(අ)හිමි සිහින -218

හෙමින් හෙමින් තද කලු පාටට දුම් රොටු එක පොදියට පිට වී යන තුරුම මා ඒ දෙස දෑස් දල්වා බලා සිටියා.සුධාරකගේ සිරුර මේ වෙද්දී දැවී අලු වී ඇති.අවසාන කාලයේදී ඉතා කෘෂ වී ජරාජීර්ණව ගොස් තිබූ ඒ සිරුරේ බොහෝවේලා දැවෙන්නටත් දෙයක් නොතිබෙන්නට ඇති.ඒත් ඔහු ලෙහෙසියෙන් දවා හලු කරන්නට බැරි මතක ගොඩක් මට ඉතිරිකරලා ගියා.ඒ අපේ ආදරණීය මතකයන්.ඒවා මගේ හදවතේ හැමදාටම සුරක්ෂිතයි

කවුරු හෝ මගේ උරහිසට තට්ටු කරනු දැනී මා ඒ සිතුවිලි සයුරෙන් මෑත් වුණා.මාත් සුධාරකත් දන්නා හඳුනන බොහෝදෙනා මට කතාකරන්නට මා වටා රැඳී සිටියා.එය සාමාන්‍ය සිරිතක් වුණත් මට මේ මොහොතේ එය ඉතාම තදින් දැනෙන්නක් වුණා.

“අනුරාධා මේ වෙච්ච දේ අපිට විශ්වාස කරන්නත් බැහැ.සුධාරක මොනතරම් නිරෝගීව හිටි කෙනෙක් ද.අනේ අපිට හරි කණගාටුයි”

“අනේ අනුරාධා වෙච්ච හැමදේම අපි දන්නවා. සුධාරක ඔයා ළඟ හිටියානම් ඔයා මෙයාව රෝදපුටුවක හරි ජීවත් කරගන්නවා.කරුමෙට සුධාරකට සිහිය නැති වුණානේ.මොනව කරන්නද! ඒත් මෙහෙම අපරාධයක් කරන්න හිතපු කිසිම කෙනෙක්ටවත් හොඳක් සිදුවෙන්න එපා”

“මැඩම් සර් දෙවිකෙනෙක්.සර්ට මැඩම් ආදරෙන් සැලකුවා බලාගත්තා.මැඩම්ට ඒ පින තියේවි.මැඩම් එක්ක හිටපු කාලේ සර් ලස්සනට සතුටින් හිටියා.ඒ ගැන හිතලා හිත හදාගන්න මැඩම්”

මෙවැනි කතා බොහොමයි.සුධාරක කා අතරත් ජනප්‍රිය අතිශය මිත්‍රශීලී හොඳ මිනිසෙකු වූ නිසාම ඔහුගේ මරණයෙන් කම්පාවට පත් වූ බොහෝ පිරිසක් සිටියා.පවුලේ අය කළ විකාර වැඩ නිසා අවමංගල්‍ය උත්සවයේ තැන සහ වෙලාව වෙනස් කරමින් නැටූ නාඩගමක ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනා බොරැල්ලට ගොස් තිබුණා.අවමංගල්‍ය කරන වෙලාව වෙනස් කළ නිසා එන්නට සිටි අයට ද එය මඟ හැරී ගියා.සමහරු තවමත් මෙතැනට පැමිණෙමින් සිටියා.

ඒ සියල්ල එසේ වූයේ මා ඔහු අවසන් වරට දැක ගන්නා නිසා බව මම දන්නවා.නමුත් ඔහු දුම් රොටුවක් වී අහසට නැගෙන මොහොතේ එතැන හිඳින්නට දෛවය මට ඉඩ ලබා දී තිබුණා.

රාජකාරියේ යෙදෙන අයත් ඥාතීනුත් හිතමිතුරනුත් බොහෝ දෙනා මට ළඟට පැමිණ කතාකර ශෝකය පළ කිරීම සුධාරකගේ පවුලේ උදවියට නම් දිරවා තිබුණේ නැහැ.ඒත් ඔවුන්ට කරන්නට දෙයක් ද නැහැ.මා තරම් ඔවුන්ව කිසිවෙක් දැනගෙන හිටියෙත් නෑ. සුධාරකගේ සත්‍ය කතාව දන්නා රාජකාරියට සම්බන්ධ අය හා මිතුරන් බොහෝ පිරිසක් මා ඉතා හොඳින් දැන අඳුනගෙන හිටියා.මට කතා කරන සමහරුන්ව සුධාරකගේ අය දැනගත්තේ ද ඒ මොහොතේ බව මට පසුව දැන ගන්නට ලැබුණා.

අති සමීපතමයෙකු දුම් රොටුවක් වී අහසට නික්ම ගිය පසු හෝ අඩි හයක් යට වැළලී ගිය පසු දැනෙන වේදනාව තරම් දෙයක් තවත් නැති තරම්.මේ මාරාන්තික වේදනාව සමඟ තවදුරටත් මෙතැන රැඳිය යුතුදැයි මට සිතෙන්නට වුණා.

මම දැන් මෙතැනින් පිටව යන්නට ඕනෑ.මා මෙතැනට ආවේ ඔහු අවසන් මොහොතේ තනි නොකර ඔහු අසල රැඳෙන්නටයි.නමුත් ඕනෑවට වඩා වැඩි වෙලාවක් මෙතැන ඉන්නට ඕනෑ නැහැ.මට ගැටුමක් හෝ කිසිවක්ම ඕනෑ වූයේ නෑ.සුධාරකගේ පවුලේ අය කන්නට මෙන් මා දෙස බලා සිටියාට මට ඔවුන් යළිත් දකින්නටවත් ඕනෑ වූයේ නෑ

මරණය කියන්නේ කුමක්දැයි මහා ලොකුවට නොතේරුණත් අප්පච්චි අහසට නික්මී ගිය බව සිතන කුඩා සුරංගනාවිය මගේ අතේ එල්ලී බලා සිටියා.ඇයට ද මෙතැන තවත් ඉන්නට අපහසු ඇති.

මම ඇගේ අතින් අල්ලා ගත්තේ ඒ නිසා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles