දැකැමි කලේ හිනා වුන එක. වෙස් පෙරලෙන මිනිස්සු අස්සේ, අව්‍යාජව ජීවත් වෙන්න උත්සාහ කරන එකම මෙච්චරට මරණීය බව ඇය වටහා ගත්තා. 

More Stories

Don't Miss


Latest Articles