සන්තාන සුසුම් සර – 43

0
4409

තුසිත ඉම කුරුල්ලෙකු හෝ කෑගැසුවේ නැත. අනිච්ඡානුග ව සිදු වන්නක් නො විණි නම් කිසිවෙකු හුස්ම ගන්නේ වුව නැති වන්නට තිබිණි. අස්විද හා උදාර මිදුල මැද සිටගෙන සිටියෝ ය. උදාර නො සන්සුන් ය. ඔහු ට එක ඉරියව්වක ඉන්නට හෝ බැරි තරමි. නමුත් අස්විද සන්සුන් ය. දෑත් පපුව මත බැඳගෙන ඔහු මොහොතක් සිතුවේ මේ කතාව කොහොම අරඹන්න ද කියා ය. උසාවියේ දී නඩුවක් කතා කරන්නටවත් ඔහු මේ තරම් පැකිළුණා දැයි සැක සහිත ය.

‘තාත්තල පොඩ්ඩක් අරහෙන් ඉන්නකො. සනුක සීයව එහාට එක්කං යනවකො’ කියා අස්විද කී නිසා විජිත හා සනුක මඳක් ඈතින්, නමුත් හදිසියක දී වහා ක්‍රියාත්මක වීමේ සූසානමකින් පසුවෙති.

යසස්වි නම් සිටියේ හෘද ස්ඵන්දන වේගය ඇයට ම දරා ගත නො හැකිව ය. මහත් පසුතැවීමක් ඇයට වද දෙමින් තිබිණ. ඕ ඒ මේ අත සක්මන් කළා ය. යළි අසුන් ගත්තා ය. යළිත් නැගිට ජනේලයෙන් පිටත පෙනෙන ඔවුන් දෙදෙනා ගේ දර්ශනය දෙස ගැස්මෙන් යුතුව බලා සිටියා ය. යළිත් අසුනකට වැටුණා ය.

‘ලොකු විනාසයක් වෙලා තමයි ඕක නතර වෙන්නෙ. අර මිනිහ මැරයෙක්ද කොහෙද… අපේ අය ඉල්ලං කනවනෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැං ඉතිං කනෝ කනෝ කියල උඩ පනින එකයි’

නිලූකා කියවූවා ය. සැර කොට ඇය නිහඬ කරන්නට වජිරා ට අවැසි විණි. නමුත් එසැනෙන් එය අමතක ව ගියේ ය. අස්විද මේ ප්‍රශ්නය විසඳාගනු ඇති බව ඇයට විශ්වාස ය. නමුත් බඩ පපුව දනවා වන් අවිනිශ්චිත බවක්, දෙගිඩියාවක් ඇතුළාන්තය කළඹවයි.

අස්විද උගුර පාදා මාතෘකාවට පිවිසියේ ය.

‘ඔයා යසස්වි ව මැරි කරන්න හිතාගෙන ඉන්නව. එයා ඒකට කැමති නෑ කියනව. ඔය දෙගොල්ලොන්ගෙ බිස්නස් ඩීල් මොනා වුණත්… අකමැත්තෙන් කෙනෙක්ව මැරි කරන්න බෑනෙ… නේද… මැරි කළත්… එක්කෙනෙක් අකමැත්තෙන් ගෙවන පවුල් ජීවිතේක සතුටක්වත් සාර්ථකත්වයක්වත් තියෙන්න විදිහක් නෑනෙ. ඒක නිසා හොඳම දේ ඔයා මේක තේරුං අරගෙන ඔය අදහස අත්ඇරගන්න එක’

‘මේ මේ මිස්ටර්… ඔයා මට බණනං කියන්න ඕන්නෑ හොඳේ… හොඳිං හරි නරකිං හරි මං යසස්විව බඳිනව. ඒකට මට එයා කැමති වුණත් එකයි නැති වුණත් එකයි’

අස්විද සන්සුන් තියුණු බැල්මකින් උදාර දෙස බැලුවේ ය.

‘එහෙම කොහොමද අකමැත්තෙන් බඳින්නෙ… නීතියෙන් බඳින්නනං දෙන්නම කැමති වෙන්න ඕනෙ. විවාහයක් ලියාපදිංචි කරනකොට රෙජිස්ට්‍රාර් අහනව. මේකට විරුද්ධත්වයක් තියනවද කියල. උදාර ඒක දන්නවද… එතනදි යසස්වි කිව්වොත් එයා කැමති නෑ කියල… ඔයාට බලෙන්වත් නීතියෙන්නං බඳින්න බෑ’

අස්විද සන්සුන් වෙන තරමට, නීති කාරණා වලින් උදාර ඉක්මවා යන තරමට, ඔහු ගේ නො සන්සුන් බව වැඩි විය.

‘ඔයා යසස්විගෙ ලෝයර් වෙන්න පුළුවන්. මට ඔය ලෝ පාට් වලින් ඇති වැඩකුත් නෑ. යසස්විගෙ තාත්තට ඕනෙ අපි දෙන්නව බන්දවන්න’

‘කාගෙවත් තාත්ත කෙනෙකුට වුණත් බෑ එයාගෙ දරුවගෙ අකමැත්තෙන් බන්දන්න. නීතිය කාටත් සාධාරණයි. නීතියක් නැති බලහත්කාරකං කියන්නෙ ශිෂ්ට සමාජෙක ලක්ෂණයක් නෙවෙයි. නූගත් ගෝත්‍රික ගති ඒව’

‘අයියෝ අයියෝ… දැං ඔය හොඳටම ඇති. හරි. ඔබතුමා යසස්විගෙ ලෝයර් වෙන්න ඇති. ඒත් මගෙ පැත්තෙනුත් හිතන්නකො. මේක පොරොන්දු වෙලා තිබුණ කසාදයක්’

‘පොරොන්දු වෙනව කියල යසස්වි ලියල අත්සන් කරපු ලෙටර් එකක් තියනවද…’

‘පිස්සුද…’

උදාර සමච්චල් සිනහවක් පෑවේ ය.

‘ලිඛිත සාක්ෂියක් තියනවනං එහෙම දෙයක් නිසා අගතියට පත් වෙච්ච පැත්ත ගැන නීතිය සාධාරණ වෙන්න බලනව. එහෙමත් නැතුව මේක කිසිම තේරුමක් නෑ උදාර. ඒක නිසා යසස්විට පාඩුවෙ ඉන්න දීල මේක අත්ඇරල දාන්න’

‘එහෙම කරන්න බෑ’

‘එහෙම කරන්න ඕනෙ’

එවර අස්විද අවධාරණය කළේ තදිනි.

‘එහෙම කරන්න ඕනෙ කියල මං තමුන්ට කියන්නෙ යසස්විගෙ ලෝයර් හැටියට නෙවෙයි. ලෝයර් හැටියට කියන්න ඕන ඒව මෙච්චර වෙලා පැහැදිලිව කියල දුන්නනෙ’

උදාර ගේ ඇස් වලට පැමිණියේ නො තේරුම් බැල්මකි.

‘දැං මේ කියන්නෙ යසස්වි මැරි කරන්න ඉන්න අස්විද සූරියබණ්ඩාර විදිහට. යසස්විට එයාගෙ පාඩුවෙ ඉන්න දෙනව. එහෙම නැති වුණොත් කරදර වෙන්න වෙයි’

‘මොකද්දෝයි කියන්නෙ…’

කියමින් උදාර අස්විද ගේ කමිස කොලරයෙන් අල්ලන්නට ගියේ ය. එසැනෙන් ක්‍රියාත්මක වූ අස්විද ඔහු ගේ අත ගසා දැමුවේ විදුලියක් මෙනි.

‘අත පය දික්කරගෙනනං එන්නෙපා. එහෙම වුණොත් අනුරාධපුරේ යන්න වෙන්නෙ අත පය වෑල්ඩිං කරන්න බලාගෙන. කිව්වෙ ඇහුණ දේ තමයි. දැං තමුං මෙතනිං ගියොත් හොඳයි’

‘මං යන්නෑ ඕයි. යසස්වි වරෙං එළියට. උඹ දන්නෑ මගෙ හැටී… ඇතුළට ඇවිත් ඇදල ගන්න කළිං වරෙං එළියට’

උදාර කලබැගෑනියක් කරන්නට හැදුවේ ය. අස්විද ඔහු ව රිය වෙතට ම තල්ලු කරගෙන ගියේ ය.

‘මෙතනට මං පොලීසිය ගෙන්නුවොත් නිකං අපරාදෙ රිමාන්ඩ් වෙන්න වෙයි. ඒක නිසා යනව යන්න මෙතනිං’

උදාර ව රිය තුළට දැමුණේ විජිත හා සනුක ද මැදිහත් වීමෙනි.

‘මේ ප්‍රශ්නෙ තව දිගට ඇදං යන්න ඔයා ලෑස්තියිනං මාත් ලෑස්තියි හොඳේ’

අන්තිම මොහොතේ අස්විද ඒ අනතුරු ඇඟවීම ද කළේ ය. උදාර ගේ රිය විදුලියක් සේ සැර දමාගෙන නික්මිණි.

තුසිතයේ දොර විවර වූයේ ඉනික්බිතියි. යසස්වි ගේ දෑස් කඳුළු පොකුණු වී තිබිණ. අස්විද තුළ ඈ ගැන සංවේගයක් උපණත්, මේ ආදරය පෙන්වා ඈ සැනසිය හැකි මොහොතක් නොවේ. ඔහු විහිළුවක් කළේ එබැවිනි.

‘මෙයා මාර හීරෝ කෙනෙක්වනෙ හොයං තියෙන්නෙ’

‘හීරෝ කෙනෙක්ව තමයි. ලෝයර් කෙනෙක් කියලයි හිතුවෙ. හැබැයි චණ්ඩියෙක් කියල අදයි දන්නෙ’

යසස්වි ගේ දෑස් කඳුළු අතරින් සිනහ වූයේ දේදුන්නක් පෑයූ අහසක් මෙනි. ඇගේ සිරුරේ හැම සෛලයක ම ඔහු වෙනුවෙන් උපන් ආඩම්බරයක් තිබිණ.

‘පොර වැඩි දුර යන්නෙනං නෑ’

සනුක උදාර ගිය පාර දෙස බලමින් දෑත් පිස දා ගත්තේ ය. ඔහු කී කතාව කිසිවෙකුට පැහැදිලි වූයේ නැත. යසස්වි ඔහු වෙත නැඹුරු වූවා ය.

‘මොකද්ද සනුක කළේ…’

‘ඔය ලෑලි ගොඩේ ඇණයක් ගහපු පොඩි ලී කෑල්ලක් තිබිල ඒක තිබ්බ අරූගෙ කාරෙකේ රෝදයක් ඉස්සරහිං. ටිකක් වාත වෙලා ගියාවෙ. ආයි දවසක් ආවොත්නං ගහනව දොර පොල්ල අරං’

හිත් වල සිනහවක් නැගුණත් කිසිවෙකු එය පිටතට පෙන්වූයේ නැත. අස්විද සනුක ගේ කර වට අතක් දමාගෙන ගෙතුළට ආවේ ය.

‘කුළප්පු වුණ කුළු මීමෙක්ව ආම්බාං කරල හෙන මහන්සියි. දැන් ස්ට්‍රෝං ටී එකක් තමයි ඕනෙ… නේ සනුකය…’

‘ඔව් බාප්පෙ. දැං අපි සෑහෙන්න කල්පනා කරන්නත් වෙනව කුළු මීමුන්ට විදින්න ඕන ඉන්ජෙක්ශන් එක මොකද්ද කියල. යනව යනව. හොටු පෙරාගෙන අඬන්නැතුව ගිහිං තේ හදනව මටයි බාප්පටයි’

‘මූ බලපල්ලකො. යනව කියන්නෙ පුංචිටද… ආ මෝඩයො…’

යසස්වි සනුක ගේ කනක් මිරිකුවා ය.

අස්විද නැවත කාර්යාලයට ගියේ නැත. එබැවින් තුසිතයෙහි පිරුණු බවක් වූයේ ය. උදාර ගේ මේ පැමිණීම අනවශ්‍ය ප්‍රශ්නයක් වූවත්, ඒ විදිහට හෝ සියල්ල පුපුරා ගිය එක හොඳ යයි හැඟීමක් හිත් වල නො වුණා ම නොවේ. නිලූකා විටින් විට ඇනුම්පද කීවා ය. නිලූපා ට තුසිතයෙන් යන්නට සිදු වූ එක ගැන යසස්වි ට දොස් කීවා ය.  නිලූකා වූ කලී අනුකම්පා කළ යුතු චරිතයක් බව, නො කීවාට හැම හිතකට දැනෙමින් තිබිණ. ඇගේ ඇනුම්පද මගහරිනවා මිස ඒවාට ප්‍රතිචාර දක්වන්නට යාමත් වදයක් සේ දැනෙන තරම් විය.

‘දැං ඔය පෝරිසාදය නිකංම ඉන්න එකකුත් නෑ. ඒක නිසා නරකද මේ කටයුතු ඉක්මනට පිළිවෙළක් කරල දැම්මනං… මං කියන්නෙ… දුවගෙ ගෙදර එක්කත් කතාකරල… අඩු ගානෙ දෙන්න නීතියෙං බැඳල තිබ්බොත් මොකද… පස්සෙ හෙමීට සූදානං වෙලා උත්සව කාරිය ගන්න බැරියැ…’

මතු මහලෙහි වට වී හිඳගෙන රාත්‍රියේ දී සාකච්ඡා කරන අතරේ දී විජිත යෝජනාවක් කළේ ය.

‘ඔව් ඒක හොඳයි තමයි. එතකොට කාටවත් මුකුත් ප්‍රශ්න කරන්න බෑනෙ. මේක යසස්විගෙ කැමැත්තෙන් වෙනවනං එයාගෙ තාත්ත අකමැති වුණත් කරන්න දෙයක් නෑනෙ. මොකද එයා වැඩිහිටියෙක්නෙ’

විජිත ගේ යෝජනාව චේතිය වෙතින් ස්ථිර විය. ඒ ගැන යසස්වි ගේ අදහස කුමක් දැයි දැනගන්නට අස්විද ඇදෙස බැලුවේ ය. රතු වූ මුහුණ මත දෙගිඩියාවක් පමණක් සනිටුහන් ව තිබිණ.

‘දුව මොකද ඒ ගැන කියන්නෙ…’

‘අම්මල කියන දෙයක් කරන්නං ඉතිං’

‘එහෙම නෙවෙයි… පුතා හිතල බලන්න. ගෙදරත් එක්කත් කතාකරන්න. ඊට පස්සෙ අපිටත් පුළුවන්නෙ දෙමව්පියො එක්ක කතාබහ කරන්න. හැබැයි ඉතිං ඔය දේවල් සිද්ධවෙන අතරෙත් ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි. අර පෝරිසාදයගෙ හිතේ දැන් මොනව තියනවද දන්නෑනෙ’

‘කොහොමත් ඔයා මේ දවස් ටිකේ යුනි එකට යන්නෙපා’

ඒ තීරණය අස්විද ගේ ය. එක මොහොතකට ඔවුන් ගේ සිව් නෙත් එකට හමු විය. අස්විද යම් තීන්දුවක් දුන්නේ වී නම් ඒ ඇය කෙරේ ආදරයෙන් බව ඔහු ගේ ඇස් වල ලියැවී තිබිණි. ඊට පිළිතුරු ලෙස යසස්වි ගේ දෙනුවන් මත වූයේ එකඟතාවයකි. අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධාත්මක එවන් තීන්දු තීරණ හිතට ගෙනෙනුයේ සුවදායී බවකි. හිත් පහසුවකි. එවන් සාමකාමී එකඟතා කලාපයකට අවතීර්ණ වූ විට ජීවිතයේ ගලා යාම බෙහෙවින් මෘදු මොළොක් වේ. දුෂ්කර ම මොහොත වලට පවා විශ්වාසයෙන් යුතුව මුහුණ දිය හැකි වේ.

‘දෙයියංගෙ නාමෙට තාත්තට කියන්න යන්නනං එපා පුතේ. ඔයා අස්විද පුතාව බඳින්න. මොන බොරුවක් හරි කියල… ආයෙ ගෙදරින් දොට්ට දැම්මත් කමක් නෑ කියල ඒ දවසට මං එන්නං. ඕක වෙනකල් මේ ගෙදර වෙන කාටවත් දැනගන්න තියන්න එපා. දෙයියංගෙ නාමෙට ඒක වුණාට පස්සෙ මටනං හුස්ම නැවතුණත් කමක් නෑ’

යසස්වි තුසිතයෙහි යෝජනාව ගැන කී විට සාවිත්‍රි ගේ අදහස වූයේ එයයි. ඇය දියණිය සමගින් එහෙම කතාබහක් කරන්නේත් සිය පැරණි බොත්තම් දුරකතනය සමගින් කිසිවෙකුට නෑසෙන මුල්ලකට ගොස් වටපිට සෝදිසි කරමිනි.

‘අම්ම කියන්නෙ… මට එහෙම…’

‘පුතේ… ඔයාට වැඩියෙන් වටින්නෙ අස්විද පුතා එක්ක සැනසිල්ලෙ ජීවත් වෙන එකනං… අපි ලෝකෙට අඬබෙර ගහල මගුල් කන්න ඕනයි කියල එකක් නෑ. අනික මේක මහ නරක වෙලාවක්. උදාර යකා වගේ ඇවිත් තාත්තටත් කෑගහල ගියා. කරන දෙයක් ඉක්මනට කරන්න දරුවො’

සිදු වූ දෙයක්වත් වෙන්න යන දෙයක්වත් නිරවුල් නොවන බව යසස්වි ට දැනිණ. අස්විද දෙස බලා හිඳිනු හැරෙන්නට, ඇය මුළුමනින් දුර්වල වගක් පිළිගත යුතු වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here