අපූර්වා ප්ලාස්ටික් පුටු දෙක ගෙන ගොස් තැබුවේ අලුතින් ඉදි වූ නිවසේ ටයිල් අල්ලා තිබූ පොළොව මතින්ය. අවසන දිගු සුසුමක් මුදාහළ යුවතිය තමා ඉදිරිපස සිටගෙන සිටිනා තරුණයා දෙස බැලුවේ හහැකිතාක් සන්සුන් වූවාට පසුවය. ඔහුගෙන් අසන්නට බොහෝ දේ වුවත් ඔහුට බැණ වදින්නට, තරහ ගන්නට හෝ ශාප කරන්නට තරම් හේතුවක් වූයේ නැත. මේ දුප්පත් වී ඉපදීමේ අහේතුව මිස ඔහුගේ වරදක් නොවේ.
“මම එක විනාඩියකට ඔයාව තුරුල් කරගන්නද?”
ඔහු ඇසුවේ බිඳී ගිය හඬකින්ය. විනාඩි දෙක තුනක් ගෙවී ගියත් අපූර්වා කිසිවක්ම නොකියා සිටීම යුගාශ්ට ඉවසුම් නොදෙන තරම් විය. වෙනදා වූ හමුවීම් තුල මේ සා දුරස් කමක් නොවූ බව විශ්වාසය.
යුවතියගේ දෙතොල් පවා වෙව්ලමින් තිබිණ. ඉල්ලීම කළේ ඔහු වුවත් ඔහුව තදින් බදා වැළඳ ගත්තේ ඈය. යුගාශ් ඇයව තම පපුවට තද කරගත්තේ අහිමි වේයැයි බියකින් සේය. වරක් තෙවරක් නොව දහ පහළොස් වතාවක්ම ඔහු ඇගේ නළලතත් කොපුල් දෙපසත් සිප ගත්තේ ආවේගයකින් සේය.
“කවුරු මොනවා කොහොම කිව්වත් මට ඔයාව ඕනෙ මැණික. හැමදේම ඇත්ත. මං බය වුණේ ඒ ඇත්ත නිසා ඔයා මට නැති වෙයි කියලා. ජීවිතේ කවදාවත් මනුස්සයෙක්ට බොරුවක් නොකියපු බොරුවක් නොකරපු මම, අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ මම ඔයාව නැති වෙයි කියලා බයටම ආත්මාර්ථකාමී වුණා. ඔයාගේ තාත්තා ඔයාට නැති කර කරපු, අම්මට පියවි සිහිය අහිමි කරපු, ඔයා ජීවත් වෙච්ච ගෙවල් දොරවල් ඔයාට නැති කරපු ලෝයර් තමයි අපූර්වා මගේ අප්පච්චි. ඔයා මුණ ගැහුන මුල් කාලෙ ඔයා මගේ අප්පච්චිට වෛර කලා අපූර්වා. කොහොමද එහෙම කෙනෙක්ගේ පුතෙක්ට ඔයා ආදරේ කරන්නේ. එහෙම හිතන එකත් විහිලුවක් අපූර්වා. ඔයා විශ්වාස කළත් නොකළත් ඔයා හම්බ වෙච්ච තප්පරයක් තත්පරයක් ගානේ, ඔයා මගේ පපුවට තුරුල් වෙලා ඉඳපු තත්පරයක් තත්පරයක් ගානේ මං මේ බොරුවෙන් පිච්චුනා. මං අදටත් දන් නෑ අපූර්වා සමහර මිනිස්සු බොරුවෙන්ම ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒක ලේසි නෑ. කොහොමටවත් ඒක ලේසි දෙයක් නෙමෙයි”
යුගාශ් කියවා ගෙන ගියේ ආවේගයෙන්ය. ඇගේ කඳුළු වලට තමාගේ සුදු පැහැ කමිසයත් ඊට යටින් වූ බැනියමත් තෙත්ව යන අයුරු ඔහුට දැනෙන්නට විය. එහෙත් යුගාශ් ඇයට නාඩා සිටින්න යැයි නොකීවේය. වෙනදා ඇගේ එක කඳුළකටත් කෝප ගත් තරුණයා ඒ බවක් නොදැණුනා සේ ඉවසා සිටියේය.
“ඔයා මං ගැන මොනව හිතනවද කියන්න මම දන්නෙ නෑ. මං දන්නවා අපූර්වා විශ්වාසයක් මැදට, ආදරයක් මැදට බොරුවක් කියල කියන්නෙත් හරියට ගිනි කන්දක් පිපිරුවා වගේ හැඟීමක්. විශ්වාස කරන්න ඔයාව රවට්ටන්න අංශු මාත්‍රයකවත් වුවමනාවක් මට තිබුණෙ නෑ. ඇත්තටම අපූර්වා මං මුලින් ඔයාට අනුකම්පා කළා විතරයි. ඔයාට නැති වෙලා කියපු හැමදේම දෙන්න බැරි උනත් මගේ අප්පච්චි ගිනි තියපු ඔයාගේ හීන වලට පණ දෙන්නයි මට ඕන වුණේ. මේ හැමදේම අහම්බයක් අපූර්වා. දවසින් දවස මගේ ජීවිතයට ලංවෙන මේ කෙල්ල හැමදාටම මගේ කරගන්න වුවමනාව මට ඇතිවුණේ ඊට පස්සේ. ඒක පුදුමාකාර ලෝබකමක්. මේ වෙලාවෙත් මේ මොහොතෙත් ඒ ලෝබකමින් මං පිච්චෙනවා අපූර්වා. මොන දේ මොන විදිහට සිද්ධ උනත් වුණත් මේ ආදරේ ඇත්තක්. මේ ලෝකේ තියෙන හැමදේකටම වඩා ඇත්තක්…”
තවදුරටත් ඔහුගේ බිඳී ගිය වදන් දරා සිටීමේ හැකියාවක් අපූර්වාට වූයේ නැත. ඒ අකුරක් අකුරක් පාසා වචනයක් වචනයක් පාසා ඇයට දැනුනේ මහා ලෝබකමකි. මුළු ලෝකයාටම වඩා අදටත් ඇයට ඒ ආදරය විශ්වාසය.
“රවට්ටන මිනිස්සුන්ට මේ තරම් ආදරය කරන්න බෑ බං. තමාරා මැඩම්ට කිව්වේ ඇත්ත වෙන්න ඇති. මුලින් එයාට ඕන වුණේ එයාගේ අප්පච්චිගේ අතින් වෙච්ච වරද ආපහු හදන්න වෙන්න ඇති. ආදරේ කරන්න පටන් ගත්න ඇතේ ඊට පස්සේ වෙන්න ඇති. මං පිළිගන්නවා අපූ ඔයාට මේක දරා ගන්න ලේසි නෑ. යුගාශ් සර්ගේ ගෙදරින් කැමති වෙයිද නැද්ද කියන එක ගැන දෙගිඩියාවක් එදත් අදත් එකම විදිහකට අපේ හිතේ තිබුණා. අපි ඒ ගැන දවස් ගණන්, වරු ගනන්, පැය ගනන් කතා කළා. ඒ වෙලාවෙ උඹ දීපු උත්තරේ තමයි යුගාශ් කියන්නේ මොන විදිහටද මං ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව ඒ හැමදේම ඒ විදිහටම කරනවා කියලා. මට පොරොන්දු වෙයං ඉස්සරහටත් එහෙමයි වෙන්නේ කියලා..”
නිවසටම පැමිණ තමන්ගෙන් සමුගන්නට සූදානම් වූ මිතුරිය පොරොන්දුවක් ලබාගන්නට සිය දකුණත දිගු කලත් අපූර්වා ඇයට ඒ පොරොන්දුව ලබා දුන්නේ නැත. එතැන තමාරා නොවූවානම් එසේ කරන්නට අපහසුවෙන් හෝ සිත හදා ගන්නට තිබිණ. තමාරා තම ජීවිතය ගැන අපූර්වා හා පවසා තිබූ සමහර කාරණාත් යුගාශ් අප්පච්චි නොමැතිව තමාත් මවත් ජීවත් වූ ආකාරය පිළිබඳව පවසා තිබූ සමහර කාරණාත් එකට එක් වී යුවතියගේ මනසට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන සිටියේත් එවේලෙහිය. එවන් මවකත් පුතෙකුත් අතර වූ සබඳතාවයක් බිඳ දමන්නට ඇයට සිතුනේ නැත.”
මවක ලෙස මේ තමාරාගේ ආත්මාර්ථකාමීකම නොවන බව විශ්වාසය. යුගාශුත් තමාත් අතර ඇත්තේ අහසට පොළොව සේ දුරස්ථ කමක් බව අපූර්වා තේරුම් ගත්තේ එම නිවස තුළ ගත කළ හෝරාවකට ආසන්න කාලය තුළය. ඔහුට තමාගේ වන එකම සමානකම මිනිසුන් වී ඉපදීමත්, එකම රත් පැහැයක ලේ දැරීමත් එකිනෙකාට මේසා ආදරය කිරීමත් පමණි.
“අතීතයේ ඉඳලා මිනිස්සු කොච්චර අරගල කලත් පරාජය කරන්නවත්, දිනාගන්නවත් බැරි වෙච්ච දෙයක් තමයි දුප්පත් පොහොසත් භේදය කියලා කියන්නේ. අදටත් ඒ අරගලය එහෙමමයි. යුගාශ් අයියටවත් මටවත් ඒ පරතරය වෙනස් කරන්න බැරිවෙයි. එතනදි සිද්ධ වෙන්නේ අපි හැමෝගෙම හිත් වලට දුකක් එකතු වෙන එක විතරයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නෑ හේෂානි තමන්ගේ පුතා ඉන්න තැනින් එක දශමයක්වත් පල්ලෙහාට වැටෙනවා දකින්න. එහෙම තැනකදි මට තමාරා මැඩම් ආත්මාර්ථකාමී කියලා කියන්න බෑ.”
ත්‍රී රෝද රථය පැමිණෙන තුරුම තමාරාට බැණ වැදුන යෙහෙළිය අවසන සන්සුන් වූයේ අපූර්වා එසේ පැවසුවාට පසුවය.
“එක වචනයක්….එකම එක වචනයක් කතා කරන්න මැණික. ඔයා මගේ ජීවිතේට කොච්චර වටිනවද කියලා තීරණය කරන්න ඕන මම. ඔයා මට කිසිම අඩුපාඩුවක් නෙමෙයි. විවාහය කියන්නේ මිනිසුන්ගේ සතුට සැනසීම වෙන්න ඕනේ.මං හොයන ඒ සැනසීම ජීවිත කාලෙ පුරාම ඔයාගේ ළඟ තියෙනවා කියන එක මට විශ්වාසයි. කාර්යබහුල වගකීම් වැඩි ජොබ් එකක් කරන මම, මගේ ෆීල්ඩ් එකේ ඉහලටම යන්න හිතාගෙන ඉන්න මම උදේට හිනා වෙලා ගෙදරින් යන එකත් රෑට සනීපෙට නිදා ගන්න එකත් හරි වැදගත් අපූරුවා. කොහොම හිතුවත් කොහොම බැලුවත් මට මගේ දකුණු පැත්තෙන් මැවෙන්නේ ඔයා විතරමයි. මගේ ජීවිතේ අම්මට තිබුණු තැන ඒ හා සමානවම ගන්න පුළුවන් ඔයාට විතරමයි. මිනිහෙක්ට සතුට සැනසීම නැතුව මොනම දෙයක්වත් වැඩක් නෑ කියලා මං අවබෝධ කරගත්තේ මගේ ජීවිතෙන්මයි. ඉතින් මං ගතපු තීරණය වැරදි වෙන්නේ කොහොමද අපූර්වා. කවදාවත් ඔයා මගෙන් අහල නැති, මං ඔයාට කියලා නැති කතාවක් මං කියන්නම්. අවුරුදු දහ අටක ඉස්කෝලෙ කාලෙවත් අවුරුදු හයක් විතර වෙච්ච කැම්පස් ජීවිතේවත් තවත් අවුරුදු තුනක් විතර වෙච්ච මගේ වෘත්තීය ජීවිතේවත් මට මගේ කරගන්න හිතුන ගෑණු ළමයෙක් කවදාවත් හම්බවුණේ නෑ. මට කලින් කෙනෙක් ළඟ නතර වුනාද කියලා ඔයා මගෙන් කවදාවත් අහලා නෑ අපූර්වා. මම මගේ ජීවිතයට හරි ආදරෙයි. මම