මානසික සුවය වෙනුවෙන් නිදාගන්න කලින් කරන්න ඕන දේවල් 07 ක්

දෛනික කාර්යබහුල ජීවන රටාවෙන් මිඳිල මනසට වගේම සිරුරටත් අත්‍යාවශ්‍ය විවේකය ලබා ගන්න බලාගෙනයි අපි රාත්‍රියේ නින්දට යන්නෙ. 

නමුත් ඔබේ මනස සමහරවිට ඔබ හිතන තරම් පහසුවෙන් නිදාගන්න සූදානම් නැති අවස්ථා ඔබ අත් විඳල ඇති.

සමහර සිතුවිලි ඔබ නොසිතන තරම් දුර ඔබව අරන් ගිහින් බොහෝ වේලාවක් අවධිව තබනවා. එය ඊළඟ දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න ඔබට ලොකු බාධාවක් වන බවත් අපි දන්නවා. 

ඒ නිසයි සුවදායී නින්දක් වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරන විදිහ දැනුවත් කරන්න අපි මේ ලිපිය අද ඔබත් එක්ක බෙදාගන්න තීරණය කරේ. 

දවසේ සිදුවීම් නැවත මතක් කරන්න

එදිනෙදා සිදුවන සමහර සිදුවීම් නිරතුරුවම මතකයට නැඟීම සමහර විට ඔබේ මනසට දැඩි පීඩාවක් වෙන්න පුළුවන්. 

ඒ නිසා එදිනෙදා සිදුවූ සිදුවීම් දිනපොතක සටහන් කරන්න ඔබට පුළුවන්. 

එහෙමත් නැත්නම් ඔබේ සමීපතම ආදරණීයයෙකු සමඟ ඒ දේවල් බෙදාගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ එදිනෙදා දවස ගෙවුන විදිහ අහන්නත්, අදහස් බෙදාගන්නත් අමතක කරන්න එපා.

ඊලඟ දවසේ ඔබට කරන්න තියෙන වැඩ කටයුතු ගැන මතක් කරගන්න 

ඊලඟ දවසෙ ඔබට කරන්න තියෙන වැඩ ගැනත් මතක් කරගන්න. ඒ දේවල් ඔබේ දුරකථනයේ to-do-list එකේ සටහන් කරගන්න වුනත් ඔබට පුළුවන්. 

එවිට ලොකු පීඩනයක් නැතුව ඊලඟ දවසට මූණ දෙන්න ඔබට පුළුවන්.  

ඇඟ සෝදන්න

අපි අනිවාර්යයෙන් රෑ නින්දට කලින් දත් මදිනවනේ. 

නමුත් ඔබ නින්දට කලින් ඇඟ සේදුවොත් ඔබේ ශරීරයට හොඳ ප්‍රබෝධයක් ලැබෙනව. 

ඇඟ සේදීමෙන් පස්සෙ ඔබට දැනෙන සැහැල්ලු සහ නැවුම් බව ඔබේ මනසට ලොකු සුවපහසුවක් ගෙන එනවා.

ඇඟ සේදීමෙන් පස්සෙ මෘදු සුවඳක් හමන ආලේපන වර්ගයක් ගල්වන්නත් ඔබේ යටි පතුල් සුළු වේලාවක් සම්බාහනය කරන්නත් ඔබට පුළුවන්. 

ඔබේ මුළු සිරුරටම සම්බන්ධ වන නිළ රාශියක් ඔබේ යටිපතුල් වල පිහිටන නිසා මේ සම්භාහනය ඔබට හොඳ සුවයක් ගෙනදෙන බව විශ්වාසයි. 

පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න

පොත් සහ චිත්‍රපට කියන්නෙ ඔබව වෙනමම ලෝක වලට අරන් යන කලා මාධ්‍යයක්. 

එදිනෙදා ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා ඔබේ මනසට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න පොතක් කියවීම උදව් වෙනවා. 

ඒ නිසා අඩුම වශයෙන් පොතක පිටු නවයක්වත් කියවීම හොඳයි කියල තමයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. 

ඔබ පොත් කියවන්න අකමැති කෙනෙක් නම් ඒ වෙනුවට චිත්‍රපටයක් බලන්න වුනත් ඔබට පුළුවන්. 

ඔබේ සහකරුවත් එක්ක බලන්න romantic netflex tv series ගැන smart lady අපේ සටහනත් ඔබට අනිවාර්යෙන් උදව්වක් වේවි.

http://ඔබ බැලිය යුතුම Romantic Netflix TV Series https://smartlady.lk/article/29127/romantic-netfilx-tv-shows-you-must-watch/ 

සංගීතයක් රසවිඳින්න 

වැස්සේ හඬ සහ බටනළාව වගේ මෘදු සංගීත කණ්ඩ ඔබේ මනසට ලබා දෙන සුවය කිව නොහැකි තරම්. 

වටේ පිටේ ඇසෙන ශබ්ද වලින් හිත නිදහස් කරගෙන එකම අරමුණක් සහිතව මනස සැහැල්ලුවෙන් නිදාගන්න සංගීත ඛණ්ඩයක් රස වීඳීම ඔබට උදව් වෙනවා. 

ඇඟ වෙහෙස නොවන සරල යෝග අභ්‍යාසයක් හෝ ව්‍යායාමක් කරන්න

දහඩිය නොදමන විදිහට ශරීරය ඇඳීමකට ලක් කිරීම නිදාගන්න කලින් ඔබේ සිරුරට දැනෙන වේදනා අඩු කරමින් හොඳ රුධිර සැපයුමක් හදෘයට ලබා දෙන්න උපකාරී වෙනවා.

එය ඔබේ මනසටත් සුවයක් ගෙන එමින් හොඳ නින්දක් ඔබට ලබා දෙන්න උපකාරී වෙනව.

සරල යෝග අභ්‍යාසයක් වගේම ව්‍යායාමයක් මේ සඳහා තෝරගන්න ඔබට පුළුවන්. නමුත් මේ අභ්‍යාස වල නිරත වෙන විට ඔබට දහඩිය දමනවා නම් ඔබ ඔනෑවටත් වඩා වෙහෙස වී ඇති බව තමයිඒ මඟින්  පෙන්වන්නෙ.  

භාවනාවක් කරන්න හෝ ඔබේ ආගම සිහිකරන්න

ආශ්වාස ප්‍රාශ්වාසය ගැන හිත යොමුකිරීම හෝ ඔබේ ආගම සිහිකිරීමත් ඔබේ ශාස්තෘවරයා වන්දනා කිරීමත් ඔබට සුවපත් සහ නිදහස් මානසිකත්වයක් ලබා දෙන්න උපකාරී වෙනවා. 

ගතවූ දවසේ ඔබට උදව් කර අයට ඔබේ සිතින් ස්තූති කිර්‍රීමත් ගතවූ දිනය සාර්ථකව නිමකිරීම ගැන ඔබටම ප්‍රශංසා කරගන්නත් ඔබව අගයන්නත් ඔබට පුළුවන්. 

එය ඊලඟ දවස ප්‍රබෝධමත්ව සහ විශ්වාසනීය ලෙස ආරම්භ කරන්න ඔබට ලොකු උදව්වක් වේවි. 

ඉතිං මේ දේවල් කාර්යබහුල දවසක අවසානයේ ඔබේ මනස සුවපත් කරගන්න ඔබටත් උදව් වේවී කියල අපි විශ්වාස කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles