සුළි සුළඟක සුසුමක් – 22 වන කොටස

අලුත් දවසක් උදා වී තිබුණේ ය. කොළඹ වැස්සා ට තවම රත්නපුර අහස වැහි බර උහුලා දරා ගෙන සිටියේ ය. කාමරයේ වීදුරු කවුළුවට පෙනෙනා නිල් කඳු යාය අතරින් රිදී ඉරක් පායා එමින් තිබිණ. මම කවුළු සියල්ල හැර දමා අලුත් සුළඟ ට කාමරයට එන්නට ඉඩ සලසා දුන්නෙමි.

රෝස මල් වලට ඇඹුල මුසු සුවඳ නො අඩු ව ගලා ආවේ ය. මේ වතාවේ මා යත්දී වර්ණදාස රෝස ගස් කප්පාදු කොට තිබිණි. ඒවායින් රතු පාට දලු නැගී එන හැටි ද මම දුටුවෙමි. පොහොට්ටු නැංවී තිබෙන්නේ මා නැති අතරේ ය. මේ මල් වාරයයි. ජනේලයට කෙළින් මඳක් එපිටින් වන රෝස පාත්තිය නෙක වර්ණ ලොකු මල් දරා ගෙන තෘප්තිමත් හැඟීමකින් සුළඟත් එක්ක නැලැවෙන හැටි මම බලා සිටියෙමි. අම්මා කොතෙකුත් රෝස ගෙනවුත් කොළඹ ගෙදර මිදුලේ සිටුවන්නී ය. නමුත් මේ තරම් ලොකුවට මල් දරන්නේ නැත. මේ පරිසරයේ වන කඳුකරයට ආසන්න දේශගුණ තත්වය එසේ වන්නට හේතු වූවා විය හැක.

“සුදු බබා. මේං මං කිරි එක අරං ආවා”

නීලා මව්වත් සිනහවකින් විත් දෝතින් ම කිරි එක මවෙත පෑවා ය. අද ඇය සිටින්නේ අලුත් සතුටකින් මෙනි. ටික දිනකට හෝ මා යළි මෙහි නතර වේ ය යන සිතිවිල්ල ඇය ට ප්‍රීතියක් වී තිබේ. මිනිස්සු සතුටු වන්නේ ත් සතුට සොයන්නේ ත් කෙතරම් කුඩා දේවල් මතින් ද? ඒ විදිහට සිතත්දී ජීවිතය මොන තරම් නම් සුව පහසු ඇත්ද?

“සුදු බබාගෙ හිත හැදෙනකල් ඇති තරං කාලයක් මෙහෙ ඉන්න මැණිකෙ. මං ඇස් දෙක වගේ බලා ගන්නං. ලොකු නෝනාටත් මං එහෙම කිව්ව”

“මගෙ මොනා බලා ගන්න නීලම්මා ඔය තරං…මොකෝ මං පොඩි ළමයෙක්යැ”

ඇය මදෙස බලා පෑ සිනහවේ අරුත හොයා ගන්නට මට හැකි වූයේ නැත. නීලම්මා දැන් තරමක් වයස පාට ය. මුලින් ම ඈ මේ ගෙදර වැඩට එත්දී තරුණ ය. හැඩකාර ය. තුරුණු වියෙහි දී වූ සිත්කළු ස්ත්‍රීත්වයේ යටගියාව, යන්තම් දනිත හැකි මුහුණේ රැලි තුළ සැඟව තිබේ.

“නීලම්ම වර්ණදාසව බැන්දෙ ආදරේ කරලද…නැත්තං යෝජනාවකින්ද…”

“අපෙ අප්පේ…සුදු බබාටත් හිතෙන දේවල්…”

කිකිණි හඬින් සිනහ වෙන ගමන් ම නීලා එසේ කියමින් නිකටත් කම්මුලත් වැසෙන සේ සුරත තබා ගත්තා ය. සැබවින් එවන් ප්‍රශ්නයක් නගන්නට මටත් සිතක් පහළ වූයේ ඇයි දැයි මාත් දැන සිටියේ නැත. එය මේ මොහොතේ ක්ෂණික ව පහළ වූ සිතිවිල්ලකි.

“තරුණ කාලෙදි නීලම්ම වර්ණදාසත් එක්ක සම්බන්දයක් තිබුණද…”

“අනේ නෑ සුදු බබා”

ඇය මහා දිග සුසුමක් හෙළුවා ය. ඒ සුසුම ඇතුළේ හංගා ගත් අතීත කතාවක් තිබිය යුතු ම යයි මට සිතිණ. නමුත් කාගේ වුව පුද්ගලිකත්වයකට අත පෙවිය හැක්කේ සීමාවක් ඇතිව ය.

“ඕව තීරණේ වෙන්නෙ ඉතිං පතා ගෙන ආපු හැටියට තමයි”

“ඒ කියන්නෙ නීලම්ම වර්ණදාසව බැන්දෙ ඇයි…ගෙදරිං යෝජනා කරපු නිසාද….”

“හ්ම්”

ආයේමත් සුසුමකි. මීට පෙර වසර ගණනාවක් තිස්සේ නීලා ව දැන සිටියත්, ඇගේ හදවගේ ගුහාවක් ඇතුළේ මේ වගේ සුසුමක් හංගා ගෙන ඉන්නා බවක් මා දැන සිටියේ නැත. අප ජීවත් වන්නේ මොන තරම් මතුපිටින් ද? දුරින් හිඳිනා අයගේ නොව ළඟින් හිඳිනා අයගේ වුව හදවත් වල වන යට ගිය සුසුම් ගැන අප දන්නේ මොන තරම් ස්වල්පයක් ද? එහි වරද ඒ තැනැත්තා ගේ නොව අපේ ම යයි මම සිතමි. අප ජීවත් වන්නේ ඇසුරු කරන අයගේ හදවත් ගැන කිසිදු සංවේදී තාවයකින් තොරව ය.

“ඒ වගේ කසාදයක් කොහොමද නීලම්මා දැනෙන්නෙ…අයිය හදන්නෙ මාවත් එහෙම බන්දවන්න”

“සුදු බබාගෙ හිත වෙන තැනක නතර වෙලා නැත්තං විතරක් ඒකට කැමති වෙන්න. එහෙම නැත්තං කවදාවත් ඒ විදිහට මනුස්සයෙක්ව බඳින්න එපා”

මේ පැරණි බංගලාව බලා කියා ගෙන එහි වැඩ පල කර ගෙන ඉන්නා නූගත් ගැහැනියක කියා සිතත හැකි නීලම්මා තුළ එහෙව් ජීවන දර්ශනයක් වෙතැයි මා සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත.

“ඒ බඳින මනුස්සයට කවදාවත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නෙ නෑ සුදු බබා”

මම නීලම්මා ගේ බොර පැහැති ගිළුණු දෑස් වලට එබී බැලුවෙමි. ඒවායේ පත්ලෙහි වන්නේ ගැඹුරු ළිඳක වනාකාරයේ ගුප්ත ශෝකයකි. මගේ හදවත පත්ලේ ද දෙදරීමක් හා ඒ සමග ම ඉරි තැලීමක් ද ඇති වන්නට විය.

“ඒ කියන්නෙ…වර්ණදාසව බඳින්න කලින් නීලම්මා වෙන කෙනෙක්ට ආදරේ කරල…”

ඇය පිළිතුරක් දුන්නේ නැත. නමුත් ඒ නිහඬ බව, එය එසේ බව හඬ ගා කියන ලදී.

“ඉතිං ඇයි ඒ ආදරේ කරපු කෙනාව බැන්දෙ නැත්තෙ නීලම්මා”

ඇය ලොකු හුස්මකින් පපුව පුරවා ගත්තා ය. ඒ සුසුම නිසා විතැන් වූ සන්තාපයේ තරම මට අනුමානයෙන් හෝ සිතා ගත නො හැකි විය.

“ඒක දිග කතාවක් සුදු බබා. දැං මං කෑම ලෑස්ති කරන්න ඕනෙ. අස් පස් කරන වැඩත් එහෙමමයි. සුදු බබා තේ බීල ලෑස්ති වෙලා එහෙම එන්නකො කෑම කන්න”

කියා ගෙන නීලා කතාව මග හැර ගියා ය. මට දැනුණේ මගේ ම වූ දුකකි. නීලා තුලින් මට මැවී පෙනෙන්නට වූයේ මාව ම ය. නීලා ගේ ඇස් දෙක ඇතුළේ කැළතී තිබුණේ මගේ අනාගතය ය.

කවදාවත් නැතිව මා වෙනුවෙන් ඉකි ගගහා හඬන්නට හිතෙන දුකක් හිතේ ඈතක පා වෙවී තිබිණි. නීලා කී වචන ඇතුළේ වන්නේ පහසුවෙන් බැහැර කළ හැකි කතාවක් නොවේ. මා ගැන, මගේ අනාගතය ගැන, මගේ හිත ගැන මුල් ම වතාවට මහත් බියකින් මම වෙව්ලා ගියෙමි.

නීලා කඩිසර ව කෑම මේසයේ කටයුතු කළා ය. ඇගේ ඇස් වල වෙනදා දැක නැති දීප්තියක් මේ වෙලාවේ මට පෙනිණ. අය අතීත සතුටකින් වර්තමානයේ හැසිරෙමින් සිටියා ය. ඇතැම් විට මේ මොහොත තුළ දී ඇය ජීවත් වෙමින් සිටියේ අතීතයේ වන්නට පුළුවන.

සංකල්ප සමගින් මම ගුරු පාරේ ඇවිදින්නට ගියෙමි. පරසරය වෙනදාටත් වඩා ලස්සනට පෙනිණ.

“අර ඩොක්ටර්ව බඳින්නෑ කිව්වොත් බඳින්නෑ ම තමයි”

උන් හිටි ගමන් මට කියැවී තිබිණි. සංකල්ප ඇවිදින එක මොහොතකට නතර කොට මදෙස බැලුවේ ය.

“මං කියන්නෙ…මං කවදාවත් බඳින්නැතුව ඉන්න පුළුවන්. ඒත් මං දන්නෙ නැති…මට දැනෙන්නෙ නැති කෙනෙක්ව බැඳල…දවසක නීලම්ම වගේ මහ බරක් පපුවෙ හංගං ඉන්න මට බෑ”

ඔහු ගේ ඇස් වඩාත් සිහින් වී තිබුණ ද ඒවායේ වන තියුණු බව තව දුරටත් එහෙම ම ඉතිරි වී තිබිණ. ඒ වගේ ඇස් දෙකක් දරා ගැනීම පහසු නැත. මම සියුම් ලෙස ඒ බැල්මෙන් මිදෙනා උත්සාහයක් ගතිමි.

“බඳින්නම ඕන කියල නියමයක් තියනවද සංකල්ප…මිනිස්සු දියුණු වෙලා කිව්වට…තාමත් ගල් ගුහාවෙන් එළියට ඒ ගන්න බැරුව ඉන්නවද කියලත් මට හිතෙනව”

“බඳින්න ඕනමයි කියල නියමයක් කොහෙවත් නෑ”

ඔහු කතා කළේ මට නොව ඈත නිල්වන් ව දිලෙනා කොළ පාට නිම්නයට ය.

“බඳිනව කියල නීතියක් හදං තියෙන්නෙ සුරක්ෂිත කමක් ඇති කරන්න. නීතියෙන්ම. බඳින්න ඕන නෑ…බැඳෙන්නයි ඕන උත්තරා”

කොහේදෝ සිට හමා ගෙන ආ සුළං ප්‍රවාහයක් විසින් මා ව ගසා ගෙන ගොස්, උඩු ගුවනේ සිට හරිත නිම්නයට කඩා ගෙන වැටුණා සේ මම කම්පිත වීමි.

බඳින්න නෙවෙයි බැඳෙන්නයි ඕන උත්තරා…

බඳින්න නෙවෙයි බැඳෙන්නයි ඕන උත්තරා…

ඒ වචන ටික ඈත කඳු වල හැපෙමින් යළි යළි ප්‍රතිරාව නංවන්නට වූයේ ය. නමුත් ඒවා හැපුණේ සැබෑ ලෙස ම කඳු වල නොවේ. මගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හි බිත්ති අතරේ ය.

“බැඳුනට පස්සෙ…ආයෙ අමුතුවෙන් බඳින්න දෙයක් නෑ”

මගේ තොල් ඉසියුම් ව සැලෙන්නට වූයේ ය. හදවත අමුතු රිද්මයකින් ස්ඵන්දනය වෙනවා දැනිණ. මේ දඩබ්බර කොල්ලා මේ වගේ කතා කියන්නට ඉගෙන ගත්තේ කොහෙන් ද?