මං ගැන හරියට හිතෙනවා. මං කන බොන දේ ගැන, මගේ පිරිසිදුකම ගැන, මං අඳින ඇඳුම ගැන මම දාන සපත්තු දෙක ගැන මම ජීවත් වෙන වටපිටාව ගැන මගේ වාහනේ ගැන මං හරියට හිතනවා. එහෙම හැමදේම ගැන සීයට සීයක් හිතලා නිවැරදි දේ තෝර ගත්ත මම මගේ ජීවිතේ බෙදා ගන්න වැරදි කෙනෙක් තෝර ගන්න ඕන ද අපූර්වා. මම මගේ අම්මට ආදරෙයි මගේ ජීවිතයටත් වඩා ආදරෙයි. අම්ම ලබපු අත්දැකීම් වලින් අම්ම විඳවපු තනිවෙච්ච ජීවිතෙන් එයා විශ්වාස කරන දේවල් ටිකක් ඇති. හැබැයි ඒ හැම දෙයක්ම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් අපූර්වා. මං දන්නෙ එක දෙයයි අදත් හෙටත් මුළු ජීවිත කාලෙමත් ඔයාව මට ඕනේ. ඒ තැනට ආදේශකයක් මට නෑ…”
ඒ වදන් පවසද්දී ඔහු පෙරට වඩා මදක් සන්සුන්ව උන්නේය. දැඩිව ඔහුව වැලඳගෙන උන් අපූර්වා අඩියක් දෙකක් පසු පසට වූයේ ඒ මුව දෙස බලාගෙනමය. විශ්වාසය ඒ කොපුල් හරහා බේරී යමින් තිබුනේ කඳුලකි. ගැහැණුන්ට බොහෝ සමීප වූවාට කඳුළ පිරිමි හිතටත් ඒ තරමටම ලෙන්ගතු බව අපූර්වා හඳුනා ගත්තේ තාත්තාගෙන්ය. එදවස ඔහු වත්තේ තැනින් තැන ඇවිදිමින් තනිවම හඬා වැටෙන අයුරු අපූර්වා ඕනෑ තරම් දැක තිබේ.
තත්පර කිහිපයකට පසුව සිය ඇඟිලි තුඩු වලින් ඉස්සී තරුණයාගේ මුව තම දෝතින් අල්ලාගත් යුවතිය අඩ අඳුරේ පෙනුණ ඒ දෑස් දෙස බලා සිටියාය. විශ්වාසය මේ එදා ඈ දුටු දෑස්මය.
“අපූර්වා….”
ඔහු යළිත් මුව විවර කළේ යමක් පවසන්නටය.
යුවතිය සිය දකුණතින් ඔහුගේ මුව වසා ගත්තාය.
“ඇති…හොඳටම ඇති..කිසි දෙයක් නොකියා තවදුරටත් ඔයා ඔයාගේ නිවැරදිකම ගැන කතා කරන එක අහන් ඉන්න එකත් මට පවක්. ඒ ෆොටෝ එක දැකපු වෙලාවේ මේ තරම් ලොකු බොරුවක් මේ තරම් ලොකු රැවටීමක්…කියලා එක පාරටම මට හිතුනා තමයි. ඒත් තමාරා මැඩම් හැම දෙයක්ම පැහැදිලි කළාට පස්සේ එක තත්පරේකටවත් ඔයා ගැන වැරදියට හිතන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. මේ ටික හරි මං අහගෙන හිටියේ හරි අමාරුවෙන්. ඔයාගේ හැම වචනයකම තිබුණේ මං ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ. ඒ ආදරේ වචන වලට පෙරළිලා ඔයාගේ කටින් පිට වෙද්දී දැනුණු ලෝබකමට අහගෙන හිටිය මිසක්කා ඔයා හරිද වැරදිද කියලා දැනගන්න වුවමනාවක් මට තිබුණේ නෑ අයියේ. ඒත් එකම එක දෙයක්…එකම එක දෙයක් මං ඔයාගෙන් ඉල්ලන්නම්…”
“මොකක්ද මැණික ඒ….”
“ඉස්සර වෙලා මෙහෙන් ඉඳගන්නකෝ.”
යුවතිය එසේ පැවසූයේ ප්ලාස්ටික් පුටුව මදක් ඉදිරියට අදිමින්ය. බරැති සුසුමක් මුදා හැර ඔහු ඒ පුටුවෙන් අසුන් ගත්තේය. ඒ සුසුමෙහි හඬ අපූර්වාට හොඳින්ම ඇසිණ. තවදුරටත් මේ බෝසත් මිනිසාව වෙහෙස කර යුතු නොවේ.
නිවීගිය තේ කෝප්ප දෙක තවමත් කුඩා මේසය මතය. ඒ දෙකත් රැගෙන පියසීලීට අලුත් නිවසට ඔවුන්ව සොයා යාමට තරම් සිතක් නොවූවාය. දෙදෙනා අතර කුමක් හෝ ගැටලුවකි. එසේ නොවී නම් ඈ මේ තේ කෝප්ප රැගෙන යන්නට පැමිණේ. අපූර්වා හිස කැක්කුම යැයි පවසමින් ඇඳට වී සිටියේත් එනිසා විය යුතුය. පියසීලි සිටියේ හදවත අතුලාන්තයෙන්ම දැවෙමින්ය. මේ පසුව යන්නේ අපූර්වාට එතරම් හොඳ වයසක් නොවේ. තරුණ සිත් වරදට පෙළඹෙන්නට බොහෝ කාලයක් ගත නොවේ. අපූර්වා මේ තරුණයා ගැන කොතරම් වර්ණනා කළත් ඔහු කාගේ කවුදැයි තවමත් කිසිවෙකු හරි හැටි නොදනී. හෙටම හේෂානිගේ මවත් පියාත් හමුවී මේ පිළිබඳව කතාකර පිළිවෙලක් කළ යුතුයැයි පියසීලී සිතුවේ එනිසාය. අම්මා තාත්තා ළඟක නොමැති වුවත් ගැහැණු දරුවෙකුගේ ජීවිතය සෙල්ලම් බඩුවක් නොවේ. අවසන පියසීලී සුදු හාල් හුණ්ඩු දෙකක් ලිප තබා පොඩියට කැපූ කරවල කැබලි කිහිපයක් ළූණුත්, මාළු මිරිසුත් සමග මිශ්‍ර කර තෙල් දැමුවාය. පරිප්පු මිටවල් කිහිපයක් පෙඟෙන්නට දමා ගොස් අඩවල් කර තිබූ දොරින් අලුත් ගෙට යාන්තමින් එබුණේ තවදුරටත් මේ සිත දරා සිටීමට ඇයට නොහැකි වූ තැනය. දෙදෙනා උන්නේ සාලය මැද ප්ලාස්ටික් පුටු දෙකෙහි අසුන් ගෙනය. පියසීලීගේ හදවත මදකට හෝ නිමුනේත් ඇයට සැනසුම් සුසුමක් හෙළුනේත් එක වරමය. ඉන් පසුව යළිත් කාමරය තුළට ඇවිද ගිය ඕ පරිප්පු හොද්දක් සාදා පොල් සම්බෝලයක්ද ඇඹරුවාය. වෙලාවේ හැටියට ඔහුට සංග්‍රහ කරන්නට ඊට වඩා දෙයක් නිවසෙහි වූයේ නැත.
(යළිත් හමුවෙමු ආදරයෙන්)