චන්දික කාර්යාලයට ගියද ඔහු උදේ වරුවම ගත කළේ නොසන්සුන්භාවයකිනි. අශිකා දැන් ගෙවන්නේ කුමන ආකාරයේ ජීවිතයක් දැයි කියා තමා දන්නේ නැත.චාරිකාව දිනයේ දී ඇගේ සැමියා පෙනෙන්නට සිටියේ නැත්තේ ඇයි දැයි චන්දික කල්පනා කළේය. සමහරවිට ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයකු වන්නට ඇත.
චන්දික උන්නේ දෙගිඩියාවෙනි. මෞර්යාට දුරකථනයෙන් අමතා අශිකා පිළිබඳව විස්තර අසන්නට කිහිප වරක්ම සිතා දුරකථනය අතට ගෙන චන්දික නැවත එය පසෙකින් තැබුවේය. මේ කිසිවක් මෞර්යාට හෝ නිල්මිණිට දැන ගැනීමට ඉඩ තැබිය නොහැක. අනෙක් අතට අශිකා ගේ නම කියූ සැනින් නිල්මිණි ඒ තමාගේ අතීතය බව හඳුනා ගන්නා බවටද සැකයක් නැත.
ඕනෑ එකක් වන්නට හැර චන්දික මෞර්යාගේ අංකය ඇමතුවේය.මෞර්යා ඇමතුමට සම්බන්ධ වනතුරු චන්දික ගැහෙන හදින් බලා සිටියේය.
” තාත්තා ”
” පුතේ ඔයා කොහෙද? ”
” මේ දැන් ඔෆිස් එකට ආව විතරයි ”
” ඔයා ගිය වැඩේ මොකද පුතේ ? ”
” ගිය වැඩේ කිව්වේ තාත්තා ? “
” ආ නෑ මං ඇහුවේ ඔයාගේ බොස්ලා දෙන්න ගේ අම්මට කොහොමද කියලා “
චන්දික එවදන් පිට කළේ දෙගිඩියාවෙනි. මෙවැන්නක් තම දියණිය ගෙන් ඇසිය යුතු නොවූවත් මේ මොහොතේ කළ හැකි යමක් නැත. සිත වද වන්නේ තමා අතීතයේ පෙම් කළ ගැහැණිය පිළිබඳවය.
” ආ. එයාට බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙලා තාත්තා. මම යනකොට නම් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ල බෙහෙත් දීලා ගිහිල්ලත් තිබුනා. අපි ටිකක් ඉඳලා ආවේ. එතකොට නම් එයාට ගොඩක් දුරට හොඳයි. ඇයි තාත්තා? “
චන්දිකට නිදහසේ හුස්මක් ගන්නට සිතුනේ ඉන් පසුවය.
” ඔයා උදේ කලබලෙන් ගිය නිසා ඇහුවේ පුතේ.මොනා වුනත් ට්‍රිප් එක ගිහිල්ලත් ඔයාව පරිස්සමට ආපහු එක්කගෙන ආව මිනිස්සු නේ “
” එයාට අවුලක් නෑ තාත්තා. ඒත් පව් ”
මෞර්යා කීවේ අශිකා කෙරෙහි හදවතේ තිබූ සංවේගය නිසාය.එවන් සියුම් හදවතක් ඇති ගැහැණියක් යහපත් දරුවන් දෙදෙනෙකු සමාජයට දායාද කර තරුණ වියේදීම පවුල් ජීවිතය හේතුවෙන් බැට කා සියල්ල දරා ගෙන ජීවත් වන ආකාරය පුදුමයකි.
” ඇයි පුතේ ? ”
” මං ඒ විස්තරේ තාත්තට පස්සේ කියන්නම් ”
” මොන විස්තරේද ? ”
” මිස්ටර් අභිමන්ගෙයි ,විස්තර ආදිත්‍යය ගෙයි පවුලේ විස්තරේ ”
මෞර්යා දුරකථන ඇමතුම අවසන් කළ පසු චන්දික ගේ හිතේ තිබූ නොසන්සුන් භාවය තව තවත් වැඩි විය. මෞර්යා අශිකා සම්බන්ධව කියන්නට යන්නේ කුමක් දැයි අනුමාන කිරීමට උත්සාහ කළත් කිසිවක් සිතා ගැනීමට චන්දිකට හැකි වූයේ නැත. සමහර විට අශිකා ගේ සැමියා ජීවතුන් අතර නොසිටිනවා විය හැක. එහෙත් අශිකා ඒ තරම් අවාසනාවන්ත වේ යැයි සිතීම ද කළ නොහැක.
චන්දික දහවල් තුනට පමණ නිවසට පැමිණියේ කාර්යාලයේ සිට වැඩ කටයුතු වල නියැළීමට තරම් හිතේ නිදහසක් නොවූ නිසාය.ඔහු නිවසට පැමිණ මිදුලේ වාහනය නතර කරන විට නිල්මිණී ඉදිරියට පැමිණියේ පුදුමයෙනි. ඒ , අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට චන්දික දහවල් කාලයේ නිවසට නොපැමිණෙන නිසාය.
” ඇයි චන්දික මේ ?ඔයාට මොකක් හරි අසනීපයක් වත්ද ? “
චන්දික ගේ මුහුණේ වූයේ මලානික ස්වභාවයකි. ඔහු නිල්මිණීව පසු කර ගෙන විත් සෝෆා වෙන් වාඩි වූයේය. නිල්මිණී වහාම ඔහු පසුපස පැමිණ සෝෆාවෙන් වාඩි වී නළලට අත තබා බැලූවාය.
” ටිකක් මහන්සියි වගේ නිසා නිල්මිණි මං ගෙදර ආවේ.එහෙම අසනීපෙකට නෙමෙයි “
” ඔයා මෙහෙම වෙනදට ගෙදර එන්නේ නෑනේ චන්දික. මොකක් හරි අසනීපයක් නම් ගිහින් බෙහෙත් ගමු ”
නිල්මිනීගේ හඬෙහි තැවරී තිබුණේ විධානයකි.මෙවන් මොහොතක මෙතැන අශිකා සිටියා නම් ඇය තමාට සලකන්නේ ඉතා සෞම්‍ය ආකාරයෙන් බව චන්දික සිතුවේ අතීතය සිහිපත් කරමිනි.එවන් සෞම්‍ය බවක් කෙදිනක වත් නිල්මිණී තුළ තිබුණේ නැතත් තමා වෙනුවෙන් කළ යුතු සෑම වගකීමක්ම නොපිරිහෙලා ඉටු කළේ නිල්මිණි නිසා ඇය පිළිබඳව අහිතක් සිතන්නට නොහැක.
” ටිකක් නිදා ගත්තම මේ ගතිය ඇරිලා යයි නිල්මිණි ”
චන්දික වාඩිවී හුන් තැනින් නැගිට්ටේය. ඔහුට වුවමනා වූයේ විවේක ගැනීමටත් වඩා තනිව කල්පනා කිරීමටය.
” ඔයාට බොන්න මොනව හරි හදන්නද ? ”
නිල්මිණි එසේ ඇසුවත් එය ප්‍රතික්ෂේප කරමින් චන්දික තරප්පු පේළිය නැග්ගේය. කාමරයට පැමිණි චන්දික ඇඳ සිටි ඇඳුම පිටින්ම ඇඳ මත හාන්සි වූයේ මහා නිදහසක් ලද්දෙකු මෙනි.
කුමන හේතුවක් මත වෙන් වුවත් අශිකා ආරම්භ කළ නව ජීවිතයේදී ඇය සතුටින් ජීවත් විය යුතු යැයි චන්දික සෑම මොහොතකම ප්‍රාර්ථනා කළේය. මෞර්යා ගේ ඉපදීමත් සමග අශිකා මතකයෙන් ඈත් වී ගියත් ඇය නිධන්වී සිටියේ හදවතේ ගැඹුරුම පතුලක බව දැනෙන්නේ දැන්ය.
ඇත්තටම අශිකා යනු සදහටම අමතක කර දැමිය නොහැකි තරමේ ආදරයක් සහ මතකයක් තමා ගේ ජීවිතයට ලබා දුන් ආදරණීයම ගැහැණියකි. නොගැලපුණු පවුල් පසුබිම් හමුවේ පැමිණි ගැටලු නිසා අසරණව තමා ගෙන් වෙන්ව යාමට සිදු වූවත් අශිකා කිසි දිනක වචනයකින් හෝ තමාට වරදක් කර තිබුණේ නැත. ඇය අනාගතය පිළිබඳව සිහින දැක්කේ තමා සමඟය.ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමටද බලාපොරොත්තු වූයේ තමා සමගය. ඇය ජීවිතයේ ඇය සතු වූ සියලු දේ තමා වෙත පූජා කළේද ඒ ආදරයේ නාමයෙන්ය. ඒ නිසාම මේ මොහොතේදී පවා චන්දික තුළ ඇය කෙරෙහි වූයේ විශාල ගෞරවයකි.
නින්ද තමා කරා පැමිණියේ කොයි මොහොතේදී දැයි චන්දිකට දැනුනේ නැත. ඔහු අවදි වූයේ මෞර්යා පැමිණ කතා කරන හඬිනි. සාමාන්‍යයෙන් මෞර්යා නිවසට පැමිණෙන්නේ සවස හය පමණ වන විට නිසා තමා පැය ගණනාවක් නින්දේ සිටින්නට ඇතැයි චන්දික සිතුවේ ඇඳ මතින් වාඩි වන අතරේය.
” ඔයා ගෙදරත් ආවද පුතේ ? ”
” තාත්තා දවල් ගෙදර ආවා කිව්වම මං බය වුණා. අම්මා කියනවා තාත්තා අසනීපෙන්ද දන්නෑ කියලා ”
මෞර්යා කීවේ චන්දික ගේ අතින් අල්ලා ගන්නා අතරේය. දෙමව්පියන් බොහෝ විට අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුණු තමන් ගේ අසනීප පිළිබඳව දරුවන්ට කියන්නේ නැත. ඒ ඔවුන් ගේ හැටිය.ඔවුන් සෑම මොහොතකදීම සිතන්නේ දරුවන් ගේ සතුට පිළිබඳවය
” එහෙම අසනීපයක් නෙමෙයි ළමයෝ.අම්ම බොරුවට කලබල වෙලා.මට ටිකක් මහන්සි දැනුන නිසා මම ගෙදර ආවේ. ආව ගමන් හොඳ නින්දකුත් ගියා ”
” තාත්තා ලේසියකට ඒ වගේ වෙලාවට ගෙදර එන්නේ නැති නිසානේ අම්ම කලබල වෙලා තියෙන්නේ ”
” දැන් අම්මා කෝ ? “
චන්දික ඇසුවේ නිල්මිණී පෙනෙන්නට නැති නිසාය. සමහරවිට ඇය තමා සමග අමනාපයෙන් හෝ නොරිස්සුමෙන් පසු වනවා විය හැක.
” පල්ලෙහා. මං කිව්වා කෝපි හදන්න කියලා “
චන්දික කිසිවක් කීවේ නැත. ඔහු ගේ මතකයට නැවත පැමිණියේ අශිකා ය. මෙවන් අවස්ථාවක වුවද ඇය ගේ සුව දුක් විමසීමට හෝ ඇය සිටිනා තත්ත්වය අසා දැන ගැනීමට තමාට කිසිම හැකියාවක් නැත. උදෑසන සිට හදවතේ තිබූ කම්පාව සහ නොසන්සුන් ගතිය නැවත නැගී එනු චන්දිකට දැනුණි. තමා මේ ආකාරයට සිත කලබල කරගෙන ජීවත් වන්නට ගිය හොත් එය සෘජුවම බලපාන්නේ තමා ගේ වර්තමානය වෙතය. එයට කෙසේ වත් ඉඩ දිය නොහැක.
” තාත්තා ”
මෞර්යා නිහඬතාවය බින්දාය. චන්දික නැවත මෞර්යා දෙසට හැරුණේ ඉන් පසුවය
” උදේ ඉඳන් තාත්තගෙ මූණ හරි නෑ. කියන්නකෝ ඇයි කියලා ”
” ඇයි මගේ පුතා එහෙම අහන්නේ? ”
” මට තේරෙන හින්දා.මොකක් හරි ප්‍රශ්නයක් නම් අම්මා උඩට එන්න කලින් මට කියන්නකො අනේ ? “
” එහෙම මොකුත් නෑ පුතේ. ඒත් මගේ හිතට ටිකක් හරි නෑ ”
චන්දික පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි. තමාගේ ලෙයින් උපන් දියණිය තමාගේ කුඩා වෙනසක් පවා ඉතා හොඳින් හඳුනා ගන්නීය.එහෙත් මේ මොහොතේ ඇයට සත්‍ය පැවසිය නොහැක.
” තාත්තා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ ? “