“ඔයා අර කියපු කතාවෙ එක ඇත්තක් තියෙනව”

මම ඒ මුහුණ දෙස බලා ගතිමි. සංකල්ප මගේ ඇස් මගහැරියේ ය.

“ඒ ප්‍රපෝස් කරපු කෙනාට ඔයා ඉබේටම බැඳුණෙ නැත්තං එයාව බඳින්න එපා”

දෙතොලෙහි වෙව්ළුම ඔහු ට නො පෙනෙනු වස් මම දෙතොල් තද කර ගෙන බිම බලා ගෙන ඇවිදින්නට වූයෙමි. මගේ දෑත් තිබුණේ සැහැල්ලු කලිසමේ සාක්කු වල ඔබා ගෙන ය. මේ ගැස්ම සීතල ට අදාල එකක් ද  කියා ත් මම සිතුවෙමි.

ඒ කතා බහ හදවත මත ඇති කළ බලපෑම ගැන මම කිසිත් නො සිතුවෙමි. එය සැහැල්ලුවක් වේවා බරක් වේවා ඒ ලෙස ම ඇතුළාන්තයේ පවතින්නට හැර මම නිසල වීමි. එසේ වෙතත් නීලා ගේ හද පෑරූ කතාව දැන ගන්නා තෙක් මට ඉවසිල්ලක් වූයේ නැත. දිය නාගෙන බරාඳයට විත්, නීලා අතට තුවාය දී මම ඇය ව පුටුවක ඉන්දුවෙමි. ඊළඟට මම පුටුව ළඟ බිම හිඳ ගතිමි.

“අනේ මේ මොකද්ද සුදු බබා කරන්නෙ…සුදු බබා පුටුවෙං ඉඳ ගන්න.  මං හිටගෙන කොණ්ඩෙ පිහින්නං”

නීලා විරුද්ද වූවා ය.

“මෙහෙම හොඳයි නීලම්ම. අපි අලුත් පැළ ටිකක් එහෙම දාල ගාඩ්න් එක ටිකක් වෙනස් කරමුද…”

ඒත් හදිසියේ මේ මෙිහොතේ මගේ හිතට ආ අදහසකි.

“අනේ කොච්චර දෙයක්ද සුදු බබා. මේව බලා කියාගෙන ආදරේ කර ගෙන ඉන්න සුදු බබා මිසක් වෙන බේබි කෙනෙක්නං නෑ”

“අපිට සතුටෙං ඉන්න දේවල් හොයා ගන්න ඕනෙ නීලම්ම…එක මනුස්සයෙක් එක දෙයක් මත්තෙ අපේ සතුට තනිකරම ගොඩ ගහල තියන්න නරකයි”

“ඒක හැබෑව. සුදු බබා ටික ටික ලොකු මහත්තයගෙ මතකෙනුත් ඈත් වෙන්න ඕනෙ. මරණයත් එක යන අය යන්නියාට…ඉතුරු වෙන අය ජීවත් වෙන්න ඕනනෙ සුදු බබා”

අප්පච්චි ගේ නික්ම යාම මේ මොහොතේ ත් රිදුමක හැඩ තල සිත් හි මවමින් තුනී වී ගියේ ය.

“අපිට ඕනෙ කියල හිතෙන දේවල් ම නෙවෙයි සුදු බබා ජීවිතේ කියල කියන්නෙ…අපිට උරුම වෙන දේ. සතුටෙන් වුණත් සතුටක් නැතුව වුණත් අපිට ඒක බාර ගන්න වෙනව”

නීලම්ම මට අර දිග කතාව කිව්වෙ නෑනෙ…නීලම්මගෙ ආදරේ ගැන”

“එක අතකට දැං ඕව ගැන කතා කරල ඇති වැඩේ මොකද්ද සුදු බබා…”

“මට දැන ගන්නනෙ”

ඇය හෙමින් සීරුවේ ලොකු හුස්මක් පෙනහලු තුළට ගත්තා ය. මම ඇගේ දණහිස ආසන්නයේ මගේ කම්මුලක් රඳවා ගතිමි. ගැහැනු අප කාගේත් හදවත් වල වන්නේ එක ම ගැස්මකි.

“මං ඉපදුණේ ඉතිං පණස් ගණං වල මුලනෙ. මං හිතන්නෙ සුදු බබාගෙ අම්ම ඉපදිලා තියෙන්නෙ හැට ගණන් වල අගට වෙන්න. අපේ කාලෙ ඉතිං දැං වගේ නෙවෙයිනෙ. අපේ අම්ම වතු බංගලාවක උයන්න ගියා. ඒක ලොකු පවුලක්. ඒ නෝනා මහත්තුරුංගෙ පුතා කොළඹ බෝඩිං කරල ඉගැන්නුවෙ. මං ජේෂ්ටෙට කිට්ටු වෙනකල් ඉස්කෝලෙ ගිහිං නතර වෙලා හිටියෙ. කොහොමත් දිගටම ඉස්කෝල කෙරුවාව තරන්න අපේ අම්මලට හයිය තිබ්බෙ නෑ. ඒ කාලෙ මං මැහුම් පන්ති යනව. තව ඔය රේන්ද ගොතන්න ඒවට මේවට. පොඩි මහත්තය නිවාඩුවකට බංගලාවට ආවා. මාත් ඔය කාලෙ අම්මගෙ උදව්වට බංගලාවට යනව. පොඩි මහත්තය මං ගැන උනන්දු වුණා. මගෙ හොඳ ලස්සන තරුණ කාලෙනෙ. ජම්බු ගෙඩිය වගෙයි මං. මගෙ හිතත් පොඩි මහත්තය දිහාට ඇදෙන්න ගත්තෙ මටත් නොදැනි. තේ පඳුරු අතරෙදි හම්බ වෙලා කතා කරන්නත් පටං ගත්තා අපි. කොහොම හරි මේක බංගලාවට ආරංචි වෙලා. අම්මට වැඩට එන්නත් එපා කිව්ව. දැං වගේ නෙවෙයිනෙ සුදු බබා ඒ කාලෙ. එදයිං පස්සෙ මං පොඩි මහත්තයව ඇස් දෙකට දැක්කෙ නෑ”

“අනේ”

මට කියැවී තිබිණි.

“ඒත් මට එයයිව හිතෙං අයිං කර ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. කසාදයක් කර ගන්න එක මං පහු කර කරම හිටියා. අම්මලගෙ වදේට පොරේට අන්තිමට මේ වර්ණදාසට මාව බාර කළා”

“නීලම්මට කවදාවත් වර්ණදාස ගැන ආදරයක් හිතිල නැද්ද..”

මට වැදගත් ම වූ කාරණාව ඒ ය.

“ආදරේ කියල එකක් මං දන්නෑ සුදු බබා. හැබැයි අර පොඩි මහත්තය ළඟදි හිතට දැනුණ හැඟීම කවදාවත් ඊට පස්සෙ දැනිල නෑ. මේ මනුස්සය මටවත් මං එයාටවත් වරදක් කරල නෑ. ඒත් ඔය සුදු බබා කියනව වගේ දෙයක් එතන තිබුණා වෙන්න බෑ. මැරෙනකල් එකට ජීවත් වෙන්න ඕන කියන එක විතරයි ඔළුවෙ තිබුණෙ”

“අනේ නීලම්ම”

මගේ හඬ බිඳී ගියේ ය. ඇස් කෙවෙනි දවා ගෙන ආ කඳුළක්, ඇස් මත්තේ දී පිච්චී වාෂ්ප වී ගියේ ය.

“කෙිහොමද දෙයියනේ එහෙම කරන්නෙ…”

“දෙයියො තමා දන්නෙ සුදු බබා. ඒත් ඉතිං තාම මේ ජීවත් වෙන්නෙ එහෙම…ඉරණම දෙන දෙයක් අපිට ගන්න වෙනව මයෙ රත්තරනේ”

“මටනං එපා…”

මම උගුර යටින් කියා ගතිමි.

“ඉරණම දෙන දෙයක් ගන්න මටනං බෑ නීලම්ම. ඉරණම කුඩු පට්ටං කරල හරි…මට ඕනෙ දෙයක් කරනව නීලම්ම මං…”

මා දුක් වන්නේ හෝ තැවෙන්නේ කුමක් ගැන ද කියා අවබෝධයක් මට වූයේ ම නැත. නමුත් මම රිදුම් ලබමින් සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content