ආදර සැලසුම් – 38

0
1479

අශිකා අසනීප වී තිබුණේ පාන්දර යාමයේ මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිටින විටදීය. ලිප තබන්නට සූදානම් කළ පරිප්පු ඇතිලිය අතින් අතහැරී අශිකා ක්ලාන්ත වීමට ඔන්න මෙන්න තිබියදී කෑගසා අභිමන් ඇමතූ අතර අභිමන් මුළුතැන්ගෙයට පැමිණෙන විට ඇය එහි ඇති කුඩා කෑම මේසයේ පුටුවකට වාරු වී උන්නාය. ඉහින් කනින් දාඩිය වගුරවමින් දෑස් අඩවන් කරගෙන හුන් අශිකා දුටු විට අභිමන් දැඩි ලෙස භීතියට පත් වූයේ අශිකා යනු ඉතා ලේසි පහසුවෙන් අසනීප වලට ගොදුරු වන්නියක නොවන නිසාය.

සැණෙකින් පවුලේ වෛද්‍යවරයා ඇමතු අභිමන් ඔහු මිනිත්තු දහයක් තුළ පැමිණෙනවා යැයි කියූ නිසා රෝහලකට යාම ප්‍රමාද කළේ අශිකාද රෝහලට යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නිසාය.

” මට අමාරුවක් නෑ පුතා.පොඩි කලන්තයක් ආවේ ” 

අශිකා ඇඳ මත හාන්සි වෙමින් කීවාය. එහෙත් අභිමන් උන්නේ බියෙනි. තමාට ඇති විශාලම වත්කම සහ ශක්තිය තම මවය. මතක ඇති කාලයක පටන් තමාත් සහෝදරයාත් නිසා ජීවිතයේ සියල්ල දරා ගෙන ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන ඇයට තව දුරටත් කුඩා හෝ රිදුමක් ඇති විය යුතු නැත.

” බ්ලඩ් ප්‍රෙශර් ටිකක් වැඩි වෙලා.මිසිස් දේවපුර කල්පනා කරනවද ? එහෙම නැත්නම් මොන හරි දෙයක් ගැන වොරි වෙනවද ? “

වෛද්‍යවරයා ඇසුවේය. දේවපුර පවුලට සමීපතම වෛද්‍යවරයා ලෙස වසර ගණනාවක් පුරාවටම ඔවුන්ව ලඟින් ඇසුරු කර ඇති නිසා පවුලේ බොහෝ අර්බුදකාරී තත්ත්වයන් ඇති බව වෛද්‍යවරයාට රහසක් වූයේ නැත.දේවක දේවපුර නිවසින් නික්ම ගිය පසු ඒ අර්බුදකාරී බව තරමක් හෝ පහව ගිය නමුත් අශිකා නිහඬවම බොහෝ හිත් වේදනා විඳිමින් ජීවත් වන බවද වෛද්‍යවරයා දැන උන්නේය.

” ඇත්තටම ඩොක්ටර් අයියගෙ පොඩි ප්‍රශ්න වගයක් නිසා අම්ම ටිකක් හිතේ කලබලෙන් තමයි ඉන්නේ ” 

අභිමන් පිළිතුරු දුන් අතර අශිකා දෑස් වසා ගෙන ඇඳ වියලට හේතු වී උන්නාය. 

” මට තේරෙනවා අභිමන්. මේක එච්චර කලබල වෙන්න දෙයක් නෙමෙයි.මේ බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න.මම හවසට ගෙදර යන ගමන් ආපහු එන්නම්. ඒ අතරතුරදි මොනවා හරි උවමනාවක් වුණොත් මාව අප්ඩේට් කරන්න ” 

වෛද්‍යවරයා බෙහෙත් නියම කර පිටව ගියේය. අභිමන් අශිකා කෙරෙහි උපන් අනුකම්පාවෙන් යුතුව නැවතත් කාමරය තුළට ඇතුළු වී ඇඳ මතින් වාඩි පූයේ අශිකා ගේ දෙපා මත අත තබමිනි. 

” අම්මා ” 

අශිකා පිළිතුරු දීම වෙනුවට කළේ සුසුමක් මුදා හැරීමය. පෙර දිනයේදී ආදිත්‍යය ගේ දික්කසාද නඩුවේ පළමු නඩු වාරය නිකරුණේ තව දුරටත් කල් දැමීමට සිදු වීම පිළිබඳව අශිකා උන්නේ හිත් වේදනාවෙනි.තමා විඳිනවාටත් වඩා දස දහස් ගුණයක වේදනාවක් ආදිත්‍ය විඳින බව සිහිපත් වන විට අශිකා හදවතින් හඬා වැටුනාය.

” මං අයියට එන්න කියන්නම් ” 

බොහෝ කාලයකට පසුව අශිකා ගේ දෙනෙතින් කඳුළු බිංදුවක් කඩා වැටුණි. අභිමන් කම්පාවෙන් ඒ දෙස බලා සාක්කුවේ තිබූ දුරකථනය අතට ගෙන කාමරයෙන් පිටතට පැමිණියේය.

” ගුඩ්මෝනින් අයියා “

ආදිත්‍ය උන්නේ කාර්යාලයට යාමට සූදානම් වෙමිනි. 

” ගුඩ්මෝනින් මල්ලි ” 

” අයියා.මේ.. අම්මට ටිකක් සනීප නෑ වගේ.ඔයාට ගෙදර එන්න පුළුවන් කමක් තියෙනවද ? ” 

ආදිත්‍ය කලබල වූයේය. පෙර දිනයේද අශිකා පසු වූයේ සුවෙනි. එසේ නම් හදිසියේ සිදු වූයේ කුමක්ද ? 

” මල්ලි ඇයි ? ” 

ආදිත්‍ය ඇසුවේ වෙව්ලන හඬිනි.

” නෑ නෑ එහෙම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.doctor ඇවිල්ල බලල ගියේ.අම්ම ගේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් වැඩි වෙලා ” 

” හරි මම දැම්ම එන්නම් ” 

ආදිත්‍ය වහාම දුරකථන ඇමතුම අවසන් කර කණ්නාඩි මේසය මත වූ මුදල් පසුම්බිය සාක්කුවේ රුවා ගෙන වේගයෙන් තරප්පු පේළිය බැස දොර වසා දමා වාහනයට නැග්ගේය.හිටි හැටියේම අශිකා මෙසේ අසනීප වීමට හේතුව තමා බව ආදිත්‍ය සිතුවේය. ඔහුට දැනුනේ වචනයෙන් කිව නොහැකි තරමේ වේදනාවකි. මාර්ග සංඥාවෙහි කොළපාට එළිය දැල් වෙන තුරු ආදිත්‍ය දුරකථනය ගෙන මෞර්යා ගේ අංකය ඇමතුවේය.

” කියන්න ආදිත්‍ය ” 

මෞර්යාට ඇමතුමක් ගත්තද එයට හේතුවක් ආදිත්‍ය නිශ්චිතවම දැන උන්නේ නැත. එහෙත් ඒ මොහොතේ මෞර්යා තමා අසලක සිටිය යුතු යැයි ඔහු සිතුවේය. ආදිත්‍ය ගේ නිහඬ බව මෞර්යාගේ සිතට ගෙන දුන්නේ තරමක බියකි.

” හෙලෝ ආදිත්‍යය. කතා කරන්නකෝ ” 

” මෞර්යා ,ඔයාට දැන් අපේ ගෙදර එන්න පුළුවන්ද ? ” 

” මං එන්නම් “

මෞර්යා හේතුවක් නොවිමසාම කීවාය.ඒ ආදිත්‍යය ඉන්නේ කුමක් හෝ නොසන්සුන් බවකින් කියා තේරුම් ගෙනය. 

” මගේ ගෙදරට නෙමෙයි මෞර්යා.අම්මල ගේ ගෙදරට ” 

” මට ලොකේෂන් එක දාන්න ආදිත්‍යය .මං පිටත් වෙන්නම් දැන් ” 

මෞර්යා සූදානම් වූයේ ඇමතුම අවසන් කරන්නටය.එහෙත් ආදිත්‍යය ඉස්සර වූයේය.

” අම්මට සනීප නෑ මෞර්යා.එයා අසනීප වුණේ මං නිසා කියලා මගේ හිත වද දෙනවා.ඊයේ මගේ නඩුවට වෙච්ච දේට එයා හිටියේ හිතේ කලබලෙන් “

මෞර්යා අසා උන්නාය. දික්කසාද නඩුව කල් දැමුණු බව සහ ෂෙහාරා විසින් උසාවිය නොමඟ හැරීම පිළිබඳව ආදිත්‍ය මෞර්යාට කෙටි පණිවිඩයකින් කීවේ පෙර දින රාත්‍රියේය. ඇත්තටම ෂෙහාරා වැන්නියකගෙන් එයට වඩා දෙයක් ද බලාපොරොත්තු විය නොහැක.

” අපි ඇවිල්ල කතා කරමු. මට ලොකේෂන් එක දාන්න “

මෞර්යා තවත් විනාඩි කිහිපයක් ඇතුළත සූදානම් වී අත් බෑගයද ගෙන පහත මාලයට පැමිණෙන විට නිල්මිණී උදෑසන ආහාරය කෑම මේසයට සූදානම් කර මෞර්යා පැමිණෙන තුරු චන්දික සමග බලා සිටියාය.

” අනේ අම්මා මට හදිසියේම මිස්ටර් ආදිත්‍යය ගේ ගෙදරට යන්න වෙනවා. මට කෑම ටික දාලා දෙන්නකෝ.මං ගිහිල්ලා කන්නන් ” 

මෞර්යා මේසය මත තිබූ කෝපි කෝප්පය එක හුස්මට පානය කර කීවාය.

” මොකක්ද පුතා හදිස්සිය ? ” 

චන්දික විමසුවේ පාන් පෙත්තකට බටර් තවරන අතරේය. නිල්මිණි මුළුතැන්ගෙයට ගොස් කෑම පෙට්ටියක් ගෙන විත් මේසය මතින් තබා මෞර්යාගේ උදෑසන ආහාරය සූදානම් කළාය.

” මිස්ටර් ආදිත්‍යයගේ අම්මට සනීප නෑල්ලු “

චන්දික කරමින් හුන් කාර්ය නවත්වා මෞර්යා දෙස බැලුවේ සිතට දැනුණු කලබලය යටපත් කර ගන්නා අතරේය. වැඩි විස්තර මෞර්යා ගෙන් අසා දැන ගැනීමට වුවමනා වුවත් මේ මොහොතේ තමාට එය කළ නොහැක. එහෙත් හදිසියේම අශිකාට සිදුවූයේ කුමක් දැයි කෙසේ හෝ දැන ගත යුතුය.ඒ නිසා පසුව හෝ මෞර්යාට ඇමතුමක් ලබා දී ඒ ගැන දැන ගැනීමට චන්දික සිතුවේය.

” ඉතින් ඔයා මොකටද එහෙ යන්නේ ? ” 

නිල්මිණි ඇසුවේ පිඟාන මත තිබූ පාන්පැති කිහිපයක් අතට ගනිමිණි.

” අ.. නෑ අම්මා මිස්ටර් ආදිත්‍ය ගාව documents වගයක් තියෙනවා ඒ ටික ඔෆිස් එකට ගෙනියන්න ඕනේ ” 

මෞර්යා කීවේ කටට ආ බොරුවකි. එසේ නොකිව හොත් නිල්මිණී ගෙන් ගැලවීමටට නොහැකි වන අතර තවත් බොහෝ ගැටලු වලට පිළිතුරු සැපයීමට තමාට සිදු වනු ඇත.

” පරක්කු වෙනවනම් ඉක්මනට පරිස්සමෙන් යන්න පුතේ ” 

චන්දික කීවේ සිතට දැනුනු නොසන්සුන් බව අතරේය. පහුගිය දින කිහිපය පුරාවටම මේ නොසන්සුන් බව තමාව කලබලයට පත් කර තිබුණත් එය පිටතට පෙන්විය නොහැක.අතීතය මොන තරම් තමාගේ සිත රිද වූවත් එය වර්තමානයට බලපෑම් කිරීමට ඉඩ දිය යුතු නැත.

” ඔය වැඩේට යවන්න වෙන කෙනෙක් නැද්ද මෞර්යා ? ඔයා එහෙම බොස්ලගෙ ගෙවල් ගානේ යන එක හරිද ? “

නිල්මිණී ඇසුවේ කෑම පෙට්ටිය වසන අතරේය. අෂිකාත් දරුවන් දෙදෙනාත් ගුණ යහපත් වුවත්  ඒ බව තමාට ඉදිරියේ කිව නොහැක. අශිකා විවාහ වූයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයකු සමග බව එකල ආරංචි වුවද චන්දික ඉන් පසුව ඒ පිළිබඳව සොයන්නට ගියේ නැත.නිල්මිණි අෂිකා පිළිබඳව හොඳින්ම දන්නා නිසාත් මෞර්යා මේ යාමට සූදානම් වන්නේ ඇගේ නිවසට යයි නිල්මිණී හට දැනගැනීමට ඉඩ තැබිය නොහකි නිසාත් චන්දික නිහඩව බලා උන්නේ‍ය.

” මං යන්නේ ඒ කිට්ටුවෙන් අම්මා.ඕක අරන් යන එක මහ දෙයක් නෙමෙයි ” 

” ඔයාට බැරිද චන්දික මෙයත් එක්ක යන්න ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here