දෑත දරා – 6

0
899

මනුජ යලි පියවි සිහියට පිවිසියේ පියාගේ හඬිනි. 

” ඔය යන්න ගිය ගමන යන්න මං දරුවා එක්ක කඩේට ගිහිල්ලා එන්නම් …”

“නෑ තාත්තා ඉන්න ….සෝමා නැන්දට කියන්න බබාව ලෑස්ති කරන්න කියලා……..මේ ගමන මං හවසට යන්නම්. අපි යන් ටෝයිස් ගන්න … හොඳේ …….”

මනුජ  එක්වරම එලෙස පැවසුවේය.  මනුජ එලෙස පැවසුවේත් පාදයක් බදාගෙන උන් දියණිය මනුජ දෙස හිස ඔසවා බැලුවේත් එකම මොහොතකය. මනුජගේ දෙමාපියන් දෙදෙනා මනුජ සහ දියණිය දෙස බැලුවේ   තත්පර කිහිපයක පමණක් වෙනසක් තිබියදීය. දියණියගේ දෑස් වල වූ ආලෝකයෙන් මනුජ ගේ ජීවිතයේ එතෙක් වේලා අඳුරුව තිබූ අහුකොන් ආලෝකයෙන් පිරුනේය.

මනුජ මින් පෙර නොදැනුන හැඟීමක් සහිතව එක්වරම අහසට විසි වූයේය. එවෙලෙහි  දැනෙන හැඟීමේ බර මනුජට එක්වරම දරාගන්නටවත් හැකි වූයේ නැත. එතරම් මෙන් දිලිසෙන ඇස් දෙකකට, තම සිත තුළ මෙතරම් දරුණු ගණයේ කුණාටුවක් ඇති කරන්නට තරම් ශක්තියක් ආවේ කෙලෙසදැයි මනුජ සැනින් සිතුවේය.

“ඇත්තටම අපි ටෝයිස්  ගේන්න යනවද ?… අප්පච්චී සීයේ ?… අප්පච්චී එක්ක බබා යනවාද ?…”

යළි දියණිය මනුජගේ පාදය බඳාගනිමින් මනුජ  දෙසත් මනුජගේ පියා දෙසත් බලමින් විමසුවාය. මනුජ පහතට නැවී දියණිය හා සම මට්ටමෙන් හිඳගත්තේය. ඇගේ  බෝල දෑස් දෙස බලමින් බලමින්ම හිස සැලුවේය. ඔහු උන්නේ පියවි සිහියෙන් මදක් එපිටට වීගෙන මෙන් ය.

දියණිය දෙවරක් නොසිතා එක එල්ලේම මනුජ ගේ ගෙල වැළඳගෙන උරහිස මත හිස තබා ගත්තාය.

“i love you අප්පච්චි i love you so much..”

දියණිය එතරම් පැහැදිලි ඉංග්‍රීසි කතා කරන්නේ කෙලෙසදැයි කියාවත් මනුජට අවබෝධයක් තිබුණේ නැත. එහෙත් ඔහු ඒ ගැන සිතීම පසෙකට කල් දැම්මේය. ඒ වෙනුවට දියණියව ඉතා තදින් වැළඳගෙන දියණියගේ උරිස්සෙන්  ඇයට නොරිදෙන්නට හිස තබා ගත්තේය. ඇය හසුවන මානයේ පටන් ඕ සිම්බේය. තම ලෙයෙහි සුවඳ ලෙසින් විවරන කරගන්නට හැකි සුවඳක් ඈ කෙරින් මනුජට දැනෙන්නට ගත්තේ එවෙලෙහි පටන් සේය.

පියෙකුගෙන් වන අතපසුවීම්, මග හැරීම්, නොසලකා  හැරීම් පවා ඉවසාගෙන ඒ පිය තුරුලේම ජීවිතය සෙවිම දියණියක පුරන පාරමිතාවක් විය යුතුය.  කුඩා යෙනුලි අභින්සා මේ පුරන්නේ ඒ පාරමිතාවය. ලෝකයක් යනු කුමක්දයි කියාවත් හරි හැටි නොදන්නා බිළිඳු වයස ඉක්මවමින් සිටින ඇය මනුජට ජීවිතයේ වගකීමක බර කියා දෙන්නේය. ඇය මේ සිව් වසරට සිහි තබාගෙන, සසඳමින් උන් සියල්ලම එක වචනයකින් කියා අවසන් කරන්නීය.

මනුජ ඇය ඔසවාගෙනම නැගිට්ටේය. පියා දෙස නොබලා නිවස තුළට යන්නට තරම් සවියක් ඔහුට තිබුණේ නැත. යුග දෙකකි. එහෙත් එකම හැඟීමකි. 

”  මං ලෑස්ති කරවගන්නම් …”

මනුජ බුරුල් වූ නාසයෙන් හඬ වූ නාසයෙන් හඬ වෙනස් වෙන්නට නොදී එලෙසින් පැවසූවේය.  පියා කිසිත් නොපවසා මිදුලට බැස්සේය. 

මනුජගේ ජීවිතය ගැන මනුජගේ පියාට දැනෙන්නේ වේදනාවකි. ඔහු පවුලේම උන් කඩවසම් තරුණයාය. ගුවන් හමුදා නිළ ඇඳුමට ඒ කඩවසම් බව පරයන ගාම්භීර බවක් ඔහුට ඉබේම ආඩ්‍ය වන්නේය. ඔහු පාසැල් කාලයේ පටන්ම තම අවශ්‍යතාවයන් මුදුන් වෙනුවෙන් පමණක්ම සටන් කලයකු බව මනුජගේ පියාට මතකය.   ඒ සටන් කිරීම අවසානයේ තම ජයග්‍රහණය තුළින්ම තමා කෙතරම් නිවැරදි දැයි සියල්ලන්ටම පෙන්වා දුන් නිසාම තමාත් බිරිඳත් මනුජගේ ජීවිතයේ බොහෝ දේ  පිළිබඳව වන තීරණ ප්‍රශ්න කිරීම පිළිබඳව දෙතුන් වතාවක් සිතූ බව ඔහුට සිහිපත් විය. 

එහෙත් නිර්දා හා විවාහ වන්නට මනුජ සූදානම් බව දැනගත් මොහොතේ පටන් යම් නොවැටහුණු  හේතුවක් නිසා මනුජගේ  මව එයට අකමැති වූ ආකාරය ඔහුට සිහිපත් විය.

” අනේ මං දන්නෑ මහත්තයා …..  මට හේතුවක් කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මට හිතෙන්නෙම නැහැ ඒ දරුවා ලොකුට ගැලපෙනවා කියලා….”

“ඒ ළමයා හුරතලයට හැදිච්ච පවුලක ළමයෙක්..ඒ ඇර නම් මට නම් වෙන අඩුපාඩුවක් පේන්නේ නැහැ නැහැ. ඒත් ඉතින් නෝනේ දැන් ඕක කියලා කියලම මටත් හිතෙනවා ලොකුට ඊට වඩා හොඳ ගැලපීමක් හොයාගන්න පුළුවන්ද කියලාත්  ….”

“අනෙක ලොකු එකක් කිව්වහම ඒ ළමයා දෙකක් කියනවා…. හුරතලය කෙසේ වෙතත් ඒ ළමයා කොයිවෙලෙත් ඉන්නේ ලොකු එකක් කරට කර ගැටෙන්න බලාගෙන.. ලොකු එහෙම දේවල් ඉවසන ළමයෙක් නෙවෙයි නේ….. අපි ඉන්නවා කියලාවත් ඒ ළමයාගේ ඉවසීමක්, පාලනයක් නෑ,…”

“ඒක හරි……..  ඒත් ඉතින් ලොකු එක නොදන්නවත් නෙවෙයිනේ …..ලොකූට ඕක  නොතේරෙනවා වෙන්නත් බැහැ..”

“එහෙමයි කියලා මෙවෙලේ අපි නිශ්ශබ්දව හිටියොත් අපි දරුවාගේ ජීවිතේමයි විනාශ වෙන්නේ මහත්තයා..”

“එහෙමයි කියලා ඕකට විරුද්ධ උනා කියලා ලොකු ඕක නොකර ගනීවි කියලා හිතෙනවද..?”

” අම්මා අප්පා   නෑ කියල හිතලා ලොකූට ඔව්වා කරගන්න ලැබෙන්නේ නෑනේ  මහත්තයා..”

“මං නොදන්න මනුජ ප්‍රේමනාථ ..”

“ලොකූ  මේක නවත්තන්නෙ නැත්නම්,  හොඳම දේ මං ඒ ගෑණු ළමයව හම්බෙන්න ගිහිල්ලා කතා කරන්නද මහත්තයා..?..”

” ඔයාගේ ඔලුව හොඳ නැතිවී ගෙනෙ එනවද කාන්ති ….. මොනවද මේ කියන කතා….. අපේ එකා හදාගන්න බැරුව අපි කොහොමද පිට ළමයි හදන්න යන්නේ..”

“මේක ළමයි හැදිල්ලා ගැන ප්‍රශ්නයක් නෙවෙයිනේ මහත්තයා …. මං ඒ ළමයට කියන්නේ ලොකුයි ඒ ළමයයි දෙන්නා එක වහලක් යට පවුල් කන්න ගැලපෙනවද නැද්ද කියන එක ආයේ ආයි හිතන්න කියලා..”     

තම අභිමතය කෙලෙසකින් වුවත් මනුජගේ මව නිර්දා මුණ ගැසී මනුජ සහ  නිර්දා පිළිබඳව කතා කළ බවද මනුජගේ පියාට මතකය.  ඉන් පසුව ඉන් දින දෙකකට පසුව සවස් වරුවක මනුජ නිවසට පැමිණිය ඉතා කෝපයෙන් බවද ඔහුටට මතකය.

“මං නිර්දාව කසාද බඳින්න තීරණය කරලා ඉවරයි. අම්මයි අප්පච්චි එකට අකමැති නම් මට ඒක කෙලින්ම කියන්න ….. එතකොට මට අම්මයි අප්පච්චියි  නැතුව මේ දේවල් කරගන්න විදියක් බලන්න පුළුවන්..”

ඒ උස් හඬ හමුවේ තමා නිහඩව කිසිත් නොපවසා බලා සිටි බවද , මනුජගේ මව මනුජට  බැණ වදිමින් හඬා වැටුණු බවද මනුජගේ  පියාට මතකය 

“ඔයාට හොඳයි කියලා හිතෙන එක ඔයා කරගන්න ඕනේ තමයි ලොකූ….  හැබැයි ඒ තෝරගන්න  ජීවිතේ  පසු ප්‍රතිඵලත් ඔයාම විඳින්න සූදානමින් ඉන්න … “…

තමා නිවසේ  මෙතැන සිටම මනුජට පැවසූ ආකාරය මනුජගේ පියා සිහිපත් කරේ ඉතා ගැඹුරු සුසුමකින් ලය සැහැල්ලු කර ගනිමිනි. දරුවන් දෙමාපියන් නොතකා යමින් ජීවිතය  තුළ යම්  වරදවා ගැනීම් සිදු කර ගැනීම සාමාන්‍යය. එහෙත් වැරදුනු ජීවිත අතහැර දමන්නට දෙමව්පියන්ට නොහැක. ඒ ඒ දරුවන්ගේ අඩුපාඩුවක් නිසා හෝ වේවා සමාජයේ අඩුපාඩුවක් නිසා දෙමව්පියන් දරුවන් ඔහේ අතර දමන්නේ නැත. 

බැඳීම්වලින් මිදෙමින් සැහැල්ලුවෙන් ගෙවෙන්නට තිබූ ජීවිතය සැඳෑ කාලය කුඩා කෙළි පැටික්කියකගේ   වගකීම කරපිට තබාගෙන ගෙවන්නට තමා සහ බිරිඳ තීරණය කළේ ඒ බර හැඟීම නිසාය.

මිතුරා හමුවීම පසෙකට දමා   දියණිය වඩාගෙන යළි නිවස තුළට පියමැන දියණියව  සූදානම් කරමින් උන්  මනුජගේ සිත තුළ වන කලබලකාරී  සිතුවිලි තැනුවේත් එකී හැඟීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here