සති අන්තයේ රයන් තුසිතය වෙත පැමිණියේ සැත්කමකට බඳුන් වූ වජිරා ගේ සුව දුක් බැලීමටත් එක්ක යි. ඇය සමග කතා බහ කිරීමෙන් අනතුරුව ඔහු අස්විද සමග කතා කරමින් මිදුලේ සිමෙන්ති බංකුව වෙත ගියේ ය. යසස්වි තේ රැගෙන එතැනට පැමිණියා ය.
‘කොහොමහරි නාස් ලණුව දාගත්ත නේ…’
තේ කෝප්පය අතට ගන්නා ගමන් රයන් විහිළුවක් කළේ ය.
‘අම්මෝ…මං… ඒ කාටද…’
යසස්වි ගේ දෑස් ලොකු වී රවුම් විණි. අස්විද ගේ දෙඅදර අතරේ නිදහස් සිනහ රේඛාවක් ඇඳෙමින් තිබිණ.
‘කාටද ඉතිං… මේ හොඳට හිටිය මේ ගෙදර මිනිස්සුන්ට තමයි. අංකල්ට… ආන්ටිට… මූවත් දැං කඩේ යවනවලු නේ…’
‘උසාවියටනෙ ඉතිං ලෝයර්…’
යසස්වි කියන්නට ගියේ ඒ වුණාට ගෙදරට ඔහු සූරියබණ්ඩාර යුවළ ගේ පුතු බවයි. නමුත් ඊට පෙර රයන් ඉස්සර විය.
‘එතකොට ඔයාට…’
ඔහු ට ඕනෑ වූයේ යසස්වි ව වචන වලින් කොටු කරගන්නටයි. අස්විද සිනහ වෙවී ඇදෙස බලා සිටියේ ය. යසස්වි නම් ඔහු දෙස බැලුවේ ම නැත.
‘ආන්ටි හුරතල් කරල හදල නිසා තමයි එළවළුවක් ගේන්නවත් දන්නැත්තෙ’
‘හරි හරි ඔයා එහෙනං හදල ගන්නකො’
‘මොනා කියනෝද මන්ද’
‘අපිට ආරංචියි උසාවියට විතරක් නෙවෙයි දැන් මෙයා ඔයාගෙත් ලෝයර් කියල’
එවර ඇය අස්විද වෙත හෙළු බැල්මෙහි වූයේ ‘ඒකත් කියල මෙයාට’ වැනි කතාවකි. ඔහු දිගට ම සිනහවකින්, දෑස් මත වන නො කියූ කතාවකින් යසස්වි වෙත නෙතු රඳවාගෙන සිටියේ ය. දැන් දැන් යසස්වි අසල දී ඇස් වල මේ බරට එල්ලී ඇතිවා වාගේ දැනෙන හැඟීම අස්විද නිතර අත්විඳී. අමතක කළ නො හැකි ලෙස ඇය ජීවිතය තුළ කිමිදෙමින් ආත්මයේ දිග පළල මනිමින් හිඳිනා බව ඔහු ට දැනේ.
‘කෙල්ලගෙ ඇස් වල තියෙන්නෙ උඹට ආදරෙයි කියන කතාව තමයි. දැං ඉතිං ඕක කතාකරල ඉවරයක් කරල දාපං’
යසස්වි එතැනින් නික්ම ගිය පසු රයන් කීවේ ය. අස්විද ලොකු හුස්මක් ගත්තේ ය.
‘ආන්ටියි අංකලුයි කෙල්ලට උඩිංම කැමතියි’
‘ඒත් කලබල වෙන්න තාම කල් වැඩියි බං’
‘මගුලක් කතාකරනව’
‘එයා හෙමිහිට හිතපුදෙන්. මට වැඩිය එයාගෙ වයසට ගැලපෙන කොල්ලෙක් හොඳයි කියල එයාට හිතුණොත්… නිදහසේ තීරණයක් ගන්න එයාට පුළුවං වෙන්නෝනෙ’
‘මචං අසා… මේ ගෙදරට යසස්වි වගේ සෙට් වන කෙල්ලෙක් ආයෙ වෙන කොයි ලෝකෙංවත් හොයන්න පුළුවං කියල මන්නං හිතන්නෑ’
‘තුසිතෙට එයාව නෙවෙයි මචං… එයාට තුසිතෙත් නැතුව බෑ කියල හිතෙන්න ඕනෙ’
‘ඉතිං හිතිලද තියෙන්නෙ බලන්න අහපං’
‘හරි හරි හිටපං ඉතිං’
‘උඹ හිත හිත ඉන්නකොට වෙන එකෙක් උස්සල තියෙයි ආ…’
‘මචං…බැරි වෙලාවත් එයා කිව්වොත්… ඔයා ගැන මං එහෙම හිතුවෙ නෑ අයියෙ කියල… අන්න එහෙම වුණොත් මේ හීන ලෝකෙ මගෙ ඔළුව උඩට කඩං වැටිල මාරාන්තික තුවාල වෙයිද කියල මට බයයි බං’
හැම දේම සැහැල්ලුවට ගන්නා රයන්ගේ හදවත පවා මිත්‍රයා ගේ වචන වලින් මඳක් ගැස්සුණ බව මුසාවක් නොවේ. නමුත් එහෙම නොවේවා යි ඔහු හදවතින් ප්‍රාර්ථනා කළේ ය.
සති අන්තයට තුසිතය නිස්කලංක නැත. හැම කෙනෙකු ම ගෙදර සිටිනා බැවින් කාර්ය බහුල ය. රූපවාහිනී ද ගුවන් විදුලි ද ක්‍රියාත්මක ය. දිල්නුක උස් හඬින් බටහිර ගීත දැමූ විට තුසිතයෙහි දැහැන් බිඳේ. ළමයින් හා සැමියා ගෙදර ඉන්නා දවසට නිලූකා ගේ ගෝරනාඩුව ද වැඩි ය. හැම දේට ම කෑ මොර දෙයි.
චේතිය ළඟ තිබී රන් මුදුවක් මිල දී ගත් බිල් පත හමුවීමෙන් පසු උදා වූ ආසන්න දින වල මේ සුපුරුදු චර්යාව වෙනස් ව ගියේ ය. දිල්නුක වැඩිපුර ගෙදර රැඳුණේ නැත. සනුක ගේ විනෝදකාමී සැහැල්ලු ගති වෙනස් විය. නිලූකා ගේ හැඬුම් දෙඩුම් ශාපකිරීම් හැරෙන්නට තුසිතය නිහැඬියාවක ගිළිණි. නිලූකා යළි පුරුදු තත්වයට පත් වූයේ කාලය විසින් ඇතැම් දේවල් අමතක කොට දැමූ නිසා හෝ අමතක වී ගිය නිසා නොවේ.
‘ඉන්න බැරිනං යන්න පුළුවං. මේ ගෙදරින් ගිහින් ඕන දෙයක් කියල ඩිවෝස් එක ඉල්ලන්ත් තමුන්ට පුළුවන්’
යනුවෙන් චේතිය අනතුරු ඇඟවූ බැවිනි. මේ විවාහය අත්හැර ගැනීමක් ගැන ඇයට හිතන්නටවත් නො හැකි ය. අත්හැරගෙන කාගේ නම් පිළිසරණක් ද? කොහේ ගිහින් වැටෙන්න ද? දරුවන් දෙදෙනා ගැන වුව ඇයට ලොකු විශ්වාසයක් නැත්තේ ය. සනුක අම්මාට වැඩිය ළැදි තාත්තා ට ය. දිල්නුක ට තිබෙන්නේ ඇගේ ගතිගුණ වී ද දිනෙක ඔහු ඇය ගැන බලාවියි විශ්වාසයක් නම් නිලූකා තුළ නැත. ගහ මරාගෙන හෝ ඇයට වැටී ඉන්නට ඇත්තේ චේතිය ඉන්නා තැනක් පමණකි. ඇය ඒ සිදුවීම අමතක වුණා සේ ඉන්නට උත්සාහ කළේ ඉනික්බිතියි. අනිත් අතට ඔප්පු කොට පෙන්වන්නට තරම් වරදක් ඔහු ඇයට කළේ නැතැයි සිතන්නට ඇයට ඕනා විය. ඈ දන්නා බොහෝ පවුල් වල පිරිමින්ට සේ ම ගැහැනුන්ට ද අනියම් සබඳකම් වන බව යටි හිත කොඳුරා කීවේ ය. ඔහු ට එවැන්නක් තිබුණත්, නො දන්නවා සේ සිටීම එක ම පිළියම කියා ද ඇය ට සිදු වන්නේ ය. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. බහුතර ආසියාතික ගැහැනිය ඉක්ම යන්නට තරම් මානසික වශයෙන් නිලූකා ද පොහොසත් නොවුණා ය.
