ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර වූ අංශු සිඳී බිඳී යාමක් සිදු වේ. ඒ නීත්‍යානුකූල වෙන් වීමෙන් දෙපසකට වන එක පවුලකට අයත් ව තිබූ මිනිසුන් ගේ ජීව සෛල එක ම වේදනා කැටියක් බවට පත් වේ.

වෙන් වීම අරමුණු කොට ගත් දෙදෙනෙකුට කෙසේ වී ද හීනයෙන් හෝ එවැන්නක් නො පැතූ, නමුත් එසේ සිදු වූ පවුලක තත්වය එසේ ය.

නිශාමනී හා ශාරද පමණකුදු නොව අනියම් ලෙස ආකාස හා එසඳි ද මේ දික්කසාදයෙහි වින්දිතයෝ වී සිටියහ.

“බාප්පී…”

ආකාස ව දුටු එසඳි දිවැවිත් ඔහු ගේ ඇඟේ එල්ලුණේ ය. ආකාස දැරිය වඩා ගත්තේ ය. එසඳි සිය දෑතින් ආකාස ගේ ගෙල දැඩිව වැළඳ ගත්තේ ය.

“මැණික”

ඔහු ඇගේ හිස හා පිට පිරිමදිමින් කතා කළ ද එසඳි වදනක් හෝ දෙඩුවා නොවේ. ඇය ඉතා තදින් ඔහු වැළඳ සිටියා ය. 

“එසඳි පැටියො…ඇයි රත්තරං…”

“මට හරි තනියි බාප්පි. මාව ගෙදර එක්කං යන්න”

ටික වෙලාවකට පසු ඇය දෙඩුවේ හුරතල් බිඳුණු හඬකිනි. 

“අනේ ඇයි පුතේ එහෙම කියන්නෙ…පුතා තනි වෙන්නෙ කොහොමද…අම්මි ඉන්නෙ පුතාට”

තැති ගත් හදකින් යුතු ව ආකාස වෙතට සමීප වූ නිශාමනී එසඳි ගේ කොපුලක් පිරිමදිමින් ඇගේ මුහුණට එබුණා ය. ඒ මොළකැටි වත මත සිනහවක් නැගුනේ නැත.

“අම්මි හරි නරකයි බාප්පා. මාව අපේ ගෙදරින් මෙහෙ ගෙනත් දාල දැං අම්මි ඔෆිස් යනව. මං තනියම ඉන්නෙ. මට පාළුයි”

ඇය හැඬුම්බර වූවා ය. නිශාමනී දියණිය ගේ හිස සිප ගත්තා ය.

“එසඳි. මැණික මේ අහන්නකො පුතේ. අම්මි ඔෆිස් නොයා ඔයා ළඟට වෙලා හිටියෙ ඔයා චූටි නිසානෙ. දැන් ඔයා ටිකක් ලොකු නිසා අම්මි ඔෆිස් යන්න ඕන. නිවාඩු ගන්න බෑ හැමදාම. පුතා දන්නවනෙ නේද..බාප්පයි තාත්තයි හැමදාම ඔෆිස් යනවනෙ…නේද…පුතා දැං නර්සරි යන්නනෙ ඉන්නෙ. එතකොට අම්මි ඔෆිස් යනකොට පුතත් යනව”

ආකාස දැරිය සනසනු වස් නොයෙකුත් දේ කීවේ ය. නමුත් ඒ කිසිවකින් ඈ සෑහීමට පත් වූ බවක් පේන්නට තිබුණේ නැත. ඇගේ ළපටි හදවතේ වූ වේදනාව ඒ මුහුණ මත මොනවට ලියැවී තිබිණ.

“බාප්ප…”

“ම්…කියන්න පැටියො”

“බාප්ප මාව පීසා හට් එක්කං යන්න”

ආකාස ගේ හා නිශාමනී ගේ ඇස් එක තත්පරයකට එක රේඛාවක පතිත විය. නිශාමනී හුස්මකින් පපුව පුරවා ගත්තා ය. 

“චූටි දූ මේ අහන්නකො. දැන් පාප්පට කරදර කරන්න බෑ. අපි හෙට යමු. සීයයි ආච්චයි එක්ක යමුකො.  චේතනා ආන්ටියි එහෙ චූටි අයියයි දෙන්නත් එක්කං යමු හොඳේ”

“මට බෑ මට ඕනෙ බාප්පයි තාත්තයි එක්ක යන්න”

එසඳි මුරණ්ඩු බවක් පෑවා ය. 

“මේ අහන්න බබා. තාත්තිට දැන් එන්න බෑ. මං ඔයාට කියලනෙ තියෙන්නෙ ඉස්සර වගේ තාත්තිට හැම දාම ඔයා ළඟට එන්න බෑ කියල”

“තාත්තිට බැරිනං මං බාප්ප එක්ක යනව. අනේ බාප්පි මාව එක්කං යන්නකො”

උන් හිටි ගමන් එසඳි හඬන්නට පටන් ගත්තා ය. එය කුඩා හැඬුමක් නොව ඇය කෑ ගසමින් ද ඉකි බිඳිමින් ද හඬන්නට වූවා ය. කුඩා දරුවෙකු හඬන්නේ බොරුවට නොවේ. සැබවින් ඒ හිත රිදුණ විට ය. පියා ද පුරුදු නිවස ද බාප්පා ද දුරස් වීමේ සාංකාව ඇය පීඩාවට පත් කොට තිබුණේ ටික දිනක සිට ය. මුල දී, ඉක්මනින් ගෙදර යනවා ය යන හැඟීම ඇය වෙත විය. නමුත් අම්මා ගේ ඒ කතාව සැබෑවක් නොවන බව දැනෙත්දී ඇය වැඩි වැඩියෙන් මනසින් ගිලන් වන්නට වූවා ය. නිශාමනී රැකියාවය යන්නට වූ කල, ඇගේ පාළු කාංසා ස්වභාවය තව තවත් වැඩි විය. දැරිය ගේ ක්‍රියාශීලී බව කාටත් හොරෙන් අඩු වන්නට විය. නිශාමනී නැති දවල් කාලයේ ඇය අක්‍රියව මුළු ගැන්වී සිටියා ය. සෙල්ලම් කිරීමේ උනන්දුවක් පෙන්වූයේ නැත. නුහුරු ආච්චි අම්මා සමගින් ඇඟෑළුම් පෑමට ඇය ට ඕනෑ නො විණ. අම්මා ද තාත්තා ද බාප්පා ද සිහිව ළමා මනස නිතර ශෝක ප්‍රාප්ත විය. ඒ සියල්ල එක් කොට ඇය හඬන්නේ මේ දැන් ය.

“මොකද මොකද මේ..එසඳි…අකීකරු වෙන්නෙ නෑ. කියන දේ අහන්න ඉතිං හොඳ ළමය වගේ”

පිලපිටිය මැතිණිය මේ සියල්ල ගැන අවධානයෙන් හිඳ, එසඳි මෙල්ල කර ගන්නට බැලුවා ය. නමුත් ඇය ආච්චි අම්මා ට ඇඟෑළුම් පෑවේ නැත.

“ආච්චා එපා”

එසඳි ආච්චි අම්මා ව ප්‍රතික්ෂේප කරමින් තව තවත් ආකාස ගේ ගෙල වැළඳ ගත්තා ය.

“හරි එහෙනං එන්නං ලෑස්ති කරන්න. අපි බාප්ප එක්ක පීසා හට් ගිහින් එමු”

නිශාමනී එසේ කියන පමාවෙන් දැරිය ආකාස ගේ අතින් බිමට පැන්නා ය. 

“හරි ශොක් ඔය විදිහට කියන කියන දේ කරන්න ළමයි හැදුනොත්නං”

පිලපිටිය මැතිණිය නිශාමනී කෙරේ අප්‍රසාදය පෑවා ය. ඇය අසරණ ව මවු දෙස බැලුවා ය.

“පොඩි එකාගෙ හිත තලන්න බෑ අම්මෙ අපේ ප්‍රශ්න නිසා. මොනා වුණත් එයා ගෙදරදි ආදරේ එක්ක හැදුණ ළමයෙක්. එයාට මේ වෙන් වීම දරා ගන්න බෑ”

“එහෙනං ඉතිං දැං කරන්න වෙන්නෙ අර දරු පවුලත් එක්කම ශාරද ව කතා කරගෙන ඒ ගෙදරට යන එක තමයි. විකාර”

ඕ තොමෝ නො රිස්සුමෙන් ඉවත් ව ගියා ය. එසඳි හා නිශාමනී සූදානම් ව එන තුරු ආකාස රිය වෙත ගොස් සිටියේ ය. 

යන ගමනේ දී නිශාමනී කළේ කල්පනා කරනා එක ය. එසඳි ගේ ළමා මනසට දැනට ම ඇති ව තිබෙනා කම්පනය සුළු පටු නො වනා බවක් පෙනේ. නමුත් මහ ගෙදරදී ඇය ට ඇගේ කැමැත්ත හා උවමනාව පරිදි තීරණ ගනිමින් එසඳි සමග ජීවත් විය නො හැකි වනු ඇත. පියා කෙසේ වෙතත් මව සිය ජීවිතයට ඇඟිලි ගසනා බව මේ ටික දිනයට ඇය ට වැටහී තිබේ. අනිත් අතට ඇගේ රැකියාව ද එසඳි ගේ හිතට නරක ලෙස බලපා ඇති බවක් දැකිය හැක. නිශාමනී ගේ හිත යකා ගේ කම්මල සේ අවුල් ව තිබිණ. 

නමුත් එසඳි සිටියේ ප්‍රීතියෙනි. ඇය ආකාස සමගින් අතොරක් නැතිව කියවූවා ය. ශරදාකාසයේ සිටියදීත්, ඇතැම් විට නිශාමනී ගෙන් මා ශාරද ගෙන් ප්‍රතික්ෂේප වෙමින් වුව ඇය වැඩිපුර හුරතල් වූයේ ආකාස සමග ය. ශාරද ගේ ඈත් වීමටත් වඩා ඇය ට ආකාස ගේ සමාගමය අඩු ව යාම බලවත් ලෙස දැනෙනවා වන්නට පුළුවන.

එසඳි සමගින් සල්ලාපයේ සිටියා මිස, ඔවුන් ගේ ඇනවුම මේසයට පැමිණෙන තෙක් සිටියදී ද ආකාස නිශාමනී සමගින් කතා බහකට ආවේ නැත. ඔහු හිතා මතා ම ඇය මගහරිමින් සිටිනා බවක් නිශාමනී ට දැනිණ. හරියට ඈ ශරදාකාසයට ගිය මුල් දින වල වාගේ ය. ශෝකාකූල කල්පනා භරිත බවකිනි ඔහු එසඳි සමගින් වුව කාලය ගත කළේ. නමුත් එසඳි ගේ මුහුණේ දිගට ම සිනහව රඳවා ගන්නට නම් හෙතෙම සමත් වූයේ ය.

“මං වැරැද්දක් කළා වගේ හැසිරෙන්න එපා ආකාස. බින්දුවටම වැටිල ඔළුව උස්සගන්න හදන මගෙ මානසික තත්වෙ තේරුං ගන්න. ප්ලීස්…”

අවසන, තවත් නිහඬ ව ඉන්නට බැරි තැන ඇය මිමිනු💜️වා ය. එක එල්ලේ ඇය වෙතට දැඩි බැල්මක් හෙලු ඔහු ඉවතට දෑස් යොමු කර ගත්තේ ය.

“ඔය දෙන්නට දෙන්න ශෝක්. එයා වැරැද්දක් කළා. ඔයා දැන් එකට එක කරන්න හදනව එයා නැති වුණාට ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියල පෙන්නන්න වගේ. ඔයාට ඕන ඇති ඔයා වැටෙන්නෑ කියල පෙන්නන්න. එයා නැති වුණත් ඔයාට ඔළුව කෙලින් කරන් ඉන්න පුළුවන් කියල පෙන්නන්න. ඇත්ත. කසාදයක් නැති වුණයි කියල ගෑනියෙක්ට ජීවිතේ නැති වෙන්නෙ නෑ. එක එක ගෑනුන්ට එක එක විදිහටයි මේ ප්‍රශ්නෙට ෆේස් කරන්න වෙන්නෙ. ඔයා ඉගෙන ගත්ත හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියන කෙනෙක්. ඔයාගෙ තාත්තට බිස්නස් එකක් තියන නිසා ඔයාට පුළුවන් ඒකෙ මැනේජ්මන්ට් එකට ජොයින් වෙන්න. හැබැයි ගොඩක් අයට එහෙම නෑ. ඒ ගෑනු රස්සාවක් හොයා ගන්න ඕන දරුවො නඩත්තු කරන්න. සමාජෙදි ඩිවෝස් වුණ ගෑනු කෙනෙක්ට ෆේස් කරන්න වෙන දේවල් ටිකක් තියනව. ඔයාට ඒව මිනිමයිස් කර ගන්න පුළුවන් ඔයාගෙ  බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඒ ඔක්කෝම හරි ශාමි. හැබැයි ඔයා ඔයාව මේන්ටේන් කරන්න යද්දි ඔයාත් නොදැන මේ අහිංසක කෙල්ල තනි වෙලා කියන එක අමතක කරන්න එපා”

නිශාමනී ට දැනුණේ ඇගේ දෑස් ඉදිරියේ බෝම්බයක් පුපුරා ගියා මෙනි. 

“අපිට කොහොම හරි මේ ක්‍රයිසීස් මැනේජ් කර ගන්න පුළුවන්. ඒත් මේ චූටි හිත් වලට එහෙම බෑ නේද…මෙලෝ දෙයක් දන්නැති උන් මහ එවුන්ගෙ වැරදි නිසා විඳවන්න ඕනද…චුට්ටක් කල්පනා කරල බලන්නකො. දැන් මේ දරුවට තාත්තත් නෑ අම්මත් නෑ නේද.. ඔයා ඔෆිස් ගිහින් එනකල් දරුව තනියම විඳවනව ඇති නේද…සල්ලි කොච්චර හම්බ කළත් මොකටද අපි…අපේ දරුවො මනසින් කඩාගෙන වැටුණොත්…පේරන්ට්ස්ලගෙ දේවල් ළමයින්ගෙ මනසට කොච්චර බලපානවද කියල මං තේරුං ගත්තෙ චාමර අපේ අයිය ගැන කියපු දේවල් නිසා. මන් දන්නෑ ශාමි. මන් දන්නෙ මේ සුරංගනාවක් වගේ ලස්සනට හැදීගෙන ආපු පොඩි එකී අවුල් වෙලා ගිහිං කියල විතරයි”

නිශාමනී බිම බලා ගත්තා ය. අංශුවක් ගානේ, සෛලයක් ගානේ ඇය බිඳී විසිරෙන බවක් ඇය ට දැනිණ. ඔහු කියනා කාරණය පදනම් විරහිත වූවක් නොවන බව පිළිගත යුතු ය. ඇය සිතුවේ ඈ ගැන පමණක් ම නොවේ දැයි නිශාමනී හදවතින් ම පසුතැවුණා ය. ආකාස කීවා සේ ඇය ට ඕනෑ වූයේ ඔහු නැතිවාට මොකදැයි ශාරද ට පෙන්වන්නට නොවේ ද? තවත් ස්ත්‍රියක හා පෙමින් බැඳුණු ඔහු යළි කිසි දා ක ඇය විසින් නො පැතුව ද ඔහු ට සිය උජාරුව පෙන්වීමේ උවමනාවක් ඇගේ යටි සිතේ වූ බව පිළි ගත යුතු ය. ශාරද කාර්යාලයට ආ වෙලාවේ ඇය ට දැනුණ සතුටට හේතුව ඒ ආශාව තෘප්ත කොට ගත හැකි වීම හා බැඳුණ එකකි. පංචලී ලස්සනට හැඳ පැළඳ රැකියාවට යන තරුණියක වීමත්, නිශාමනී ගෙදරට වී වැඩ කරගෙන සිටිනා නිකං ම ගැහැනියක වීමත් යන කාරණය මත ඔහු ගේ සිත පංචලී වෙතට ආකර්ෂණය වූයේ නම්, නිශාමනී ට ඕනෑ වන්නට ඇත්තේ පංචලීටත් වඩා ඉහළ විධායක තනතුරක් දරන්නට වුව ඇය ට හැකි ය කියා ශාරද ට පේන්නට හැරීම විය නො හැකි ද? අම්මා ළඟ එසඳි ඉන්නවා යයි සරල ලෙස සිතුවාට, එය එසඳි ට කෙසේ බලපාවිදැයි ඇය සිතුවේ නෑ නොවේ ද? නිශාමනී ගේ හිත හැකිළී යමින් තිබිණ.

“අම්ම ඔෆිස් යන නිසා බාප්ප මාව ගෙදර එක්කං යන්න. මං බාප්ප එක්ක ඉන්නං. මට ආච්චා එක්ක ඉන්න බෑ”

පීසා කන ගමන් එසඳි ආකාස ගේ මූණ දෙස බලමින් සුරතල් සිහවකින් කීවා ය. ඒ බැල්මේ බලාපොරොත්තු සහගත බවක් තැවරී තිබිණ. නිශාමනී ආකාස දෙස ම බලා සිටියා ය. නමුත් ඔහු ට සම්මුඛ ව හිඳ සිටි ඇගේ ඇස් දෙක මගහරින්නට තරම් ඔහු සියුම් විය.

“ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ ආකාස…”

නිශාමනී ඉතාමත් පහළ බිඳුණු ස්වරයකින් විචාලා ය. එවර ඔහු ගේ දෑස් ඈ වසා පතිත විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...