සන්තාන සුසුම් සර – 29

0
2119

වජිරා සැත්කමට බඳුන් වීමෙන් පසු යසස්වි ඈ බලා ගත්තේ ඇගේ ම දියණියක සේ ය. රෝහලේ සිටියදී සේ ම රෝහලෙන් ගෙදර ගෙන පැමිණි පසු ද එසේ ය. ගෙදරදී වෙනදා වාගේ ගෙදර වැඩ කිසිත් කරන්නට ඇගෙන් ඉඩක් නො ලැබුණි. මුල් දින දෙක තුනෙහි ඇය විශ්ව විද්‍යාලයට නො ගියා ය. ඊට පස්සේ, විශ්ව විද්‍යාලයට යාමට පෙර දවල්ටත් එක්ක කෑම පිස තැබීමට කටයුතු කළා ය.

‘යකෝ මමනෙ මේ ගෙදර ලේලි. හැබැයි හැම දේම සිද්ද වෙන්නෙ යසස්විට ඕන හැටියටනෙ’

වතාවක් නිලූකා වජිරා ඉන්නා තැනෙක එසේ කියා දැමුවේ තවදුරටත් ඊර්ෂ්‍යාව පාලනය කරගන්නට බැරි තැනයි.

‘කට කට නිලූකා’

වජිරා බිය වී වට පිට බැලුවේ යසස්වි ඒ ඇසෙන මානයක සිටියා ද කියා ය.

‘ඔයා ලේලිනෙ. හැබැයි ඒ පොඩි එකී මට සලකන්නෙ මගෙ දුවෙක් වගේ. ඇත්තටම මට දුවෙක් නෑ කියල දැනුන්නෑ මේ ඔපරේශන් එක කරල ඉද්දි’

‘බලමුකො ඔය කාගෙ කාගෙත් හිත් වල තියෙන දේවල් වෙයිද කියල’

‘අනේ නිලූකා ඒ පොඩි කෙල්ල එක්කත් පැටලෙන්න හදන්නැතුව ඉන්න’

ඒ වෙලාවේ තරමක් තදින් කතාකරන්නට වජිරා ට සිදු විය. නිලූකා විටින් විට යස්සවි ට ඇසෙන සේ ම ඇනුම් පද කීව ද ඇය නම් ඒවා කනකට ගත්තේ නැත!

වජිරා ගේ සැත්කම නිසා ඉවුම් පිහුම් පමණකුදු නොව තුසිතය ම යසස්වි අතට පත් වූවා කීව ද නිවැරදි ය. විජිත ගැන සේ ම අස්විද ගැන ද, වජිරාටත් වැඩි උනන්දුවකින් ඇය සොයා බැලුවා ය. වජිරා ගේ බෙහෙත් පමණක් නොව වෙලාව නිවැරදිව විජිත ගේ බෙහෙත් දුන්නේත් ඇයයි. වජිරා ට දුව පැන වැඩ කරන්නට බැරි අඩුව නො දැනෙනු වස් සේදුම් යන්ත්‍රයට දමා රෙදි සේදුවේත්, ඒවා වේලා නැව්වේත්, ගේ මිදුල් අතු පතු ගෑවේත් ඇය යි. උදේට තේ හදා කාමරයට ම ගෙන ගොස් දී, අස්විද ට ගෙන යාමට කෑම එක ද සූදානම් කොට දුන්නේ ඇයයි.

‘අනේ දුව එච්චර දේවල් කරන්න ඕන්නෑ. ඒක මගෙ හිතට හරිනෑ’

වජිරා කිහිප වර කීවා ය.

‘අනේ මේ… වැඩ කරල මැහුන්නං කඩාගන්න හදන්නෙපා. සෙල්ලමක් නෙවෙයි සර්ජරි එකක් කරල තියෙන්නෙ’

යසස්වි වජිරාගේත් අම්මා සේ තරවටු කළා ය.

විජිත යසස්වි ට පෙර මිදුල අමදින්නට, තේ හදන්නට, ගේ අතුගාන්නට තැත් කළ අවස්ථා ගණනක දී ම යසස්වි ඔහු අතින් ඒ වැඩේ තමා මත පවරාගෙන ඔහු ට දොස් කීවා ය.

‘පැහෙන්නෙපා අංකල් ඉතිං. මට ඔය වැඩ ටික කරන්න පුළුවං. ඕගොල්ලො තාම මාව ඕගොල්ලොංගෙ කෙනෙක් කියල හිතන්නැති නිසානෙ ඔය ඔක්කොම. මං ඉතිං බෝඩිංකාරිනෙ…’

‘අනේ… මටනං දැං අපිටම දුවෙක් ලැබුණ වගෙයි දැනෙන්නෙ දරුවො…’

‘ඉතිං ඒකනෙ… මං ඕගොල්ලොංගෙ දුවනං මේ ගෙදර වැඩක් කළාම මොකද වෙන්නෙ…’

යසස්වි කෑම පිසීම ගැන අස්විද ට වූයේ කම්පාවකි. උදේ ම අවදි වී කෑම එක සූදානම් කොට ඇය කෑම පෙට්ටිය කාමරයට ම ගෙන ආ මුල් ම දිනයේ ඔහුගෙන් ගිලිහුණේ ඒ සුසුමයි.

‘මට එළියෙං කෑම ගන්න පුළුවං. ඔයා උයන්නෙපා’

ඔහු එහෙම කීවේ අවංකව ම ය.

‘මේ… පැහෙන්නැතුව මේක අරං යනවද… බඩත් ඇවිත් නේද… තව කන්නකො කඩේ තෙල් ගොඩකරල රසකාරකත් දාල හදන ජරාව’

අස්විද ට සිය උදරය දෙස බැල්ණේත් එය ඇතුළට ඇද ගත්තේත් එකට ම වාගේ ය.

‘කොහෙද මට බඩක් ඇවිත් තියෙන්නෙ…’

‘හරිනං රෑටත් බත් දෙන්න හොඳ නෑ. ආන්ටි කොතක් වගේ බත් ගිල්ලෙව්වට’

‘අනේ මේ ඉන්නවද…’

‘එනකොට එළවලු මාළු ටිකක් ගේන්න පුළුවන්ද… ආ එක්කො මං ගිහිං ගේන්නංකො’

යසස්වි ගේ හඬ තානය වෙනස් විය. හුරතල් කෙල්ල වෙනුවට වගකීමැති ගෘහණියක ගේ හඬක් එහි ගැබ්ව තිබිණ. අස්විද ඇය වෙතට හෙළුවේ ඍජු බැල්මකි.

‘නෑ නෑ ඔයා කඩේ යන්නෙපා. මං ගේන්නං’

නමුත් හැන්දෑවේ අස්විද එන විට ගෙන ආ බඩු මල්ල යසස්වි ගේ හිතට හරිගියේ නැත.

‘අයියෝ බලන්නකො අප්ප. එකම වගේ ඒවනෙ ගෙනත් තියෙන්නෙ. බලන්නකො ආන්ටි මේව උයල ලන්ච් බොක්ස් එක ගෙනියන්න පුළුවන්ද… වැටකොළු… රාබු… පතෝල…තක්කාලි අමු මිරිස් ගෙනල්ලත් නෑ. අපරාදෙ මං ගියානං ඉවරයි’

යසස්වි ආඩපාලි කියවන්නට වූවා ය. වජිරා ගේ මුහුණේ ඇඳුනේ සිනහවකි.

‘කවදාවත් කඩේ පිළේ ගිහිං බඩුවක් ගෙනත් පුරුදු කෙනෙක්යෑ. ඇති ඔහොමවත් ගෙනාව. මටනං අනේ කඩේ ගිහිං බිත්තරයක් තරං දෙයක් ගෙනත් දීල නෑ අපේ චූටි පුතා’

‘ආන්ටිලගෙ වැරදි තමයි ඔය. මෙයාට මනමාලියො බලන්න යන්න කලින් කඩේ ගිහිං බඩු ගේන්න කියල දෙන්න ආන්ටි. නැත්තං ඔයාට තමයි බැණුං අහගන්න වෙන්නෙ’

අස්විද ට සිනහ නැඟිණි. යසස්වි මල් පිපුණු දෑසකින් වශීකෘතව ඒ සිනහව දෙස බලා සිටියා ය.

‘කුරු කුරු ගාන්නැතුව එහෙනං යං. ඕන විදිහට ගන්න එකයි’

ඇඳුම් මාරු කරගෙන එන්නට යසස්වි ගියේ ඉගිළගෙනයි. අමතක ම නොවෙන සාප්පු සවාරියක් ලෙස, අස්විද සමගින් සුපිරි වෙළෙඳ සැලකට ගිය ඒ ගමන ඇගේ හිතේ සනිටුහන් ව තියේ. යසස්වි ඒ හෝරාව තුළ හදවතින් ම සතුටෙන් සිටියා ය. ගත්තත් නො ගත්තත් යම් යම් දේ ගෙන නිදහසේ බැලුවා ය. අස්විද කිසිදු හදිසියක් කළේ නැත.

