ආතුරයන් මැද ආදරෙන් 16

“තාත්තා මේ වැඩේ මෙච්චර හදිසියෙන් ප්ලෑන් කරපු එකක් කියලා මට නං හිතාගන්න අමාරුයි.මට හිතෙනවා මේක පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා.”

වර්ණාසි එහෙම කියනකොට පිහියක් අතට අරගෙන කැපෙනවද කියලා බල බල හිටපු ජාදු  ගැස්සිලා වගේ වර්ණාසි දිහා බැලුවා.

“මෙච්චර කෑම ගොඩක් කොහොමද එක දවසින් ප්ලෑන් කරවන්නේ..
සති දෙකක් විතර ඉන්න දෙන්නෙකුට මේ තරම් කෑම ගොඩක් සංවිධානය කරවන්නේ කොහොමද “…

වර්ණාසි කැඩුණු සිංහලෙන් ඇහුවා.
ගෙදරින් පිටවෙලා එන්න ඉස්සර වෙලා කේසර සර් දීපු එළවළු කූඩෙන් ගත්තු කැරට් අලයක් සුද්ද කරන්න පටන් ගත්තු ජාදු ගෙ අත කැපෙන්න ගිහිල්ලා නූලෙන් බේරුනා.

“ඌහ්..තව පොඩ්ඩෙන් මගේ අත..”

“ඇයි මොකද උනේ?”

“බේබිගෙ රහස් පරීක්ෂක කතා අහන්න ගිහිල්ලා.. තව පොඩ්ඩෙන් මගේ අතක් පතුරු යනවා..
කවදා කාපු කැරට්ද අප්ප මේවා..
ජීවිතේ ට   කුස්සියක උයල නෑ…
හදිස්සියකට බයිට් එකක් බිත්තරයක් හදා ගත්තයි කියලා ඒවා මහලොකු උයමං ඈ….”

“ජාදු ට මේ වැඩේ ගැන සැක හිතෙන්නේ නැද්ද.”..

“අයියෝ බේබි.. එක දවසෙන් රට පෙරලන්න පුළුවන් මනුස්සයෙකුට මේවා මොනවද”…

ජාදු දිහා වර්ණාසී බලාගෙන උන්නේ එක දවසක් ජෙරම්  දිහා වර්ණාසි බලන් උන්න විදිහටමයි.

අගමැති පෝල් රටේ මිනිසුන්ට එපාම වෙලා ඉන්නකොට ජෙරොම්ට භාර දීලා තිබුණා පෝල් ගැන ප්‍රසාදය ආපහු මිනිස්සු අතර ගොඩනැගෙන විදිහට කතාබහක් ඇති කරගන්න කියලා…

ජෙරොම්ගේ මහාචාර්ය පට්ටම නිසා හුඟක් මිනිස්සු ජෙරොම්ට ඇහුම්කන් දෙන විලාසයක් තිබුණා.
ඒ දවස්වල ජෙරම් කතා කළේම පෝල්ට බනින මිනිස්සුත් එක්ක. පෝල්ට පක්ෂව කතා කරන මිනිස්සුත් එක්ක ජෙරම් කතා කරන්න ගියේ නැහැ. වර්ණාසිටත් ඒ වෙනකොට හිතිලා තිබුණා ජෙරම් පෝල් ට විරුද්ධව වැඩ කරනවද කියලා..ඒ උනාට ජෙරම් ඒ හැම වෙලාවකම ඒ හැම කතාවකින්ම පෝල් ගේ අඩුපාඩු දුර්වලතා.. මිනිස්සු පෝල්ට අකමැති ඇයි ..කියන ඒවා මලු පිටින් එකතු කරගෙන තිබුණා.
එතනින් එහාට ජෙරොම්ගේ අතින් ලියවුණු හැම පුවත්පත් ලිපියකම පෝල් ගේ තිබුණු දුර්වලතා මහා පුදුම විදිහට සාධාරණීකරණය කරලා තිබුණා.
පෝල් කියන්නෙත් බොහොම සාමාන්‍ය මනුස්සයෙක්ය.. අපි ළඟ තියෙන සාමාන්‍ය අඩුපාඩුත් ඒ විදිහටම පෝල් ළඟත් තියෙන බවත් ජෙරම් කිව්වා.
නමුත් අපිට වඩා පෝල් වෙනස් වෙන්නේ අපි අද දවස විතරක් දකිනකොට පෝල් අනිද්දත් ඊට වඩා එහාත් දැකලා තියෙන හින්දයි කියල නිව් ලෑන්ඩ් පුවත්පතට ජෙරම් ලියල තිබුණ.ජෙරම් කියන්නේ ඇසූ පිරූ තැන් ඇති මහාචාර්යවරයෙක් වුණාට ඩොලර් ඉදිරියේ දියවෙලා යන සාමාන්‍ය ජීවිතයක් තියෙන මනුස්සයෙක් බව වර්ණාසී එදා උදේ පුවත්පත බලන ගමන් තේරුම් ගත්තා. මුළු රටකට එපාවෙලා හිටිය පෝල්ව ජෙරම්ගේ දිනපතා පළ වෙච්ච මේ ලිපි පෙළ හින්දා පුදුම විදිහට වෙනස් කරන්න පුළුවන් වෙලා තිබුණා. ඕනෙම කළු චරිතයක් සුදු කරන්නත් සුදු චරිතයක් කළු කරන්නත් දක්ෂ ලේඛකයෙකුට පුළුවන් බව එදා වර්ණාසි දැනගත්තා.ආසියාතික මානසිකත්වයක් තිබිච්ච වර්ණනාසිට ජෙරම්ගේ මේ වැඩේ කැත වැඩක් හැටියට පෙනුනා.

එදා කොෆි පොයින්ට් එකේදී ජෙරොම්ගේ මූණ දිහා තමා බලාගෙන හිටියේ දැන් තමා ජාදු  දිහා බලාගෙන ඉන්න විදිහටම වෙන්න ඇති කියලා වර්ණාසි ට හිතුණා.

“බේබි මට නම් බඩගිනි ..අපිට දැන්  කනවා නම්  කන්න නම් පුළුවන්… බේබිට නානවා නම් නාන්න වෙන්නේ ළිඳෙන් වතුර ඇදගෙන… බේබිට වතුර අදින්න දන්නේ නැති නිසා මං වතුර ඇදලා පුරවලා දෙන්නම්. ..එතකොට බේබිට සැනසිල්ලේ නාගන්න පුළුවන්. කොහොමද හොද..”

“ඇයි මේකෙ බාතෘම් එකක් නැද්ද..”

“තියෙනවා.. තියෙනවා මොකෝ නැත්තේ.. තිබුනට කරන්ට් එක නෑනෙ බේබි… කොහොමද වතුර ගහන්නේ?.”

“ම්ම්.. මට හැම තිස්සේම ඒක අමතක වෙනවා.මටත් දැන් බඩගිනි…. ඒ හින්දා මම කාලා නාන්නම්.”

එක දවසෙන් රට පෙරලන මනුස්සයෙකුගේ කතාවක් කියවන්න ගිහිල්ලා තමන්ගේ කට වැරදිච්ච බව ජාදු ට තේරුණා.ඉන් එහාට කිසිම දෙබසක් ඇති නොවෙන්න ඉක්මනින්ම නාන එක ගැනයි කන එක ගැනයි ජාදු  කියවන්න ගත්තෙ ඒකයි. වර්ණාසි බේබිට ලංකාවේ දේශපාලනය තාම තේරිලා නෑ.. බේබිට විතරක් නෙමෙයි. අවුරුදු හැට හැත්තෑවක් මේකේ හක්කලං ගහපු එකෙකුටවත් ඒකෙ තියෙන ප්ලෑන් අදුන ගන්න හම්බවෙන්නේ නෑ.. තාත්තගෙ දේශපාලනය වෙනුවෙන් තමන්ව මරන්න කුලී මිනීමරුවෝ දම්මලා තියෙනවා කියන එක සමහරවිට බේබිට විහිළුවක් වගේ පේනවා ඇති..
එකාට එකා නැති මේ දේශපාලනය බේබි  වගේ අහිංසක කෙල්ලෙකුට කොහොම තේරුම් කරල දෙන්නද..ජාදු ට තනියම හිතුනා.

ජාදු ගේ සැමන් තෙල් දැමිල්ලයි පරිප්පුයි කැරට් සලාදෙයි  හරිම රසයි කියලා වර්ණනාසිට හිතුනා.

“කෑම රසයිද බේබි …
ඇයි…කාව හරි මතක් වෙලාද මේ අඩන්නේ..”

ජාදු ඇහුවේ හිනාව හිර කර ගන්න ගමන්..

“ඔයා හොඳ නෑ..සැමන් එක හරි සැරට හදලා…මට කඳුළු එන්නේ ඒකයි.හිතලම සැරකලා නේද..”

ජාදු  හිනා වේවි වර්ණාසි  දිහා බලාගෙන හිටියා.

“වතුර රහට කෑම කන්න පුළුවන්ද..බේබි කවද හරි තනියම කුස්සියක් බාරගත්තු දවසට බේබි ගේ මහත්තයාට වෙන්නේ කොහෙන් හරි ගිහිල්ලා කාලා එන්න තමයි..”

ජාදු එහෙම කියනකොට වර්ණාසි කෑම කන එක නවත්තලා ජාදු  දිහා බලාගෙන හිටියා.

“ජාදුත් කවද හරි එහෙමද ..
නෝනා ගෙදර ඉන්නකොට කෑම හොඳ නැහැයි කියලා පිටින් කාලා එනවද…”

කියලා ඇහුවේ හරිම හෙමින්…

ඒ වගේ අතිශය සංවේදී අවස්ථාවන්වලට දෙබස් වලට මුහුණ දෙන්න ජාදු උන්නේ බයෙන්.
මේ වගේ වෙලාවක මදුරි  හරි  ප්‍රියංවදා හරි හිටියනම්..ජාදු ට කිසිම බයක් නැහැ..තමන්ගේ හැඟීම් මහ මුහුදක් වගේ ගොඩ ගලන්න දෙන්න  තිබුණා..
ඒ හින්දා ජාදු කොයිකෙනුත් ගැලවෙන්න පුළුවන් ලස්සන හිනාව විතරක් එතනට දැම්මා.
බේබි වගේ රත්තරං නෝනෙක් ඉන්නවනම් ඇල් වතුර උනත් කට වහගෙන කන්න පුළුවන් කියල කියන්න හිතුනත් තමන්ට අල්ලන්න බැරි අතු මල් ගැන කතා කරන්නේ නැතුව ඉන්න එක හොදයි කියලා හිතුනා. ඔය සමහර ආදර කතා තියෙනවනේ..ඒවා එළි කරන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න තරමට තමයි ලස්සන වෙන්නේ.. කවුරුවත් දන්නෙත් නෑ කාටවත් ඇහෙන්නෙත් නෑ..තමන්ට ඕන තරම් තුරුල් කරන් ආදරේ කරන්න පුළුවන්..
ජාදු තනියම හිතුවා…

“සමහර වෙලාවට ලොකු සර්ට මම බයිට් හදලා දෙනවා…නර්මදා මැඩම් ආවට පස්සේ නම් මම ඒ වැඩෙනුත් අයින් වුනා.නර්මදා මැඩම්ගේ කෑම හරි රහයි…
ඇයි බේබි ට උයන්න බැරිද…”

“ම්ම්ම්… සී ෆුඩ් පිලව්… හොට් බටර් ප්‍රෝන්.. බටර් පේස්ට්‍රී ..නූඩ්ල්ස් එහෙමනම් හොඳට හදන්න පුළුවන්…”

වර්ණසි හිනා වුණා.
නර්මදා ආන්ටිට කියල එන්න පුළුවන් නොවීම ගැන වර්ණසි
දුක් උනා.ජාදු  හැම ලාම්පුවකටම භූමිතෙල් පුරෝලා සූදානම් කළා.
ගෙදරටම අල්ලලා එළිය පැත්තෙන් හදල තිබිච්ච වෙනම පුංචි කුස්සියේ දර ගොඩ ගහලා තිබුණා. එක අතකට වර්ණාසි බේබිගේ සැකය හරි කියලත් ජාදු ට හිතුනා. මේ විදිහට එළිය කුස්සියේ දර ගොඩගහලා තියෙන්නේ කවුද නැත්නම්..
ගෙදරටම ඈදලා හදලා තිබුණ ළිඳෙන් වතුර ඇදලා වතුර මුට්ටියක් එළිය කුස්සියේ රත් කරන්න ජාදුට පුළුවන් වුණා. වර්ණාසිට නාන්න සූදානම් කරලා දුන්නා.වර්ණාසිට රෑටත් බත් කන්න බැහැයි කියලා කියපු නිසා වර්ණාසි වෙනුවෙන් විතරක් ගම්බිරිස් රස ඉස්මතු වෙන විදිහට සුප් එකක් ජාදු  හැදුවා. සුප් එක හදන්න ඕන විදිය වර්ණසි ගෙ රෙසිපියක් උනාට අන්තිමට සුප් එක හැදුනේ ජාදු ට ඕනෙ විදිහට ..

බේබි… දිස් ඊස් ජාදුස් ඉස්පෙසල්… කියලා ජාදු හිනාඋනා ..

සුප් එක හදනකොට වර්ණාසි කැරට් කෑල්ලක් කකා ජාදු දිහා බලන් උන්නා …

“මං දිහාම බලාගෙන ඉන්න ගියොත් බේබිට මේ සති දෙක ඉන්න එපා වෙයි”…

ජාදු  එහෙම කියනකොට වර්ණාසි ට ඇත්තටම ලැජ්ජ හිතුනා. තමන්ටත් නොදැනීම තමන් අසීමාන්තිකව මේ අපූරු හදවතක් තියෙන මනුස්සයට බැඳිලාදෝ කියලා වර්නාසිට හිතුනා.

Wise men say
Only fools rush in

එල්විස් ප්‍රෙස්ලිගෙන් ග්‍රැමෆෝනයේ සින්දුව ක් හිඩැස පිරෙව්වා…වර්ණාසි උවමනාවෙන් අහන් උන්නා …

ප්‍රඥාවන්තයෝ කියති…
දුවන්නේ මෝඩයන් පමණි…
ඒත් මට ඔයාට ආදරේ නොකර ඉන්න බෑ..
මම ඉන්නද? …
ඒක පව්ද …
මට ඔබ සමඟ
ආදරයෙන් බැඳීමට උදව් කළ නොහැකි නම්? …
ගඟක් ගලනවා වගේ……

ජාදු සුප් කෝප්පේ දුං අතරින් කලුපර්ල් ඇස් වලින් හිනාඋනා .

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles