ඔබෙ ආදරෙන් මා දැවේ – 35

0
1640

අලුත් ඔෆිස් එක අස්සේ,තමන් වටේ එක්‍ රැස් වුණ තරුණ කොල්ලො කෙල්ලෝ මැද්දේ ජාන්වි උන්නේ ඇත්තටම සන්තෝසයෙනි. 

මලිත්ගේ අම්මා ගෙදර ඇවිත් ගියයින් පස්සේ අම්මා නිතරම වගේ “ගෑනු පිරිමි අතර ප්‍රශ්න වෙනවා. ඒව විසඳන් ඉස්සරහට යන එකනෙ කසාදෙ කියන්නෙ. එහෙම නැතුව මේ දමලා ගහලා එන එක නෙවෙයිනෙ” කියන්නට යෙදීම ජාන්වි ගේ ඔලුවට ඇත්තටම මහ බරක් එකතු කල බව ඇත්තකි. 

“අම්මා මොනවා කිව්වත් මං ආයෙ මලිත් එක්ක සෙට්ල් වෙන්නෙ නෑ. මට බෑ මේ කසාදයක් පරිස්සම් කරගන්න කියලා මගෙ ඔලුව විනාස කරගන්න. ඒ හන්දා මම රස්සාවට ගිහින් මට ජීවත් වෙන්න විදියක් හදාගන්නම්. අම්මලගෙ ඔලුවෙ කරදරේ තියෙන්නෙ මම මේ ගේ අස්සෙ ඉන්න එකනම් මම එලියට යන්න විදියක් හදාගන්නම් කො” කියා ජාන්විගේ කටෙන් එලියට පිට වුණේ ඇත්තටම එක ආකාරයක අමනාපයක් මුසුවුණ හැඟීමකින් බව තේරුම්ගත්ත මනෝරමා තවත් කුලප්පු වුණාය.

“සෙට්ල් වෙන්නෙ නෑ කියලා මහ ලොකුවට කියන්න පුලුවන් තමන් තාම තරුණ වයසෙ ඉන්න හන්දයි ඔක්කොම දේවල් කරගන්න අත පය හයිය හන්දයි. වයසට ගිහින් පස්ස බිම ඇනුනම තමා තේරෙන්නෙ තමන් කරගත්ත මෝඩකම. බකපණ්ඩිත කම නම් තියෙනවානෙ අහස උසට. ඒ මිනිස්සු ගෙදෙට්ටම ඇවිල්ලා එක්කරගෙන යන්න හදද්දිත් ලොකුකම් පෙන්නලා පස්සෙ අඬන්න වෙන්නෙ” කියා අම්මා කියද්දී ජාන්වි ගෙදරින් පිටවුණේ ඔලුව රත්කරගෙනය. ඒ රත්වෙච්ච රත්විල්ල අවසන් වෙන්නේ වැඩට ඇවිත් පොඩි කොල්ලො කෙල්ලො අස්සේ විහිලු තහලු කරද්දිය.

“දැන් ජාන්වි අක්කට කවුරුවත් නැති හන්දා ජාන්වි අක්කව මම සෙට් කරගන්නවා” කියා කියන්නේ සෙට් එකේ පොඩිම කොල්ලා වෙච්ච කෙවින් ය. ඉස්කෝලේ අහවර වෙච්ච ගමන්ම උසස් අධ්‍යාපනයේ නිරත වෙන අතරවාරයේම රැකියාවකට ආ කෙවින්ට වයස තාම අවුරුදු විසි එකකි. වැඩටත් දක්ශ විහිලු තහලුවලටත් දක්ශ එමෙන්ම ආදරයේදීත් රැකියාවෙදිත් තමන්ගෙන් විය යුතු යුතුකම්, වගකීම් නියමිත ආකාරයට ඉටු කරන, තමන්ගෙ ජෙනරේශන් එකේ අය වගේ ඕනවට වඩා දෙන්න යන්නෙ නැති මේ ළමයි එක්ක ගෙවෙන කාලෙ අස්සෙ ජාන්විට ඇත්තටම දැනුනෙ තමනුත් ආයෙ පොඩි කෙල්ලෙක් වී ඇති බවය.

ජාන්වි වනාහී මලිත් මංචනායක යන ගායකයගෙ බිරිඳ බවත්, කුමක් හෝ පෞද්ගලික විරසකයක් මුල් කරගෙන දෙදෙනා අතර විවාහය බිඳ දමන්නට කටයුතු සැලසෙමින් හිඳිනා බව දැනගෙන උන්නද ඒ ගැන හාරවුස්සා විස්තර අහන්න කිසිවෙකුට උවමනාවක් තිබ්බේ නැත.

“ඔන්න ජාන්වි අක්කා පරිස්සමෙන් ඉන්න හොඳේ. පැලේ කන්න තමා එන්නේ” කියා මියුරි කියද්දී ජාන්වි කරන්නේ ඕවට හිනාවෙන එකය. අනික කොහොමත් පිරිමි ලමයින්ට ආස කරන කොල්ලෙකු වන කෙවින් කියන සියල්ල විහිලු බව ජාන්විට නොරහසකි.

“අනේ මේ නිකන් අනං මනං ටෝක් දාන්න එපා හරිද? මං ජාන්වි අක්කට ළංවෙන්නෙ සැබෑ ආදරයෙන්”

“සැබෑ ආදරෙන්? මූ හදන්නෙ අක්කව ඔය ෂුගර් මමී කෙනෙක් කරගන්න අක්කෙ. අහුවෙන්න එපා. අනික ඉතින් අක්කා නාට්ටාමි කෙනෙක් කියලාද හිතන් ඉන්නේ?” කියා මියුරි අහද්දී කෙවින්ට ඒකත් ප්‍රශ්නයක් ය.

“මොකටද නාට්ටාමි කෙනෙක් වෙන්නේ”

“එයාලනෙ ඉතින් කරගහන්නේ”

“මොනවටද?” කියා කෙවින් ඇහුවට මියුරි ඒකට නම් උත්තර දුන්නේ නැත. ඒ උනාට වටේ ඉන්න සියල්ලන්ම මහ හඬින් හිනාවෙද්දී කෙවින් උන්නේ හිනාව සඟවාගන්නට බොරු තරහක් මූණ අස්සෙ ඇඳගෙනය. 

දවස් ගෙවුණේ ඉතින් ඔයාකාර විහිලු තහලු මැද්දේය. හවස් වරුවේ රාජකාරි අවසන් වී ගෙදර යන්නට බස් නැවතුම්පලට යද්දී බයික් එකේ නැගී විදුලිය මෙන් පියඹාගෙන යන තුරුණු තමන්ව දුටු විගස බයිසිකලයේ වේගය මදක් වැඩි කරන බව තේරුණද ජාන්වි එය භාරගත්තේ සිනාවකිනි. තුරුණු ඒ කාලයේත් සෙනග ඉන්නා තැනක තමන්ව දැක්කාම නොදැක්කා සේ යන්නට තරම් ලැජ්ජා සහගත හැසිරීමක් පෙන්නුව අයෙක් නිසා අද වෙද්දී කාලයත් එක්ක එය වෙනස් වී ඇතැයි හිතන්න ජාන්වි ගේ හිත එකඟ උනේ නැත.

“ඔෆිස් එක කොහොමද?” කියා අතරින් පතර දවසක තුරුණු කෙටි පණිවිඩයක් එවන්නේ එහෙම හෝ තමන්ව නොදකින්නට ලැබුණ දිනක බව ජාන්විට් නොරහසකි. එහෙත් ඒ රහස් සියල්ල තිබුනේ දෙහිතක් අස්සේ හිර වී මිසක් දෙහිතක් අස්සේ සංසරණය වෙමින් නොවේ.

“ඩිවෝස් එක ඉක්මනට ගන්න අතරෙම මට තව උදව්වක් ඔයාගෙන් ඕන තුරුණු” කියා ජාන්වි අහද්දී තුරුණු උන්නේ ඒ වචන හොඳින් අසාගන්නට මෙන් දුරකතනය වඩා තදින් කණට තද කරගෙනය.

“මොකද්ද?”

“මට ඉන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද?” කියා ජාන්වි අහද්දී ඒ කතාව පිටිපස්සේ තියෙන්නේ ගෙදර ජීවිතේ එච්චරටම නීරස බව කියවෙන හැඟීමක් බව තේරුණද තුරුණු උන්නේ ඒ අදහසට පොහොර දාන සිතුවිල්ලක නොවේ.

“ගෙදර කේස් ද තාම?” කියා තුරුණු වඩා සිහින් හඬකින් අසද්දී ජාන්වි එයට උත්තර දුන්නෙ “හ්ම්” කියාය.

“දරුවෙක් ඉතින් ඩිවෝස් වෙලා එනවට මොන අම්මා තාත්තද ජාන්වි කැමති. විශේෂෙන්ම ඒ දුවෙක් උනාම ඕනම අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ ඔලුවට ආයෙ ලොකු බරක් එක්කාහු වෙනවනෙ. ඒ නිසා එයාලා මොනවා කිව්වත් ඔයා මේ ටිකේ ඕව ඇහුනෙ නෑ වගෙ ඉන්න. ඩිවෝස් එක අතරවාරෙ ඔයා ගෙදරිනුත් පිට වෙන එක ඔයාගෙ ඔලුවට තව ස්ට්‍රෙස් එකක් එක්කහු කරනවා මිසක මම හිතන්නෙ නැ නිදහසක් ගෙනේවි කියලා.

අනික බෝඩිමක හිරවෙලා ඉන්න ලයිෆ් එක කොච්චර අමාරුද කියලා ඔයාට කියන්න මට තේරෙන්නෙ නෑ. මං දැන් අවුරුදු ගානක් එහෙම ඉන්නවනෙ. ලෙඩක් හැදුනත් බලන්න කෙනෙක් නෑ. අනික වියදම් ඉතින්. ඒ හන්දා ඔයාට එලියට යන්න උවමනාම නම් මං කියන්නෙ ඩිවෝස් එක ඉවර වෙනකම් ඉඳලා යන්න කියලා. අලුතෙන්ම ජිවීතේ පටන් ගන්න පොඩ්ඩක් සල්ලි ටිකකුත් එකතු කරගත්තා නම් ඔයාට කම්ෆර්ටබල් තැනකට යන්න පුලුවන් වෙයි”

“මට හරි අමාරුයි තුරුණු ඉන්න. අම්මලා නිකන් මේක දකින්නෙ මම මහා ලොකු වරදක් කරා වගේ”  කියා ජාන්වි හැඬුම්බර හඬකින් කිව්වද තුරුණු උන්නේ තමන්ගේ මතය වෙනස් කරන අදහසක නොවේ.

“ඔයාට බෝඩිමක් හොයලා දෙන එක මට කරන්න බැරි දෙයක් නෙවෙයි ජාන්වි. හැබැයි ඒකෙන් වෙන්නෙ ඔයාගෙ ජීවිතේ තව අමාරු වෙන එක විතරයි. මං ඒක හොඳටම එක්ස්පීරියන්ස් කරලා තියෙන හන්දා තමයි කියන්නෙ. මං ඕන නම් බෝඩිමක් හොයලා දෙන්නම්. ඒත් මම කියන්නෙ නම් තව ටිකක් හිතන්න කියලා. නංගිලගෙ ගෙදර ගිහින් ඉන්න බැරිද?”

“නංගිත් ප්‍රෙග්නන්ට් නෙ තුරුණු. හරිනම් මමනෙ එයාව බලාගන්න ඕන. මං එහෙ යන එක එයාටත් වදයක් වෙයි. දැනටම අපේ පවුලෙ අයට මගෙන් ලැබෙන්න ඕන වද ඔක්කොම ටික ලැබිලා තියෙන හන්දා මං ආස නෑ තව පොඩි හරි වදයක් එයාලට දෙන්න.

අපිට තව ගොඩක් කල් යාවිද ඩිවෝස් එක ගන්න?”

“ඩිවෝස් එක මියුචුවල් නම් ගන්න එක එච්චර අමාරු නෑ. කේස් එක තියෙන්නෙ මේ මලිත් ගෙ පැත්තෙන් මේකට කිසිම සපෝට් එකක් දෙන්නෙ නැති එකනෙ”

“මං දන්නේ නෑ අනේ මලිත්ට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. මට ඇත්තටම හොයන් ගිහින් අහන්න හිතෙනවා ඇයි මේ කරුමෙන් මාව නිදහස් කරන්න බැරි කියලා” ජාන්වි කියද්දිත් “මලිත් එහෙම කරන්නේ මිනිහට හිතට එකඟව ඔයාව අත් ඇරගන්න බැරි හන්දා වෙන්න බැරිද?” කියා අහන්න තුරුණුට හිත දුන්නේ නැත.

දවස් ගෙවී ගියෙ “මලිත් අද මේක ගැන කතාකරාවි” කියන බලාපොරොත්තුව ජාන්විගේත් තුරුණුගේත් හිත් අස්සේ දවසෙන් දවස පෙරළි කරද්දීය. ජාන්වි උදේම රැකියාවට ගොස් ගෙදර ආවාය. සති අන්තයේ දවස්වල පබ්ලික් ලයිබ්‍රරියට ගොස් පොත් කියෙව්වාය.

ජිවීතේ එක්තරා අන්දමක මොනොටොනස් ගතියකින් ඇදී යද්දී  කාර්‍යාලයේ ජාන්විට මේස කිහිපයකට එහා වාඩි වී උන්න ශෙහාරා ජාන්වි ළඟට ආවේ ජාන්වි ළඟ උත්තර නැති පැනයක් උස්සාගෙනය.

“අක්කි මං අක්කිගෙන් දෙයක් අහන්න හිතන් උන්නේ දවස් කීපෙක ඉඳලා” කියාගෙන තමන් ලඟ හිස් අසුනක වාඩි වු ශෙහාරා දෙස ජාන්වි බැලුවේ ඒ ප්‍රශ්නෙ මොකද්ද කියා හිතාගන්න බැරි ප්‍රශ්නාර්තයක් දෙනෙත් අස්සේත් හිත අස්සේත් ඇඳගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here