ඔයා විවාහ වෙන්න ලෑස්ති වෙන තරුණියක්ද?
විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම සන්ධිස්ථානයක්නේ.
විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට. මනාලියක් වෙනවා කියන්නේ ලස්සන මංගල ඇඳුමක් ඇඳලා ලස්සනට ඉන්නවාට වඩා එහා ගිය දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයක ආරම්භයක්. අපි හැමෝම විවාහයට එන්නේ හීන, බලාපොරොත්තු, හදවත පිරුණු ආදරයත් එක්කනේ. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ව තෝරගෙන ජීවිත කාලයම එකට ඉන්නවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. ඒක ලොකු තීරණයක්.
ඉතින්, ඔයාත් විවාහ වෙන්න ලෑස්ති වෙන තරුණියක් නම්, මේ දේවල් 7 ඔයාට මංගල දවසට විතරක් නෙවෙයි, ඉස්සරහට එන ජීවිතයටත් හොඳටම ලෑස්ති වෙන්න උදව් වෙයි.
1. පිට මිනිස්සුන්ට ඔයාගේ ගෙදර ගිනි තියන්න දෙන්න එපා
විවාහය කියන්නේ දෙන්නෙක් විතරක් නෙවෙයි පවුල් දෙකක් එකතු වෙන බැඳීමක්. ඔයා ඔයාගෙ සහකරුගේ ජීවිතයට විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම අලුත් පවුලක කොටසක් වෙනවා. සමහරවිට ඒ පවුලේ සමහර අය හරිම ආදරණීය අය වෙයි. තවත් සමහර අයට ඔයාව පිළිගන්න කාලයක් යයි, නැත්නම් සමහරවිට ඔයාව අපහසුතාවයට පත් කරන්නත් පුළුවන්.
ඔයා අලුත් ගෙදරට යන්න කලින් හිත ශක්තිමත් කරගන්න. නෑදෑයන්ගෙන් එන හැම පොඩි කමෙන්ට් එකක්ම, හැම හැසිරීමක්ම ඔයාගෙ මහත්තයා එක්ක රණ්ඩු වෙන්න හේතුවක් කරගන්න එපා. හැමෝගේම හිත් හදන්න එයාට බැහැනේ. ඔයාට කරන්න පුළුවන් දේ තමයි, ඔයයි එයායි අතරේ අවබෝධය මත ගොඩනැගුණු ශක්තිමත්, ආරක්ෂිත ඉඩක් හදාගන්න එක.
මංගල උත්සවයට කලින් ඔයාගෙ සහකරුගේ පවුල ගැන තොරතුරු දැනගන්න. එයාට වැදගත්ම අය ගැන අහන්න. පවුලේ තියෙන අභියෝග හෝ විශේෂ දේවල් ගැන දැනුවත් වෙන්න. සූදානම්ව යන එක කෝකටත් හොඳයි නේ.
2. නැන්දම්මා-ලේලි අතරෙ රණ්ඩුව? අලුත් විදියකට හිතමු!
අපි හැමෝම නැන්දම්මලා ගැන කියලා තියෙන විහිළු අහලා තියෙනවානේ. ඒත් ඇත්ත කතාව නම් – සමහර නැන්දම්මලා ඔයාගේම අම්මාටත් වඩා ආදරණීයයි! ඉතින්, කටකතා විශ්වාස කරලා, බයක් හිතේ තියාගෙන අලුත් ගෙදරට යන්න එපා.
නැන්දම්මා එක්ක හොඳ සම්බන්ධතාවයක් හදාගන්නේ මෙහෙමයි:
- එයාට “අම්මා” කියලා අමතන්න. ඔයාගෙ අම්මා ඔයාට ජීවිතය දුන්නා වගේ, නැන්දම්මා කියන්නේ ඔයා ආදරය කරන කෙනාට ජීවිතය දුන්න කෙනා. ඒ සරල වචනයෙන් ලොකු බැඳීමක් ඇති කරන්න පුළුවන්.
- එයාට තැන දෙන්න, ගරු කරන්න. සමහරවිට ඔයාට හිතෙයි දේවල් ඔයාගෙ විදියට වෙන්න ඕන කියලා. ඒත් එක රැයකින් එයාව වෙනස් කරන්න හදන්න එපා. බලන්න, ඉගෙන ගන්න, ටිකෙන් ටික හැඩගැහෙන්න.
- එයා ඔයාගෙම අම්මා නෙවෙයි කියලා තේරුම් ගන්න… ඒකට කමක් නෑ. ඔයාගෙ අම්මා ඔයාගෙ හැඟීම් කියවන්න දන්නවා වගේ, නැන්දම්මා ඒක සමහරවිට දන්නේ නැති වෙන්න පුළුවන්. ඉවසන්න.
- නැන්දම්මා තාම එයාගෙ පුතාව දකින්නේ පොඩි එකෙක් විදියට. එයා පුතාට තේ ගේනකොට, ඇඳුම් තෝරනකොට ඔයාට පොඩි ඊරිෂ්‍යාවක් දැනෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න: එයා අවුරුදු ගාණක් තිස්සේ ඒ දේ කළා. ඒක දිහා කරුණාවෙන් බලන්න අමතක කරන්න එපා.
- එකඟ නැතත්, ඇහුම්කන් දෙන්න. සමහර වෙලාවට, ඇහුම්කන් දෙන එක විතරක් උනත් හොඳ බැඳීමක් ඇති කරනවා. කතාකරද්දි එයාගෙ ඇස් දිහා බලන්න. එයාට ඇහුම්කන් දෙනවා කියලා දැනෙන්න සලස්වන්න.
3. “මම ඔයාට බඳිනවා” කියන්න කලින්, දොස්තර කෙනෙක් එක්ක කතා කරන්න
ලංකාවේ ගොඩක් අය විවාහයට කලින් ජ්‍යෝතිෂවේදීන් හමු වෙනවානේ. ඒත් දොස්තරලා ගැන මොකද හිතන්නේ? ඔබයාගේ වෛද්‍ය ගැළපීම ඔයාගෙ කේන්දරය තරමටම වැදගත් වෙන්න පුළුවන්.
· ලේ පරීක්ෂණයක් කරගන්න. ඔයාගෙ රුධිර වර්ග ගැළපෙනවාද කියලා බලන්න, තැලසීමියා වගේ පාරම්පරික රෝග තියෙනවද කියලා පරීක්ෂා කරගන්න.
· එන්නත් ටික ගන්න. රුබෙල්ලා එන්නත, ෆෝලික් අම්ල පෙති වගේ දේවල් අනාගතයේ නිරෝගී ගැබ් ගැනීමකට ඔයාගෙ ශරීරය සූදානම් කරන්න උදව් වෙනවා.
· පවුල් සැලසුම් කරන්න. ඔයාට ඉක්මනින් දරුවන් අවශ්‍ය නැත්නම්, උපත් පාලන ක්‍රම ගැන දොස්තර කෙනෙක් එක්ක කතා කරන්න. මේ පොඩි පියවර වලින් අනාගතයේදී වෙන්න තියෙන ලොකු කරදර වළක්වා ගන්න පුළුවන්.
4. උයන්න ඉගෙන ගන්න එක දෙන්නටම හොඳයි
කවුරු හරි ඔයාගෙන් “ඔයාට උයන්න පුලුවන්ද?” කියලා ඇහුවම, ඔයා “අනේ, උයන්න නම් බෑ…” කියලා කියන්නද හිතාගෙන ඉන්නෙ? උයනවා කියන්නේ දැන් සම්ප්‍රදායක් විතරක් නෙවෙයි; ඒක ආදරය, ස්වාධීනත්වය කියන දෙකටම බලපාන life skill එකක් නෙ. දැන් නම් ගොඩක් ගෑනු අය අහනවනෙ “ගෑනු විතරමද උයන්න ඕන, පිරිමි උයන්න ඕන නැද්ද?” වගේ
දේවල්? අනේ නෑ දෙගොල්ලොම උයන්න දැනගෙන ඉන්න එක හොඳයි. ඔයාගෙ සුදු මහත්තයා ආස කෑමක් හදලා දෙන එක ඔයාගෙයි එයාගෙයි ආදරේ තවත් රසවත් කරාවි. ඔයාගෙ කෑම රස බලන පවුලේ අය ආඩම්බරයෙන් ඒ ගැන කතා කරයි. ඔයා ලොකු ෂෙෆ් කෙනෙක් වෙන්න ඕන නෑ. ඔයා කරන්න ඕන වෙන්නේ ආදරයෙන් උයන්න විතරයි.
5. “මට සමාවෙන්න” කියන්න ඉගෙන ගන්න… ඒ වගේම ඒක හදවතින්ම කියන්න
ප්‍රසිද්ධ කියමනක් තියෙනවා: “තරහ හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ තමන්ම විස බොනවා වගේ, අනිත් කෙනා මැරෙයි කියලා හිතාගෙන.” කියලා.
විවාහ ජීවිතේදී පොඩි පොඩි රණ්ඩු සරුවල් ඇති වෙනවා. එකඟ නොවීම් සාමාන්‍යයි. ඒත් ඒවා බරක් විදියට හිතේ තියාගෙන ඉන්න එපා. සමාව දෙන්න – ඒ වගේම සමාව ඉල්ලන්න ඉගෙන ගන්න.
“මට සමාවෙන්න” කියලා කියන්න පුළුවන්කමයි, “කමක් නෑ, මට තේරෙනවා” කියලා අහන්න පුළුවන්කමයි ඔයාගෙ විවාහ ජීවිතය අමාරුම දවස් වලදීත් ඉදිරියට ගෙනියයි.
6. වාඩි වෙලා, කතා කරලා, එකට තීරණ ගන්න
මංගල දවසට කලින්, මොහොතක් ගන්න. සාමකාමී තැනක වාඩි වෙන්න. ඔයාගෙ පෙම්වතාගෙන් වැදගත් ප්‍රශ්න අහන්න:
- අපි විවාහ වුණාට පස්සේ කොහේද යන්නේ?
- මම දැන් වැඩ කරනවා නම්, විවාහ වුණාට පස්සේ දිගටම වැඩ කරන්න පුලුවන්ද?
- ඔයාගෙ දෙමාපියන් වෙනස් දෙයක් බලාපොරොත්තු වුණොත් මොකද කරන්නේ?
- අපි සල්ලි manage කරන්නේ කොහොමද?
විවාහයට පෙර එකතු වෙලා තීරණ ගන්න එකෙන් පසුව ඇතිවෙන අවුල් වළක්වා ගන්න පුළුවන්. ඒක දෙන්න අතර අවබෝධයක් ගොඩනගනවා – ඒ වගේම ඔයාගෙ සහකරු එක්ක තියෙන සම්බන්ධතාවය ශක්තිමත් කරනවා.
7. ඔයාගෙ මහත්තයාව අනිත් හැමෝටම සමාන කරන එක නවත්වන්න
ඔයාගේ යාළුවන්ගේ මහත්තුරු දිහා බලලා “ඇයි මගේ මහත්තයා එහෙම කරන්නේ නැත්තේ?” කියලා හිතන්න එපා. හැම පිරිමියෙක්ම වෙනස්. හැම සම්බන්ධතාවයක්ම වෙනස්.
සමහරවිට ඔයාගෙ යාළුවාගේ මංගල මුදුව මිල අධික වෙන්න පුළුවන්. සමහරවිට එයාලගේ මධුසමය ඔයාලගෙ එකට වඩා ලස්සන වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් නිසා යාගෙ ආදර කතාවේ වටිනාකම අමතක කරන්න එපා. ඔයාගෙ සහකරු ඔයාට කරන පොඩි දේවල් අගය කරන්න. කරුණාවෙන් කතා කරන්න. එයාගෙ Pride එක ආරක්ෂා කරන්න – විශේෂයෙන්ම අනිත් අය අහගෙන, බලාගෙන ඉන්න වෙලාවට.
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ විවාහය කියන්න ලස්සන මනමාලියෙක් වෙන එක විතරම්ක නෙවෙයි, ලස්සන partner කෙනෙක් වෙන එක ගැන කතාවක් කියලා අමතක කරන්න එපා!