නිලැසි – 12

“ඔයා මාව දාලා යන් නෑ කියල මං දන්නව.බැඳීමක් කියන්නෙ එහෙම දේකටනෙ..”

එරන්ද මිමිණුවේ නිලැසිට වඩාත් ළංව ය.ප්‍රේමයෙන් දරා ගැනීමට නිලැසි හිත හදා ගත්තා ය.ආදරය කියන්නේ ආදරයට ය.අසම්මත හෝ සම්මත යැයි බැඳීමක් ආදරයක තිබෙන්නට නුපුළුවන.ඈ එසේ සිතුවා ය.ආදරය පිපී එද්දී ඒ මල් පොහොට්ටුව තැලෙන්නට ඉඩ නොහරින්නට නිලැසි හිත දැඩි කර ගත්තා ය.

“අද ඔයා කොහෙද නතර වෙන්නේ.මං හොටෙල් එකක් බුක් කරන්නම්?”

නිලැසි ඇසුවේ එරන්ද පිටත් වෙන්නට සැරසෙද්දී ය.ඔහුට මෙතරම් ඉක්මනකට පිටව යන්නට ඉඩ හරින්නට ඇයට ලෝබකමක් දැනේ.

“මාධවයගෙ බෝඩිමෙ..”

එරන්ද මිතුරෙකු ගැන සඳහන් කළේ ය.ඉඩපාඩුකම් අවම ඒ නවාතැනේ ඔහුට ඉන්නට ඉඩ හරින්නට ඇයට සිත් නොවී ය.

“ඒකෙ ඉඩක් නෑනෙ බබා..”

නිලැසිගේ ආදර හඬට එරන්දගෙන් ලැබුණේ උස් සිනාවකි.ඔහු හිනැහෙද්දී තමන්ගේ හදවත පිපී එන අන්දම නිලැසි වින්දේ රහස් සතුටකිනි.

“මීවිත උතුරන එතැන තමයි නිවන..”

සාදයකදී පවා මත්පැනෙහි ඇලෙන්නට රුචි නැති තිසරු ඉතා සම්ප්‍රදායික මිනිසෙකු බව නිලැසිට හදිසියේ සිතිණ.තමන්ගේ ව්‍යාපාර ජීවිතය කරගත් ඔහු තරුණ ජීවිතය විඳින්නට නොදන්නා මිනිසෙකු බව නිලැසි සිතුවේ අපුලෙනි.ලෙහෙසියෙන් යුවතියක නොලැබෙන වර්ගයේ උපන්දින සහ සංවත්සර තෑගි ද අහේතුක මල් කළඹ ද තෑගි දෙමින් තමන්ව රඳවා තබා ගන්නට තැත් දරන ඔහුගේ මුදලෙහි නැති බලයක් එරන්දගේ තුරුණු හැසිරීමෙන් නිලැසි දුටුවා ය.

“මං මාධවගේ බෝඩිමට යන්නෙ බබී..ඔයා ගෙදර යන්න.”

තවත් පෙම්වතියක මුණ ගැසී ඇය කැටුව මාධව දකින්නට යන්නට සිතූ එරන්ද නිලැසිට සමු දුන්නේ ය.නිලැසි සදාකාලික ප්‍රේමවන්තිය වීමට උත්සාහ දැරීම ඔහුට කෙසේවත් ඔරොත්තු දෙන කාරණාවක්ද නොවේ.නමුත් දැන් ඇය ගැළවෙන්නට නොහැකි තරමට තමන්ට බැඳෙමින් සිටී.

“ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි මල්ලි.හරියට භාවනාවක් වගේ..”

නිලැසි වික්‍රමාරච්චි එවූ පළමු මැසේන්ජර් පණිවිඩය ඔහුට තවමත් මතක ය.ඒ චිත්‍ර ශිල්පිනියක,ඡායාරූප ශිල්පිනියක,ගේය පද රචිකාවක සහ ඉඳහිට ගී ගයන්නියක වූ නිලැසිගේ සැබෑ ෆේස්බුක් ගිණුමෙන් ආ පණිවිඩයක් දැයි එරන්ද කිහිප වතාවක් පරීක්ෂා කළේ ය.ඒ ඇය ය.ජනප්‍රිය සහ ජේෂ්ඨ ගායකයෙකු වූ රාජේන්ද්‍ර වික්‍රමාරච්චිගේ වැඩිමහල් දියණිය ය.

“බොහොම ස්තූතියි”

එරන්ද එපමණක් ලියා යැවූයේ ඈ ඈත අහසක රැදුණු තරුවක් බව දැන සිටි නිසාම ය.නමුත් දිගැසි ඔහු ගයන සමහර ගී ගැන ඔහු හා සංවාද කරන්නට ගත්තා ය.

“මං ඔයාට සින්දුවක් ලියලා දෙන්නද? කවර්ස්ම කිය කියා ඉන්නෙ නැතුව සින්දුවක් කරන්න..”

ඈ අසද්දී පළමු වෙඩි උණ්ඩය එල්ල කරන මොහොත පැමිණි බව එරන්ද වටහා ගත්තේ ය.

“ඔයත් ඉතින් තනිකරම කවියක්.”