නමුත් ගැහැනු පපුවේ ගැඹුරේ ම වූ ඒ තුවාලයේ වේදනාව ඇය පිටකොට හැරියේ ද ඇගේ චර්යාවෙන් ම ය. එතැන්හිදී සිදු වූයේ චේතිය තව තවත් ඇගෙන් ඈත් වීම මිස ලං වීම නොවේ. කෙසේ වෙතත් තුසිතය යළි පරණ තුසිතය බවට පත් වෙමින් තිබිණ. ලෝක ස්වභාවයට අවනතව තුවාල වලට මත්තෙන් කබොලු ඉදිවෙමින් තිබිණ! ඒ සියල්ල අතරෙහි සිදු වූ වැදගත් ම දේ නම්, යසස්වි වූ කලී පිටතින් පැමිණි කෙනෙකු ය යන්න තුසිතයට අමතක වී යාමයි. ඇය එහි සුවිශේෂ කොටසක් බවට පත්වෙමින් තිබීමයි!
කැළඹුම වූයේ අනුරාධපුරයේ වෙහෙරගොඩ මන්දිරේ ය. යසස්වි කළ දේ නිසා වෙහෙරගොඩලාත් පණ්ඩිතරත්නලාත් අතරේ වූ සම්මුතීන් සියල්ල බිඳ වැටී තිබිණ. ව්‍යාපාර කටයුතු සතුරන්ගෙන් තොර ව, තරඟකරුවන්ගෙන් තොර ව නිවීසැනසිල්ලේ කෙරීගෙන ගියේ මුදලාලිලා දෙදෙනා අතරේ වූ එකඟතාවය මතයි. නමුත් උදාර ව පොලීසියට ගෙන්වීමත් සමග, එතෙක් කරදරයකින් තොරව කෙරුණු සියල් ගනු දෙනු වලට කණකොකා හැඬුවේ ය.
‘මේකි අපේ පවුලම කාබාසිනියා කරන්න හදන්නෙ. මීට වැඩිය හොඳයි මේකි අපේ පවුලටම එකපාර වහ ටිකක් දුන්නනං’
වෙහෙරගොඩ මුදලාලි අඩි පොළොවේ හැප්පුවේ ය.
‘මේකිට ලෝයර් කෙනෙකුත් ඉන්නවලු’
‘ඒ ළමය ඉගෙනගත්ත ළමයෙක්නෙ මහත්තය’
වෙහෙරගොඩ මැතිණිය සැමියා ගේ හිත හදන්නටත් දියණිය වැරදි නැති බව හඟවන්නටත් උත්සාහ කළා ය.
‘ඕකිට උගන්නපු එක තමයි වරද. හෙට අනිද්දට මටත් ලෝයර් කෙනෙකුයි පොලීසියයි කතා කරයිද දන්නෑ. මට ඕකිව අහුවුණොත්නං…’
‘මට තේරෙනව මහත්තය. දැන් අලුත් ප්‍රශ්න ටිකක් අතිවෙනව තමයි. ඒත් අපේ දරුව බිල්ලට නොදී අපි ඒ ප්‍රශ්න වලට කොහොමහරි මූණ දෙන එක හොඳයි නේද…’
‘අනේ මේ තමුං නොදන්න දේවල් කතා කරන්නැතුව පැත්තකට වෙලා ඉන්නව’
ඔහු සුපුරුදු ලෙස සිය බිරිඳ ට කෑ ගැසුවේ ය. කවරක් සිදු වී හෝ දියණිය ඒ උගුලෙන් ගැලවුණ එක ගැන ඇයට වූයේ සැනසිල්ලකි. යසස්වී නිවැරදි ම තැනින් ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන තිබේ!
රයන් තුසිතයට විත් වජිරා ගේ සුව දුක් බලා ගිය හැන්දෑවේ නිලූකා ගේ ඥාති පිරිසක් ලෙඩා බලන්නට පැමිණියහ. යසස්වි වැඩි වෙලා පහළ මහළෙහි නො රැඳී මතු මහළට පැමිණියේ එතැන ඇයට අයිති තැනක් නොවන බව දැනුණු බැවිනි. සෝෆාව මත හිඳගෙන සිටියදී ඇයට මඳ වෙහෙසක් දැනිණ. ඒ නිසාමදෝ දෑස් නිදිබර වීගෙන ආවේ ය. කාමරයට ගොස් යහනට වැටීමට නැගී සිටීමත් ඒ සුවදායක නින්දට බාධාවක් විය හැකි යයි හිත විසින් කියනු ලැබුවෙන් ඇය ඔහේ දෑස් පියවෙන්නට හැරියා ය. ටික ටික නින්ද ඈ යට කරගනු ලබමින් තිබිණ.
පාදයක දණහිසට ඉහළින් ස්පර්ශයක් දැනුණේ ඇය නිදි ලොවට පා වෙමින් සිටි අතරවාරයේ ය. නින්දෙන් ම අස්විද ගැන සිහි වුණත්, ඒ ඔහු ගේ ස්පර්ශයක් විය නො හැකි බැව් සිහිපත් කොට සිටියේ ඇගේ ම යටිසිතයි. එකෙනෙහි යසස්වි මුළුමනින් අවදි වූවා ය. තිගැස්සී ගිහින් ඈ අසුනෙන් නැගී සිටියේ ඒ අස්විද නොවන බව ඉඳුරා පැහැදිලි වෙත්දී ය. ඇයට කෑගැසෙන්නට යත්දී ඔහු ඇගේ මුව සිය අතින් වැසීමේ උත්සාහයක් ගත්තේ ය.
‘ශ්… කෑගහන්න එපා. මං ඔයා නිදිද කියල බැලුවෙ’
දිල්නුක! යසස්වි ට දහදිය දමා තිබිණ. සිරුරේ සංසරණය වූ රුධිරය රත් වී ඇය සැබවින් ම කෝපයට පත් වී සිටියා ය.
‘මොකද්ද ඒ කරපු ජරා වැඩේ…’
දිල්නුක ඇගේ මුව අත්හළ ගමන් යසස්වි කෝපයෙන් විචාලා ය.
‘අයියෝ… කෑගහන්න එපා අනේ බොරුවට. පහළටත් ඇහෙයි’
‘බොරුවට… බොරුවට කෑගහන්නෑ මං. මං කෑගහන්නෙ ඔයා කරපු කැත වැඩේ නිසයි’
‘අනේ එහෙම කැත වැඩක් කරන්න හිතං හිටියෙ නෑ ළමයො. මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්නෙපා. අනික… ගෑනු ළමයි ඔහොම නිදියනවද ඉතිං… ඔහොම ඉන්නව දැක්කහම කොල්ලන්ට අනං මනං හිතෙනව තමයි’
‘මේ…’
යසස්වි සිය දබරැඟිල්ල දිගු කොට යක්ෂාවේශ වූවා සේ කඩා පැන්නා ය.
‘ඔයාට හිතෙන ඒව කරගන්න ලෑස්ති වෙච්ච කෙල්ලො ඉන්නවද කියල මං දන්නෑ. හැබැයි මං ඒ ජාතියෙ කෙල්ලෙක් කියල හිතන්නෙපා’
‘හරි හරි. ඕක ඔච්චර සීර්යස් ගන්නෙපා. පොඩි ජෝක් එකක්නෙ’
‘දිල්නුක මාව කෑගස්සන්නැතුව මෙතනිං යන්න. ඇත්තමයි නැත්තං මං කෑගහනව ඔක්කෝටම ඇහෙන්න’
‘හරි හරි යනව’
ඔහු එසේ කියා ආපසු යන්නට හැරෙත්දී ම පියගැට පෙළින් මතු වූයේ අස්විදයි. මේ වෙලාවේ ඔහු මතු මහළ පැත්තට ආවේ ම දිල්නුක හොර පූසෙකු සේ කාගේත් ඇස් වසා උඩට යනු නෙතු ගැටුණ බැවිනි.
‘විහිළුවක්වත් තේරෙන්නෑනෙ’
සිය කැළඹුම ද යසස්වි ගේ කෝපදීප්ත ඉරියව් ද බාප්පා ගේ අවධානයට ලක්විය හැකි යයි ක්ෂණිකව සිතුණෙන් ව්‍යාජ සිනහවකින් එසේ කියමින් දිල්නුක වහ වහා පියගැට පෙළ බැස ගියේ ය. පිටුපස හැරී ඔහු යන දෙස බලා සිටි අස්විද යසස්වි දෙසට හැරුණේ ය.
‘මොකද්ද වුණේ…’
කුමක් පැවසිය යුතු ද කියා ඇයට එකෙණෙහි තීරණය කළ නො හැකි තරම් විණි.