සුහදිනි – 02

“හැමෝම කතා කරන්නේ ඔයා ගැන.”

ජීවිතයේ අතිශය පීඩිත කාලයක් ගෙවා දමද්දී මෙවැනි අපහාස අසන්නට වීම මොන තරමට වේදනාවක්දැයි අහස්ට සිතිණ. සමාජජාලාවල ඇතිතරමට තමන්ව හප කර දැමීම ඔහුට දරා ගන්නට හැකි ය.රටේ ජයග්‍රහණය පතන,එය නොලැබෙද්දී වේදනාවට පත් වන ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතය කරගත් මිනිසුන් තම කණ්ඩායම අතින් සිදුවන සුළු වරදකට පවා කිපෙන බව ඔහු දනියි. 

ඔවුහු කිසිවෙක් තමන්ගේ අභ්‍යන්තරය ගැන කිසිවක් නොදනිති. එනිසා ක්‍රීඩාංගණයක් මත පෙනෙන පැය කිහිපයකින් හෝ සමාජ ශාලාවක දකින සතුටු ඡායාරූපයකින් ඔවුන් සියල්ලම මැන ගන්නා බව අහස්ට තේරුම් ගත හැකි ය.

එහෙත් සාරන්‍යා?

ජීවිතයේ කුණාටු සමයන්ගේ ද වසත් කාලවලදී ද ඇය එක ලෙසම තමන් අසල රැඳේවී යැයි ඔහුට වූයේ දැඩි විශ්වාසයකි.එහෙත් මේ අපහාසාත්මක හඬ දරා ගන්නට අසීරු බව ඔහුට සිතෙයි.

“ෆයිනල් මැච් එක වෙලාවේ මං හිටියේ ෂූටිං ගිහින්.ඔයා කියන්නේ මම ලැජ්ජා වුණු තරමක්.”

බොහෝ වේදනා දරා දරාගෙන විඳගෙන සිට ඇගේ මුහුණ දුටු මොහොතේ ඒ වේදනා හා සැකසංකා දිය කර හරින්නට හැකිවේවියැයි ඔහු සිතා හුන්නේ ය.නමුත් ඇය ද කතා කරන්නේ එකම මාතෘකාවකි.මේ කතාව ඔහු අතින් වූ ලොකුම වරද ගැන බව සැක නොවේ.

“ඔයා ඇයි අනේ එහෙම බෝල්ස් අතාරින්නෙ.ඊටපස්සෙ පෙරේතයා පොළොවෙ ගැහුව වගේ බිම වැටෙනවා.හැමෝටම තේරෙනවනෙ ඩ්‍රාම එකක් කියලත්.”

මේ වචනවල ඇත්තේ ඕනෑවට වැඩි පීඩනයක් බව අහස්ට සිතේ. නමුත් තමන්ගේ ප්‍රේමවන්තයා වීරයෙකු වන තුරු බලා සිටින ඇයට ඔහුගේ පරාජයන් සහ අසමත්වීම ඇත්තේ දැරිය හැකි සීමාවෙන් ඔබ්බට බව සිතමින් ඔහු හිත හදා ගන්නට වෙර දැරුවේ ය.එහෙත් එහෙත් ඇය ඊළඟට කියන්නට යන දේ ගැන වැටහීමක් නොමැතිව ය.

“ඔයා දැන් යූස් කරන්න හදන පොයින්ට් එක හරිම කැතයි.ඔයාගේ තාත්තා අසනීපයෙන් කියලා ඔයා ඒකට මානසිකව වැටිල කියල ඔයාට ඔය බ්ලැක් මාක්ස්වලින් ගැළවෙන්න බෑ.අනික ඔයා දැනගන්න ඕන ඔයාගේ පෞද්ගලික ජීවිතේ එක්ක රස්සාව පටලා ගන් නැතුව ඉන්න.කොහොමටත් ඔයාගෙ රස්සාවෙ හැටියට දුක විකුණන්න බෑ කියලා ඔයා තේරුම් ගන්නවනම් හොඳයි අහස්.”

තමන් අති අසාර්ථක වුව ද පසුගිය කාලයේ තරග සංචාරයක් නිසා අහස්ට මව්රටේ රැඳෙන්නට නොහැකි විණ.අම්මා හා තාත්තා මඟ හැරීම තරමට ම සාරන්‍යා මඟ හැරීම ගැන ද ඔහුට හිස්තැනක් දැනෙමින් තිබිණ.ඇය දකින්නට ආ මොහොතේ පටන්ම ඇය ඔහුගේ අසමත්කම් ගැන කතා කිරීම ගැන අහස් වේදනාවට පත් වූයේ ය.

ඔහු නික්ම ආවේ ඒ පසුතැවීමෙනි.

“දැන් අපි මෙතන වාඩි වෙලා පැයක් විතර.අපි දෙන්නට නිදහසේ වචන දහයක් කතා කරන්න ලැබුණද බලපං.මිනිස්සු කී දෙනෙක් ආවද,සෙල්ෆි ගත්තද? උඹට ආයේ සක්සස් වෙන්න කිව්වද? පිස්සු තාමත් ඉන්නේ උඹ ගැන බලාපොරොත්තුවෙන්”

සාරන්‍යා අතින් රිදුණු සිත සුවපත් කරගන්නට අහස් තමන්ගේ පාසල් කාලයේ මිතුරාට ඔහු දකින්නට එන්නැයි ඉල්ලා දැන් හෝරාවකට වඩා ගෙවී තිබේ.ජනප්‍රිය අවන්හලකට නොයා නිස්කලංක තැනකට ගියානම් අගනේයැයි හැඟීම ඔහුගෙන් ගිලිහෙන්නේ මේ රසික ආදරය නිසාම ය.සාරන්‍යා අතින් රිදුණු සිත සුවපත් කරන්නේ මිතුරා වූ,සියුම් නොවේ.රසිකයන් ය.

“සාමාන්‍ය සමාජයයි ශෝෂල් මීඩියා යි කියන්නේ දෙකක් මචං.ඔය මඩ ප්ලාන්ට් වෙන්නෙ ගොඩක් වෙලාවට එකම තැන්වලින්.වෙන වැඩක් නැති උන්ටයි,මොකක් හරි ජොබ් එකක් වෙනුවෙන් මඩ ගහන එවුන්ටයි උදේ ඉඳන් රෑ වෙනකම් කරන්න තියෙන්නෙ ඒ වැඩේ තමයි.උන් වැඩේ ට්‍රැක් එකට දැම්මම ඇත්තටම කිසිම වැඩක් නැති උන් දවස පුරාම ඒවා කරේ තියාගෙන දුවනවා.උඹ ඔය ෆේස්බුක් එකෙයි,ඉන්ස්ටා වලයි යූ ටියුබ් මඩ අකවුන්‍ට් වලයි කමෙන්ට් කියවන්නෙ නැතුව වැඩක් බලාගෙන හිටියානම් මට හිතෙනව ඇත්තටම හොඳයි කියල.”

සියුම් එසේ කියන්නේ හිත හදන්නට ම නොවේ.ඔහුට මේ මොහොතේ වැටහෙමින් තිබූ සත්‍යය ය.දිගින් දිගටම කෙනෙකුට පහර වැදීම විශාල ඛේදවාචක වලින් අවසන් වන්නට ද ඉඩ ඇතැයි සියුම්ට සිතේ.මේ මොහොතේ අහස්ට එසේ වන්නට ඉඩ හරින්නට ඔහුට උවමනා නොවේ.

“මට ඇත්තටම දුක හිතෙන්නේ සාරන්‍යාත් මාව ජෝක් එකට ගන්නකොට.මිනිස්සුන්ගේ ජීවිතවල දිනන කාල වගේම පරදින කාලවල් තියෙන්න පුළුවන් කියලා එයා තේරුම් ගනියි කියලයි මම හිතුවෙ.”

මේ මොහොතේ මිතුරාගේ සිත රිදවන්නට සියුම්ට ද උවමනා විය. ඔහුගේ වෘත්තීය පසුබෑම ගැන කිසිවක්ම නොකියා ඔහුව දිරිමත් කිරීම මේ මොහොතේ උවමනාම දෙයකි.නමුත් පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඔහු ගන්නට යන අවදානම ගැන කියන්නට මේ මිස වෙන කිසිම මොහොතක් නැතැයි සියුම් සිතුවේ ය.

“මෙහෙමයි,මේ එයා දිනලා ඉන්න කාලෙ.ඔයත් එයා වගේම දිනපු මනුස්සයෙක් කියලා හිතලා සාරන්‍යා උඹට ළං වුණා.ඊටපස්සෙ උඹ පරදින්න ගත්තා.එයාගේ ෆීල්ඩ් එකේ වගේම උඹේ ෆීල්ඩ් එකෙත් දිගටම ෆේල් වෙනකොට මනුස්සයෙක්ට අවස්ථා නැතිවෙන ඉඩ වැඩියි කියලා සාරන්‍යා දන්නව.එයාට ඕන දිනන මිනිහෙක්.අන්න ඒක තේරුම් ගත්තනම් හරි.”

එසේ කියන්නට හේතුව කෙසේ හෝ අහස් ජයග්‍රහණය කිරීම නොවන බව වැඩිදුරටත් කියන්නට සියුම් වග බලා ගත්තේ ය. ඇතැම්විට අහස්ට බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබේ.බොහෝ දේ අහිමි වන්නට ද ඉඩ තිබේ.එසේ වෙද්දී පවා අත නෑර ළඟ හිඳින ආදරයක් මිස පරාජයකදී පලා යන ආදරයක් කිසිවෙකුටත් උවමනා නොවන බව සියුම් මිතුරාට වටහා දුන්නේ සීරුවට ය.

“ඉස්කෝලෙ හයේ පන්තියේ ඉඳල අපි දෙන්නා එකට.දැන් අවුරුදු දොළහක්.හැමදාම උඹ මාත් එක්කම හිටිය.උඹ මහන්සි වෙලා ඉගෙන ගන්නකොට මම මේ ක්‍රිකට් බදාගෙන කළේ මොකක්ද කියලා මට වෙලාවකට හිතෙනවා.උඹ වගේ සාමාන්‍ය මනුස්සයෙක් නොවේ පොරක් වෙන්න ඕන වුණේ මටමයි.දැන් මටම ඒක දරා ගන්න බැරි වෙලා.”

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද පහසු එකක් නොවේ.ඕනෑතරමට විභාග සහ සටන් කළ යුතු අරමුණු සහ ඉලක්ක පැමිණේ.ඒවායින් පැරදීම ද මේ මොහොතේ අහස් දැනෙන තරමටම වේදනාත්මක හැඟීම් දනවන්නක් බව කියමින් සියුම් කාලයට ගලා යන්නට ඉඩ හැරී ය.

“කිසිම දෙයක් පහසු වෙන්නේ නෑ මචං.අපි කරන දේ අවංකව උපරිමෙන් කරන්න අපි මහන්සි වෙන්න ඕන.සාරන්‍යා වුණත් ලස්සන නිසා ජනප්‍රිය වෙලා සාර්ථක වෙලා හිටියට එයා තරම් ඇස් කඩාගෙන යන ලස්සනක් නැති ඒ වුණාට පිස්සු හැදෙන ටැලන්ට් තියන කෙල්ලො රොත්තක් ෆීල්ඩ් එකේ ඉන්නවා.පුටුවක වාඩි වෙලා ලස්සන ගවුමක් ඇඳගෙන ඩයලොග්ස් කියන මෙගා ටෙලිවල සාරන්‍යා ඔහේ ඉන්නකොට උන් පුදුම තරම් කැරැක්ටර්ස් කරනව.ඒ නිසා ඔය මහන්සියෙන් දියුණු නොවෙන් එක ඔයාට විතරක් නෙමේ එයාටත් අයිති කතාවක්.”

දැඩිව හිත රිදවාගෙන සිටින මිතුරාට කියන්නට සැහැල්ලු කතාවක් සියුම්ට සිහි වූයේ ඒ අතර ය.

“අපේ කැම්පස් එකේ කෙල්ලක් උඹේ චිත්‍රයක් ඇඳලලු.මං දන්න හිතවත්ම ළමයෙක්නම් නෙවෙයි.මගෙ යාලුවෙක්ගෙ කෙල්ලෙක්ගෙ යාලුවෙක්.ඒ ළමයා අහන්න කිව්වලු මට ඒ චිත්‍රෙ උඹට දෙන්න පුලුවන්ද කියල.අද ආවේ හදිස්සියෙන් හින්දා ගෙනාවේ නෑ.මං පස්සෙ ඉල්ලලා දෙන්නං.”

සියුම් එසේ අසද්දී ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින ගැහැනු ළමයෙකුට චිත්‍ර ඇඳීමට ද හැකියාවක් තිබේදැයි අහස් විමසී ය.

“අවුරුදු කුමාරියක් වෙලා මොකක්ම හරි ඩ්‍රාමා එකක හිටගෙන දෙබස් කියන එකම නෙවේ මචං දක්ෂකම.ඒවා කරන්නෙත් මොකක් හරි දක්ෂකමක් හින්ද තමයි.ඒත් තමන්ට ලැබුණු දේවල් නිසා අනුන්ව හර්ට් කරන කිසිම මනුස්සයෙක් දක්ෂයෙක් වෙන්නෙ නෑ.”

නොදන්නා යුවතියක විසින් අඳිනු ලැබූ තමන්ගේ සිතුවම නැරඹීමේ හදිසි ආශාවක් අහස්ට ඇති වෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles