ආතුරයන් මැද ආදරෙන් 23

වර්ණාසි අඬගහපු හින්දා තවත් කූඹි හතර පස් දෙනෙකුට ඉඩ තියලා ජාදු ඇඳේ ඉඳගත්තා.පන්සල්වලයි පල්ලි වලයි බෝම්බ පුපුරපු සිද්ධියේ අගමුල සේරම ජාදු වර්ණාසිට කිව්වා.ශංකර් කියන පුද්ගලයාගෙන් උපදෙස් ලැබුණු හැටිත් ඒ අනුව හැම වැඩක්ම සූදානම් වුණ හැටිත් නර්මදාගේ කසාද පුරුෂයාව අයින් කරගන්න මේ සිද්ධිය ආයෝජනය කරගන්න පුළුවන් බව තමන්ට හිතුණු හැටිත් වර්ණනාසිට කිව්වා.කාටවත් සැකයක් නොහිතෙන විදිහට නර්මදා  මැඩම්  ව වැන්දඹු කරපු හැටි චිත්‍රපටියක් වගේ පැහැදිලි කලා.තමන්ගේ කන් වලට මේ ඇහෙන්නේ මොනවද කියලවත් විශ්වාස කරගන්න බැරුව ජාදු  ගෙන් ගලාගෙන ආපු ඒ කතාව දිහා වර්ණාසි පුදුමයෙන් අහගෙන උන්නා.එදා ඒ සිද්ධියෙන් පස්සේ පොඩි උන් භාගෙට පිච්චිලා හම ගැලවිලා අතපය ගැලවිලා ඉස්පිරිතාලවල ඉන්නවා දැක්කයින් පස්සේ තමන්ගේ පපුව උණුවෙලා වැක්කෙරුන බව ජාදු  කිව්වා.

“මම ආවේ කානුවක් ඇතුලෙන්…
ඒ උනත් ඒ වගේ සිද්ධි මට බර වැඩි වුණා.ඒත් දැන් මට ඒක විසඳ ගන්න බැහැ… ඒ පාපය හැමදාම මං එක්ක තියෙයි.මට දුක මට මේ ආත්මෙදිවත් ලබන ආත්මෙට හොඳ වෙන දෙයක් කරගන්න බැරි වෙච්ච එකයි.”…

වර්ණාසිගේ ඇස්වලින් කඳුළු වැක්කෙරෙමින්  තිබුණා.

“ජාදු… මට මේවා අහගෙන ඉන්නත් බර වැඩියි..මේ සිද්ධි හැම එකක් පිටිපස්සෙම ඉන්නේ තාත්ති කියලා දැනගත්ත එක තමයි මගේ ජීවිතේ මම අහපු අමාරුම පණිවිඩය.මගේ අම්මගේ මරණය පිටිපස්සෙත් සියයට සීයක් වග කියන්න ඕනේ පුද්ගලයා මගේ තාත්තා.දේශපාලනය වෙනුවෙන් එයාට කරන්න බැරි මොනවද..ඔයාට හිතෙන්නෙ නැද්ද ජාදු ..එයාගේ දේශපාලන ලෝකයේ එයාගේ ජනාධිපති සිහිනයේ කොයියම්ම මොහොතක හරි කොයියම්ම තැනක හරි අපි දෙන්නත් ඉත්තෝ කියල…”

“..මම නෑ කියන්නෑ බේබි .. සමහරවිට වෙන්නත් පුළුවන්.ඒත් ඒ කොහොමද කියලා කියන්න විතරයි අපි දන්නේ නැත්තේ..දැන් අපි මේ සුළියට අහුවෙලා ඉවරයි.හොඳම දේ තව ටිකකින් ලොකු සර් ආවහම  බේබි මේ කිසි දෙයක් දන්නේ නැති විදිහට ඉන්න.. ඉක්මනින්ම මෙහෙන් යන වැඩේ කරගන්න. බේබි මේ හැම දෙයක්ම දන්නවා කියලා පෙන්නන්න ගියොත්  සමහරවිට බේබිත්  මෙහෙ හිරකාරයෙක් වෙයි..”

” ..ඇයි මං විතරක්..ජාදු … මට ඇත්ත කියන්න.. ඔයාට මාව එපාද.. හරි හමන් පිරිමියෙක් කියන්නේ ඔයා වගේ කෙනෙකුට කියන එක මම තේරුම් ගත්තා.මේ සති දෙක පුරාවටම ඔයා මාව පුදුම විදිහට පරිස්සම් කලා.වෙන පිරිමියෙක් හිටියනං කරන්න බැරි දේත් ඒක තමයි.. ඔයාගේ ගිනි ගන්න හිත ඔයා පුදුම විදිහට නිවා ගත්තු බව මම දන්නවා..”

ජාදු ගේ කළු පර්ල් ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ජාදු වෙව්ලන අත් දෙකෙන් වර්ණාසි ගේ සිනිදු කම්මුල් දෝතට ගත්තා. වර්ණාසිගේ සමන්පිච්ච මල් සුවඳ ජාදු ව පිස්සු වැට්ටෙව්වා.

” ආයිත් අහන්න රත්තරං .. ආයිත් අහන්න … ඔයාට මාව එපාද කියලා ආයෙත් අහන්න… මගේ ජීවිතය මම අහපු ලස්සනම වචනය..මෙච්චර කාලෙකට මගෙන් කවුරුවත් එහෙම අහල නෑ… මගේ රත්තරං … මං ඔයාට පණ උනත් දෙනවා …”

ජාදු ගේ උනුහුම් හාදු වැස්සෙන් වර්ණාසි පිපුනු නෙලුම් මලක් උනා.. වර්ණාසි  පිච්ච වැලක් වගේ ජාදු ගේ හැඩිදැඩි සිරුරේ වෙලුනා…
අනේ ජාදු ප්ලීස්… මේ මර උගුලෙන් මාව ගලවලා බේරගෙන යන්න කියලා තව තත්පරයක් ප්‍රමාද වුනානම් වර්ණාසි  කියනවා.ඒ උනාට එතන සිද්ධ වුණේ කාටවත් හිතා ගන්න බැරි වෙච්ච දෙයක්.කං අඩි බීරි කරගෙන මහ විශාල සද්දයක් වර්ණාසිලගේ කාමරයේ වීදුරු ජනේලයක් ළඟින් ඇහුනා.හමුදා ඇඳුම් ඇඳගත්තු මිනිස්සු රොත්තක් එකපාර වර්ණාසිගේ කාමරයේ  ජනේලය කඩාගෙන  පනින කොට ජාදු ට කර කියා ගන්න දෙයක් අනුමාන කරගන්න බැරුව ගියා.
ඇහි පිල්ලමක ප්‍රමාදයකටත් පස්සේ ජාදු පළවෙනියෙන්ම වර්ණාසිව තමන්ගේ පිටිපස්සට කරගෙන සිද්ධ වෙන ඕනම දේකට මුහුණ දෙන්න සූදානම් වුණා.ටයිකොන්ඩෝ සටන් කලාවේ කෙළ පැමිණි සාජන්
දිගාමඩුල්ල දකුණු කකුල අංශක එකසිය අසූවක වට භාගයක් කරකවලා ජාදු ගේ  පිස්තෝලයට පාරක් දුන්නා.පිස්තෝලේ කොකා ගස්වන්න මිලි තප්පරයක් තියෙද්දි පිස්තෝලය ජාදුගේ අතින් ගැලවිලා වීසි වුණා.වර්ණාසි යටිගිරියෙන් කරපු  කෑගැහිල්ල ඇහුනු ඒ මොහොතේ මොනවද වෙන්නේ හිතා ගන්න තත්පරයක්වත් නොදී ජාදුගේ හිස මැද්දට තඩි පොල්ලකින් පාරක් වැදුනා.ජාදු ගේ අතපය කීප වතාවක් ගැහිලා ගැහිලා ලේ ගොඩක් මැද නිහඬ වුණා.ඒ හැම දෙයක්ම වෙන්න තත්පර හතරක්වත් ගියේ නැහැ.සාමාන්‍ය ඇට ලේ මස් නහර තියෙන මිනිස්සුන්ට ඒ තරම් වේගයෙන් ක්‍රියා කරන්න පුළුවන් බව වර්ණාසි ට තේරුනේ එදා තමයි. ලේ ගොඩක් මැද විරූපී මූණකින් බිම වැටිලා හිටිය ජාදු ගේ ඇහිපිල්ලමක්වත් හෙලවෙන්නේ නැති ශරීරය දිහා වර්ණාසි බය බිරාන්ත වෙලා බලාගෙන හිටියා..

“ජාදු … අනේ දෙයියනේ ජාදු …”

වර්ණාසි පිස්සියක් වගේ කෑ ගැහුවා… “

උඹල කවුද..දෙයියනේ ජාදු ට මෙහෙම අපරාධයක් කළේ ඇයි…”

මහා ඝන කළුවර ගුහාවක් ඇතුළේ අතරමං වෙලා ඉන්න බවක් වර්ණාසිට  දැනුනා. තමන්ගේ මුළු ශරීරය පුරාම මහා වේදනාවක් කැරකිලා යනවා වගේ දැනුනා.වර්ණාසි යාන්තම් කෙඳිරි ගාන්න හදනකොටම

“මගේ පුතේ” …

කියලා සුපුරුදු කටහඬක් බොහොම ඈතින් ඇහුනා.තරමක් වෙර අරන් ඇස් අරිනකොටම වර්ණාසිට පෙනුණේ බොඳ වෙලා ගිය සේලයින් බෝතලයක් යකඩ කූරක එල්ලිලා තියෙන විදිහ.ටික වෙලාවකින් ආලෝකයට ඇස් හුරු වෙනකොට තමන් ඉන්නේ රෝහලක ඇඳක් මත කියල වර්ණාසිටි දැනුන.තමන් ළඟම ඉඳගෙන නර්මදා ඇන්ටි හෙමින් සීරුවේ තමන්ගේ හිස අතගාන බවත් මොනවදෝ කතා කරන බවත් වර්ණා සිට දැනුනා.තමන් මේ කොහෙද ඉන්නේ? මොකක්ද උනේ කියන දේ මතක් කරගන්න වර්ණාසි සෑහෙන්න මහන්සි වුණා.

“මගේ පුතේ.. ඔයාට මාව ඇහෙනවද.මොනා හරි කියන්නකෝ දැන්.”

නර්මදා දිහා බලාගෙන උන්නු වර්ණාසිට   මීට පැය කිහිපයකට හරි මීට දින කීපයකට හරි මීට මාස කීපයකට හරි සිද්ධ වෙච්ච දේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් එක දිගට පේනවා වගේ පේන්න පටන් ගත්තා.

“ජාදු කෝ ආන්ටී… ජාදු කෝ…”

වර්ණාසිට කතා කරන්න පුළුවන් වුනු පළවෙනි වතාවෙම ඉංග්‍රීසියෙන් ඇහුවා.

” මගේ පුතාට ඔලුව උස්සන්න මම උදව් කරන්නම් …අපි වතුර චුට්ටක් බීලා ඉමු “…

“අනේ ආන්ටි කරුණාකරලා කියන්නේ ජාදු  කෝ කියලා..”

නර්මදා  වර්ණාසි  දිහා බලාගෙන උන්නේ පෑනේ තීන්ත ඉවර වුණු ලේඛකයෙක් වගේ . ලියන්න තව ගොඩක් දේවල් තිබුනත් ලියාගන්න පටන් ගන්න විදිහක් නැති නිසා තීන්ත පුරවා ගන්නකම් බලන් ඉන්න වෙනවා කියන හැඟීමෙන් නර්මදා වර්ණාසි දිහා බලාගෙන උන්නා.
වර්ණාසි වගේම තමනුත් එක්තරා කාලයක මේ වගේ ඉමක් කොනක් නැති දුක් කඳුළු සාගරයක ගිලිලා හිටපු බව නර්මදාට මතක් උනා.

“ඇයි මගේ රත්තරන් පුතේ මෙහෙම දෙයක් කරගත්තේ…”

නර්මදා ඇහුවේ බොහොම හෙමින් .ඇහිබැම අකුලගෙන නර්මදා දිහා බලපු වර්ණාසි  උන්නේ දන්න කියන ඉලක්කම් මැද නොදන්නා ගානක අතරමං වෙච්ච පොඩි එකෙක් වගේ.

“මොකක්ද මම කරගත්තේ..   ඒකෙන් අදහස් කලේ මොකක්ද ආන්ටි…මට තේරෙන්නේ නැහැ.”

වර්ණාසේ සුපුරුදු ඉංග්‍රීසියෙන් ඇහුවා.

“පුතේ මං ඔයාගේ ජීවිතේට ළං වුනේ බොහොම ළඟදි.. මගේ ජීවිතේට දරුවෙක් ඉඳලා නෑ. ඒත් මං ඔයාට ආදරය කළේ මගේම දරුවෙක් කියලා හිතාගෙනයි. මගේ රත්තරන් පුතා ..ඇයි නිකමටවත් මේ වගේ දෙයක් මා එක කිව්වේ නැත්තේ…  ඔය වගේ හදිසි තීන්දු ගන්න මගේ පුතා ලෝකය ගැන දන්න කෙනෙක් නෙවෙයි.ජාදු වගේ තැලිලා පොඩිවෙලා තෙම්පරාදු වෙච්ච කෙනෙකුත් නෙමෙයි.”

“හදිසි තීරණ…? මොකක්ද ආන්ටි මම ගත්තු හදිසි තීරණය… තාත්ති කෝ …ජාදු කෝ   …මට කියන්න තාත්ති  කෝ ..”

නර්මදා වාර්ණාසි දිහා බලාගෙන උන්නා..

“පුතේ ..මට තේරෙන්නේ නැහැ. තාත්ති ඔයාට කොයි තරම් ආදරෙයිද …ඔයාට මොනවද අඩු කළේ? ..ජාදු  ගැන තාත්තිගේ විශ්වාසය තිබුණේ අහස උසට… අන්තිමට ඌ මොකක්ද මේ කළේ? හෙට තාත්ති දිවුරුම් දෙනවා…  දවල් වෙද්දී තාත්ති එයි.
දැනුත් මට  කළා. පුතා ළඟින් හෙල්ලෙන්නවත් එපා කියලා කිව්වා.”

වර්ණාසි ඇඳේ ආපහු සැරයක් නිදාගත්තා .ඇස් දෙක පියා ගත්තා.

” ඒ කියන්නේ තාත්ති ඡන්දෙන් දිනලා…”

“ඔව්…… ඔයාලා හිතුමතේට පැනලා ගිය දවසේ ඉඳන් තාත්ති හිටියේ පිස්සුවෙන් වගේ… තාත්ති කතා කරපු හැම රැලියකම තාත්ති ට කතා කරගන්න බැරුව ගියා. තාත්ති ට ඇඬුණා. ඔයා ගැන අහන හැමෝම එක්කම  තාත්ති ඇඩුවා.. “

“ආන්ටී…… මොකක්ද කිව්වේ …
අපි.. පැනලා ගියා…. හිතුමතේ….?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles