දෑත දරා – 08

0
1797

මනුජ ඉරිදා සවස නොයන්නේ නම්, සඳුදා පාන්දරම නොගොස් සිටිය යුතු බව අම්මා අවධාරණය කලේය

” තනි උඹේ ගමන් බිමන් වගේ නෙවෙයි… මේ කිරිසප්පයාව අරගෙන එහෙ මෙහෙ යනකොට අඩුම ගානේ ඇහැ කන පේන්න ඕනේ…”

“එහෙම අවුලක් නැහැ අම්මේ .. අනෙක මට  නුපුරුදු පාරක යනවා නෙමෙයිනේ…”

” ඒවායින් කමක් නෑ,  ආයේ කියන්න දෙයක් නෑ .. එක්කෝ අද එකට  දෙකට විතර මෙහෙම පිටත් වෙන්න ලෑස්ති වෙන්න … එහෙම නැත්නම් පුතේ උදේ අට නමය වෙලා ඉර එලිය වැටුනහම එළියට බහින්න…”

අවසානයේ සඳුදා දින නිවාඩුවක් සඳහා ඉල්ලිම් කෙරූ මනුජ අම්මාට එකඟ වූයේය.

දියණිය පසුගිය දින කිහිපයම වෙනදා නොපෙන්වූ උද්‍යෝගයක සිටින බව පෙනෙන්නේය. ඕ අම්මලා සමග සිටියදී කෙලි දෙලෙන් සිනහසෙමින් සිටින බවද ,  තමා සමඟ දියතලාවේ  සිටියදී ඊට වඩා  වෙනස් හැසිරීමක් පෙන්වූ බව ද මනුජට  දැන් සිතේ. එලෙසම අම්මලාත්  තමාත් ඇය අසලින් සිටියදී ඇය දැන් පෙන්වමින් සිටින්නේ වඩාත් උද්යෝගීමත් හැඟීමකි. දියණියගේ ජීවිතයේ වන හිස්තැන් පිලිබඳව තමාට මින් පෙර මෙතරම් වැටහීමක් නැති වූයේ මන්දැයි මනුජ කල්පනා කලේ තමා කෙරෙහිම උපන් කෝපයක් එක්කය.

දරුවන් යනු ඔවුන්ගේ කැමැත්තෙන් මෙලොවට පැමිණි උන් නොවේ. එනිසාම ඔවුන් ගේ ජීවිතවල වගකීම වැඩිහිටියන් දරන්නේය. එකේ වගකීමෙන් මිදෙන්නට අප  කිසිවෙකුටත් නොහැක. දෙමාපියන් දෙපසකට වූවද දරුවන්ගෙන් යහපත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඔවුන්ට දැනුම් තේරුම් ඇති වයස වන තෙක් ඔවුනට කැප කිරීම් කිරීමට සිදුවේ.

මනුජට නිර්දා පිළිබඳව නැගුණු කෝපය නිසාවෙන්ම ඔහු මිදුලට ගොස් සිගරට්ටු කිහිපයක්ම හිස් කළේය. තමා අතින් යම් වරදක් වූවානම් නිර්දාට එය තමා සමඟ කතාබහ කිරීමට ඉඩ නොතිබුණාදැයි මනුජට සිතෙන්නට ගත් සිතුවිල්ල දිගේ මනුජ බොහෝ දුර ගියේය.  එහෙත් ඇය තමා සමග කතාබහ කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්තව ගියා නොවේදයි යළිත් මනුජගේ  යටි සිතට මතක් කර සිටියේය.

” මං ඔයාට කියන්නේ මාත් එක්ක ක්වාර්ටර්ස්  ඇවිල්ල ඉන්න කියලා නිර්දා. ඔය  ජොබ්  එක ඔච්චර මහ ලොකු දෙයක් නෙවෙයි අල්ලගෙන බදාගෙන ඉන්න.”

” ඉතින් ඔයත් ඔයාගේ  ජොබ් එක අත ඇරලා කොළඹට එන්නකෝ. එහෙම නැත්නම් කොළඹ තියෙන බ්‍රාන්ච්  එකට  ට්‍රාන්සර්  එකක් හදාගන්නකෝ. මගේ ජොබ් එක ලොකු  නැත්නම් ඔතන ඔයාගේ  පොසිෂන් එකත් එච්චරට ලොකු වෙන විදියක් නැහැනේ.”

” විකාර කතා කියන්න එපා නිර්දා… ඔයා දන්නවා මං මගේ බලාපොරොත්තු..  මගේ ආසාව….  මොකක්ද කියලා. මම එතන ඉන්න ඕනේ ඇයි කියලා ඔයා දන්නවා…. මං එතන  හිටියොතින් තමයි මට මගේ ටාර්ගට් එකට් යන්න පුලුවන් ..”

“ඔයා කියන්නේ  ඔයාගේ ටාගට් විතරයි ලොකු කියලද ? මනුජ ඔයාගේ හීන විතරයිද ලොකු ?…”

” නිර්ද කිසි කේස් එකක් නැතුව ඔයාට එකවුන්ටන් පෝස්ට් එකක් මෙහේ තියෙන ඔය ෆීල්ඩ්  එකේ තැනක හොයාගන්න පුළුවන්. මම හොයලා දෙන්නම් …”

” මට එහෙම ඕනි නෑ මනුජ … මං  කැමති මම උපයා ගන්න දේවල් එක්ක ඒ තැන ඉදිරියට යන්න.”..

“ජීවිතය ඉස්සරහට යද්දි මිනිස්සුන්ට කැපකිරීම් කරන්න වෙනවා කියන එක ඇයි තේරුම් නොගන්නෙ නිර්දා?…”

“ඒ කැප කිරීම කැප කිරීමම ඇයි ඔයාට කරන්න බැරි මනුජ  ?”

“ඇත්තමයි තමුසේ  නම් කියන කිසිම දෙයක් තේරුම් ගන්න ගෑනියෙක් නෙවෙයි … මං මේ කියනෙක අද කිව්වා කියලා මතක තියාගන්නවා….. අන්තිමේද ඔය මොකෙනුත් දුක් විඳින්නේ දරුවා…….”

“අන්තිමේදී නෙවෙයි මනුජ ..,  දරුවා දැනටම දුක් විඳිනවා … දැන් දරුවට අවුරුද්දයි මාස හතරක් වුණා. ඔයා එක දිගට එක සති දෙකක් දරුවක ඉඳලා තියෙනවද?.. ඔයා ආදරෙයි ආදරෙයි කිව්වට ඔයාට අපි දෙන්නා වෙනුවෙන් කාලයක් තියෙනවාද මනුජ ?..”

“මේ ලෝකෙ  හැම තාත්තෙක්ටම එක දිගට සති දෙකක් ,තුනක්, මාසයක් දරුවොත් එක්ක ඉන්න වෙන්නේ නැහැ නිර්දා…  ඒක තේරුම් ගන්න….  හැමෝම ඒ වගේ හීන පස්සේ විතරක් හඹාගෙන යන්න ගියොතින් මේ ලෝකේ පවතින එක ලේසිවෙන්නේ නැ..”

“ඔව්…  ඒක හරි එහෙම කරන්නම බැරි වෙන අවස්ථා තියෙනවා ….මිනිස්සු එච්චරට කැප කිරීම් කරනවා. ඒත් ඔයාට තියෙන්නේ ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැරිකම.. ඔයාගේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ දෝණියි  මායි ඉන්නේ යටින් වෙච්ච එක ..”

“අනේ ඕන මගුලක් කරගන්නවා  නිර්දා  … මට බඩගිනි.. කාලා ඉමු. මං උදෙන්ම යන්නත් ඕනි..”

මනුජ සුසුමක් හෙලුවේය.  ඇයට අවශ්‍ය වූයේ ඇගේ රැකියා ජීවිතය තුළ ඉදිරියටම යන්නටය.  තමාට අවශ්‍ය වූයේද එයමය.  දෙදෙනාට එකිනෙකා වෙනුවෙන් කැප කිරීමක් කර ගැනීම අපහසු විය . දෙදෙනා අතරේ මධ්‍යස්ත එකඟතාවයක් සකසා ගන්නට නොහැකි වූයේ කෙලෙසද ?,

” ඔච්චර  ජොබ් එක අතාරින්න බෑ කියපු , පෝස්ට්, පොසිෂන්  යි ඔක්කොමත් අල්ලලා දාලා දැන් ඔය යස අපූරුවට  රට ගිහින්ඉන්නේ…. මේ  ගෑනු ලඟ අවස්ථාවාදීකම ඇරුනහම වෙන කිසිම දෙයක් නැහැ. නිර්දට තිබුනේ වෙන මොකවත් නෙවෙයි. මට සෙකන්ඩ් වෙන්න බැරිකම…  ජොබ්  එක දාල මං ළඟට ආවොතින් මගෙන් කාල ඇඳලා ඉන්න වෙයි කියන හීනමානේ … හීනමානේ..

එක අතකට අම්මලා කියපු කතාව හරි…. නිර්දා  කියන්නේ  ලේසිසින් ඔලුව පහත් කරන ගෑනියෙක  නෙවෙයි  … මගේ කරුමෙට අෆෙයාර් එක  පුරාවටම  ඒ තේරුම්  අරන් උන්න  දේ බැන්දයින් පස්සේ  වෙනස් වෙයි  කියලා මං හිතුවා…… අන්තිමේදී ඒ මඟුල නිසා මේ මුකුත්ම නොදන්න  දරු පැටියා තමයි දුක් විඳින්නේ. මමයි දරු පැටියයි දුක් විඳින්නේ..

 නිර්දා එයාට  ඕන කරපු සැනසීම හොයාගෙන ගියා…. කිසිම වගක් නැතුව ඩිවෝස් එක අරන් ගියා.. ශිට් .. එහෙම වෙලත් මම මේ ගෑණි මත්තෙම ඇලිලා මේ කරන්නේ මොන මඟුලක්ද එක අතකට ..”

මනුජ නිර්දා සමඟ  වෙනදා  හිඳ උන් ඔන්චිල්ලාවේම හිඳ කල්පනා කළේය. නිර්දා නම් වූ ගැහැණිය තමා හා උන්නා නම් යයි යන ලෝභකම තවමත් සිතට යන්තමින් හෝ නොදැනනවා නොවේ. ඇගේ සිතුවිලි වෙනස් කරගෙන මදක් තමා හා එකඟ වන්නට හැකියාව තිබුණා නම් යයි යන සිතුවිල්ලෙන් මනුජට මිදෙන්නට   හැකි වූයේම නැත

. එහෙත් ඇයට ප්‍රේම කර තරම ඉක්මවා යමින් , ප්‍රේමය  දශමයකින් හෝ ඉක්මවා යමින්,  ඇයව තමා නතුකර ගැනීමේ ලෝභකම තමා සිතෙහි තතිබුණා දැයි යන සැකය දැන් දැන් මනුජය යලි යලි සැක උපදවන්නේය.  සිහි වන්නේය. එලෙසින්ම නිර්දාටද තමා කෙරෙහි තිබුණේ යම් ආසක්ත වීමක්දැයි ඔහුට සිතෙන්නේය.

ජීවිතය එහෙම ඇතැම් විට උරගා බැලීම් කරන්නට සිදුවේ.  තමා නිර්දාට ප්‍රේම නොකළා නොවේ.  එහෙත් ප්‍රේමය ඉක්මවා යමින් එකට ජීවත්වන්නට අවැසි යම ඇය හා තමා අතර නොමැති බව වැටහෙද්දීත් ඇය හා විවාහ වූයේ ඇය අතහැර ගන්නට තමා සිතෙහි තිබූ ලෝභකම නිසාවෙන් බව පිලිගන්නට කාලය එලැඹ ඇත.

. ප්‍රේම කරද්දි ප්‍රේමය පමණක්ම සෑහෙනවා වුවද එකට ජීවත්වද්දී ප්‍රේමය පමණක් සෑහෙන්නේ නැත වගකීම් දරන්නට සිදුවේ වගවීම් වෙන්නට සිදුවේ. දරා ගන්නට සිදුවේ. නිහඩව සිටින්නට සිදුවේ හඬා වැටෙන්නට සිතුවේ කඳුළු පිසින්නට කඳුළෙන් කතා කරන්නට සිදුවේ. උස් හඬින් කතා කිරීම අසා සිටින්නට සිදුවේ. එක් මොහොතකදී අනෙකා ගින්නක් වී නැගෙද්දි, එම ගින්නෙන් දැවෙන්නට ද සිදුවේ.

නිර්දා සහ තමා යන දෙදෙනාම එකම මොහොතේ ගින්නක් වී නැඟුනා  මිස  අනෙකාගේ ගින්නෙන් දැවෙන්නට හෝ අනෙකාගේ ගින්න නිවන්නට උත්සාහ නොකිරීම කුඩා දියණියගේ අවාසනාවම බව මනුජ සිතුවේ ඉතා ගැඹුරු වේදනාවක් හදෙහි සඟවා ගනිමිනි.

“උඹ හොඳට මතක තියාගනින් මනුජයා. මිනිස්සුන්ට ජීවිතේ හැමදේම හම්බවෙන්නේ නැහැ. උඹ එයාර් ෆෝස් එකේ උඩම පෝස්ට් එකකට යයි….නිර්දාත් ඒකිගේ ෆීල්ඩ් එකේ උඩටම යයි. සමහරවිට ලෝකෙ තියෙන සුපිරිම කම්පැණි එකක ටොප් ලෙවල් එකට යයි..

හැබැයි පුතේ උඹ මේක මතක තියාගනින්…  උඹල දෙන්න උඹලගේ ජොබ් වල උඩටම යනකොට , උඹලගේ හීන උඩින්ම දිනනකොට උඹලගේ දරුවා එයාගේ ජීවිතේ පල්ලෙහාම අඩියකට වැටිලා තියෙන්නේ..

නිර්දා  ගියා මචං … දැන් ඒකට කරන්න දෙයක් නෑ. නිර්දා ගියේ උඹැලා දෙන්නාගේ දරුවාගේ  වගකීම උඹට දාලත් මචං. ඒකට ඒකිගේ සාධාරණ හේතු ඇති. හැබැයි එහෙමයි කියලා උඹට දරුවාගේ වගකීමෙන් මිදෙන්න බෑ උඹ දැන් වගකීම් තියෙන අම්ම,  තාත්තා කෙනෙක් වෙලා දරුවාගේ වගකීම උඹේ කරට ගන්න ඕනේ. මම මේක අද කිව්වා කියලම මතක තියා ගනින්. ආයේ මම මේක උඹට කියන්නෙත් නෑ නෑ. කල්පනා කරලා බලපන්උඹ මොකද කරන්නේ කියලා..

 මිතුරාගේ අවලාද මනුජ දෑස් පියාගෙන සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here