‘මං මේ කල්පනා කළේ… මොනා වුණත් අර කොල්ල වාසනාවන්තය කියල’

බඩු මල්ල රියට දමනා ගමන් අස්විද එසේ කීවේ යටැස් බැල්මකිනි. යසස්වි දෙතොල් තෙරපාන ප්‍රීතිමත් සිනහවක් පෑවා ය.

අවන්හලක් ළඟ ඔහු රිය නතර කළේ යසස්වි ගේ ඉල්ලීමක් මත නොවේ.

‘ගෙදරදි තේ බීලනෙ ආවෙ’

ඇය දෑස් මහත් කරමින් කීවා ය.

‘ඒ වුණාට මට තිබහයි’

හදවත යමක් කොඳුරමින් ඇති බව අස්විද ට දැනිණ. මේ වූ කලී මෙදිවියෙහි කිසි දාක ඔහු අත්විඳ නැති ආකාරයේ තිගැස්මක් තැවරි සමයකි. යසස්වි සිය පිරිමි හදෙහි චමත්කාරයක් වී ඇති බැව් පිළිගත යුතු ය. ඇයට දැන් දැන් ඔහු ඇබ්බැහි වෙමින් හිඳිනා බව ද හිතට නො රහසකි. නමුත් ගෑනු ළමයෙකු කෙරේ විශේෂත්වයක් හඟවන හැටි ඔහු දන්නේ ම නැත.

අවන්හලේ වූ ලස්සන ම පයිනැපල් ගැටෝ කැබැල්ලක් සමගින් කැපචිනෝ දෙකක් ඔහු ඇනවුම් කළේ ය. ශෝ කේසයෙහි වූ කේක් අතරින් යසස්වි ගේ ඇස් වැඩිපුර නතර වූයේ ඒ වෙතයි. කේක් කැබැල්ල සහිත පීරිසිය ඔහු ඈ වෙතට ලං කළේ ය.

‘එතකොට ඔයාට…’

‘මට කන්න බෑ’

‘එහෙනං මේකෙං බාගයක් කමු’  

යසස්වි ගෑරප්පුවෙන් කඩමින් කේක් කැබලි මුවෙහි ලූයේ පොඩි දැරියක සේ ය. අස්විද සන්සුන් ව කෝපි උගුරක් තොලගාමින් ගෑනු ළමයා දෙස බලා සිටියේ ය.  හදවත ටර්නාඩෝ සුළි කුණාටුවක් සේ කැළඹී තිබිණි. ඔහු ට යමක් කියාගන්නට අවැසි ය. නමුත් ඒ වෙනුවෙන් තෝරාගත යුතු සුදුසු ම වචන මොනවා දැයි ඔහු ට වැටහෙන්නේ නැත.

‘තෑන්ක් යූ’

අන්තිමට ම උගුරෙහි හිරවී වගේ එය පිටවිය. යසස්වි වහා නෙතු නගා බැලුවේ අස්විද ගේ හඬ තානය මුළුමනින් වෙනස් ව දැනුණු නිසාවෙනි. එක නිමේශයකට ඔවුන් ගේ නේත්‍රාවකාශයේ එක් තැනෙක අකුණක් පුපුරා ගියේ ය. හිත ඒ තරම් ගැස්සුණේ ඇයි දැයි යසස්වි දන්නේ නැත. මේ වෙලාවේ අස්විද ගේ ඇස් බැල්ම මේ තරම් වෙනස් ව දැනෙන්නේ ඇයි?

‘අපිව මෙහෙම බලාගන්නවට’

ඔහු ගේ කොපුලක මාංශ පේශියක් වෙව්ලා ගියේ ය. යසස්වි ඇස් පිය නො සලා ඒ මුහුණ දෙස බලා සිටියා ය. පයිනැපල් ගැටෝ කැබැල්ලක් මුව තුළ සීතලට දිය වෙමින් තිබිණ.

‘ඇත්තටම… අම්මගෙ සර්ජරි එකත් එක්ක… ඔයා හිටියෙ නැත්තං මට තේරෙන්නෑ අපි කොහොමද මේ දේවල් මැනේජ් කරගන්නෙ කියල. මං කියන්නෙ… මායි තාත්තයි. අක්ක ඉන්නව තමයි… ඒත් එයා අපේ විදිහ නෙවෙයි… මගෙ විදිහ නෙවෙයි…’

‘එතකොට මං ඔයාගෙ විදිහද…’ කියා අසන්නට සිහි වී යසස්වි ට එය එකෙනෙහි අමතක වී ගියේ ය. එපමණකුදු නොව තවත් කෝටි ගණන් සිතිවිලි ඇගේ සිත්හි ඉපදෙමින් උපන් ගෙයි ම මිය යමින් යළිත් ඉපදිණි. නමුත් ඒමොනවාවත් ම නිරවුල් ව ඇයට මතක නැත.

‘කන්න ඉතිං’

යසස්වි ට ඒ හඬ ඇසුණේ පෙර අත්භවයකින් සේ ය. අස්විද ගේ පිරිමි ඇස් දිළිසෙමින් ඇදෙස බලා සිටියි. ඒ ඇස් වල වචන කරන්නට බැරි තරම් ආදරයක් දිය වී තිබුණාට සැක නැත. ඒ වචන දෙක යළි යළිත් ඇය තුළ නින්නාද වන්නට ඇත. ඒ තරම් ආදරයකින් මීට පෙර කිසිදු පිරිමියෙකු එහෙම පවසා නැති බව පමණක් සියල්ල යටපත් කරගෙන පැහැදිලි ලෙස ඇගේ සිත්හි මතු විය. යසස්වි කේක් කැබැල්ල දෙස බලාගෙන ඊට ගෑරුප්පුවෙන් ඇන්නා ය. හද මඬල කළඹාගෙන ඉහළ නැගි නන්නාඳුනන හැඟීමක් නිසා දෑස් බොඳවී ගොස් තිබිණි. ඇයට කේක් කැබැල්ල පැහැදිලිව පෙනුණේ කිහිප වරක් ඇස් පිය ගැසීම නිසා ය. උගුරෙහි ඒ තරම් රිදුමක් හට ගත්තේ ඇයි ද කියාත් ඇය නො දැන සිටියා ය.

‘තාත්තට මං එච්චර ක්ලෝස් නෑ අයිය. සමහර විට තාත්ත ගැන මගෙ හිතේ තිබුණ ආදරේ…හංගන්නැතුව නිදහසේ දෙන්න මට පුළුවං වුණේ ඔයාගෙ තාත්තට. එයාලට දුවෙක් නැති නිසාද මන්ද ආන්ටිත් මට මගෙ අම්ම වගේම ආදරෙයි. මගෙ ගෙදර මට නොදැනිච්ච මොකද්දෝ හැඟීමක් ඔයාගෙ තුසිතෙදි මට දැනෙනෝ අයිය. වෙන මුකුත් මං කළේ නෑ ඉතිං’

‘ඒ…යි… අඬනවද ඉතිං ඔය…’

අස්විද ඇගේ දෑස් විල් දියෙහි කිමිදුණේ ය. යසස්වි ඉක්මනින් කඳුළු කැට චප්ප කොට දැමුවේ අලුත් සිනහවකට මුහුණ මතට වඩින්නට මග පෙහෙළි කරමිනි.

‘මේ ගෑනු ළමයි කන්න කිව්වත් අඬනවද අප්ප’

‘එහෙම කිව්වහම ඇඬෙනවනෙ ඉතිං’

හිරු මඬලක් සේ ඔහු සිනහ වූයේ ය. යසස්වී සිනහවකට අරාඳිමින් ම පැත්තකින් සිටි ඔහු ගේ උරහිස වෙතට බර වූවා ය. ඇගේ ඇසින් ගිලිහුණ කඳුළක් සුදු කමිසයට උරා, උරහිසට පිච්චෙනා උණුහුමක් දනවන ලදී.

අස්විද ට ඉතා ළඟින් ඒ සුවඳ දැනිණි. මීට පෙර එක් වතාවකදී පමණක් ඒ තරම් ළඟට දැනී ඇති සව්මිය සුවඳ!

මුහුණ වැසෙන සේ රූරා වැටුණ ඇගේ කෙහෙරැල් අතරින් අතැඟිලි යවා ඔහු ඒ කඳුළු කැටියක් පිසදැමුවේ ය. ඈ සිතින් ඒ උණුහුම් අත සිපගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here