අරුමැති ආදරයක් – 58

0
1114

මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ දයාල්ගේ මිතුරාට අයත් හෝටලයේමය. උසාවියෙන් දයාල් වැරදිකරුවෙකු බව ඔප්පු වූවත්, දඬුවමක් ලෙස අමායා වෙත යම් වන්දි මුදලක් ලබා දෙන්නට නියම වූවත්,  මාධ්‍ය ඉදිරියේ දයාල් රඟපෑවේ දයාසිරිගේ පිටපතට අනුවය. ඔහු පැවසූ සේම දයාල් කඳුළු සැලුවේය. දෑස් මිරිකා ගත්තේය. තම පෙම්වතියව තෝරා ගනිද්දී සැලකිලිමත් වන ලෙස තරුණයන්ට අවවාද කළේය. දඬුවම කෙසේ වුවත් හෙට දිනයේදී දයාල් පිළිබඳව අනුකම්පා සහගතව පුවත්පත්වල අලුත් කතාවක් මැවෙන බව විශ්වාසය.

මිනිසුන් යමක් ගැන කතා කරන්නේත්, තැවෙන්නේත්, දුක් වන්නේත්, කෝප ගන්නේත් තම සවන් වලට අලුත් මාතෘකාවක් වැටෙන තුරු පමණි. විශේෂයෙන් පුවත් මවන්නට දේශපාලනඥයන් අති දක්ෂය. එනිසා කිසිවක් දිගු කාලයක් තිස්සේ මිනිසුන්ගේ මතකයේ නොවේ. සමාජ මාධ්‍යවල අනුන්ගේ කුණු සොයන මුහුණු පොතේ පිටුවල හා යූ ටියුබ් චැනල්  අයිතිකරුවන් විශාල ප්‍රමාණයක් මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටියේ දයාසිරිගේම ඇරයුමෙන්ය. හෙට සිට අමායා පව් යැයි පවසමින් දයාල්ට ගල්ගැසූ මිනිසුන් ඔහුව සාධාරණීකරණය කරන්නට පටන් ගනු ඇත. දෙපස සමබර කරන්නට පටන් ගනු ඇත.

                                   *****************

උසාවියේ සිට ආ වේලේ පටන්ම අමායා සිටියේ තම කාමරයට වී ගෙනය. නීතියත්  මිනිසුන්ගේ ජීවිත තීරණය කරන්නේ මිල මුදල් මතයැයි ඇයට සිතිණ. දයාල් උදුරා ගත්තේ තමාගේ කන්‍යාබාවය පමණක් නොවේ යැයි උසාවි භූමිය තුළදී කෑ ගසා පවසන්නට ඇයට අවැසි විය. තාත්තා මින් විනාඩි කිහිපයකට පෙර හන්දියේ කඩයට ගියේ රාත්‍රී ආහාරයට පාන් ගෙඩියක්වත් රැගෙන එන්නටය. මාස ගණනකින් නිවස තුළ කිසිවෙකුගේ සිනහ හඬක්, උස් කතා බහක් නොඇසුණු තරම්ය. ජීවත් වන්නට බඩ පුරවා ගත්තා මිසක රස මසවුළුවක් නොහැදුන තරම්ය. තමා  ජීවිතයට කරදරයක් කර ගනීයැයි බියෙන් සේ  අම්මා නිරතුරුවම තමාගේ පසුපස රැකවල් ලා සිටියා මිසක ලොකු අම්මාගේ නිවසේ නතර කළ මල්ලිලා දෙදෙනා ගැනවත් අවධානයක් දැක්වූයේ නැත. මවත් පියාත් දෙදෙනා තමා ගැන යමක් කතා වූයේ නම් ඒ හොර රහසේය. තමාගේ ජීවිතයෙන්  මේ කාමරයේ බිත්ති හතරට මැදිව ගෙවී ගිය කාලය කොපමණක්දැයි ගණනය කිරීමේ හැකියාවක් අමායාට වූයේ නැත. නඩු තීන්දුවේදී ඔහු වරදකරුවකු බවත් තමා නිවැරදි කාරියක බවත් පිළිගැනුනද අමායාගේ සිතට සතුටක් වූයේ නැත. නැතිව ගිය කිසිවක් යළි හිමි වන්නේ නැත. ඇය මේ තරමින් හෝ හිත හදාගත්තේ යුගාශ් නිසාය. ඔහු නීතිඥයෙකු පමණක් නොවේ. තමා යා යුතු මඟ එළි පෙහෙළි කර දුන්නේත් ඔහුය. මින් අඩ හෝරාවකට පමණ පෙර දුරකථනයෙන් කතා කළ ඔහු තමාගේ විදේශ ගමන ඉක්මන් කිරීමට කටයුතු කරන බවද  පොරොන්දු වූයේය. 

“හෙට දවසේ මේ නඩු තීන්දුවට උනත් සේනකලා අභියෝග කරන්න පුළුවන්. ලස්සන කතාවක් ගොතලා සෝෂල් මීඩියා  වලට දෙන්නත් පුළුවන්. ඔයා ටික කාලයක් යනකල්  අමායා මේ හැම දේකින්ම ඈත් වෙලා තමන්ගෙ ගැන විතරක් හිතන්න.  හැම සිතුවිල්ලක්ම ධනාත්මක කරගන්න. ඔයා හිතන්න වැටුණු තැනටත් වඩා අඩි කීපයක් පල්ලෙහාට වැටෙනවද එහෙම නැත්නම් කොහොම හරි නැගිටින්න උත්සාහ කරනවද කියලා. මං හිතනවා අමායා ගෙවිල ගිය කාලෙදි ඔයාගේ ඇතුලෙ ඉඳපු ශක්තිමත් ගැහැනිය එළියට ආව කියල. ඒ ශක්තිමත් ගැහැනියට මැරෙන්න දුන්නොත් ඔයා පැරදිලා දයාල් සේනක දිනලා වෙනවා. ඒ මිනිස්සු දැන් අපේ ජීවිත වලට කොහොමටවත්ම අවශ්‍ය මිනිස්සු නෙමෙයි…අපේ ජීවිතවල සතුට සැනසීම උදුරගෙන යන්න ආපු මිනිස්සු ජීවිත වලින් ගිය එකමයි හොඳ.  ඔයා හැම තිස්සේම ඔයාගේ ජීවිතේ ශක්තිය කරගන්න ඕනේ ඔයාගේ අම්මායි, තාත්තයි, මල්ලිලා දෙන්නයි. ගෙවිල ගියපු කාලෙදි ඔයාගේ ජීවිතේ විතරක් ද මේ වගේ කඳුළුත් එක්ක ගෙවන්න උනේ කියලා ඔයා මතක් කරගන්න. අපේ වැරදි වලට වෙන කවුරුවත්ම දඬුවම් විඳින්න ඕනෙ නෑ අමායා. මනුස්සයෙකුට ජීවිතේ නැති කරගන්න එක,  ප්‍රශ්නවලින් පැනලා යන එක හරි ලේසියි. හැබැයි අපි එහෙම කලාට පස්සේ  අපේ වටේ ඉන්න මේ මිනිස්සු හැමදාම ප්‍රශ්න එක්ක  ජීවත් වෙනවා අමායා. එතනදි ඔයා හිතන්න අපි මොන තරම් අසාධාරණයි ද කියලා. ඔයා අර මම ඇප්ලයි කරන්න කියපු ඔන්ලයින් කෝස් එක කරන්න. මොකද ඔයා මේ යන ජොබ් එකට ඉන්ග්‍රිලිෂ් හරි  වැදගත් වෙනවා. ඔයාට ඕනේ දයාල්ට රිද්දන්නනම් ඒකට වැදගත් වෙන්නේ ඔයාගේ සතුටයි හිනාවයි විතරයි.”

“මොනවද පුතේ තවත් කල්පනා කරන්නේ…..”

අමායාගේ මව කාමරය තුළට පැමිණියේ එසේ අසාගෙනය. අමායා සිහින් සිනහවක් මුව මත රන්දාගෙන කොට්ටය ඇද වියලට තබා හේත්තු වූයේ ‘එන්න අම්මා’ යැයි පවසමින්ය. 

“හැම තැනකදිම හැම කෙනෙක්ටම වටිනාකමක් දෙන්න නීතියට බෑ කියලා මං අද තේරුම් ගත්තා. දැන් ගිය දේ ගියාවේ. අපි ඉස්සරහ ජීවිතේ ගැන හිතමු.”

“අම්ම බලාපොරොත්තු උනේ මේ නඩුවෙන් පස්සේ දයාල් මාව කසාද බඳියි කියලද..මං කීයටවත් එහෙම බලාපොරොත්තුවක් තියාගෙන නඩු කිව්වෙ නෑ අම්මේ. ආයේ දයාල් කියන මිනිහා ඇවිල්ලා  මේ කකුල් දෙක ළඟ වැඳ  වැටුනත්  මට දයාල් එපා කියලා මං තීරණය  කළේ   මට ඒ විදිහට අපහාස කරද්දිමයි. මං කල්පනා කළේ ඒ ගැන නෙමෙයි අම්මේ. යුගාශ් සර් මට කියපු දේවල් ගැන.

“අනේ ඒ උත්තමයනම් දෙවියෙක්.” 

“කෙනෙකුට වටිනාකම් දෙන්න කාටවත් බෑ අම්මේ. ඒ වටිනාකම තේරුම් ගන්න ඕනෙත්, පරිස්සම් කරගන්න ඕනෙත් අපිම තමයි. මට එදා මීට වඩා චුට්ටක් හිතන්න තිබුණා. ආදරේ කරනකොට මිනිස්සු අන්ධයි තමයි අම්මා. සමහර වෙලාවට මම හිතුවා ආදරයයි, රාගයයි කියන්නේ එකම එක දෙයක් කියලා. සමහර වෙලාවට මට දයාල්  නැතිවයයි කියල බයට මං ඒ දේවල් වලට එකඟ උනා. සමහර දේවල් තියෙනවා අම්මා අපි ඒවට ඇබ්බැහි උනාට පස්සේ අපිට ඒවායින් මිදෙන්න බැරි. එහෙම කාලයක් පහු උනා. මං දන්නවා අම්මට මේ දේවල් අහන් ඉන්න එක ලේසි නෑ. මට කතා කරන්න ඉන්නෙ  අම්මා විතරයි..”

අමායා මවගේ පපුවට බර වූයේ එසේ පවසාගෙනනය. 

“අනේ රත්තරනේ හිතෙන ඕන දෙයක් හිතට එන ඕන දෙයක් කියන්න. අපිට අපි හිටියහම ඇති පුතේ..”

විනාඩි කිහිපයක් ගතව යනතුරුම දෙදෙනා හඬා වැටුණාය. අවසන මුලින්ම නැගී සිටියේ අමායාය. තම මවගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා උන් ඈ ඒ කොපුල්වල  වූ කඳුළු පිස දැමුවේ සීරුවටය. ගෙවී ගිය දින කිහිපයට ඇය වසර කිහිපයකින්  වැඩිමහල් වූවා සේය. යුගාශ් සර් පැවසූයේ ඇත්තකි. තමාගේ වරදට දඬුවම් වින්ඳේ ඔවුන්ය.

“අපි ආයෙ අඬන්නෙ නෑ අම්මා. මං එක දෙයක් තේරුම් ගත්තා. පවුලක් විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙද්දී අපි හරි ශක්තිමත්. ඔයාලා මාව තනි නොකල එකම තමයි අම්මේ මගේ දිනුම. තාත්තා දැන්  පාන් අරගෙන ඒවි. අපි පාන් කන්නෙ මොනවත්  එක්කද?” 

“මං තාත්තට කිව්වා බටර් එකක් ගේන්න කියලා.”

“අම්මායි තාත්තයි දෙන්නම බටර්  එක්ක පාන් කන්න කැමති නෑ. ඉන්න මම පරිප්පු හොද්දක්  හදන්නම්.”

“එපා පුතේ ඔයා ඔහොම ඉන්න. ඔයාට පරිප්පු ඕනනම් මං හදන්නම්…” 

“නෑ…..අද ඉඳලා ඔයාට නිවාඩුවක්. එන්න කුස්සියේ වාඩිවෙලා මගෙත් එක්ක කතා කර කර ඉන්න. හැබැයි උයන්නේ මම..”

අපහසුවෙන් මුත් අමායා තමාගේ මුහුණට සිනහවක් නගා ගත්තාය. එහෙත් අම්මාගේ මුහුණෙහි සටහන් වූයේ එසේ අපහසුවෙන් මුවට නගා ගත් සිනහවක් නොවන බව විශ්වාසය. ඈ සිනාසුනේ තමා දෙස බලා ගෙනය. යුගාශ් පැවසූයේ සැබෑවකි. තමාව අත්හැර ගත් කල මුලින්ම කළ යුත්තේ අන් අයගේ සතුට වෙනුවෙන් ජීවත්වීමය. තමාගේ අයවලුන්ගේ සිනහව සුරැකීමය.

                                    ***************

යුගාශ්  පාන්දර නිවසින් පිටවද්දී කිසිවෙකු අවදි වී සිටියේ නැත. එකට කෑම මේසයේ අසුන්ගෙන ආහාර ගත්තත් තමාරාත් ඔහුත් අතර  පසුගිය දිනවල ඇති වූයේ සාමාන්‍ය කතාබහකි.

“හෙට උදේ පහමාර වෙද්දී මම පොඩි ගමනක් යනවා අම්මා..එද්දි ටිකක් රෑ වෙයි.”

තමාරා හිස වැනුවේ  ඔහු එසේ පවසද්දීය. ඒ ගමන කුමක්දැයි ඈ හොඳින්ම දැන සිටියාය. එහෙත් ඕ කිසිවක්ම ඇසුවේ නැත. 

“ඔයා උදේට නන්දනීව  ඇහැරවන්න ඕන නෑ. තේ එකක් හදාගෙන බීලා යන්න පුළුවන්නේ.”

අවසන තමාරා පැවසූයේ යුගාශ් උඩුමහලට නගිද්දීය. මේ වෙනදා  පිළිවෙල නොවුනත් තරුණයා හිස වැනුවේ  මවට එකඟවය. 

උදෑසන නිවසින් පිටවද්දී වූයේ පොද වර්ෂාවකි. ඔහු අපූර්වාට  ඇමතුමක් ලබා ගත්තේ වාහනය පදවන අතරේදීමය.

“මම හිතුවා හීතලේ  හොඳට ගුලි ගැහිලා නිදි ඇති කියලා.”

“අනේ මට ඊයෙ රෑ නින්ද ගියේම නෑ…”

“ඒ ඇයි ඒ…”

“දන්නේ නෑ. සතුටට වෙන්න ඇති. එක පැත්තකින්  මේ මගේ හීනයක්. අනිත් පැත්තෙන් ඒ හීන හැබෑ වෙනකොට ඔයා මගේ ළඟ රූස්ස ගහක් වගේ හිටගෙන ඉන්නවා”

“එහෙනම් තව විනාඩි පහළොවකින්  පාර ගාවට එන්න. කළුවරේ එන්න එපා.  මම ඇවිල්ල කෝල් කලාට පස්සේ එන්න. ආච්චි නැගිටලාද ඉන්නේ..”

“අනේ ඔව්….සුබ ගමනක් කියලා කිරිබත් හදන්නත් ලෑස්ති වුණා. මම එපා කිව්වේ…”

“මමත් යන නිසාද  සුබ ගමනක් කියලා කිව්වේ.”

“නෑ….ඒ ගැන ටිකක් බයෙන් ඉන්නේ. ඉස්සෙල්ලම කැම්පස් එකට යන නිසා තමයි සුබ ගමනක් කියලා කිව්වේ.”

යුගාශ් දුරකථනය විසන්ධි කළේ සිනහ සෙමින්ය. අපූර්වාගේ  නිවස අසලට ගිය ඔහු වාහනය නවතා ඉන් බැස ගත්තේ හදිසියේ ඇති ඇති වූ සිතුවිල්ලකට අනුවය. නිවස අසලටම ගොස් ඇයව මේ අයුරින් හොර රහසේම කැඳවාගෙන යාම නොකළ යුත්තක් යැයි  ඔහු සිතුවේය. 

අවසන ඔහු ඇයට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ කුඩා කාමරයෙහි දොර අසලට පැමිණියාට පසුවය. 

“ආච්චි..සර් ඇවිල්ලා. මම ගිහිල්ලා එන්නම් එහෙනම්. පරිස්සමෙන් ඉන්න ඕනෙ හොඳද. මං අම්මත් බලලම තමයි එන්නේ. ආච්චි බාස්ලා  වැඩ කරන පැත්තට යන්න එපා. ගල් වල පටලැවිලා ඔයා වැටෙයි. හේෂානිගේ අම්මත් දවල්ට එයි. නැන්දටත් එක්ක මොනවා හරි උයලා දෙන්නත් එක්ක කන්න හොඳද..මං එනකල්  බයෙන් බලන් ඉන්න එපා. තාත්තයි, අම්මයි එක්ක ගියා  වගේ විශ්වාසයෙන් මම මේ ගමන යන්නේ. පරිස්සමට ඉන්න…”

යුගාෂ්ට ඇසුනේ  නිවස තුළ සිටින යුවතියගේ හඬය. සිනහවක් මුව මතට නගා ගත් ඔහු දොරට තට්ටු කළේ ‘අපූර්වා  මං ඇවිත් ඉන්නේ ඉන්නේ දොර අරින්න’ යනුවෙන් පවසමින්ය. 

යුවතිය උන්නේ ආච්චිගේ  අත අල්ලා ගෙනය. ඒ දෑස්  පුදුම හතෙන් එකක් දුටුවා සේ විසල්ව තිබිණ. 

“ගේ ලඟටම ඇවිත්  ඔයාව එහෙම එක්කරගෙන යන එක හොඳ මදි කියලා හිතුනා. මං මෙහෙම හදිසියේ ආපු එකෙන් අපහසුතාවයට පත්වුනානම් සොරි. ආච්චිගේ හිතට සැනසීමක් නැති වෙයි කියලා හිතුනා හවසට ඔයාව දකිනකල්”

“අනේ මහත්තයා….මට ඉන්නේ  මේ කෙල්ල විතරයි. මේකි  ගෙදරින් එළියට බැහැලා ආපහු ගෙදරට එනකල්  මං පණ බයේ ගැහෙනවා.”

මේ පියසීලි අපේක්ෂාකල මොහොතක් නොවේ. එනිසාම කල යුත්තේ කුමක්දැයි ඇයට සිතාගත හැකි වූයේ නැත. 

“අනේ ආච්චි..එහෙම හිතන්න එපා. අපූර්වා  මේ හැම තැනකදිම පරිස්සම්. පරක්කු වෙනවනේ ආච්චි අපිට කැම්පස් එකේ වෙලාවට ඉන්න ඕනනේ..වෙන දවසක අම්මත් එක්කම අපූර්වව ඉල්ලගෙන යන්න මම එනවා. ඔයාගේ පණ්ඩිත කෙල්ල  උපදෙස් දීපු විදිහටම පරිස්සමෙන් ඉන්න ඕනේ..තේරුණාද?”

යුගාශ්  එසේ පැවසූයේ පියසීලිගේ දෙවුරහිස්  වලින් අල්ලා ගෙනය. ඒ දෑස් මත්තේ කඳුලක් මෝදුවන අයුරු ඔහු දුටුවේ කහ පැහැති විදුලි ආලෝකයෙන්ය. 

“අනේ..සර් ඒ කතාවත් අහගෙනද හිටියේ..”

“අහගෙන හිටියේ නෑ ඉතින්, මෙතනට ආවට පස්සේ මට ඇහුනා. ඔයා  ආච්චිට උපදෙස් දුන්නේ ආච්චිගෙත් ආච්චි  වගේ..යමු නේද අපි පරක්කු වෙනව. මට හයියෙන් ඩ්‍රයිව් කරන්න දෙන්නෙත් නෑනේ. ඔයාගේ මේ මිණිබිරීව පරිස්සමෙන් එක්කරගෙන එනකල්  ඔයත් පරිස්සමට ඉන්න ඕනේ.”

මුලින්ම පියසීලිගේ  දෙපා මුල පහත් වී ඇයට වැන්දේ යුගාශ්ය. අපූර්වා ඔහුව අනුකරණය කළාය. මේ උදෑසන දෑස් වලට වද දුන් කඳුළු ඔහේ ගලා යන්නට ඉඩ හැර ඔහුව රිදවන්නට ඇයට සිතුනේ නැත. එහෙත්  මේ අපූර්වාට කෑ ගසා හඬන්නට  සිතෙනා තරම් සතුටකි. ඔහු දැන් මේ ජීවිත වලට දේදුන්නක්ව පායා අවසන්ය.

(යළිත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here