සන්තාන සුසුම් සර – 31

0
2833

ටික කලකට පස්සේ මේ තුසිතය නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තා පමණකි. චේතිය ගේ රන් මුදු බිල් පතෙහි සිද්ධියත්, ඊට පස්සේ වජිරා ට සැත්කමක් කරන්නට සිදුවීවත් නිසා හිත් වලට සැනසිල්ලක් වූයේ නැත. පිපිරුණු ගිනි කඳු නිසල වී, ගිනිගත් ලෝ දිය නිවී,  අළු දුහුවිලි වලාවන් පවා තුනීව ගිය ඉක්බිති යළිත් විදාරණයක් දරාගන්නට හදවත් වල හයියක් නැත්තේ ය. එබැවින් දිල්නුක ගේ ක්‍රියාව මත යළිත් තුසිතයෙහි කළබළයක් සිදු නො විය යුතු යයි යසස්වි වහා තීරණය කළා ය.

‘අ… නෑ මේ… මං ඇස් පියාගෙන හිටියෙ…’

ඇය තමන් අභියස ප්‍රශ්නාර්ථයෙන් බලා හිඳින අස්විද ට පිළිතුරු දෙන්නට පටන් ගත්තේ මඳහසක් මවාගනිමිනි. නමුත් එහි ව්‍යාජ බව ඇයට ම නො දැනුණා ද නොවේ.

‘ඉතිං…’

අස්විද ට සිතුණේ ම දිල්නුක කුමක් හෝ නොහොබිණා යමක් කරන්නට ඇති බවයි. යසස්වි තුසිතයට පැමිණි මුල් දිනවල සිට ම ඔහු ඈ වටේ කැරකෙන බව ද අස්විද දැන සිටියේ ය. ඔහු යසස්වි ට සමීප නොවී හිඳීමට බලපෑ මූලික හේතුවක් වූයේත් දිල්නුකයි. ඔහු තරුණයෙකි. තරුණ හැඟීම් හා ආවේග ගැන අස්විද නො දන්නවා නොවේ. ඊටත් වැඩිය ඔහු සිය සොයුරා ගේ පුතණුවන් ය. එක ගෑනු ළමයෙකු අරබයා බාප්පා හා පුතා අතරේ තරගයක් හෝ අර්බුධයක් ඇති කරගන්නට ඔහු ට ඕනෑ නො විණි. තරගයකට වැටෙනවා වෙනුවට නිතරගයෙන් ම ජය පුතා ට දී පසෙකට වන්නට බාප්පා කැමැත්තෙන් ම සිටියේ ය. නමුත් එවැන්නකට ඉඩක් නො තැබුවේ ගෑනු ළමයා ම ය. ඇය දිල්නුක රිස්සුවේ නැතිවා සේ ම, ඇයව දුහුවිලි පොදක් තරමට නො සැලකූ අස්විද හඹා යමින් ඔහු ගේ අවධානය දිනාගත්තා ය.

‘මේ… කනට මොකද්ද දැම්ම… පොල් කෙන්දක්ද කොහෙද…’

ඒ වෙලාවේ එතැන පොල් කෙන්දක් කොයින් ද? පොල් කෙන්දකට ඔය තරමට මූණ රකුසු කරගන්නට හේතුවක් තිබේද? නීතීඥවරයෙකු වශයෙන් ඔය වාගේ හරස් ප්‍රශ්න හිතේ නැගෙනා එක ගැන පුදුම නො විය යුතු ය. නමුත් ඇය කියන්නට සූදානම් එපමණක් නම්, සිය සීමාවේ නතර විය යුතු බව අස්විද ඉඳුරා දනී. ඊට වැඩිය යමක් නො දැන ඉන්නා එක ම හොඳය කියා ද ඔහු ට නො සිතුණා නොවේ.

මේ සිදුවීම රහසක් ව පවත්වාගැනීම, දිල්නුක ට තවත් අනුබල දීමක් විය නො හැකි දැයි යසස්වි සිතුවා ය. නියපොතු තුඩින් කඩා දැමිය හැකි අංකුරයක්, පොරොවෙන් කපන්නට වන තැනට වැඩෙන්නට හැරිය යුතු නැත. ඔහු මීට වැඩිය ලොකු දෙයක් වුව කළ හැකි මිනිසෙකි. එවන් දිනෙක ‘ඇයි මුලින්ම නොකිව්වේ’ යන ප්‍රශ්නය තුසිතයෙන් නැගෙන්නට ඉඩ තැබිය යුතු නැතැයි අවසන ඇය තීරණය කළා ය. නිලූකා ගේ ඥාතීන් නික්ම ගියාට පස්සේ විවේක ගන්නට මතු මහළට පැමිණි වජිරා වෙතට ගොස් ඈ දැනුවත් කළේ එබැවිනි.

‘ඒ වෙලාවෙ අස්විද අයිය උඩට ආව. මොකද වුණේ කියල ඇහුවත් මං කිව්වෙ නෑ ආන්ටි. ආයෙමත් මේ ගෙදර මේකට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඕන නෑනෙ’

‘දුව මට මේක කියපු එක හොඳයි. අපි කලබල කරල දිල්නුකට ලැජ්ජාවක් ඇතිවෙන දෙයක් කරන්න ඕනත් නෑ. තරුණ ළමයිනෙ. මං හෙමීට මේ ගැන එයාගෙ දෙමව්පියො දැනුවත් කරන්නං’

‘ආන්ටි හොඳ විදිහක් කරන්න’

කල් අරින්නේ නැතිව, එදින රාත්‍රියේ ම වජිරා මේ ගැන නිලූකා ට කීවා ය.

‘ඉන්නැති ඉතිං කකුල් එළියෙ දාගෙන. කොහොමත් ඇඳං ඉන්නෙ කොට කෑලිනෙ. ගෑනු ළමයි දැනගන්න ඕනෙ සීලාචාරකමට ඇඳුං අඳින්න. පස්සෙ කොල්ලො එහෙං මෙහෙං ඇල්ලුව කියල උන්ට දොස් කියල වැඩක් නෑ’

නිලුකා ගත් කටට ම දොස් කීවේ යසස්වි ට යි. කොහොමත් ටික දිනක සිට ඇය යසස්වි සමගින් පසුවන්නේ ඒ තරම් හිත් හොඳින් නොවේ. තුසිතයේ ගෘහ මූලිකයන් ගේ ආදරය ද අස්විද ගේ අවධානය ද වැඩියෙන් දිනාගැනීම ගැන ඕ යසස්වි ට ඊර්ෂ්‍යා කරන්නට පටන්ගෙන සිටියා ය.

‘ඔයා මහ පුදුම කතාවක්නෙ නිලූකා කියන්නෙ. ඔයත් ගෑනියෙක් නේද… ඔච්චර පටු විදිහට ගෑනු ළමයෙක් දිහා බලන්න එපා. ඔයාටත් දුවල නෑ මටත් දුවල නෑ. හැබැයි අපි දෙන්නම ගෑනු. අපි අපේ පුතාලට කියල දෙන්න ඕනෙ ගෑනු ළමයින්ට ගෞරව කරන්නෙ කොහොමද කියලයි. මාත් කොල්ලො දෙන්නෙක් හැදුව හැබැයි මට උං ගැන කවදාවත් මෙහෙම කම්ප්ලේන්ස් ඇවිත් නෑ’

නිලූකා සමච්චලයට කට ඇද කළා ය. නමුත් කිසිත් නො කියා සිටියේ, ඇය දිගු කරන එක් ඇඟිල්ලක් නිසා ඇඟිලි හතරක් ම ඇය වෙතට දිගු විය හැකි වූ බැවිනි.

‘ගෑනු ළමය කොහොමද ඇඳුං අඳින්නෙ කියන එක ඒ ළමයගෙ කැමැත්ත. කොහොමත් මන්නං දැකල නෑ යසස්වි එහෙම අශෝභන විදිහට ඇඳුං අඳිනව. හැබැයි නිලූකා අපි අපේ පුතාලට උගන්නන්න ඕනෙ කොහොම ඇඳල හිටියත් ඒ කෙනාගෙ අවසරයක් නැතුව එයාගෙ ඇඟට අත තියන්න අපිට අයිතියක් නෑ කියලයි. යසස්විගෙ තියෙන වැදගත්කමට කෑකෝ ගහල මේක හැමෝටම දැනගන්න අරින්නැතුව මට කිව්වෙ. ඔයා පොඩ්ඩක් දිල්නුකට අවවාද කරන්න’

නිලූකා ගෙන් නො නැවතී වජිරා මේ ගැන චේතිය ද දැනුවත් කළා ය.

‘මං හිතන්නෙ ලොකු පුතා ගේ අස්කරගෙන දැන් ඒකට ගියානං තමයි හොඳ. ඔයාගෙ පුතාලත් තරුණයි. මල්ලිත් ඔහොම ඉඳල බෑනෙ… එයත් කසාදයක් බැඳල මේ ගෙදරට ගෑනු ළමයෙක්ව කැන්දන් එන්න වෙනවනෙ…’

‘මට තේරෙනව අම්මෙ. මට තව ටික දවසක් දෙන්න’

‘නෑ නෑ මං කිව්වෙ කළබළේට මුකුත් කරන්න කියල නෙවෙයි. නිලූකාට මේව කියල වැඩක් නැති නිසයි ලොකු පුතා එක්ක කතා කළේ. මල්ලිට දැනගන්න තියන්නෙපා මං මෙහෙම කියපු බවක් වුණත්’

ඒ සිදුවීම අස්විද හා සනුක හැරෙන්නට අනිත් හැම කෙනෙකුගේ ම හිත් වල ඒ රාත්‍රියෙහි හොල්මන් කරමින් තිබිණ. වජිරා රෑ වන තුරු ම සුසුම් හෙළමින් කල්පනා කළා ය.

‘චාරුලතා එහෙම මේ දේවල් දැනගත්තොත් හරි නෑනෙ. අපිව විශ්වාස කරලනෙ ඒ දරුවව මෙහෙ ගෙනත් නතර කළේ’

ඒ සිදුවීම ඈ හිත් රිදීමක් කරගෙන තිබුණත් යසස්වි නම් එය අමතක කොට දමා අලුත් දවසට අවදි වූවා ය. මුළුතැන්ගෙයි ජනේලය විවර කොට, පිරිත් සජ්ජායනා වෙන්නට හැර, කෑම පිසින්නට පටන්ගත්තා ය. විවර වූ ජනේලයෙන් පිනිබර නැවුම් සුළඟ ගෙතුළට පැමිණෙයි. හිරුටත් කලින් ඇහැ අරින මල් වල රොන්සුණු සුවඳක් ද එසුළඟෙහි තැවරී තියේ. ඇය නැවුම් ප්‍රබෝධවත් බවකින් යුතුව පිපුණු ගමන් මලක් සේ වූවා ය.  තුසිතයෙහි සුරතලා, සුදු පූසා ආදරය දනවමින් ඇගේ පාද වල දැවටුණේ ය.

‘බඩගිනිද ඔයාට… තාම උයනවනෙ ඉතිං… කිරි හදල දෙන්නං හොඳේ’

ඇය තේරුණා සේ පූසා ඤාව් කීවේ ය. වජිරා ට තවත් ටික වෙලාවක් යහනට වී ඉන්නට කියා, විජිත නැගිට විත් යසස්වි ට පොල් ගා දුන්නේ ය. ඇය තේ හැදුවා ය. ඔහු හොදි හැඳිගෑවේ ය. ඔහු වජිරා ගේ තේ එක ගෙන යත්දී ඇය අස්විද ගේ තේ එක ගෙන ගියා ය.

ඒ වෙලාවේ අස්විද සිටියේ සේදුම් කටයුතු අවසාන වී විත්, ජනේලයෙන් පිටත ඇය එල්ලූ සුළං සීනුව දෙස බලාගෙනයි. නමුත් මේ වෙලාවට ලොකු සුළඟක් නැති නිසා එය නිහඬ ව සිටියේ ය. නැතහොත් ඉතා මුදු සුළඟකට ඉතා මඳ හඬක් නැංවූයේ ය.

‘තේ…’

යසස්වි කාමරයට ආවේ කළබළ සුළං කෝඩයක් සේ ය. තේ කෝප්පය අස්විද ගේ අතට මාරු වෙත්දී අතැඟිල්ලට සිහිලක් දැනිණ. හදවතට පිච්චීමක් දැනිණි. අස්විද ගේ ඇස් වල ගැඹුරු පත්ලේ ඇගේ රුව ගිලී තිබුණේ ය. එසැනෙන් ඇය ආපසු හැරුණා ය. නමුත් අස්විද මොහොතකට ඉස්සර විය. ඔහු ඇගේ අතකින් අල්වාගත්දී ඒ දෙපා ශීතලෙන් ගල් ගැහිණි. විසල් කරගත් දෑසින් ඕ හැරී බැලුවා ය. යමක් කියන්නට හෝ අසන්නට හෝ තත්පරයක අවකාශයකුදු නො ලැබිණි. ඇය වෙතට නැඹුරු වූ හෙතෙම ඒ දුහුල් කොපුලක් මත සිය සීතල දෙතොල් තදකොට ඈ සිපගත්තේ යසස්වි සිහිනයකින්වත් නො සිතූ ලෙසයි. ඇයට හුස්ම ගන්නට අමතක විය. මුව මඳක් විවර වී, ඈ අදහාගත නො හැකි සෙයින් බලා සිටියා ය. කඳුළු පනින්නට ද මන්දා දෑස් දෑවේ ය. මුළු මහත් අස්විද වෙත වූයේ ජයග්‍රහණයක අඩ සිනහවකි. යටි තොල් කොනක් සපාගත් ඕ වහා හැරී දුවගෙන වගේ කාමරයෙන් නික්ම ගියා ය.

ඇය හති අරින්නට ගත්තේ ගෑස් උඳුන ඉදිරියෙහි සිටගෙනයි. මුළු සිරුරෙහි ම සංසරණය වූ රුධිර පරිමාව එකවර මුහුණට රොක් වූවා සේ කොපුල් පුපුරු ගැසුවේ ය. රැවුල් කොට ඇනුණු මිහිරි රිදුම හිත අස්සෙන් දැනී ඈ කොපුලක් අතැඟිලි තුඩින් පිරිමැද්දා ය.

‘රොස් වෙනව නේද පුතේ ඕක…’

පිටතින් ඇසුණේ විජිත ගේ හඬයි. යසස්වී වහ වහා ලිප ක්‍රියා විරහිත කළා ය.

කෙතරම් තිගැස්මක් හා කලබලයක් හදවතේ වී ද එහි රසවත් බවක් ද කැලතී නො තිබුණා නොවේ. ඈ කෑම පෙට්ටියට බත් මාළු පිණි බෙදුවේ පෙර කිසිදාක නොවූ විරූ හැඟීමකිනි. හරි හදිස්සියේ ජීවිතය ම ඔහුගෙන් පිරී ගොස් තිබේ.

ඇය කෑම බඳුන ගෙන ආලින්දයට එත්දී අස්විද වජිරා ගේ සුව දුක් බලා පියගැට පෙළ දිගේ පහළ මහළට පැමිණෙමින් සිටියේ ය. අවට සනුක ද නිලූකා ද නිලූපා ද විජිත ද වූයෙන් වචනයක් හෝ කතා කිරීමේ අවස්ථාවක් නො විණි. නමුත් ස්නේහය යසස්වි ගේ දෑස් ඉවුරු බිඳගෙන දෙගොඩතලා යමින් තිබිණ. අස්විද රිය වෙතට ගියේ බර වූ හිතකිනි. ඒ විදිහට ඇය අතරමං කොට දමා යන්නේ කෙසේ ද?

පිටුපස අසුන මතින් කෑම පෙට්ටිය තබා දොර වැසුවාටත් පස්සේ ඔහු ‘යසස්වි’ කියා කතා කළේ ය. ඇය ඉගිළුණා විය යුතු ය.

‘අද ලෙක්චර්ස් නෑ නේද…’

පිරිමි හඬක ආදරය තැවරිය හැකි උපරිමය කුමක් ද, අස්විද ගේ ස්වරයෙහි එපමණට ම ඇගේ කමක් යසස්වී ට දැනිණ. ඇය ට හැකි වූයේ යන්තම් හිස සලන්නට පමණකි.

‘පරිස්සමෙං ඉන්න’

ඇය ඔහු දෙස බලාගෙන ඉක්මන් ඇස් පිය සැළුවා ය. නමුත් හදවත කෑගසමින් සිටියේ ඔහු ට යන්නට එපා කියා විය යුතු ය.

‘දාල යන්න ලෝබයි. මං ඉක්මනට එන්න බලනව’

යසස්වි ගේ හදවත පැළෙන්නට අරෑඳුවේ ය. මේ මිනිසා මේ විදිහට ගැහැනු පපුවක් පසාරු වෙන සේ කතා කරන්නේ කොහොම ද?

ඔහු රියට නැගී කවුළු වීදුරුව පහත් කළේ ය. යසස්වි සිය ළැම මත අතක් තබාගෙන සිටියා ය. හදවත ගැස්ම!

‘මොනාහරි ගේන්න තියනවනං ටෙක්ස්ට් එකක් දාල තියන්න’

‘හා’ කියන්නට ඇය ට සිහි වූයේ ම නැත. රිය ඉදිරියට ඇදිණි. ඇය දිවගෙන වාගේ කාමරයට ම ගියා ය. ජංගම දුරකතනය ගෙන උමතුවෙන් වාගේ වට්සැප් පණිවිඩයක් ලීවා ය. අස්විද රිය පදවන ගමන් ම එය විවර කොට බැලුවේ ය.

‘දෙයියනේ මං මේක තනියෙන් දරාගන්නෙ කොහොමද…’

ඔහු ගේ බටිති තොල් කොනක මනමාල සිනහවක් ඉපදිණි. ඔහු එහෙම ම ඇමතුමක් ගත්තේ ය. එක් හැඬවුමකට හෝ පෙර යසස්වි දුරකතනයට සම්බන්ධ වූවා ය. නමුත් වචන වලට කතා කරගත හැකි වූයේ නැත.

‘තනියම නෙවෙයිනෙ… මාත් ඉන්නවනෙ… අපි හවසට කතාකරමු. ම්…’

‘අයිය…’

‘කියන්න’

‘ඔයා එන්න කලින් මං මැරෙන එකක් නෑ නේද…’

අස්විද ලස්සන සිනහවක් පෑවේ ය. ඇස් පියාගෙන උන් ඇයට ඒ සිනහව දැනිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here