ආදර සැලසුම් – 62

0
2033

” මෞර්යා කියන්නේ නරක ගෑණු ළමයෙක් නෙමෙයි වුනාට එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් ඔයාට වෙන කරන්න දෙයක් නෑනේ පුතේ.හොඳම දේ තමයි ඔයා සද්ද නොකර පැත්තකට වෙන එක. office එකේදී උනත් එයත් එක්ක හරිම සාමාන්‍ය විදිහට ඉන්න හිටියා වගේම ” 

අශිකා කියා ගෙන ගියේ අභිමන් ගේ හිත හැදීම පිණිසය.එහෙත් මෙතන ඇති කාරණාව එය නොවේ.මෞර්යා ආදරය කරන්නේ තම එකම සහෝදරයාට වීමය.

” office ට්‍රිප් එක ගිය වෙලාවෙ ඔය දෙන්නා එකට ඉන්නවා දැක්කම මට ඇත්තටම හිතුනා ඔයාට මෞර්යා වගේ ගර්ල් කෙනෙක් ගැලපෙනවා කියලා.මං ඒ ගැන අයියා එක්කත් කිව්වා ” 

අභිමන් ඒ සොඳුරු දවස් සිහි කලේ වේදනාවෙනි. නැවතත් ඒ අතීතයට පා තබන්නට තිබුණා නම් යයි කියා අභිමන් බොහෝ වාරයක් සිතුවේය. එහෙත් ඒවා ජීවිතයේ මතකයන් ගොන්නට එකතු වී හමාරය. 

” ඔයාට මෞර්යා වගේ කෙනෙක් ලැබෙනව නම් මට සතුටුයි. ඒත් ඉතින් එයා එයාගේ ජීවිතේ ගැන තීරණයක් අරන් තියෙනවා නම් අපිට මොකුත් කියන්න බෑනේ පුතේ. එයා එයාට ගැලපෙන හොඳම කෙනා තෝර ගෙන ඇති”

අශිකා එසේ කියනා විට රිදුම් දුන්නේ අභිමන් ගේ හදවතේ සියුම්ම තැන්ය. මෞර්යා මේ නිවසේම ලේලියක වී පැමිණෙන්නට නියමිත වුවද ඒ පැමිණෙන්නේ තමා ගේ බිරිඳ හැටියට නොවේ. තම සහෝදරයා ගේ බිරිඳ හැටියටය. සිතේ කහටක් නොමැතිව එය පිළිගන්නට තමා දැන් සිටම සූදානම් විය යුතුය.

” ඔව් අම්මා.එයා තෝරා ගෙන තියෙන්නේ හරියටම එයාට ගැලපෙන කෙනාව තමයි ” 

අශිකා මදහසක් පෑවාය. චන්දික වැනි ගුණ යහපත් පුද්ගලයෙකු ගේ දියණියද එවැනිම යහපත් ගති ගුණ ඇතිව හැදී වැඩි ඇතුවාට සැකයක් නොවේ. ඇය ආදරය කරන්නට තෝරා ගෙන ඇත්තේ ද එවැනිම කෙනෙකු විය යුතුය. එහෙත් එය එසේ නොවී අභිමන් හට ඉඩක් තිබුනා නම් යැයි කියාද අශිකා සිතුවාය.

” office එකේ කෙනෙක්ද පුතා ? ” 

” ඔව් අම්මා ” 

අභිමන් පිළිතුරු දුන්නේ අශිකා ඇසූ ප්‍රශ්නයටය. අශිකා කිසිවක් කීවේ නැත.චන්දිකට මෙන්ම මෞර්යාට ද ඇය යහපත ප්‍රාර්ථනා කළාය. 

” මෞර්යා ආදරේ අපේ අයියට අම්මා “

අභිමන් කියා දැම්මේය.අශිකා විදුලි සැරයක් වැදුනාක් මෙන් එසැනින් ඇඳෙන් නැගී සිටියේ වෙව්ලමිනි. මෙය කිසිසේත්ම විය නොහැක්කකි.

” මොකක්ද කිව්වේ ? ” 

” ඇයි අම්මා ? ” 

අශිකා බොහෝ නොසන්සුන් වී අභිමන් දෙස බලා උන්නේ සිතුවිලි බොහෝමයක් වේගයෙන් සිතට ගලාගෙන එද්දීය.

” අම්මා ? ඇයි මේ ? ” 

අභිමන් ඇඳෙන් බිමට පැන නොසන්සුන් වී හුන් අශිකා ගේ දෑත් වලින් අල්ලා ගත් අතර අතිශයින් කම්පනයට පත් වී හුන් ඇය හරමක් හෝ යථා තත්ත්වයට පත් වූයේ තවත් විනාඩි ගණනාවකට පසුවය.

” ඒක වෙන්න බෑ අභිමන්. ඒක කීයට වත් වෙන්න බෑ ” 

අශිකා බොහෝ කලබලයෙන් කාමරයේ එහා මෙහා ගියාය. පියා සමග ඇති වූ ගැටලු වලදී පවා ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව හැසිරුණු තම මව උමතු වී මෙන් මෙසේ නොසන්සුන්ව හැසිරීම අතිශය අසාමාන්‍යය.

” කලබල වෙන්න එපා අම්මා. අයියත් මෞර්යා ට හුඟක් ආදරෙයි. මෞර්යා ත් එහෙමයි. එයා අයියව හොඳට බලා ගනියි කියලා මං දන්නවා. අනික අම්මා උනත් දන්නවනේ මෞර්යා කොච්චර හොඳ කෙනෙක්ද කියල ” 

අභිමන් කීවේ අශිකාව සන්සුන් කිරීමටය.එහෙත් එයින් සිදු වුයේ ඇය තව තවත් නොසන්සුන් භාවයට පත් වීම පමණි.

” ඒක වෙන්න බැහැ අභිමන්.මෞර්යා කොච්චර හොඳ කෙනෙක් උනත් එයාට බෑ අයියව කසාද බඳින්න ” 

අශිකා කෑ ගැසූ අතර අභිමන් පුදුමයෙන් බලා උන්නේය. 

” මොකක්ද අම්මා ඒකෙ තියෙන වැරැද්ද ? අම්මාම නේ ටිකකට කලින් කිව්වේ මෞර්යා වගේ කෙනෙක් මට ලැබෙනව නම් සතුටුයි කියලා. ඉතින් මෞර්යාව මට ගැලපෙනව නම් මගේ අයියට ගැලපෙන්නෙ නැත්තේ කොහොමද ? මට තේරෙන්නෙ නෑ අම්මා මොකද්ද කියන්නේ කියලා ” 

අශිකා සන්සුන් වීමට උත්සාහ කරමින් අභිමන් ඉදිරිපිට සිට ගත්තාය. 

” පුතේ අභිමන් , මෞර්යාව ඔයාට ගැලපෙන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ .ඒත් මෞර්යාව අයියට ගැලපෙන්නේ නැහැ “

” ඉතිං මොකක්ද අම්ම වෙනස ? ” 

“වෙනසක් තියෙනවා පුතේ. වෙනසක් තියෙනවා ”  

අශිකා උන්නේ කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් වෙමිනි. මේ ගැටලුව වහා විසඳිය යුතුය.එය දුර දිග යාමට ඉඩ තැබිය යුතු නොවේ. ඊටත් වඩා මේ ගැටලුව පිළිබඳ ඇත්ත තත්වය අභිමන්ට කියා සිටීමට ද නොහැක. මේ සියල්ලම කිව හැක්කේ එකම එක පුද්ගලයෙකුට පමණක් වූ අතර ඔහුව සම්බන්ධ කර ගත හැකි ආකාරයක්ද අශිකාට වැටහුණේ නැත.

මෞර්යා කාර්යාලයේ වැඩ නිම වී Bakery at the lake වෙත පැමිණියේ ආදිත්‍ය ගේ කීමට අනුවය.  ඊළඟට කළ යුතු දේ කුමක් දැයි මෞර්යා සමග කතා කිරීමට දැඩි උවමනාවක් තිබුණද කාර්යාලය තුළ දී එවැනි පෞද්ගලික කතා බහක් සඳහා ඉඩක් හෝ නිදහසක් නැති නිසා සවස් වරුවේ මුණගැහෙන්නට ආදිත්‍යය සහ මෞර්යා කතිකා කර ගත්හ.මෞර්යා කාර්යාලයෙන් පිට වී ටික වේලාවකට පසුව ආදිත්‍යය ද කාර්යාලයෙන් පිට වී Bakery at the lake වෙත පැමිණියේය.

මෞර්යා සුපුරුදු පරිදි වැව අයිනට වන්නට තිබූ මේසයක අසුන් ගෙන ආදිත්‍යය පැමිණෙන තුරු බලා උන්නේ සිතුවිලි බොහෝමයක් එකලාසයක් කර ගැනීමට උත්සාහයක් ගන්නා අතරතුරේය. හෙට දිනයේ දී කාර්යාලයට පැමිණෙන අභිමන් හට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි දෙගිඩියාවක් මෞර්යා තුළ තිබුණු අතර අභිමන්ව රැවටුවා යැයි හැඟීමක් ද මෞර්යාට දැනෙමින් තිබුණි.

” අපි මොකද කරන්නේ ආදිත්‍යය ? ” 

ආදිත්‍ය පැමිණ අසුන් ගන්නා අතරේ මෞර්යා ඇසුවාය. සාමාන්‍යයෙන් ඕනෑම දෙයකදී සන්සුන් වී තීරණ ගන්නා මෞර්යා පවා මේ මොහොතේ නොසන්සුන් වී සිටීමම ආදිත්‍ය ගේ සිතට එකතු කළේ බර වූ හැඟීමකි.

” මුලින්ම මොනවා හරි කාලා ඉමු මෞර්යා.අද තිබ්බ වැඩත් එක්ක මට හරියට කන්න වත් බැරි වුණා. අනේ මන්ද මං නැති දවස් ටිකේ අපේ මල්ලි මේවා කොහොම මැනේජ් කර ගත්තද කියලා ඇත්තටම ” 

අනතුරුව ආදිත්‍යය කෙටි කෑම වර්ග කිහිපයක් සහ බීම ඇණවුම් කළේය. මෞර්යා උන්නේ වැව දෙස බලා ගෙන කල්පනාවක අතරමං වී ගෙනය.

” මෞර්යා ” 

ඉවත බලාගෙන හුන් මෞර්යා ආදිත්‍ය දෙස බැලුවේ එවිටය. ඇයගේ මුහුණෙන් දකින්නට තිබුණේද වෙහෙසකර බවකි.ඇය සිටින්නේද ඉතා පීඩාකාරී තත්ත්වයක බව වටහා ගන්නට ආදිත්‍යය හට අපහසු වූයේ නැත.

” මට හිතෙන විදියට මේ ප්‍රශ්නෙදි අපි දෙන්නම කලබල වෙනවා වැඩියි මෞර්යා. අභිමන් කියන්නේ කෑ ගහගෙන ප්‍රශ්න විසඳ ගන්න කෙනෙක් වත් ,පලි ගන්න ජාතියේ කෙනෙක් වත් නෙමෙයි. එහෙම එකේ මේ වෙන දේවල් වලට වෙන්න ඇරල අපි ඉමු මෞර්යා. ඔයාට තේරෙනවද මම කියන දේ ? ” 

ආදිත්‍යය කීවේ සන්සුන්වය.තමා සංසුන් වන තරමට මෞර්යාව ද සන්සුන් කළ හැකි බව ආදිත්‍යය සිතුවේය.

” මෙතන තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි ආදිත්‍යය. මට නිකං හිතෙන්නේ අපි දෙන්නම එකතු වෙලා මිස්ටර් අභිමන්ව රැවැට්ටුවා වගේ දෙයක්.එයා එහෙම හිතන්නේ නැත්නම් ඒක හොඳයි.ඒත් අනේ මන්දා මට එයාට මූණ දෙන්න බෑ වගේ. මොනවා උනත් එයා ගේ හිතේ මේ වෙච්ච දේවල් ගැන පොඩිම හරි දුකක් ඇතිනෙ ” 

මෞර්යා පවසන්නේ සත්‍ය කාරණාවක් නමුත් අභිමන් එය ඕනෑවට වඩා නොසිතා ඉන්නට උත්සාහ කළේය. තමා ගෙවා නිමකරමින් සිටින්නේ අතිශය පීඩාකාරී කාලයකි.එයට අලුතෙන් පීඩනයක් එකතු කර ගැනීමට ආදිත්‍යයට උවමනා වූයේ නැත.

” මං කොහොමත් දන්නවා මිස්ටර් අභිමන් කියන්නේ නරක මනුස්සයෙක් නෙමෙයි කියලා. ඒ වුණාට මාව නිතර දෙවේලේ දකින එක එයාට අවුල් වෙයි නේද ආදිත්‍යය ? ඔයාට හිතෙන්නෙ නැද්ද මම රිසයින් උනොත් හොඳයි කියලා ? ” 

” ඒක කිසිම තේරුමක් නැති වැඩක් නේ මෞර්යා. එහෙම බැලුවොත් එහෙම අපි දෙන්නා මැරි කරපු දවසක අපිට හදිස්සියකටවත් මහ ගෙදර නවතින්න බැහැ නේ ? ඔයා හැමදාම අභිමන්ට පේන්නෙ නැතුව හැංගිලා ඉන්නද ? ” 

” එහෙනම් මම මොකක් කරොත්ද හොඳ ආදිත්‍යය ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here