ඔහු එසේ කී අතර ඈ ඒ වදන් වලට අනුබල දෙන්නට ගත්තා ය.මිත්‍රත්වයේ අවකාශ අවසන්ව යන්නට ගත වූයේ කෙටි දිනකි.නිලැසිට විවිධත්වයක් මිස ප්‍රේමයක් නුවුමනා වග එදවස සිතූ මුත් දැන් එය වැරදි වැටහීමක් බව එරන්දට වැටහේ.ඇය කිසිසේත්ම ඔහුගෙන් මිදෙන්නට නොකැමති ය.

නිලැසි එරන්දට සමු දී ඇගේ මිතුරිය වූ විනුදි මුණ ගැසෙන්නට ආවා ය.විනුදි ප්‍රථම දරු ප්‍රසූතියට පසු රැකියාවට සමු දී නිවසේම රැඳෙන්නී ය.ඇගේ මුළු ජීවිතය ම දැන් කුඩා දියණිය ව තිබිණ.එතරම් පහසුවෙන් තමන්ට තමන් අහිමි කර ගන්නට ගැහැනියකට හැකිදැයි නිලැසි සිතුවේ විනුදිට දැන් ඇගේ රුව ද අමතක ව ගොස් ඇතැයි සිතද්දි ය.

“ජිම් එකකට ඩයටීෂියන් කෙනෙක් ගාවට යනවකො.බලනව සයිස් එක..”

ඈ විනුදිගේ නිවසේ සෝපාව මත වැටුණේ එසේ කියන අතර ය.විනුදි නිස්කලංකව හිනැහුණා ය.

“මං කොහොම හිටියත් ගිහාන්ට ලස්සනයි..”

ඇය එසේ කියන්නේ මංගල ඡායාරූපයේ හිඳින ගිහාන් සමඟ හිනැහෙමිනි.නිලැසි දෙතොල මත සමච්චලයට හුරු සිනාවක් තවරා ගත්තා ය.

“එච්චර විස්වාස කරන්නෙපා මැඩම්.මිනිස්සුන්ට වෙනස් වෙන්න එච්චර වෙලා යන්නේ නෑ..”

මිතුරිය පොවන්නට සූදානම් වන විෂ නොපිළි ගනිමින් විනුදි ඉවත බලා ගත්තී ය.මඳ සරු භාවය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් ගෙවා දැමූ අසීරු දිනවලවත් ගිහාන් අතින් ඇගේ අත අත නෑරිණ.ඔහු ඈ දරා හිඳින්නේ ඈ ඔහු දරා ගත් තරමට ය.ආදරය ගැන ගිහාන් තරමටම දන්නා කෙනෙකු ගැන විනුදිගේ විශ්වාසයක් නොවේ.එබැවින් මෙවැනි වචන ඇයට ඉහිලිය නොහැකි තරම් ය.

“ඔයා වෙනස් වුණා වගේ ද?”

විනුදි සිය මිතුරිය විමසුවේ පෑරුණු හදැතිව ය.කොහොමටත් එරන්ද ගැන කියන්නට ආ නිලැසි ඒ වචනවලට මඳ තිගැස්මක් ඇති කර ගත්තා ය.

“මං කියන්න ආපු දේ ගැන ඔයා දන්නවද?”

නිලැසි ඒ කුහුලින් අසද්දී විනුදි කිසිවක්ම නොපවසා මුළුතැන්ගෙයට පිවිසියා ය.රස කරමින් කියන්නට ආ ආදර කතාව විනුදිට දැන ගන්නට ලැබුණු අන්දම ගැන සැක කරමින් නිලැසි ඈ පසුපස යන්නට වූවා ය.

“ඔයා ජනප්‍රිය පවුලක දුවෙක් නිලූ.ඔයාගේ සමහර වැඩ නිසා අංකලුයි නිම්න මල්ලියි තමා අමාරුවෙ වැටෙන්නෙ.”

විනුදි තේ සකසන්නට සේවිකාවට උපදෙස් දෙද්දී නිලැසි වහා සිසිල් බීමක් ඉල්ලා සිටියා ය.ඇවෙත තද බැල්මක් හෙළමින් විනුදි නිලැසිගේ අතකින් අල්ලාගෙන නිවසින් පිටතට ආවා ය.

“කැෆේ එකේ කෝපි බීව නිසාද තේ එපා..”

ඇය අසන්නේ නෝක්කාඩු හඬකිනි.නිලැසි තිගැස්සුණා ය.

“අර යූ ටියුබ් සින්දු කියන කොල්ලෙක් එක්ක ඔයා අනිවාර්තෙ රස්තියාදු ගහනව අපේ යාලුවො දැකල තියනව නිලූ.අදත් මට උණූ උණු නිව්ස් එක ඉමාලි කිව්වෙ..ඔහොම කීප දෙනෙක්ම දැකල තියනව.හිතන්න ඒ ආරංචි තිසරු අයියට ගිය දවසට.”

නිලැසි උමතු සිනාවක් නගා ගත්තා ය.

“එයාට ආරංචි වෙන්න තමයි ඕන..”

ඇය එසේ කියද්දී නම් විනුදිට නැගුණේ සැනසීම සහිත බැල්මකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles