දෑත දරා – 4

0
49

සිව් වැනි අත් දැරුම

සිකුරාදා රාත්‍රියේ දියණිය මනුජගේ අම්මා අසලින් නිදා ගැනීමට අවශ්‍යම බව කියමින් හඬා වැටෙන්නට වූවාය. පසුව ඇය අම්මා ළඟ නිදි කරනවා හැරෙන්නට මනුජට අන් විකල්පයක් තිබුණේ නැත. මනුජ සිගරට්ටුවක් දල්වාගෙන මිදුලේ ගේට්ටුව වෙතටම ඇවිද ගියේය.

“උඹ දරුවා ඉස්සරහත් ඔය වැඩේ කරනවද ලොකූ …? “

ඔහු එක්වරම ආපසු හැරී බැලුවේය. තාත්තාට සඟවන්නට දෙයක් නැත. නිවසේදී ඉතා අසීරුවෙන් හෝ අතර හිටියාට දියතලාව නවාතැනේදී සිගරට්ටුව සහ තමා අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවයක් බව මනුජ දනී. එය පුරුද්දක් වූයේ වසර දහයකට පමන පෙර සිටය.

එහෙත් මනුජ නැතැයි කියන්නට හිස සැළුවේය.  සති දෙක පුරාවටම දියණිය සිටින නිසාවෙන්ම නිවසේදී සිගැරට්ටු  පානය කිරීමට තමාට ඉඩක් තිබුණේ නැති බව මනුජ තාත්තාට කීවේය.  ඒ නිසාම මේ සිගරටුවක් පානය කරන්නේ සති දෙකකට පමණ පසුව බවද ඔහු කීවේ පහත් හඬිනි.

” නිර්දා කතා කළේ නැද්ද ?…”

” එයා මොකටද මට කතා කරන්නේ?..”

“පහුගිය දවසේ අම්මට කතා කරලා තිබුණා……”

“ඒ මොන එකකටද ?…”

“අම්මාව චැනල් එකට එක්කන් ගියපු වෙලාවක නිර්දාගේ නෑනාව මුණ ගැහුනා… ලොකු අයියාගේ නෝනා …. .එවේලේ ඒ  ළමයට අම්මා අසනීපෙන් බව කිව්වනේ . ඒ ළමයා නිර්දට කියන්න ඇති. අම්මගේ සුව දුක් අහන්නයි කතා කරේ. ඒ ගමන් දෝණි  ගැනත් විස්තර අහලා තිබුණා…”

” මට ඕවා කියන්න එපා තාත්තේ… පොඩිවත් ඉඩක් නොදී ,  පොඩිවත් ඉවසීමක් නැතුව මාව අතෑරල ගියපු ගෑනියෙක් ගැන මට අහන්නවත් වුවමනා නැහැ…”

” අම්මගේ කරදරේ ගැන කියපු නිසා නිසයි, දරුවා ආයෙත්  උඹ ළඟ  ඉන්නවා කියලා කියපු නිසයි , මං හිතුවා විස්තරයක් අහන්නවත් නිර්දා කතා කරන්නැති කියලා…. අම්මාත් එහෙම හිතාගෙන ඉන්නේ …”

“නෑ කතා කළේ නෑ ….  කතා කළත් මං කතා කරන්නෙත් නෑ …. අම්මා හිතන විදියට ආයේ මම නිර්දා එක්කල එක ගමනක් හිතන්නේත් නෑ.. මම හිතන්නේත් නෑ.. නිර්දා හිතන්නේත් නෑ තාත්තේ.. ඒ හින්දා පරන තුවාල පාරගන්න එපා දෙන්නම …”  

” ඒකි නරක කෙල්ලෙක් නෙවෙයි. කොහේ හරි වැරදුනා. කොහේ හරි පැටලුනා”

මනුජ ගේ ඉවසීම ඉක්මවා ගියේය. ඔහු සිගැරට්ටුවෙන් වේගවත් උගුරු කිහිපයක් උරා සිගැරට්ටුව පසෙකට විසි කළේය. ඉන් පසුව පියා පසු කරමින් නිවස තුළත් ඇතුළු වන්නට ගියේය.  ආපසු හැරී මදක් උස් හඬකින් මෙලෙසින් කීවේය

“ඔව් ඔක්කොම හොඳයි… දැන් මං විතරයි වැරදි ..”

මනුජ  කාමරය තුළට ගොස් දොර වසා දමා ගෙන සයනයේ වැතිරුණේය. නිර්දාට තමාගෙන් වූ අඩුපාඩුව කුමක්දැයි මනුජට වැටහෙන්නේ නැත. තමාට ඇයව මඟ හැරුණු බව ඇත්තය. එහෙත් මෙවන් රැකියා කරන මිනිසුන්ගේ ගැහැණුන් මීට වඩා කැපකිරීම් දරා ගැනීම් කරන බව මනුජ දනී. ප්‍රේම සම්බන්ධතාවය වූ  වසර තුන පුරාවටම ඇයට එය වටහා දෙන්නට තමා උත්සාහ කළ බවද මනුජ දනී.

“මං ඔයාට කියන්නේ හැම වෙලේම මගේ අස්සට වෙලා ඉන්න කියලා නෙවෙයි මනුජ…”

“ඔයා දැන් එහෙම කිව්වට හැම වෙලේම ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒකයි නිර්දා.. ඒ නිසයි පැය දෙක තුනකින් මගෙන්  මැසේජ් එකක් නැති වුණාම ඔයාට ඔයාව පාලනය කරගන්න බැරි වෙන්නේ..

 යුද්ධ කාලේ මිෂන් වලට ගියාම මාස ගණන් තමන්ගේ මනුස්සයාගෙන් උත්තරයක් නැතුව බලන් උන්නු ගෑනු ලංකාවේ හිටිය නිර්දා … ලංකාවේ විතරක් නෙවෙයි ලෝක පුරාම ඉන්නවා…”

“ඉතිං ඔයා මට දැන් මොකක්ද කරන්න කියන්නේ..?”

“මං ඔයාට  වැරැද්දක් කියනවා නෙමෙයි නිර්දා…  ටිකක් ඉවසන්න පුරුදු වෙන්න… මට  හැම වෙලාවෙම ෆෝන් එක අතේ තියාගෙන ඇලර්ට් එකේ ඉන්න බැහැ. මම ඔයාට කතා කරන්න ඉඩක් ලැබුණු ගමන් කතා කරනවා ….දාන්න පුළුවන් වුනු ගමන් මැසේජ් එකක් දානවා.”.

“බොරු ඔය ඔයා ඔහොම  කියන්නේ බොරුවට..දැන් ඔහොම කිව්වට ඔයාට ඇත්තටම කෑම්ප් එකට  ගියාට පස්සේ මාව මතක් වන්නේවත් නැහැ. ඇත්තටම මට බය හිතනවා ඔයාව  මැරි කරන්න…”

” විකාර කතා කියන්න එපා නිර්දා … දැන් ඔයාට ඕන වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ අම්මලාට ඕන විදියට අර ඔයාගේ මස්සිනාව කසාද බැඳලාට යන්නද…?..”

“මං ආසම නැත්තේ ඔයාගේ ඔන්න ඔය හිතලු කියවිල්ලට මනුජ … මං ඔයාට කිව්වේ අම්මලගේ හිතේ එහෙම දෙයක් තියෙනවා කියලා මිසක් අම්මලා මට එහෙම කරන්න කිවුවා කියලා නෙවෙයි. අනිත් එක අම්මලා ඔයාගේ මගේ සම්බන්ධතාවයට අකමැති නැහැ. ඔයාලගේ ගෙදරින් ඔයාට මේක කරන්නෙපාඅ කියලා   ෆෝස්  කරපු තරමටවත් අපේ ගෙදරින් මට මේ ගැන කිසිම බලපෑමක් නැහැ…”

“කසාද බඳින්නේ  මම නම් , ඒ බඳින ගෑනි තීරණය කරන්නේ මම…  අපේ අම්මවත් තාත්තවත් නෙවෙයි. මං ඒක අපේ අම්මටයි  තාත්තාටයි බොහොම පැහැදිලිව කියලයි තියෙන්නේ. අම්මලා ඒක තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ නිසා ඔයා ඒ කතන්දර ආයෙ අදින්න ඕනේ නැහැ…”

“හරි මනුජ… මං ආයේ ඒ කතන්දරයක්  ඇද්දා නෙවෙයි. මං කිව්වේ තියෙන තත්ත්වය…….”

මනුජ  ඉතා තදින් දෑස් පියාගන්නට උත්සාහ කළේය. අතීතය ඉතා පැහැදිලි සිතුවම් පටයක් මෙන් මෙලෙස හිත් මානයට පැමිණීම වදයකි. නිර්දාට  තමාගෙන් වෙන් වන්නට අවශ්‍ය බව කී විට තමා ඇය නවතා ගන්නට කේතරම් උත්සාහ කළාදැයි මනුජට මතකය. තමා පමණක් නොව තම දෙමාපියන්ට නංගී ද තම මිතුරන් ද නිර්දා නවතා  ගන්නට ඔවුන්ට හැකි තරම් කතාබස් කළහ. 

එහෙත් නිර්දා සතු වුවේ එකම පිළිතුරකි.  ඇය පැවසූයේ ඇයට  ජීවිතය සිරවී ඇති බව දැනෙන .  තමා හා ජීවත් වෙද්දී ජීවිතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවය ඒ නිසාම තමාට ශ්‍රී  ලංකාවෙන් ඉවතට ගොස් තම ජීවිතය වෙනුවෙන් ජීවත්වන්නට අවශ්‍ය බව ඇය කීවාය.

එතරම් හිතුවක්කාරකමකට පසුව තමාට නිර්දාව අමතක කරන්නට හැකි විය යුතු බව මනුජ කල්පනා කළේ එදවස්වල පටන්මය. සැබැවින්ම තමා සහ නිර්දා අතර තිබුණේ ප්‍රේමයක් නොව එකිනෙකා කෙරෙහි ආසක්ත වූ ලෝභ කමක් වැනි යමක්දැයින් මනුජ කල්පනා කළේය.  නිර්දා පසින් කෙලෙසකින් වුවත් තමා කෙරෙන් ඇය වෙත තියෙන්නට ඇත්තේ එවන් ආකාරයේ ලෝභකමක් බව දැන් දැන් මනුජට වැටහෙන්නේය .

ජීවිතයක් වෙනුවෙන් ඇති ලෝභකම,  ජීවිතය එක්ව ඉදිරියට ගමන් කිරීමට ප්‍රමාණවත් නොවන බව මනුජ යළි යළිත් කල්පනා කළේය. 

හිස රිදුම් දෙන්නේය.  හිස මත ඇති වගකීම් වල බර මනුජව යම් පීඩනයකට ඇද හෙලා තිබුණි.

අම්මා සහ තාත්තා හය වන ජීවන දශකයේ ඉන්නෝය.  ඔවුන්ට තවදුරටත් දියණියගේ බර දරන්නට දීමට තමන්ට නොහැකි බව නොවැටහෙනවා නොවේය. අම්මා අසනීප  වීමෙන් පසු නංගිගේ චෝදනාවද කෙලින්ම තමා වෙත එල්ල වූ බව මනුජ දනී. තම වගකීම් අම්මා මත පැටවීමේ අවධානම වඩා හොඳින් වැටහෙන්නට ගත්තේ ඉන් පසුවය.

” අම්මයි තාත්තයි අපි වෙනුවෙන් ඇතිනම් ඇති තරම් මහන්සි වුනා අය්යේ….. දැන් ආයෙත් දෝණි වත් හදන්න අම්මයි තාත්තයි මහන්සි කරවන එක හරිම අසාධාරණයි…. ඒක ඔයාගේ ප්‍රශ්නයක් කියලා හිතලා ඔයා උත්තර හොයන්න ඕන…. මොකක්ම හරි විදියකින් ඔයා උත්තර හොයාගන්න ඕනි අයියේ..

අනෙක තව ටික දවසක් යනකොට දෝණිට අම්මා නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ එනවා.. එයාට අම්මාව මතක් වෙන්න වුනත් පුලුවන් .. එහෙම වුනොත් ඔයා ඒකට ෆේස් කරන්න සූදානම් වෙන්න ඕනි…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here