ආදර සැලසුම් – 42

0
1733

දේවක නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විටය. ව්‍යාපාර කටයුත්තක් සඳහා අභිමන්ව ඇමතූ අවස්ථාවේදී අශිකා අසනීපයෙන් බව අභිමන් කියා තිබුණු නිසා යුතුකමට හෝ බිරිඳව බැලීමට සිතා දේවක නිවසට ගොඩ වැදුනේය. එහෙත් දේවක ගේ පැමිණීම අශිකා ගේ සිතට විශේෂ සහනයක් ගෙන දුන්නේ නැත. දේවක පැමිණෙන බව අභිමන් පැවසූ නිසා අශිකා පහත මාලයට පැමිණ සන්සුන්ව වාඩි වී බලා උන්නාය.

” ඔයා ලෙඩ වෙන්නේ බොරුවට නෙ අශිකා “

දේවක වාඩි වූයේ එසේ කියන අතරේය.ඒ වදන්වල කිසිදු කරුණාවක් ගෑවී හෝ තිබුණේ නැත. ගැහැණියකට අවශ්‍ය වන්නේ ආදරය සහ කරුණාවය.විශේෂයෙන්ම මෙවන් වූ අවස්ථාවක හො දේවක ගෙන් එවන් කරුණාවක් ලැබේ යැයි අශිකා බලාපොරොත්තුවෙන් උන්නාය.එහෙත් වසර ගණනාවක් පුරාම දරා හිදී ඒ බලාපොරොත්තුව ,මේ මොහොතේ ද බලාපොරොත්තුවක් පමණක්ම විය.

” ප්‍රෙශර් වැඩිවෙන්න තරම් කල්පනා කරන්න ඔයාට තියෙන ප්‍රශ්න මොනවද ? ” 

දේවක නැවත ඇසුවේ අශිකා නිහඩව හිඳින නිසාය. සැබැවින්ම අශිකා නිහඬව සිටියේ කියන්නට යමක් නැති නිසා නොව , කියා පලක් නැති බව වටහා ගෙන හුන් නිසාය. වචන වලට වටිනාකමක් නොලැබෙන බොහෝ තැන්වල ගැහැණිය කරන්නේ ඉවසා දරා ගෙන නිහඬව හිඳීමය.

” ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරිද අශිකා ? ” 

දේවක කෝප ගෙන උන්නේය. ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය නිසා අශිකා පුදුම වූයේ නැත.

” මං ඉන්නේ ආදිත්‍ය ගේ ප්‍රශ්නෙ ගැන හිතේ කරදරෙන්. ඒ ළමයා දුක් විඳිනවා.මං ඒක දවස ගානෙ දකිනවා. එයාගේ අම්මා හැටියට ඒක මගේ හිතට අමාරුයි ” 

අශිකා කියා ගෙන ගියාය. ඇය කොහොමටත් සංවේදී ගැහැනියකි.ඕනෑම දෙයක් පිළිබඳව සමහර අවස්ථාවලදී ඇය ඕනෑවටත් වඩා සංවේදී වන්නීය.එහෙත් මෙතන ඇත්තේ දරුවෙකු පිළිබඳව ප්‍රශ්නයකි. නිවසින් පිට ජීවත් වන දේවකට එවැනි ප්‍රශ්නයක් පිළිබඳව විශාල හැඟීමක් තිබෙනවා විය නොහැක.

” ඩිවෝස් එක දාලා නේ තියෙන්නේ. ආයේ ඉතින් මොකට කරදර වෙනවද ? “

දේවක කීවේ අමානුෂික ලෙසය. මේ විවාහය ආදිත්‍ය වෙත කර දුන්නේ දේවකගේ මිතුරාගේ යෝජනාව සහ දේවකගේ කැමැත්ත මත වූ අතර එයින් ආදිත්‍යය හට සිදුවී ඇති හොඳක් ද නැත. එය දික්කසාදයකින් කෙළවර වන්නට කටයුතු සිදු වී තිබියදී ඒ පිළිබඳව කිසිදු වගක් නැති සේ හැසිරීම පියකුට ගැළපෙන්නේ නැත.

” පළවෙනි නඩුවෙදි මොකක්ද උනේ කියලා ඔයා දන්නවද දේවක ? ” 

අශිකා ඇසුවේ කලකිරීමෙනි. දික්කසාද නඩුව ගොනුකර ඇති බව ආදිත්‍ය විසින් දේවකට කියා තිබුණත් එතනින් එහා දේවක ඒ පිළිබඳව අසා හෝ තිබුණේ නැත. එවැනි තත්ත්වයකදී ඔහු ඉතාම සරල ලෙස තම දරුවාගේ දික්කසාදය පිළිබඳව කතා කරනා ආකාරය අප්‍රිය සහගතය.

” ඇයි මොකක්ද උනේ ? ෂෙහාරා ඩිවෝස් එක දෙන්න බෑ කියලා කිව්වද ? “

” ඒක කියන්න වත් එයා උසාවියට ඇවිල්ල තිබ්බෙ නෑ. එයා hospital එකේ ඉන්න කියලා ලෝයර් අතේ මෙඩිකල් එවලා තිබ්බා.ඊට පස්සේ ඉතින් නඩුව කල් ගිහින් ” 

” එහෙනම් ඉතින් ඊළඟ නඩු වාරෙදි මොකක් හරි වෙයි නේ ? ” 

තමා හා දේවක අතර ඇති වූ මතභේද වලදී ද දේවක හැසිරුණේ මේ ආකාරයටය. ඔහු ප්‍රශ්න දෙස බැලුවේ ඉතා සැහැල්ලුවෙන්ය.ඊටත් වඩා බොහෝ විට ඔහු කලේ එම ප්‍රශ්න මගහැර යාමය. ඔහු නිවසින් පිට මං වී ජීවත් වීමට තීරණය කලේද ඒ අනුවය.

” එදා ආදිත්‍ය උසාවි ඉවර වෙලා ෂෙහාරලාගේ ගෙදර යනකොට ෂෙහාරා ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවලු ” 

දේවක එවර අශිකා දෙස බැලුවේ පුදුමයෙනි. 

” මොකක් ? ” 

” ඔව්. උසාවියටත් බොරු කරලා , මගේ දරුවටත් බොරු කරලා මේ විදිහට ඒ දරුවාගේ ජීවිතේ නාස්ති කරලා දාන්න ඒ මුළු පවුලම කොහොම මිනිස්සු වෙන්න ඕනෙද දේවක ? ” 

අශිකා කතා කළේ වේදනාවෙනි.ඒ ආදිත්‍ය කෙරෙහි තිබෙන අප්‍රමාණ මව් සෙනෙහස නිසාය. දේවකට එවැනි වූ සෙනෙහසක් ආදිත්‍ය කෙරෙහි නොතිබුණත් ෂෙහාරාගෙන් සහ ඇගේ පවුලේ අයගෙන් මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත.

” එතකොට ෂෙහාරා මෙහෙම වැඩක් කළා කියලා රවින්ද්‍රයි ශීලායි දන්නවද ? ” 

” නඩුව තියෙනවා කියලා ඒ මිනිස්සු නොදන්නවා වෙන්න බෑනේ දේවක. අනිත් එක ෂෙහාරාට තනියම ඔහොම වැඩක් කරන්නත් බෑ. ආදිත්‍ය කියන්නේ හරිම අහිංසක දරුවෙක් කියලා ඔයා නොදන්නවා නෙමෙයිනේ.එහෙම දරුවෙක්ට මේ වගේ දේවල් ඉවසගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව කොයිවෙලේ කොහොම නැති වෙයිද කියලයි මම බයේ ඉන්නේ ” 

දේවක මොහොතක් කල්පනා කළේය.පවුල් ජීවිතය අතින් තමා අසාර්ථක වූ බව සැබෑය.එහෙත් තම දරුවන්ට එසේ විය යුතු නැත.ඔවුන් ජීවිතයේ ඉහළටම යා යුතුය. ආදිත්‍ය හට මේ විවාහය කර දුන්නේද එවැනි බලාපොරොත්තුවකිනි.කුමන හේතුවක් යටතේ ෂෙහාරාගේ සිත වෙනස් වී ඇය ආදිත්‍යය හට වංචා කිරීමට පෙළඹුණද මේ ආකාරයට උසාවියද නොමග යවමින් ආදිත් එකේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට ෂෙහාරාට ඉඩ තැබිය නොහැක.

” මං හිතන්නේ මං මේ ප්‍රශ්නෙට මැදිහත් වුනොත් හොඳයි දැන් ” 

අශිකා පුදුම වූවාය.ඇත්තටම මෙවැන්නක් දේවක ගෙන් බලාපොරොත්තු වූයේම නැත.ෂෙහාරා ගේ පියා දේවක ගේ ඉතාම පැරණි මිතුරෙක් නිසා දේවක මේ ගැටලුවෙන් මෑත් වී සිටිනවා යයි අශිකා මේ වන තෙක් සිතා සිටියාය.

” මොන විදියකින් හරි මේ ප්‍රශ්නෙ ඉක්මනට ඉවරයක් කරන්නයි මට ඕනේ දේවක. මේ ප්‍රශ්නේ මගේ දරුවා දුක් විඳින විදිය මට බලන් ඉන්න බැහැ. මොකද එයා මෙතන කිසිම වැරැද්දක් කරල නෑනේ “

අශිකා කීවේ වේදනාවෙනි. ආදිත්‍ය ගේ මලානික වූ මුහුණ ඒ මොහොතේ දිත් අශිකා ට මැවී පෙනුණි. තමා ගේ හා දේවක ගේ ගැටලු නිසා නිවස තුළදී මොනතරම් පීඩා වින්දද ආදිත්‍ය යනු ඒ සියල්ල දරා ගෙන සිනාමුසු මුහුණින් ජීවිතයට මුහුණ දුන් කෙනෙකි. එහෙත් මාස ගණනාවක් තිස්සේ ඔහු වචනයට නොපෙරලූ, හදවතේම සඟවාගෙන සිටි වේදනාව නිරායාසයෙන්ම ඔහුගේ මුහුණින් දිස් වූ ආකාරය පුදුම සහගතය. ඔහු සිටින්නේ ඒ වේදනාව දරාගෙන හිඳිය හැකි අවසාන ඉසව්වෙහි බව අශිකා තේරුම් ගෙන උන්නාය.

” මං හිතුවේ නෑ රවින්ද්‍රලා මේ වගේ වැඩක් කරයි කියලා “

” එයාලා එහෙම කරන්න එයාලගේ දරුවා වෙනුවෙන් වෙන්න පුළුවන් දේවක. ඒ වුනාට එයාලා එහෙම කරන්න අපේ දරුවා ගෙන් ෂෙහාරාට කවදාවත් වැරැද්දක් වෙලා නෑනේ. අන්න එහෙම වෙලා එයාල මේ මැරේජ් එක රැක ගන්න මේ වගේ දේවල් කළාට කමක් නෑ. ඒත් පවුලම එකතුවෙලා කරන්නේ මේ ළමයට ලොකු අසාධාරණයක් නෙමෙයිද ? ” 

දේවක නිහඬව උන්නේය. ආදිත්‍ය මේ පත් වී ඇති තත්ත්වයට තමා ද වග කිව යුතුය. ඒ නිසා මේ ප්‍රශ්නයට තමා මැදිහත් වීම කළ යුතු කාලය එළඹ ඇත.

” නඩුව තියෙනවා කියලා දැනගෙන හිටියට ඊට පස්සේ මොකද උනේ කියලා අහන්න මට වෙලාවක් තිබ්බේ නෑ. වැරැද්ද වෙලා තියෙන්නෙ ඒ පැත්තෙන් නිසා මම හිතුවේ ඒගොල්ලෝ ඩිවෝස් එක දීලා සද්ද නොකර ඉදියි කියලා. ඒගොල්ලෝ එන්නේ ඒ ජාතියෙන් නම් අපිට කරන්න පුළුවන් දේත් අපි බලමු ” 

අශිකා සතුටු වූවාය. දේවක මේ තරමින් හෝ දරුවෙකු ගේ කටයුත්තක් සිතට ගෙන කටයුතු කිරීමට සිතීම ම සහනයකි. එසේ නම් තමාට මින් ඉදිරියට මේ පිළිබඳව ඕනෑවට වඩා වද වීමට සිදු නොවේ.

තවත් මොහොතක් බලා හිඳ දේවක යන්නට නැගිට්ටේය. අශිකාද ඒ සමගම අසුනෙන් නැගිට දේවක පසුපස ප්‍රධාන දොරටුව වෙත ආවාය. දේවක ආපසු හැරුනේ අනපේක්ෂිත මොහොතකය.

” අශිකා ” 

දේවක යමක් කියන්නට සූදානම් වූයේය. අශිකා සෘජුවම දේවක දෙස බලා සිටියත් දේවක සිටියේ ඇගේ මුහුණ මග හරිමිනි.

” ඇයි දේවක ? ” 

” අපි දෙන්නගේ තියෙන ප්‍රශ්නත් කෙළවරක් කර ගන්න කාලෙ හරි ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here